Powered by Blogger.

‘වන්ෂොට්’ කළු ජූලිය වෙලාවේ දෙමළ රත‍්‍රන් කඩ මංකොල්ල කාලා බටහිරට අවශ්‍ය අස්ථාවර රටවල් බවත් එම රටවල් එකතු වී මැදපෙරදිග පාලකයින් එළවා දැමූ රටවල් අද සියල්ල අස්ථාවර රටවල් බවට පත්වී තිබෙන බවත් ශ්‍රී ලංකාව අද සමඟියෙන් ඉදිරියට යන නිසා නැවත මේ රටේ ජනකොටස් අතර බෙදීමක්, නිර්මාණය කිරීමට බටහිරට අවශ්‍ය වී තිබෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස්  පළ කළේ රුපියල් ලක්ෂ 141 වියදමින් මුළුමනින්ම ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ් පාස් “ ද මෙල් වත්ත ” මහල් නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ප්‍රධාන අරාධිතයා වශයෙන් පසුගියදා සහභාගී වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ අපේ රටේ සාමය සංහිඳියාව හදන්න බටහිර රටවල්වලට අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය සාමය, සංහිඳියාව වගේ වචන ඉස්සරහට දාලා ඇතිවෙමින් පවතින සංහිඳියාවන් නැතිකරන්න. ඇතිවන සමඟියත් නැතිකරන්න. ඔවුන් මැදපරෙදිග රටවල්වලට ගිහින් ඒවායේ පාලකයන්  හොඳ නැහැ කියලා එළෙව්වා. එහෙම එළවලා ඔවුන් හැදුවේ හොඳ රටවල්ද? අද ලිබියාවට ඊජිප්තුවට මොකද? වෙලා තියෙන්නේ. ඔවුන් හැමදාම මරාගන්නවා. අද ඉන්න පාලකයා නෙමෙයි හෙට ඉන්නේ. ඒවා දැන් අරාජික වූ රටවල්.  මැද පෙරදිග කලාපයේ තිබූ පාලකයන් සිඳදැමූ සේරම  රටවල් අද අසරණයි. බටහිරට අවශ්‍ය  නැහැ. ස්ථාවර රටවල්. ඔවුන්ට අවශ්‍ය  අස්ථාවර අබල දුබල රටවල්. ඒ වගේම වැනෙන, වැටෙන රටවල්.
එහෙත් ශ්‍රී ලංකාව අද සාර්ථකව ඉදිරියට යන නිසා මේ රටේ ජනකොටස් තුන අතර තියෙන මොකක් හෝ පුංචි විරසකයක් පාවිච්චි කරලා, ඒ විරසකය ඉතා විශාල කරලා ලෝකයට පෙන්නලා ඔවුන් හදන්නේ අපේ රටත් අස්ථාවර කරන්න. එහෙත් අගනුවර ජීවත්වන සිංහල දෙමළ මුස්ලිම් කාහටත් විශේෂ වගකීමක් තියෙනවා.
දෙමළ ඩයස්පෝරාව කියලා එකක් ලෝකයේ නිර්මාණය වුණේ කළු ජූලිය නිසා. ඒ විතරක් නෙවෙයි මරාගෙන මැරෙන සාමාජිකයන් කොටි සංවිධානයට එකතු වුණේ ඒ නිසා. කළු ජූලිය සාමාන්‍ය ජනතාවගේ නිර්මාණයක් නොවෙයි. අර හමුදා  සෙබළුන් 13 දෙනාගේ පළිය ගන්නයි කියලා හමුදාවට හා පොලිසියට නිවාඩු දීලා තමන්ගේ මැරවරයින් පාරට බස්සලා කරපු වැඩක්. එහි වගකීම බාරගත යුත්තේ එදා රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසිනුයි.
දැන්  නළුවෙක් ඉන්නවා පාර්ලිමේන්තුවේ. එයා මැද පෙරදිග ගෘහ සේවිකාවන් පිළිබඳ වැඩිපුර කතා කරන නළුවෙක්.  අන්න මීගමුව කඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පැමිණිළි පොතේ තියෙනවා ඒ නළුවාගේ නම. ඔන්න ජාතික සමඟිය කතා කරන අය.  වන්ෂොට් එදා මීගමුවේදී කළු ජූලිය වෙලාවේ  දෙමළ ජනතාවගේ  කඩ ඇතුළට පැනපු වෙලාවේ කඩන්න බැරි රත්තරන් බඩු  දාලා තිබුණු සේප්පුවක් තිබිලා තියෙනවා.  ඒ පැමිණිල්ලක තියෙනවා අර කඩන්න බැරි සේප්පුවෙන් එයා රත්තරං බඩු ටික ගත්තේ අලවංගුව ගෙනත් ගහලා කියලා. වන්ෂොට් කියන්නෙ ගැලපෙන නම. රන් සමනල ජෝඩුව වාගේ කිව්වට එයාලා එහෙම අය.
කොටි සංවිධානය උඩින් ඇවිත් කොළඹ නගරයට බෝම්බ දාපු කාලයේත් මේ කොළඹ නගරයේ ජනතාව ගැටුණේ නැහැ.  දෙමළ ජනතාවට හිරිහැර වන ක්‍රියාවලියකට සිංහල ජනතාව තල්ලුවෙන ආකාරයෙන් කටයුතු කළේ නැහැ. මේ කොළඹ නගරයේ සිදුවූ එකම කළුපැල්ලම කළු ජූලිය. ඒ කාලේ පොලිසියට හා හමුදාවට නිවාඩු දීලා  තමන්ගේ ගෝලබාලයන්ට කොල්ල කන්න ඉඩදුන්නා.
එදා ඒ කළ ක්‍රියාවෙන් තමයි දෙමළ ජනතාව වැඩි වැඩියෙන් අන්තවාදයට තල්ලුවුණේ.  දෙමළ දරුවන් මරාගෙන මැරෙන සාමාජිකයන් වීමට පෙළඹුණේ.  දෙමළ ඩයස්පෝරාවක් යුරෝපයේ නිර්මාණය වූයේ මේ කළු ජූලිය නිසා. එදා කළු ජූලිය සිදුවුණේ නැත්නම් මේ තත්ත්වය නිර්මාණය වන්නේ නැහැ. ඒක සාමාන්‍ය ජනතාව නිර්මාණය කළ දෙයක් නෙවෙයි.  ඉතා සැළසුම් සහගතව කළ දෙයක්. එහෙම නැත්නම් වන් ෂොට්ගේ නම පොලිස් පොතේ තියෙන්න බැහැ. අපි දැන් ඒ අවාසනාවන්ත අතීතය පිළිබඳවම මතක් කර කර ඉඳලා වැඩක් නැහැ.
කොළඹ  නගරයේ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් දීමට වත්මන් රජය කටයුතු කරනවා. එතකොට විරුද්ධ පක්ෂය කියන්නේ ඉඩම් මංකොල්ල කන්න හදනවා කියලා. නුසුදුසු ජනාවාස ඉවත් කරලා ඒවා වෙනුවට සුදුසු ජනාවාස හදලා ඉතිරිවෙන ඉඩම්වලත් අද හදන්නේ නිවාස යෝජනා ක්‍රම තමයි. මිහිඳුපුර නිවාස  යෝජනා ක්‍රමය සඳහා ගෙවල් ඉවත් කරලා ඒ ජනතාව මිහිඳුපුර නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි කළා. ඒත් දැන් නිවාස කඩපු තැන නිර්මාණය වන්නේත් නව නිවාස ව්‍යාපෘතියක් තමයි. විපක්ෂය ඉතින් මේ ඉඩම් චීනයට, කොම්පැනිවලට දෙන්න යනවා කියලා විවිධ දේවල් කියනවා.
අද මුදාගත් උතුර නැගෙනහිර ප්‍රදේශවලට ඉතා විශාල වශයෙන් මුදල් ආයෝජනය කරමින් ඉතා විශාල සංවර්ධන කටයුතු කරනවා වගේම වැඩි අවධානයක් මේ කොළඹ නගරය වෙනුවෙන් අප යොමුකර තියෙනවා. මෙතන කළමනාකරණ සංස්ථාවේ සභාපතිතුමා දෙමළ ජාතික මහත්මයෙක්, ලේකම්තුමිය සිංහල ජාතික මවක්. ඉතිං එහෙම තමයි කොළඹ නගරයේ හැටි. අපිට ඕන මුළු ලංකාවම එහෙම වෙනවා නම්. දෙමළ කෙනා, මුස්ලිම්කෙනා එක එක පැත්තට අඳින්නේ නැතුව සියළුදෙනා තමන්ගේ ප්‍රදේශයේ සංවර්ධනයට වැඩ කරන රටක් තමයි අපට අවශ්‍ය. ඔන්න මෙතන සුළු ජාතිකයින් බහුතරයක් ඉන්නවා කියලා අපි මේ වැඩේ කළා නම් ඔබට කියන්න පුළුවන් අපි ජාතිවාදී කියලා. සමහර දෙමළ පත්තරවලට අනුව මම තමයි ලොකුම ජාතිවාදියා. මම තරම් ජාතිවාදියෙක් තවත් නැහැ. ඒ පත්තරවලින් කියන ජාතිවාදියා මං නම් ඒ ජාතිවාදියා කවදාවත් මේ නිවාස යෝජනා ක්‍රමය නම් ප්‍රතිසංස්කරණය කරන්නේ නැහැ. ඒ පත්තරවල ඉන්න ජාතිවාදියා ඇත්තටම මම නම් ඔහු බලනවා මෙතන සිංහල කොච්චර ද කියලා.
අපි මේ රට බෙදනවාට, මේ රට කඩනවට විරුද්ධයි. රට බෙදන්න හදන්නේ කවුද? කවුරු වුණත් ඒකට විරුද්ධයි. ඒ වගේම ජනතාව අතර අසමඟිය හදන්නේ කවුද? ඒ කවුරු වුණත් අපි ඒකටත් විරුද්ධයි. අර මොකක්ද? සේනාවක් ඇවිල්ලා පසුගිය කාලේ මුස්ලිම් විරෝධයක් ඇතිකරගෙන ආවා. එහිදී අපි අපේ මතය කිව්වා. අපි අපේ මතය සෘජුව කිව්වා විතරක් නොවෙයි ඒ විනාශකාරී ප්‍රවනතාවය දුර්වල කරන්න සෑම පියවරක්ම අපි ගත්තා. යුද්ධය ඉවරයි දැන් ඒක අතීතයට අයිතියි. මේ ජන කොටස්වල සමඟිය අපි ගොඩනැගිය යුතුයි. ඒ යුද්ධය අතීතයට අයිතියි. ඒ යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. ය දිනලා ඉවර වුණා නම් ඒකත් අපිට පිළිගන්න වෙනවා. හමුදාව දිනලා ඉවර වුණා නම් ඒකත් අපිට පිළිගන්න වෙනවා. දැන් ඒ අතීතය අවසන්.  එය හාර හාර ඉන්න අපිට පුළුවන්කමක් නැහැ ” යනුවෙන්ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වර්ෂ 1980 දී ඉදිකළ “ ද මෙල් වත්ත ”  නිවාස යෝජනා ක්‍රමය එවකට නිවාස අමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් 1982 දී ජනතා අයිතියට පත්කරන ලදී. මෙහි A,B,C,D,E,F වශයෙන් මහල් නිවාස ගොඩනැගිලි 6 ක් පිහිටා ඇත. බිම් මහල හා මහල් 3 කින් සමන්විත එක් ගොඩනැගිල්ලක නිවාස 16 ක් පිහිටා ඇති අතර ගොඩනැගිලි 6 හිම නිවාස 96 ක් පිහිටා ඇත.
- Con. Media
———-
ප‍්‍රතිසංස්කරණයට පෙර තත්වය
kolaba-14-De-Mel-Watta-Mahal-Niwasa-sankeernaya-pratisanskaranayata-pera kolaba-14-De-Mel-Watta-Mahal-Niwasa-sankeernaya-pratisanskaranayata-pera'
ප‍්‍රතිසංස්කරණයට පසු තත්වය
SAN_9776 SAN_9809

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය