Powered by Blogger.

Money SLකාර්යාලයේ මිතුරෙක්ට පසුගියදා අපූරු ආකාරයේ රුපියල් සියයේ නෝට්ටුවක් ලැබි තිබුණේය. ඒ නෝට්ටුව හොර  නෝට්ටුවක් නොවේ. එහෙත් එය සාමාන්‍ය රුපියල් සියයේ මුදල් නෝට්ටුවකට වඩා වෙනස් රූප රටාවන්ගෙන් යුක්ත විය. නෝට්ටුව පුරාම ලියා තිබුණේ “මම ඔයාට ආදරෙයි” යනුවෙනි. ඒ රූප රටා ඇඳ තිබුණේ මුදල් නෝට්ටු නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොවේ. කිසියම් අයෙකු මේ මුදල් නෝට්ටුව ගෙන එහි රූප රටා ඇඳ තිබුණේය. මේ හේතුවෙන් ගනුදෙනුවකදී භාවිතා කළ නොහැකි තරමට මේ මුදල් නෝට්ටුව විනාශ වී තිබුණි.
බස් රථවල ගමන්ගන්නා මගීන් කොන්දොස්තරවරුන් සමග නිතරම ගැටුම් ඇතිකරගන්නා හේතු අතර ඉහළින්ම තිබෙන්නේ නෝට්ටු පිළිබඳ ප්‍රශ්නය. ඉරී, ‍පොඩිවී, තවත් අයෙකුට ලබාදිය නොහැකි මුදල් නෝට්ටු බස් කොන්දොස්තරවරුන් දුන් විට ඔවුන් සමග ගැටුමට යන මගීන් නිතර දැකිය හැකි දසුනකි. මෙවැනි සිද්ධීන් ඇතැම් විට වෙළඳසැල්වලදීද දැකිය හැකිය.
ඉරුණු, අපිරිසිදුවූ මුදල් නෝට්ටු පාරිභෝගිකයින්ට පමණක් නොව මහ බැංකුවටද හිසරදයකි. විටින් විට පළුදුවූ හා අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු නිකුත් කිරීමට මහ බැංකුව පියවර  ගන්නේ මේ නිසාය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව නිකුත් කරන මුදල් අතරින් වැඩි ප්‍රමාණයක් මුදල් නෝට්ටුය. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට 2012 වසර වන විට රුපියල් බිලියන 318ක මුදල් සංසරණය වෙමින් තිබුණේය. මෙයින් සියයට 98ක්ම නෝට්ටු විය. එම වසරේදී රුපියල් බිලියන 75ක නව මුදල් නෝට්ටු නිකුත් කර තිබුණේය. ඒ අතරම රුපියල් මිලියන 159.6ක පළුදුවූ මුදල් නෝට්ටු විනාශ කෙරිණි.
බැංකුවකින් නිකුත් කරන නව මුදල් නෝට්ටු ටික කලක් යන විට භාවිතයට ගත නොහැකි තරමේ අපිරිසිදු පළුදුවූ මුදල් නෝට්ටු බවට පත්වන්නේ වැරදි පුරුදු නිසාය. මුදල් නෝට්ටුවක් අතට පත්වූ විට එය පිළිවෙළකට තමන්ගේ මුදල් පසුම්බියේ තැන්පත් කරගන්නවා වෙනුවට සැලකිල්ලකින් තොරව ඒවා තබාගන්නා ආකාරය කොතෙකුත් දැකිය හැකිය. මුදල් නෝට්ටු ‍පොඩි කර, වැරදි ආකාරයට භාවිතා කරන ආකාරය පහසුවෙන් දැකිය හැක්කේ මාළු වෙළදසැල් හා ‍පොළවල් වලදීය. වෙළෙඳුන් තමන්ට ලැබෙන   මුදල් ‍පොඩිකර මුදල් දමන ලාච්චුවල දැමීම එදිනෙදා දැකිය හැකිය. මාළු වෙළඳුන් මාළු ඇල්ලූ අතින්ම මුදල් නෝට්ටු අල්ලන නිසා ඇතැම්විට බැංකුවල තැන්පත් කරන මුදල්වල මාළු කොර‍පොතුද තිබෙන අවස්ථාද තිබේ. මේ නිසා ඒවා ඉවත් කිරීමට බැංකු නිලධාරීන්ට සිදුවෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන ආකරයට මුදල් නෝට්ටු පළුදු කරන තවත් පිරිසක් වන්නේ බස් කොන්දොස්තරවරුන්ය. ඔවුන් මුදල් නෝට්ටු දෙකට නමා ඇඟිලිකරු තුළ රඳවාගැනීම නිසා මුදල් භාවිතා කිරීමට හැකි ආයු කාලය ක්‍රමයෙන් අඩුවී යයි.
ජනතාවගේ නොදැනුවත්භාවය හා නොසැලකිල්ල නිසාද මුදල් නෝට්ටු පළුදුවී යයි. නෝට්ටුවල ආරක්ෂිත නූල ළමුන් විනෝදයට මෙන් ඉවත් කිරීම නෝට්ටු පළුදුවීමට හේතුවන කරුණු අතර වෙයි. බැංකුවල මුදල් තැන්පත් කිරීමේ පුරුද්දක් නොදක්වන ඇතැම් වැඩිහිටියෝ තවමත් එක් එක් තැන්වල මුදල් සඟවා තබති. එසේ තබන මුදල් වේයන් වැනි සතුන්ට ගොදුරු වීම නිසා නෝට්ටු විනාශ වේ.
අපිරිසිදු මුදල් නෝට්ටු අතරින් බහුතරය රුපියල් 10,20,50 නෝට්ටුය. ඒ මුදල් නෝට්ටු අපිරිසිදු මුදල් නෝට්ටු බවට පත්වන්නේ නිතරම භාවිතයට ගැනීම නිසාය. ජනතාව අතර එම මුදල් සංසරණය වනවා මිස බැංකුවල අඩු වටිනාකමකින් යුත් නෝට්ටු තැන්පත් කරන ප්‍රවණතාවයක් නැත. ඒ නිසා අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැත.
ජනතාව අතර සංසරණය වන අපිරිසිදු මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු ලබාදීමේ වැඩසටහනක් මහ බැංකුව විසින් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ. එහි එක් වැඩසටහනක් මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වූයේ නියමු ව්‍යාපෘතියක් ලෙසින්ය. මාතර දිස්ත්‍රික්කයේ සියලුම බැංකුවල පළුදුවූ නෝට්ටු හුවමාරු කිරීම සඳහා වෙනමම කවුන්ටරයක් විවෘත කළේ මාතර දිස්ත්‍රික්කයේ බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අංශය එක්වය. එහිදී සංසරණය වෙමින් තිබූ පළුදුවූ නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු ගැනීමේ අවස්ථාව උදාවිය.
කිසියම් අයෙකු අත පළුදුවූ හෝ අපිරිසිදු නෝට්ටු ඇත්නම් ඕනෑම බැංකුවක් වෙත ගොස් ඒ වෙනුවට අලුත් නෝට්ටු ලබාගත හැකිය. එයට එම බැංකුවේ ගනුදෙනුකරුවෙක් වීම අවශ්‍ය නොවේ. බැංකු ගිණුමක් නොමැති අයෙක්ට පවා බැංකුවකට ගොස් පළුදුවූ නෝට්ටු ලබාදී අලුත් නෝට්ටුවක් ගැනීමේ හැකියාව දැන් උදාවී ඇත. ඒ සඳහා වන උපදෙස් මහ බැංකුව විසින් සියලුම බැංකුවලට ලබාදී තිබේ.
බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් මුදල් ගැනීමේදී අලුත් නෝට්ටු ලබාදීමට වගබලාගන්නා ලෙස මහ බැංකුව විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබුණි. ඒ අනුව ඒ.ටී.එම්. යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ගැටලුවක් මතුවන්නේද නැත. කිසියම් බැංකුවකින් අපිරිසිදු හෝ පළුදුවූ මුදල් නෝට්ටුවක් ලබාදෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට අලුත් නෝට්ටුවක් ලබාගැනීමේ අයිතිය ගනුදෙනුකරුවා සතුය. එසේ අපිරිසිදු හෝ පළුදුවූ මුදල් නෝට්ටු බැංකුවකින් ලබාදෙන්නේනම් ඒ ගැන මහ බැංකුවට පැමිණිලි කිරීමටද හැකිය.
මුදල් නෝට්ටු පිරිසිදුව භාවිතා කිරීමේ වගකීම මහජනතාව සතුය. පිරිසිදුව නෝට්ටු භාවිතා කරන්නේනම් මුදල් පසුම්බියක් භාවිතා කළ යුතුය. මුදල් පසුම්බියේ පිළිවෙළකට නෝට්ටු තැන්පත් කරගැනීමෙන් වැඩි කාලයක් නෝට්ටු භාවිතා කළ හැකිය. මහ බැංකුව සඳහන් කරන ආකාරයට කාන්තාවන්ද මුදල් නෝට්ටු භාවිතා කරන ආකාරය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. කාන්තාවන් නෝට්ටු ගුලි කර තමන්ගේ අත් බෑගයේ දමාගැනීමේ පුරුද්දට තිත තැබිය යුතු යැයි මහ බැංකුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය