Powered by Blogger.

Rathnasiriපාර්ලිමේන්තුවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වන ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ දේශපාලන දිවි ගමනට පනස් හතර වසරක් පිරුණේ ගිය විසි හතරවැනිදාටය. එක් දහස් නවසිය හැටේ මාර්තුවේදී හොරණ මන්ත්‍රීවරයා ලෙස පත් වූ ඔහු තිස් හත් වසරක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ශ්‍රී ල.නි.පයේ හිටපු මහ ‍ලේකම්වරයකු ද වන රත්නසිරි වික්‍රමනායක නියෝජ්‍ය ඇමැති, ඇමැති, විපක්ෂ නායක යන තනතුරු මෙන්ම කීප වතාවක්ම අග්‍රාමාත්‍ය ධුරයටද පත් වූ විශිෂ්ට දේශපාලනඥයෙකි. මේ ඔහු සිය පනස් හතර වසරක සිය දේශපාලන ගමන පිළිබඳ කරන මතකාවර්ජනයක පළමු කොටසය.

පාර්ලිමේන්තුවේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයා වන ඔබ මුලින්ම මන්ත්‍රී ධුරයට පත් වුණේ කවදාද?
මා මුලින්ම පාර්ලිමේන්තුවට පත් වූයේ හැටේ මාර්තු විසි හතර වැනිදා . එසේ බලන විට ගිය විසි හතරවැනිදාට මගේ දේශපාලන දිවියට අවුරුදු පනස් හතරක් පිරුණා.
ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වසර කීයක් කටයුතු කළාද?
තිස් හත් වසරක් පමණ. හැටේ සිට හැත්තෑහත දක්වාත් අනූ හතරේ සිට මේ දක්වාත් මම පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.
දැන් ඔබේ වයස?
අවුරුදු අසූවක්.
ගම කොහේද?
කළුතර, හොරණ, මිල්ලෑවේ තමයි අපේ මහ ගෙදර තියෙන්නේ
අම්මා තාත්තා?
අම්මා මෙන්සනෝනා වික්‍රමනායක. ඇගේ ගම කහතුඩුව. තාත්තා සයිමන් වික්‍රමනායක. ඔහු මුලාදෑනිවරයෙක්. ඒ වගේම ඉඩම් හිමි වැවිලිකරුවෙක්.
වික්‍රමනායක පවුලට ඉඩම් කොච්චර තිබුණද?
ඒ ගැන නිශ්චිතවම කියන්න මට මතකයක් නෑ.
Rathnasiri1මැතිනියගේ ආණ්ඩුව එක පුද්ගලයකු සතු ඉඩම් ප්‍රමාණය අක්කර පනහකට සීමා කරමින් නීති පනවන විට ඔබ 70 ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක්. ඒ කාලයේ ඔබගේ ඉඩම්වලට මොකද වුණේ..?
අපේ ඉඩමුත් රජයට පවරා ගත්තා.

ඔබ පාසල් ගියේ?
කොළඹ ආනන්ද විදුහලට
කවුද ඔබේ සමකාලීනයෝමගේ සමකාලීනයන් හුඟක් දෙනෙක් අන්තරාවෙලා
ඔබ විවාහ වූයේ කා සමගද?
කුසුම් කල්දෙරා සමග. ඇගේ ගම බොරැල්ල. මම හැටේ හොරණ මන්ත්‍රීවරයා වන විටත් ඇය සමග විවාහ වෙලයි සිටියේ
දරුවන්?
පුතාලා දෙන්නයි දුවයි.
ලොකු පුතා තමයි විදුර (කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී) දෙවැනියා චතුර. ඔහු ව්‍යාපාරිකයෙක්. දුව තුෂාරා. ඇය වෛද්‍යවරියක්.
විදුරගේ උප්පැන්න සහතිකයේ තියෙන්නේ උපත සිදුවූයේ එංගලන්තයේ කියලා?
විදුර ඉපදුණේ එංගලන්තයේ දී. ඒ කාලයේ මම නීතිය ඉගෙන ගන්න එංගලන්තයට ගොස් සිටියා. කුසුමුත් හිටියේ එංගලන්තයේ.
බැරිස්ටර්වරයකු වීමට එංගලන්තයට ගිය ඔබ හදිසියේ ලංකාවට ආවේ ඇයි?
සහෝදරයාගේ මරණය නිසා මට ලංකාවට එන්න සිද්ධ වුණා. මගේ සහෝදරයා (මුණිදාස වික්‍රමනායක) ඡන්දය ඉල්ලුවේ පිලිප් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණින්. අයියාගේ අවමංගල්‍ය උත්සවය වේලාවේ ජනතාව කතා කරලා මගෙන් ඉල්ලීමක් කළා ඔහුගේ මරණින් ඇතිවූ පුරප්පාඩුව පුරවන්න දේශපාලනය කරන්න කියලා.
ඔබගේ සහෝදරයාගේ දේහයට අලි ඇතුන් පවා ගෞරව කළ බවට විරල සිද්ධියක් මා අසා තිබෙනවා?
ඔව්, ඒ කාලයේ අපට අලි ඇතුන් එකළොස් දෙනෙක් හිටියා. අයියාගේ දේහයට ආචාර කළේ අපේ අලි ඇතුන්
හැටේ මාර්තු මැතිවරණයේ දී ඔබගේ ප්‍රතිවාදියා වූයේ කවුද?
එ.ජා.පයේ එම්.ඩී. එච්. ජයවර්ධන
ඔබ ඡන්දය ඉල්ලීමට මහජන එක්සත් පෙරමුණ තෝරාගත්තේ ඇයි?
මගේ සහෝදරයා සම්බන්ධකම් පැවැත්වූයේ පිලිප් ගුණවර්ධන මහතා සමගයි. ඒ නිසා මමත් මහජන එක්සත් පෙරමුණට ඉබේම තල්ලු වුණා.
කෙසේ නමුදු ඔබට වැඩි කලක් මන්ත්‍රී ධුරය දරන්න බැරි වුණා නේද?
මම මන්ත්‍රී ධුරය දැරුවේ දවස් දහයයි. අගමැති ඩඩ්ලි සේනානායකගේ ස්තූති යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න  පිලිප් ගත් තීරණයට විරුද්ධව මා ඇතුළු පක්ෂයේ තිදෙනෙකු ඡන්දය දුන්නා. මේ නිසා ඩඩ්ලිගේ ආණ්ඩුව පරාද වී ගෙදර ගියා. මේ සිද්ධියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරලා හැටේ ජූලිවල යළිත් වරක් මහ මැතිවරණයක් කැඳවූවා.
ඇයි ඔබ පිලිප්ගේ තීරණයට එරෙහි වූයේ?
පිලිප් ඇතුළු මහජන එක්සත් පෙරමුණ ඡන්දය ඉල්ලුවේ එ.ජා.පයට විරුද්ධවයි. ඒ නිසා මම කීවේ ඩඩ්ලි සේනානායකට විරුද්ධව ඡන්දය ඉල්ලුව නම් පාර්ලිමේන්තුවේදී ඩඩ්ලි රැක ගන්න ඡන්දය දෙන්නේ ඇයි කියලා. පාර්ලිමේන්තුවට ඇවිත් එජාපය රැකීම නුසුදුසු ක්‍රියාවක් ලෙසයි මා සැලකුවේ.
හැටේ ජූලි ඡන්දයේදී මොකද වුණේ?
මම ස්වාධීනව හොරණට තරග කරලා ජය ගත්තා.
Rathnasiri2කවුද ඔබේ ප්‍රතිවාදියා?
එජාපයේ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳීමට කවුද ඔබට ආරාධනා කළේ?
සිරිමාවෝ මැතිනිය තමයි ආරාධනා කළේ... පාර්ලිමේන්තුවේදී මට එතුමිය මුණ ගැසුණු වේලාවකදී කීවා “ස්වාධීනව ඉන්නේ මොකටද ඇයි අපෙත් එක්ක එකතු වෙන්න බැරි” කියලා. මම එතුමියට කීවා මේ ආරාධනාව ගැන මගේ පාක්ෂිකයන්ගෙන් අහන්න ඕනේ කියලා. ඉන්පසුව මම මේ ආරාධනාව ගැන හොරණ හිතමිතුරන්ට දැනුම් දුන් විට මම ශ්‍රී ල.නි.ප.යට බැඳෙනවාට ඔවුනුත් කැමැති වුණ නිසා මම මැතිනියට කීවා මම    පක්ෂයට බැඳෙන්න සූදානම් කියලා.
ඔබ නිදහස් පක්ෂයට බැඳුනේ මොන කාලයේදීද?
එක්දහස් නමසිය හැටතුනේ විතර.
හැටතුනේ කවුද ඔබගේ සමකාලීන මන්ත්‍රීවරුන් ?
සී.පී. සිල්වා තමයි සභානායකවරයා. එතුමා තමයි මැතිනිය ළඟට සිටි ප්‍රධාන චරිතය. ජෝර්ජ් රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ ලොකු තාත්තාගේ පුතා) ඇතුළු පිරිසක් ද අප සමග හිටියා.
හැටේ දශකයේ මැති සබය නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතරේ කවුද අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ?
කවුරුත් නෑ. ඉන්නේ මම විතරයි.
එතකොට දි.මු. ජයරත්න?
ඔහු පාර්ලිමේන්තුවට ආවේ හුඟාක් පස්සේ. හැත්තෑවේදී විතර.
සිරිමාවෝ බණ්ඩාරනායක ලෝකයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ලෝක වාර්තාවක් තබමින් මැති සබයට පත්වූයේත් හැටේ ජූලි ඡන්දයෙන් පසුවයි. ඇය පාර්ලිමේන්තුවට පැමිණි දවසේ මොකද වුණේ?
අපි සියලු දෙනාම බොහෝ සතුටට පත් වුණා. මොකද පක්ෂ දේශපාලනයට වඩා ඇය තැබූ ලෝක වාර්තාව අපේ රටට විශාල ගෞරවයක් වුණා. ඇය පාර්ලිමේන්තුවට ආවේ ලෝකයේ මුල්ම අගමැතිනිය ලෙසයි.
හැටේ දශකයේ ඔබ සමග පාර්ලිමේන්තුවේ හුන් ඩඩ්ලි සේනානායක කෙබඳු චරිතයක්ද?
ඔහු ප්‍රියමනාප මනුස්සයෙක්. විනෝදකාමියෙක්. ඔහු වරක් අන්තර් පාර්ලිමේන්තු සමුළුවට මා සමග එංගලන්තයට ගියා. ඒ ගමනේදී ඔහු දේශපාලනය ගැන වචනයක්වත් මා සමග කතා කළේ නෑ. එතුමා දේශපාලනය සීමා කළේ පාර්ලිමේන්තුවට විතරයි. ඒක ඔහුගේ හොඳ ගතියක්. මම එතුමාව අගය කරනවා.
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමග ඔබට තියෙන්නේ දීර්ඝකාලීන සමීප ඇසුරක්. ඇය කෙබඳු චරිතයක්ද?
මැතිනියත් සමග වැඩ කිරීමත් සතුටට කාරණාවක්. ඇගේ වැඩ අවුල් සහගත නෑ. පැහැදිලිව තියනවා. ඇය දේශපාලන ක්‍රීඩා පිටියේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනව සෙල්ලම් කිරීමට ඉඩ දුන්නා. හැබැයි පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි නොවන ආකාරයට.
කාන්තාවක් වුවත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය හැත්තෑ එකේ කැරැල්ලල ඇතිවූ වේලාවේ ඊට නිර්භීතව මුහුණ දුන්නේ කොහොමද?
කාන්තාවක් හැටියට පමණක් නොවේ පක්ෂ නායිකාවක් ලෙස ඇය කැරැල්ලට මුහුණ දුන් ආකාරය විශිෂ්ටයි. මට හොඳට මතකයි කැරැල්ල ඇති වූ වේලාවේ එතුමිය අපි සියලු දෙනාම කැඳවලා  රටේ ඇති වී තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කළා. මේකට මොකද කරන්නේ කියලා එතුමිය අපෙන් අදහස් විමසලා එතුමියගෙත් සැලසුම අපට කීවා. හැමදෙනාම මැතිනියගේ සැලසුමට එකඟතාව පළ කළා.
සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ ප්‍රබලතම චරිතය වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක ගැන එකල මැති ඇමැතිවරුන් අතරේ පවා විවේචන එල්ල වුණා නේද?
ෆිලික්ස් ඩයස් මා සමග නම් සුහදව කටයුතු  කළා. ඔහු තමයි මැතිනියගේ ප්‍රධානම උපදේශකවරයා. මැතිනිය එතුමා හරියට විශ්වාස කළා. නෑකම ඒකට හේතුවක් වෙන්නැති. කෙසේ නමුදු ඔහුගේ වැඩ ඇතැම් මැති ඇමැතිවරුන් අනුමත කළේ නෑ. ඒ නිසානේ ඔහු පරාජය වුණේ. ඡන්දයෙන් විතරක් නොවේ පක්ෂ යාන්ත්‍රණය තුළත් ෆිලික්ස් ඩයස් පැරදුනා.
එක් දහස් නමසිය හැටේ සිට හැත්තෑ හත දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔබ හැත්තෑ හතේදී පරාජයට පත් වූ මොහොතේ මොකද හිතුණේ?
අපි දේශපාලනය කරනවා නම් ජය මෙන්ම පරාජයටත් මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. මම දේශපාලනයෙන් ඒ කාරණාව ඉගෙන ගත්තු අයෙක් නිසා, හැත්තෑ හතේ පරාජය වුණා කියලා අමුතුවෙන් දෙයක් මට හිතුණේ නෑ. හැබැයි මට කවදාවත් හිතුණේ නෑ මේ වගේ සෝදාපාළුවක් ඇතිවේවි කියලා.
හැත්තෑ හතේදී ශ්‍රී ල.නි.ප මන්ත්‍රීවරුන් ගණන අටට බැස්ස වේලාවේ පක්ෂයේ මහ ‍ලේකම් ධුරයට පත් කෙරුණේ ඔබයි?
මැතිනිය තමයි මට කීවේ ‍ලේකම් ධුරය භාර ගන්න කියලා. ඒ වේලාවේ අප ලැබූ විශාල පරාජය නිසා පක්ෂයගොඩනගන්න අපට විශාල ලෙස මහන්සි වෙන්න සිද්ධ වුණා. තරුණ කමිටු, කාන්තා කමිටු ඇතුළු සියලු  කටයුතු අපට අලුතෙන් ගොඩනගන්න සිද්ධ වුණා.
අසූ දෙකේ දී ශ්‍රී ල.නි.ප ජනපති අපේක්ෂකයා ලෙස හෙක්ටර්  කොබ්බෑකඩුවට නාම යෝජනා දීමට මැතිනිය විරුද්ධ වුණේ ඇයි?
මැතිනිය හෙක්ටර් කොබ්බෑකඩුවට විරුද්ධ වුණේ ඇයි කියලා කියන්න මා දන්නේ නෑ. අද වනතුරු මට එය ප්‍රහේලිකාවක්.
පක්ෂයේ මහ ‍ලේකම්වරයා ලෙස ඔබ මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ කොහොමද?
කොබ්බෑකඩුව මහත්තයාට නාම යෝජනා දීමට පක්ෂයේ අනුමැතිය ගැනීම සඳහා මා මධ්‍යම කාරක සභාව රැස් කළා. ඒ වෙලාවේ මැතිනිය මට දුරකථනයෙන් කතා කරලා කීවා. “ඔය රැස්වීම පවත්වන්න එපා” කියලා. මම කීවා ඒක කරන්න බෑ. පක්ෂ ව්‍යවස්ථාව අනුව අපි ජනාධිපතිවරණයට කවුරුහරි ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඒ අපේක්ෂකයාගේ නම මධ්‍යම කාරක සභාව අනුමත කරන්න ඕනේ නිසා මට රැස්වීමක් කැඳවලා කොබ්බෑකඩුව මහත්තයාගේ නම ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා කියලා. ඔහුගේ නම අනුමත කිරීම නොකිරීම මධ්‍යම කාරක සභාවේ වැඩක් කියලා මම මැතිනියට කීවා. මධ්‍යම කාරක සභාවේදී කොබ්බෑකඩුව මහත්තයා ශ්‍රී ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඒකමතිකව තීරණය වුණා. මේ නිසා මා පක්ෂයේ ලාංඡනය ඇතුළු පක්ෂයේ අනෙකුත් පහසුකම් ගැනීමට කොබ්බෑකඩුව මහතාට බලය පවරමින් ලියුමක් දුන්නා.
සිරිමාවෝ බණ්ඩාරනායකගේ තීරණයට විරුද්ධව ඔබ ගත් තීරණය පිළිබඳ ඇය මොනවද කිවේ?
ඇය මුකුත් කීවේ නෑ. මැතිනිය මා සමග සුහදව කතා කළා. වැඩ කළා. ඒ විතරක් නොවේ කොබ්බෑකඩුව මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අකුල් හෙළුවේ නෑ.
මිහිරි ෆොන්සේකා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය