Powered by Blogger.

කොවුලා කවුද කපුටා කවුද කියලා දන්න අය දන්නවා

වාහනයක රතු කට්‌ට පනිනවා කියන්නේ අනතුරක සේයාවක්‌ අත ළඟ කියන එකයි. ඒ වගේ තමයි පුද්ගලයෙකුට, කලාකරුවෙකුට රතු කට්‌ට පැන්නොත් මොකද වෙන්නේ. ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් සමඟ අපි කතා කළේ ඒ ගැන.

ඔහු කතාව පටන් ගත්තේම "අපෝ මට කේන්ති යන්නේ නැහැ. ඒ නිසා කවදාවත් රතු කට්‌ට පනින්නේ නැහැ" කියාගෙනය.

ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ රතු කට්‌ට පනින එක තැනක්‌ තමයි, සංගීත ප්‍රසංගවල පෝළිම පනින කොට. එතකොට නිහාල් අයියාට කේන්ති යන්නෙ නැද්ද?

මට එහෙම කවුරුත් කරලා නැහැ. එහෙම කළත් මට කේන්ති යන්නේ නැහැ. මොකද මම ඉවසීම පුරුදු කරලා තියෙන්නේ. රතු කට්‌ට පනින තැනට ආවම එතැනදීත් ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. සමහරු කියනවානේ මම ඉවසලා ඉවසලා බැරිම තැනයි කේන්ති ගත්තේ කියලා. හැබැයි අපි එතැනදිත් ඉවසන්න ඕනේ.

මම කියන්න තියෙන දේ මූණටම කියනවා. ඒක වෙන කතාවක්‌. එහෙම කිව්වට පස්‌සේ ඒ කතාව එතැනින් ඉවරයි. මම ඒක මතක තියාගෙන ඉන්නේ නැහැ. මතක තියාගෙන ඉඳලා කේන්ති පිරිමහන ගතිය මගේ නැහැ.

සමහරු ඉන්නවා නිහාල් අයියව අනුකරණය කරන අය. නිහාල් අයියා වගේ කොන්ඩෙ වවලා, කණ්‌නාඩි දාලා, ඔයා වගේ මයික්‌ එක උඩ දාලා "වෙන්ඩ නිහාල්' පිරිසක්‌ ඉන්නවා. ඒ අය දැක්‌කාම රතු කට්‌ට පනින්නෙ නැද්ද?

ඒව දැක්‌කාට කේන්ති යන්නේ නැහැ. එතකොට තමයි සන්තෝෂ හිතෙන්නේ. යම් කිසි කෙනෙක්‌ ස්‌ථාවර වෙලා ප්‍රසිද්ධ වෙනකොට තමයි එයාව කවුරු හරි අනුකරණය කරන්නේ. එතකොට අපි කේන්ති ගන්න හොඳ නැහැ. අනුකරණය කරන්න කරන්න වෙන්නේ අනුකරණයට ලක්‌වෙන කෙනා ජනප්‍රිය වෙන එකයි.

ආධුනික ගායක ගායිකාවෝ ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරනව. සමහරු ඒ ප්‍රවීණයන්ගේ නමවත් සඳහන් කරන්නේ නැහැ. ඔබටත් එවැනි අත්දැකීම් ඇති. ඒ වෙලාවට නම් රතු කට්‌ට පනිනවා ඇතිනේ...

කොවුලා කවුද, කපුටා කවුද කියලා සමාජය අඳුනනවා. එතකොට කොවුලාට තැන දීලා සමාජය විසින් කපුටාව අයින් කරනවා. කපුටාත් ඉන්න එපෑ. එතකොටනෙ කොවුලන්ව පේන්නේ.

සමහර ආධුනිකයෝ ප්‍රවීණයන්ට සලකන්නේ නැහැ කියනවා.

මට නම් එහෙම වෙලා නැහැ. ඕනෑම ළමයෙක්‌ මාව දැක්‌කාම 'නිහාල් අයියා, කොහොමද?" කියලා කතා කරනවා. මොකද අපි ගැන සමාජය දන්නවා. තමන් අනිත් අයට සලකන විදියට තමයි ඒ අයත් සලකන්නේ. අපි ප්‍රතිපත්තිගරුකව, කෙලින් කතාකරනවා නම් අපිව කේන්ති ගස්‌සන්න කාටවත් බැහැ. තමන් තමන්ට කේන්ති යන වැඩත්, අනුන්ට කේන්ති යන වැඩත් කරන්නේ නැත්නම් කවදාවත් රතු කට්‌ට පනින්නේ නැහැ.

මට කේන්ති යනවා නම් මේ ක්‍ෂේත්‍රයේ මෙච්චර කල් ඉන්න බැහැනේ. ඉවසීම නැතුව කිසිම දෙයක්‌ කරන්න බැහැ. අපි දහම්පාසලට ගිහිල්ලා ඉගෙන ගත්ත දේවල් අනුව පොඩි කාලෙදිම ඉවසීම ඉගෙන ගෙන තියෙනවා. ඒක ක්‍රමානුකූලව පුහුණු කරපුවාම රතු කට්‌ට අයින් කරගන්න පුළුවන්. මම එහෙම රතුකට්‌ට අයින් කරගෙනයි ඉන්නේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය