Powered by Blogger.

ගණන 1500යි
නඩේගුරා වන්නේ පරිසර ඇමැතිවරයා
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය
සාරංග අලහප්පෙරුම සමග සාකච්ඡාවක්
සිරිපා වන්දනාව සඳහා ලංකාවේ ලොකුම නඩය රැගෙන යන්නට මධ්‍යම පරිසර අධිකාරිය කල්පනා කළේ ඇයි?
ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක් එක වසරක් තුළ වැඩි වශයෙන් ගමන් කරන්නේ තමන්ගේ ආගමික ස්ථානයට. මූලික වශයෙන් අප මේ නිරීක්ෂණයට එළැඹීමට එයත් හේතුවක් වුණා.
 ඔබගේ කල්පනාවට අනුව, නැතිනම් ගණනය කිරීම්වලට අනුව එය වසරකට කොපමණ වතාවක්ද?
සාමාන්‍යයෙන් ගතහොත් වසරකට 30 වතාවක් පමණ ඔවුන් තම ආගමික ස්ථානය වෙත යනවා.
 මෙයට සාපේක්ෂව ජනතාව ප්‍රධාන වශයෙන් ගමන් කරන අනෙකුත් ගමන් බිමන් මොනවාද? සාමාන්‍යයෙන් වසරකට කීවතාවක් ඔවුන් එවැනි ගමන් බිමන්වල යෙදෙනවාද?
සාමාන්‍යයෙන් ලංකාවේ එක් අයෙක් වෛද්‍යවරයෙකු හමුවීම සඳහා වසරකට පස් වතාවක් හෝ හයවතාවක් යනවා. තමන්ගේ දරුවෙකු වෙනුවෙන් මෙම ගණන වසරකට 25 වතාවක් පමණ වෙනවා. ඒ අනුව ජනතාව ආගමික ස්ථානයන් වෙත ඇදී එන අවස්ථා ගණන මේ සියල්ලටම වඩා ඉහළයි.
එයින් අදහස් වන්නේ රටක් භෞතික වශයෙන් දියුණු වන්නට දියුණු වන්නට ඔවුන් තමන්ගේ ආත්මීය මෙහෙවර සඳහා වැය කරන වාර ගණන වැඩි කරන බවයි. උදාහරණයක් වශයෙන් ප්‍රවාහන පහසුකම් වැඩිවීම සහ මාර්ග සංවර්ධනය ආදී කාරණාත් එයට බලපා තිබෙනවා. යුද්ධය නිමාවීමත් සමග නාගදීපය වන්දනා කරන පිරිස අතිශයින් වැඩිවීමම එයට හොඳ උදාහරණයක්.
 දැන් නැවතත් අප මුල් ප්‍රශ්නයට ගියොත්, ඔබගේ මෙම දැවැන්ත චාරිකාවට හේතුව එම ප්‍රතිශතය වැඩිවීමද?
ඇත්තෙන්ම ඔව් එවැනි චාරිකා ප්‍රමාණය වැඩිවීමත් සමග ඊට සාපේක්ෂව බලපෑ අතිශයින් වැදගත් ප්‍රශ්නයක් මීට බලපා තිබෙනවා.
ද කුමක්ද ඒ ප්‍රශ්නය?
මිනිස්සු පන්සලට ගියත්, පල්ලියට ගියත්, වෙනත් විනෝද චාරිකාවක ගියත්, ඒ ගමනේ යෙදෙන වැඩි දෙනෙකු පරිසර හිතකාමීව ඒ කටයුත්ත නොකිරීම තමයි මේ ප්‍රශ්නය.
 මෙය අප රටට පමණක් සීමාවූ ප්‍රශ්නයක් ද? නැතිනම් මුළු ලෝකයටම ‍පොදු කරුණක්ද?
නැහැ, මුළු ලෝකයටම ‍පොදු කාරණයක්. උත්සව කාල සීමාවන්ට පසු මුළු ලෝකයේම එවැනි ප්‍රදේශ විශාල වශයෙන් මිනිසා අතින් අපිරිසිදු වෙනවා. අපි මීට ප්‍රථම සාකච්ඡාවකදී සඳහන් කළ පරිදි, ලෝකයේ උසම තැන වන එවරස්ට් කඳු මුදුනේ මෙන්ම මුහුදේ ගැඹුරුම තැන වන මරියානා ආගාධයේත් ප්ලාස්ටික් බඳුන් සහ බියර් කෑන් එකතුවී තිබෙනවා.
 අප දැන් ඔබේ නඩය සිරිපාද වන්දනාවට යොමු කර ගැනීම ගැන කතා කරමු.
ලෝකයේ ප්‍රධාන පෙළේ ආගමිකයින් ගණනාවකට තම තමන්ගේ හද පත්ලෙන් නැගී එන උපරිම භක්තියෙන් වන්දනා කළ හැකි ලොව ඇති එකම සිද්ධස්ථානය ලෙස සැලකිය හැක්කේ සිරිපාදයයි. ඒ අනුව බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් යන ආගම්වලට අයත් භක්තිකයින් කිසිදු භේදයකින් තොරව එකට ගමන් කර සිරිපතුල වැඳ ගැනීමට චිරාත් කාලයක් මුළුල්‍ලේ පුරුදුව සිටිනවා.
ඒ කටයුත්ත සඳහා එක දිගට මාස 6ක කාලයක් වෙන්වී තිබෙන ස්ථානය මෙන්ම ලෝකයේ   
දුෂ්කරම ගමන් මාර්ගයක් සහිත ආගමික වන්දනා භූමියත් මෙයයි. ඒ වගේම ලෝකයේ අති සුන්දරම පරිසර පද්ධතියක පිහිටා තිබෙන ඉතා වටිනා පූජනීය ස්ථානයක් ලෙසත් සිරිපාදය ප්‍රධාන තැනක් ගන්නවා.
මෙන්න මේ කාරණා අනුව අප අදහස් කළා “පරිසර හිතකාමී වන්දනාවක්” යන අදහස ලෝකයට හඳුන්වාදීම සඳහා සිරිපාද වන්දනාව තෝරා ගැනීමට. මෙය ජාතික කටයුත්තකට එහා ගිය ජාත්‍යන්තර අවධානයට පවා ලක්විය යුතු  කටයුත්තක් ලෙසයි අප දකින්නේ.
 සමස්ත ලෝක මට්ටමෙන් ගත්තත් ඒ සඳහා සුදුසුම ස්ථානය වශයෙන් ඔබ දකින්නේ සිරිපාදස්ථානයද?
ඔව් ජාත්‍යන්තර මට්ටමෙන් ඒ කාරණයට අතගැසුවත් ඒ සඳහා කෙනකුට තෝරා ගැනීමට ඇති සුදුසුම ස්ථානය වන්නේ ශ්‍රී පාදස්ථානයමයි. ඇත්තෙන්ම මෙය ලෝකයේ අති දුෂ්කරම වන්දනා ගමනක්. එම දුෂ්කරම වන්දනා ගමන පරිසර හිතකාමීව වැඳ පුදා ගන්න හැකියාවක් ලැබෙනවා නම් වැදගත්ම දෙය එයයි. ඒ පණිවුඩය වඩා තීව්‍රර වන ලෙස ජනතාවට ලබාදීමට හැකි ස්ථානය සිරිපාදයයි. මන්ද එය ඉතා වටිනා සහ ඉතා සුන්දර පරිසර පද්ධතියක් හරහා කෙරෙන වන්දනාවක් නිසා, පරිසර හිතකාමීව තම තමන්ගේ ආගමික ස්ථාන  වැඳ පුදා ගැනීමට ඉඩ සැලසීමේ අපේ කටයුත්ත ආරම්භ කරනු සඳහා සිරිපාද වන්දනාව වඩාත් සුදුසු යැයි තීරණය  කිරීමට මේ කාරණාත් හේතු වුණා.
 මේ සඳහා කොපමණ පිරිසක් සහභාගි වීමට නියමිතද?
මූලික වශයෙන් 1000කුත් 1500කුත් අතර පිරිසක් මෙයට සහභාගි කර ගැනීමට බලා‍පොරොත්තුව සිටිනවා.
 මෙම පිරිස එකතු කර ගත්තේ කොයි ආකාරයටද?
මෙවැනි කාර්යයකදී පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒ සඳහා ආදර්ශමත් විය යුතු යැයි අපි කල්පනා කළා.
විශේෂයෙන් පරිසරය රැකීමේ කටයුත්තට මුල්වන පිරිස් මේ සඳහා සහභාගි කරවා ගැනීමට අප බලා‍පොරොත්තු වෙනවා. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගෙන් ඉතා වැඩි දෙනකුත් පරිසර අමාත්‍යංශයට අනුබද්ධිත අනෙකුත් අමාත්‍යංශවල සේවක මහත්ම මහත්මීනුත් මූලික වශයෙන් මෙම නඩයට ඇතුළත් වෙනවා.
මේ සඳහා පරිබාහිර අයගේ සහභාගීත්වය කොයි ආකාරයද?
ඒ සඳහා පරිසර සංවිධාන නියෝජිතයින්, මාධ්‍යවේදීන්, පාසල් දරු දැරියන්, විශ්වවිද්‍යාල  සිසු සිසුවියන් සියලුම ආගම්වල පූජ්‍ය පක්ෂය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, ජාතික සංවිධානවල නියෝජිතයින් ආදී බොහෝ දෙනකු අප විසින් සහභාගි කර ගන්නවා. ඒ හැරුණු කල විවිධ රටවල තානාපති නිලධාරීන් සහ ආගමික නායකයන්ද, පරිසර හිතකාමීන්ද මෙයට සහභාගි වෙනවා මේ පිරිස සමග පරිසර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද සහභාගි වෙනවා. කොටින්ම කියනවා නම් සියලු වෘත්තිකයන් සහභාගි වන රටේ හරස්කඩක් මේ නඩයෙන් සංකේතවත් වෙනවා.
 ඔබලාගේ සිරිපා වන්දනාව පටන් ගන්නේ කවදාද?
අප්‍රේල් 05 වෙනිදා රාත්‍රියේ.
 මේ අනුව සමස්ත ඉතිහාසය මුළුල්‍ලේ සිරිපාදේ ගිය ලොකුම නඩය මෙයද?
ඔව් ලොකුම නඩය මෙයයි. 1500 ක පමණ නඩයක් කියන්නේ පුංචි දෙයක් නොවෙයි.
 මේ දැවැන්ත නඩයේ නඩේගුරා කවුද?
හරියටම බැලුවොත් නඩේගුරා වෙන්නේ පරිසර ඇමැතිතුමා. ශ්‍රී පාදස්ථානයේ අධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයද මෙයට හිමිවී තිබෙනවා.
 වන්දනාවේ ගිය පිරිසක් බස් එකට එකතු කර ගැනීමත් සමහරවිටක ප්‍රශ්නයක්. කොහොමද මේ සා පිරිසක් වන්දනාව සඳහා සංවිධානය කරගනු ලබන්නේ?
මූලික වශයෙන් අපි මේ පිරිස කොටස් 2 කට කඩා සිරිපාදයට වැටී ඇති ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ගමන් කරවීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව හැටන් නල්ලතන්නියෙන් අප්‍රේල් 05 වෙනිදා රාත්‍රී 10.00ටද, රත්නපුර මාර්ගයෙන් රාත්‍රී 6.00ටද මේ පිරිස් දෙක සිය ගමන ආරම්භ කරනවා. ඒ ඒ තැන්වලින් සහභාගි වන පිරිස් අප දැනටමත් සංවිධානය කර  අවසානයි.
ඉන්පසු අපේ අරමුණ වන්නේ 06 වෙනිදා උදෑසන 05ට උඩමළුවේදී අප සියලු දෙනා එකට හමුවීම. ඉන්පසු පෙ.ව. 6.00 සිට 7.00 දක්වා විශේෂ කිරිපිඬු පූජාවක් පවත්වා යළිත් සුපුරුදු මංමාවත් ඔස්සේ පහළට බසින්නට කටයුතු පටන් ගන්නවා.
 මේසා විශාල පිරිසකට සිරිපතුල මත ඉඩ තිබෙනවාද?
ඇත්තෙන්ම සිරිපතුල මත මේසා විශාල පිරිසකට ඉඩ නැහැ. ඒ නිසා අපෙන් කොටසකට පහළට බසින්නට සිදුවෙනවා.
ඔබලාගේ පිරිස පමණක් නොවෙයි තවත් අය සිරිපාදේ යනවා නේද? ඉතින් තදබදයක් ඇතිවිය නොහැකිද?
ඇත්තෙන්ම අපි ඒ ගැනත් සොයා බැලුවා. වැඩි දෙනකුගේ අදහස වුණේ මෙම 05, 06 සතිඅන්තය වන විට වන්දනාකරුවන් අඩුවෙනු ඇති බවයි.
ඒ හැරුනු කල අනෙකුත් බැතිමතුන් ඒ දින දෙකෙහි සිය නිවෙස්වලට වී මේ කටයුත්ත දෙස බලා සිටින්නට කැමති නම් එය මේ සද්කාර්යයට ලබාදෙන ඉතා හොඳ අනුග්‍රහයක් යැයි මා සිතනවා.
මේ සා විශාල කාර්යයක් සඳහා බරපැන දරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින්මද?
නැහැ. ඒ සඳහා විවිධ පෞද්ගලික අංශ අපට සහාය ලබා දෙනවා. ඒ හැරුණු කල රතු කුරුස සංවිධානය, සෞඛයදාන සංගමය ආදී සංවිධාන සුපුරුදු පරිදි අපටත් ඒ සේවය  ලබා දෙනවා. අප සමගත් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය අංශවලට අදාළ පිරිස් ගමන් කරනවා.
 පරිසර හිතකාමී  වන්දනාවක් වුවත් ඔබේ නඩය දහසකට වැඩියි. මෙම නඩය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමිද? ප්ලාස්ටික්  බෝතලයක්වත්  ගෙනියන්නේ නැද්ද?
ඔව් මේ පිරිස හැකි ඉහළම මට්ටමින් පරිසර හිතකාමීයි. ඊළඟ කරුණ නම් වඩා වැදගත් වන්නේ අපි ප්ලාස්ටික් භාවිතා  කරනවාද නැතිද යන්න නොව, ඒවා භාවිතා කරන ආකාරයයි.
 සිරිපා වන්දනාව එයටම ආවේණික සංස්කෘතික ලක්ෂණවලින් හෙබි දෙයක්. මෙම ගමනේදීත් එම ගුණාංග ආරක්ෂා වෙනවාද?
ඇත්තෙන්ම ඔව්. ඒ සඳහා අපි සියයේ සහ පනහේ කුඩා නඩ වශයෙන් මේ පිරිස වෙන් කර නඩේගුරාලා පවා පත්කර තිබෙනවා. සාමාන්‍යයෙන් සිරිපතුල වන්දනාවට යන නඩයක්  විසින් අනුගමනය කරනු ලබන සියලු චාරිත්‍ර වාරිත්‍ර එනම් කට වරද්දා නොගැනීම, ආවේණික වදන් භාවිතය ආදියේ පටන් අග්ගලා වැනි ආහාර ලබා දීම දක්වා ඒ සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉටු කෙරෙනවා.
 අප සමග යන සියලු දෙනා ගමන් කරන්නේ සුදු පැහැති ජර්සියකින් සැරසීවීමත් විශේෂයයි.
නඩේ ගුරාලා සොයා ගත්තේ කොහොමද? ඒ පිරිස තුළින්මද?
සුදුසු අත්දැකීම් ඇති අය පිරිස තුළ සිටිනවා නම් එහෙමයි. නැතිනම් අපි ඒ සඳහා  පළපුරුදු අය පිටින් එකතු කර ගත්තා. මේ හැම දෙයක් සඳහාම සිරිපාද ස්ථානයේ නායක හිමිපාණන්ගේ අනුශාසකත්වය ඉතා වැදගත් වුණා. ඒ වාගේම අපේ පාරිසරික අමාත්‍යතුමන් වන සුසිල් ප්‍රේමජයන්ත මහතා පාසල් සිසුවෙකුව සෞඛ්‍යදාන සංවිධානයේ කටයුතු කරද්දී  සිරිපතුල මුදුනේ සතියක් නැවතී සිට ලැබූ අත්දැකීමුත් අපට  එකතු කර දුන්නා.
ඔබලාගේ මෙම වන්දනා ගමන සිරිපා හිමේ පරිසරය උදෙසා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ  කොයි ආකාරයටද?
මූලික වශයෙන් සිරිපා කඳු මුදුනේ තිබෙන  ප්ලාස්ටික් ‍පොලිතින් සහ කුණු එකතු  කරගෙන පහළට බැසීම  අපේ මූලික  අරමුණ වී තිබෙනවා. ඒ වගේම මේ මොහොතේ කඳු මුදුනේ තිබෙන කුණු පාර්සල් කර තබන ලෙසත් අප දක්වා තිබෙනවා. අප මේ ගමනේ ආපසු  එද්දී ඒවාත් රැගෙන පහළට එනවා. අපේ කාර්යය ගැන කියවෙන පුවරු කීපයක් සවි කිරීමත් ස්ථාවර බැනර් කීපයක් දමා ඒමත් මෙහිදී සිදුවෙනවා.
 එය සියලුම වන්දනාකරුවන්ගේ සහභාගීත්වයෙන් කෙරෙන්නක්ද?
ඔවුන්ටත් ඒ සඳහා සහභාගි විය හැකියි. නමුත් ඒ සඳහා අප සමග විශේෂයෙන් වෙන්වුණු පිරිසක් සිටිනවා. අදාළ පළාත් සභාවල සහයෝගයද අපි මේ සඳහා ලබා ගන්නවා.
 ලෝකයේ මේ ආකාරයේ පරිසර හිතකාමී වන්දනාවක යෙදුණු
පළමුවෙනි අවස්ථාව මෙයද?
අප දන්නා තරමින් පළමුවෙනි අවස්ථාව මෙය තමයි.
 සාමාන්‍යයෙන් පරිසරය රැකගැනීමට කරනු ලබන ඇතැම් ව්‍යාපෘතිවලින් පසුව සිදුවන  පරිසර  හානිය කලින් තිබුණාට වඩා වැඩියි. මෙතනදී එවැන්නක් වීමට ඉඩ  නැතිද?
එවැනි අවස්ථා තිබෙනවා. ඒ නිසා අපි ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව මෙම පාරිසරික වන්දනාව කාබන් මුක්තවීම හැකිතාක් අඩු ව්‍යාපෘතියක් බවට පත් කිරීමට හැකි තාක් උත්සාහ දරා තිබෙනවා.
 ඒ කොයි ආකාරයටද?
පැළ හිටුවීමෙන්. මේ ගමන අවසානයේ  එක් ස්ථානයක අපි ඒ නඩයේ එක සාමාජිකයෙකු එක පැළයක් බැගින් සිටුවීමට කටයුතු  යොදා තිබෙනවා. මෙවැනි වැඩසටහනකදී මුක්ත වන කාබන් ප්‍රමාණය සමතුලිත කිරීම සඳහා ලෝකය පිළිගත් විද්‍යානුකූල සමීකරණ තිබෙනවා. ඒ අනුව තමයි අපි ගමන අවසානයත් සමග පැළ සිටුවීම තෝරා ගත්තේ. ඒ හැරුණු කල සිරිපාදය සඳහා විශේෂ කසළ කළමනාකරණ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් අප බලා‍පොරොත්තු වෙනවා.
 මෙය සිරිපාදයට පමණක් සීමා වූ කරුණක්ද? අනික් වසරේත් මේ විදියට සිරිපාදය නගිනවාද?
නැහැ කතරගම, මඩු පල්ලිය , තලවිල ආදී සිද්ධස්ථාන වෙත ඒවාට ආවේණික සංස්කෘතික ලක්ෂණ රැක ගනිමින් මේ ගමන යාමට අප බලා‍පොරොත්තු වෙනවා. මෙය හුදෙක් සිරිපාදය නැගීම සහ බැසීම කියන කාරණයෙන් එහාට ගිය ජාත්‍යන්තර අවධානයට ලක්වූ කටයුත්තක් බවට පත්කර ගැනීමයි මධ්‍යම පරිසර අධිකාරියේ අරමුණ වන්නේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය