Powered by Blogger.



මෙරට කලා ක්‌ෂේත්‍රයේ බොහෝ දෙනෙක්‌ අතර බුහුමනට පාත්‍රව ඇත්තේ විශිෂ්ට රංගධරයකු ලෙසිනි. එපමණකුදු නොව ඔහු රංගනය හා බැඳුණු බොහෝ විෂය ක්‌ෂේත්‍රයන් රැසක දැනුම් ඇත්තෙකි. එහෙයින්ම ඔහුට රංගනයේදී "කරට කර" රඟපෑම යනු අරුමයක්‌ නොවන බව සැබෑය. දයා අල්විස්‌ සිය රංගන ජීවිතයේදී කරට කර රඟපෑ අවස්‌ථා හා කරට කර රංගනයේදී හමුවූ නළු නිළි පිරිස ගැන සෙනෙහසින් හා තෘප්තිමත්ව ආවර්ජනය කළේ මෙසේය.

ඔබ රංගනයට පිවිසුනේ වේදිකාව හරහා, ඒ කාලයේ ඔබ එක්‌ක රංගනයට එක්‌වූ නළු නිළියන් කවුද?

ඔව්... මම ආවේ වේදිකාවෙන්, රංජිත් ධර්මකීර්ති, ධර්මසිරි බණ්‌ඩාරනායක වැනි අයගේ වේදිකා නාට්‍යවලට තමයි මම සම්බන්ධ වුණේ. ඒ නාට්‍ය බලන්න ආපු විදග්ධ සිනමා කරුවන් මාව සිනමාවටත් සම්බන්ධ කරගත්තා.

ඒ අතර හිටියා පියදාස ගුණසේකර, ඩී. ආර්. නානායක්‌කාර, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, වින්සන්ට්‌ සේරසිංහ ඒ වගේ බොහෝ දෙනෙක්‌ සිටියා.

ඔබට ඒ අය සමග කරට කර රඟපාන්න සිදුවුණාද?

මෙහෙමයි.... ඒ අය නිකං ආවාට ගියාට රඟපාපු අය නොවෙයි. ඒ අයගේ රංගනයන් දැකීමෙන් තමයි, අපිට උද්දාමයක්‌ ඇතිවෙලා රංගනයට ප්‍රවිශ්ඨ වුණේ. එතකොට ඇත්තටම කරට කර කොහොම වෙතත් හොඳට රඟපාන්න සිද්ධ වෙනවා.

කරට කර රංගනයේ යෙදෙන එකට ඔබේ අර්ථකථනය "හොඳම" කියන වචනය නම් අපි ඒ ගැන දැනගන්න කැමැතියි.

මම මුලින්ම රංගනයට සිනමාවට ආවේ අමරනාත් ජයතිලකගේ තිලක හා තිලකා චිත්‍රපටයෙන්. ඒකෙදි මම ඉතා කෙටි කාලසීමාවක්‌ රඟපෑවා. මඩොල්දූව චිත්‍රපටයේ රඟපාන කොට මට උපාලි අත්තනායක, ධම්ම ජාගොඩ වගේ අය සමග රඟපාන්න ලැබුණා. ඉතිං ඒ අය එක්‌ක මම උපරිමයෙන් රඟපෑවා.

අපි ඇහුවොත් ධම්ම ජාගොඩ සමග රඟපාද්දී කරට කර රඟපෑවේ නැද්ද කියලා·

ධම්ම පසුකාලීනව මගේ සමීපතම මිත්‍රයෙක්‌ බවට පත්වුණා. ඔහු තමයි ලංකාවේ හොඳම රංග ශිල්ප ආයතනය බිහිකළේ. සිනමාවට නාට්‍යවලට සම්බන්ධ බොහෝ දෙනෙක්‌ ඒ දිනවල හවසට මුණගැහෙනවා. හැම දෙනෙක්‌ටම බොහෝ විෂයන් ගැන අවබෝධයක්‌ ලැබුණා. අපි හොඳ නිර්මාණවලට ගියේ ඒකමයි. ඇත්තටම ධම්මත් ඒ මට්‌ටමේ එතකොට ඔහුගේ දැනුමටත්, රංග පෞරුෂයටත් හානියක්‌ නොවන පරිදි රඟපාන්න මට සිද්ධ වුණා.

කරට කර රඟපෑ වෙනත් නළු නිළියන් කවුද?

ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙනිය, විජය කුමාරණතුංග ආදීන් සමග මට රඟපාන්න ලැබුණා. ඇත්තම කිව්වොත් මේ රඟපෑම් දරුණු සටනක්‌ වගේ. ඔවුන් සමඟ රඟපාන අයටත් ඒ චරිතයට ආවේශ විය යුතුව තිබුණා. එතකොටයි නියම රඟපෑම් රටාවට එන්නේ.

වේදිකාවේදී කරට කර රඟපෑම්වල අත්දැකීම් මොනවාද?

ඇත්තටම වේදිකාව තමයි, රංගන ශිල්පියකු නියම විදියට ජීවත්වෙන තැන. බොරු කරන්න අමාරුයි. ධම්ම ජාගොඩ, අයිරාංගනී සේරසිංහ, මාලනී රණසිංහ, ටි්‍රලිෂියා ගුණවර්ධන, ලූෂන් බුලත්සිංහල, ධර්මසිරි බණ්‌ඩාරනායක මේ අය ඉතාම ප්‍රබල රංග ශිල්පියෝ. ඒ අය සමග රඟපෑ වේදිකා නාට්‍ය පවා ඉතාම ඉහළ තැනක තිබුණෙ. පේමතී ජායතී සොකෝ, මකරාක්‌ෂයා, මෝදර මෝල, රං කඳ වගේ හොඳ නාට්‍ය ගණනාවක අපි කරට කර රඟපෑවා. මට කියන්න සතුටුයි මේ දැවැන්තයන් සමග රඟපාලා මට දෙවරක්‌ සම්මාන හිමිවුණා. එතකොට ඔබටම හිතාගන්න පුළුවන් කොයිතරම් විශිෂ්ට "කරට කර" රඟපෑමක්‌ද කියන කාරණය.

මොනවටද ඒ සම්මාන ලැබුණේ.

මකරාක්‌ෂයා වේදිකා නාට්‍යයට හා ධම්ම ජාගොඩ ගේ තක්‌සලා නාඩගමටයි.

යම් රංගනයක යෙදෙන කොට එකිනෙකා අතර ඝට්‌ටනයක්‌ ඇති නොවන්නට කරට කර රඟපෑමට කළමනාකරණය කරගත්තාද?

අපි කරන්නේ "චරිත" අපි ඉතාම සියුම්ව ඒ චරිත ගොඩනගනවා. පිටපත කියවීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් ඒ කාර්යය කරනවා. ඇත්ත වශයෙන්ම අපේ නළු නිළියන් බොහෝ දෙනෙක්‌ට ඒ නිසාම විශිෂ්ට රංගනයක්‌ ඉදිරිපත් කරන්න අවස්‌ථාව ලැබුණා.

මොනවද කරට කර රඟපාද්දි ලැබුණු අත්දැකීම්.

මෙහෙමයි, අපි කරපු හැමදෙයක්‌ම අත්දැකීම් තමයි. මම එහෙම කියන්න හේතුවක්‌ ඇතිව. දැන් වේදිකාවේ හෝ සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල රංගනයේ යෙදෙන කොට අපි අපි අතර හොඳ සහසම්බන්ධතාවක්‌ ගොඩනැගී තිබුණා. අනෙකාගේ දෙබස්‌ උච්චාරණය, ප්‍රකාශ කිරීම්, ඉරියවු මේ හැම දෙයක්‌ ගැනම අපි පිටපතටත් වඩා අවධානයෙන් හිටියා. ඒ නිසාම එකිනෙකා පරයා යනවාට වඩා අපි සම මට්‌ටමේ රංගනයක යෙදුණා. එතකොට දෙදෙනාගේම දක්‌ෂතාවන් එළියට ආවා. මම හිතන්නේ ඔබ "කරට කර" යන්නෙන් අර්ථගන්වන්නෙත් ඒකමයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය