Powered by Blogger.

'සිරි දළදා ගමනයට'
නිෂ්පාදනයෙන් දායක වීම

පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමි

හේමමාලා - දන්ත කුමරුවන් විසින් අති උතුම් දළදා වහන්සේ භාරතයේ සිට ලක්‌දිවට වඩමවාගෙන එන ලද අසිරිමත් සිදුවීම මේ දිනවල තිරගත වන "සිරි දළදා ගමනය" චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සනත් අබේසේකරගේ සිනමා නිර්මාණයක්‌ වන මේ චිත්‍රපටය බෞද්ධ ජනතාවගේ අතිශය ආකර්ෂණ දිනාගනිමින් මේ දිනවල තිරගත වන්නේ උතුම් දළදා වහන්සේට කෙරෙන පූජෝපහාරයක්‌ ලෙසිනි. බෞද්ධයන්ගේ පමණක්‌ නොව අබෞද්ධ පිරිස්‌ අතර පවා දළදා වහන්සේ කෙරෙහි ඇත්තේ විශ්මය දනවන හැඟීම් සමුදායකි. මන්ද, අතීතයේදී භාරතයේ පවා රජකමට පත්වන පුද්ගලයාගේ වැදගත්ම සුදුසුකම බවට පත්වූයේ දළදා වහන්සේ තම රාජ්‍ය සතු කරගැනීමය. ලක්‌දිවට වැඩම වීමෙන් පසු මේ බව වඩාත් පැහැදිලිව කැපී පෙනුණු අතර ලක්‌දිව කිරීටය ලබාගත් සැවොම දළදා වහන්සේගේ භාරකාරත්වය ද හිමිකරගත යුතු විය. එබැවින් දළදා වහන්සේ සලකනු ලබන්නේ ආශ්චර්යවත්, අති උතුම් වස්‌තුව ලෙසය. නොයෙක්‌ වර දළදාව අහසට පැන පෙළහර පෑ අවස්‌ථා ද අතීතයේ සඳහන් වේ. ඉදින් දළදාව ද දළදා ගමන ද මේ රටේ බෞද්ධයන්ගේ පරම උරුමයයි. "සිරි දළදා ගමනය" මෙම උරුමය ගැන කියන රූපමය කතාන්දරයයි. මෙය හුදෙක්‌ තනි නිර්මාණයක්‌ නොව, සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. අධ්‍යක්‍ෂණය, තිර රචනය පමණක්‌ නොව, නිෂ්පාදනය ද මෙහි වැදගත්ම කාරණයකි. රුපියල් කෝටි හතක්‌, නොහොත් ලක්‍ෂ හත්සියයක්‌ තරම් මුදලක්‌ වැය කර තැනූ මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳව ප්‍රේක්‍ෂක සමූහයා සාක්‍ෂි දරනු නොඅනුමානය.

'සිරි දළදා ගමනයේ' සම නිෂ්පාදකවරුන් දෙදෙනෙකි. එක්‌ අයෙක්‌ ඊ. ඒ. පී. සමූහයේ සභාපතිනිය සෝමා එදිරිසිංහ මහත්මියයි. අනෙක්‌ පසින් චිත්‍රපටයේ නිෂ්පාදක කාර්යයෙන් දායකත්වය සපයන ලද්දේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකි. සමාජ සද්කාර්යයන්ට, සසුනට මහත්ම සේවාවක නිරතව සිටින උන්වහන්සේ නම් ශාස්‌ත්‍රපති පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිපාණන්ය. ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර ධම්මදීප භාවනා මධ්‍යස්‌ථානාධිපති වහන්සේ ලෙස වැඩවාසය කරන උන්වහන්සේ ගම්පහ මාලිගාතැන්න ලෙන් විහාරයේද කලක්‌ වැඩ වාසය කළහ.

ඔස්‌ටේ්‍රලියාවේ දහම් ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින අතරතුර සෑම වර්ෂයකම ශ්‍රී ලංකාවේ දිළිඳු දරුවන්, ගැබිනි මාතාවන්, රෝගීන්, වයෝවෘද්ධ මවු-පියවරුන් වෙනුවෙන් තම කරුණාබර හදවතින් ඇප උපස්‌ථාන කිරීමේ සමාජ සේවනය සඳහා මෙරටට වඩින උන්වහන්සේ තම දෛනික ආගමික සේවාවෙන් එහා ගිය ආගමික, සමාජයික හා සංස්‌කෘතික වශයෙන් බෞද්ධ අබෞද්ධ ජනසමාජය වෙත තම දිවියේ උතුම්ම දායාදය පුදදීමේ අරමුණින් 'සිරි දළදා ගමනය' චිත්‍රපටයට හවුල් වූ බව අප සමඟ පැවසුවේ ඉකුත් දිනෙක ශ්‍රී ලංකාවට පැමිණ සිටි කෙටි චාරිකාවකදී අපට හමුවූ මොහොතේදීය.

මේ එහිදී උන්වහන්සේ "දිවයින" ට දැක්‌වූ අදහස්‌ය.

"පැවිදි දිවියේ වසර 40 ක්‌ මම ධර්ම දේශනාවෙන් බුදුන්ගේ භක්‌තිය, ශ්‍රද්ධාව, ධර්මයේ බලය හා ආනිශංස ගැන මිනිසුන්ට දේශනා කළා. බුදුන්ගේ ගුණ අප්‍රමාණව පැහැදිලි කර දුන්නා. භික්‍ෂුවක්‌ ලෙස අදත් මම පැය 20 කට වැඩි කාලයක්‌ ගෙවා දමන්නේ මෙරට, පිටරට ජනතාවගේ සිත් බෞද්ධ දහමෙන් පෝෂණය කරවීම සඳහායි.

මම විශ්වාස කරන්නේ බුදුන් වහන්සේගේ බලය, ශක්‌තිය, විශ්මයජනක බව, ශ්‍රද්ධාව පෙන්වා දිය හැකි එකම පූජනීය වස්‌තුව දළදා වහන්සේ කියලයි. අද එම වස්‌තුව ශ්‍රී ලංකාව නම් මාගේ මාතෘභූමියේ වැඩ වාසය කිරීම අපට විශාල ගෞරවයක්‌. පිනක්‌. අතීතයේ භාරතයේදී පවා දළදා වහන්සේ විනාශ කරන්නට කුමන්ත්‍රණ සිදුකෙරුණා. ගින්දරට විසි කළා. කිණිහිරිය මත තියල තලන්න උත්සාහ කළා. නමුත් ඒ අවස්‌ථාවල දළදා වහන්සේ රැස්‌ විහිsදවමින් අහසට පැන නැගල ප්‍රාතිහාර්යය පෑවා. මේ ආශ්චර්යය දැකල ධාතූන් වහන්සේට රජවරු පුද පූජා කළා. දළදාව ලබාගන්න සටන් පවා සිදුකළා. ඒ නිසයි දළදා වහන්සේ ලංකාවට හොරෙන් වැඩමවාගෙන ආවේ.

ලංකාවේදීත් පරසතුරන් දළදාව විනාශ කරන්න හැදුවා. බැරිවුණා. බුදුන්වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ බලය, ශක්‌තිය අදත් නොනැසී උතුම් දළදා වහන්සේගේ තිබෙනවා. එය බුද්ධ බලයයි. බුදුන්වහන්සේ ප්‍රාතිහාර්යය පාන්න කටයුතු කළ කෙනෙක්‌ නොවුණත් මිත්‍යාදෘෂ්ටික මත ඉදිරියේදී එසේ කිරීම අත්‍යවශ්‍ය වුණා. නියං කාලයේදී වර්ෂාව ලබන්නත් අදත් දළදා පෙරහැර පුද පූජාව සිදුකෙරෙනවා.

මේ ආශ්චර්යය ගැන වගේම බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස මම මගේ ශාස්‌තෘවරයාණන් වහන්සේ ගැන කතා කළ යුතුයි. බුදුන්වහන්සේ පිරිනිවන් පෑ දිනයේ පටන් අද දක්‌වාත් බෞද්ධ භික්‍ෂූන් තමයි ශාසනය රැකගත්තේ. එවන් කටයුතු ගැන හිතලයි මම මේ චිත්‍රපටයට දායක වෙන්න තීරණය කළේ. දළදා වහන්සේ වැඩවාසය කරන රට තමයි භාග්‍යවන්තම රට හැටියට සැලකෙන්නේ. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් චිත්‍රපටය හදන්න පිටපත සකස්‌ කළ සනත් අබේසේකර මහතා හොඳින් කරුණු කාරණා අධ්‍යයනය කරලා චිත්‍රපටයට අත ගැසුවා. ඒ සඳහා ඔහු හොඳින්ම සිරි දළදාගමනය මේ චිත්‍රපටයේ නිරූපණය කළා. මේ සඳහා විශාල මුදලක්‌ වැයවන බව අප දැනගෙන සිටියා. තරුණ හේමමාලා දන්තකුමරු ජීවිත පරිත්‍යාගයෙන් අපට ලබාදුන්න මේ සම්පත ගැන අපට චිත්‍රපටයක්‌ කරන්නවත් බැරි නම් එයින් ඵලක්‌ නැහැ කියල මම හිතුවා.

ඒ නිසා නිෂ්පාදන කාර්යයට අත ගැහුවා. මට ඒ වන විට මුදල් තිබුණේ නැහැ. නමුත් මම විශ්වාස කළා ඔස්‌ටේ්‍රලියාවේ මගේ බෞද්ධ පින්වතුන් මට උදව් කරයි කියල. ඒකට මට සහතිකයක්‌ ඔවුන් දුන්නා. මම හිතන්නෙ මම තමයි චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න දායක වුණු ප්‍රථම බෞද්ධ භික්‍ෂුව. මේ අභියෝගය මම භාරගත්තත් විශාල මුදලක්‌ වැය කිරීම ප්‍රශ්නයක්‌ වුණු නිසා අප මේ ගැන සෝමා එදිරිසිංහ මහත්මිය සමඟ සාකච්ඡා කළා. එතුමිය එකපයින්ම මේකට කැමැති වුණා. ඒ අනුවයි අපි සම නිෂ්පාදකයො වුණේ. ලෝකයේ කිසිදු බෞද්ධ රටකට දළදාව හිමිකර ගැනීමේ භාග්‍යය ලැබුණේ නැහැ. ඉතින් අප රටට ලැබී ඇති මෙම භාග්‍යයේ තරම ලෝකයටම කියන්න මේක හොඳ අවස්‌ථාවක්‌. මේ තරම් අවස්‌ථාවක්‌ මගේ ශාසනික සේවාවට ආයිමත් ලැබෙන්නේ නැහැ. බෞද්ධ භික්‍ෂුවක්‌ ලෙස කළ හැකි වැදගත්ම මෙහෙවර දළදා වහන්සේ ගැන කියෑවෙන මේ රූප පෙළහරට දායක වීම ලෙස මම සලකනවා. මට මේ උතුම් බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරගන්න දායකත්වය සැපයූ ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි බෞද්ධයන්, ලංකාවෙන් දායකත්වය සැපයූ අය මම ගෞරවයෙන් සිහිපත් කරනවා" යෑයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය