Powered by Blogger.

Ranmanikaඅනුරාධපුර සාලියපුර පදිංචි වී සිටින බි.ආර්. රන්මැණිකා කාගේත් අවධානයට යොමු වූයේ වරක් දෙවරක් නොවේ. ඊට බලපෑ ප්‍රධාන කාරණාව වන්නේ ඈ දෙද්දුව ජයතුංගලාගේ සිරිපාල නොහොත් මරුසිරාගේ බිරිඳ වීමය. ඒ නිසාම සිරිපාලගේ ජීවන තොරතුරු අළලා නිර්මාණය කෙරුණු චිත්‍රපටයේ රන්මැණිකාගේ තොරතුරුද ඇතුළත් විය. ඒ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේය. ඒ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගත් රන්මැණිකා දශක තුන හමාරක් ගෙවී යන තැන යළි රටේ කතාබහට ලක්වූවාය. ඊට හේතු වූයේ පසුගිය 21 වැනි සිකුරාදා ඈ බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට යෑමය. ඇගේ සැමියා වන සිරිපාල එල්ලා මරා දැමූ එල්ලුම් ගස දුටු ඈ එහිදී හඬා වැලපීමේ සංවේදී දසුන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම නැවතත්  රන්මැණිකා මාතෘකාවක් බවට පත් වූවාය.
මහනුවර බෝගම්බර බන්ධනාගාරය නැරඹීමට යෑමේ සිදුවීම පාදක කරගනිමින්  රන්මැණිකා සමග මෙම සම්මුඛ සාකච්ඡාව කරන්නට යෙදුණේ ඇගේ හද සසල කළ එකී සංවේදී මොහොත පිළිබඳව තොරතුරු  දැනගැනීමේ අටියෙනි.
ඔබ පසුගිය සිකුරාදා බෝගම්බර හිරගෙදර නරඹන්න  ගිය ගමන ඉතා සංවේදී දසුනක් ලෙස අප මාධ්‍ය තුළින් දුටුවා. අපි ඒ ගැන කතා කරන්න කැමතියි.
මා එක්ක ගෙදර ඉන්න දුවයි මිණිපිරියයි මගේ නංගියි තමයි මේ ගමන ගියේ. බෝගම්බර හිරගෙදර පෙන්වන  බව මාධ්‍යයෙන් ප්‍රචාරය වුණාම මම එස්.එම්. චන්ද්‍රසේන  ඇමැතිතුමාට කිව්වා මටත් හිරගෙදර බලන්න යන්න ආසයි කියලා. ඇමැතිතුමා කිව්වා යන දවස දැනුම් දෙන්න. එදාට වාහනයක් එවන්නම් කියලා . ඉතින් මම 21 වැනි සිකුරාදා යන්න කැමතියි කියලා ඇමැතිතුමාට කිව්වා. ඒ පාර  මට ගෙදරට වාහනයක් එව්වා. මේ අවස්ථාවේදී මට මේ ගමන යෑමට පහසුකම් සලසා දීපු එස්.එම්.  චන්ද්‍රසේන  ඇමැතිතුමාට මුලින්ම ස්තූතිය පුද කරන්න කැමතියි.
ඔබ එහි යන විට ඔබ සිරිපාලගේ බිරිඳ රන්මැණිකා බව එහි සිටින පිරිස දැනගෙන සිටියාද?
මම දන්නා හඳුනන මාධ්‍ය හිතවතුන් කීප දෙනෙක් සිටිනවා. මම ඒ අයට දුරකථනයෙන් දැනුම් දුන්නා. මම එහි යන බව. ඒ නිසා එහි සිටින පිරිස මම එන බව දැනගෙන සිටියා. ඒ නිසාම අපිට ‍පෝලිමේ ඉන්න වුණෙත් නැහැ. අපිව ඉක්මනට ඇතුළට අරං බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම නරඹන්න ඉඩ ප්‍රස්ථා  සලසා දුන්නා. මේ අවස්ථාවේ මම මාධ්‍ය හිතවතුන්ටත් බන්ධනාගාර මහත්වරුන්ටත් ඒ ගැන ස්තූතිය පළ කරන්න කැමතියි.
බෝගම්බර බන්ධනාගාරයට පිවිසෙන විට ඔබේ සිතට දැනුණේ මොන වගේ හැඟීමක්ද?
අනේ මම සිරිපාලව බලන්න කී පාරක් මේ බන්ධනාගාරයට ඇවිත් තිබෙනවාද? ඒත් අද එයාව බලන්න නමෛයිනේ එන්නේ. අද එයා නැහැනේ කියලා මට විස්තර කරන්න බැරි තරම් ලොකු වේදනාවක් හිතට දැනුණා. අද එයා ජීවත් වෙලා හිටියා නම් කියලා හිතුණා.
එල්ලුම් ගහ දකින විට විශේෂ හැඟීමක් දැනුණද?
අනේ මම ආපු මෝඩකම කියලා මට එකපාරටම හිතුණා. එල්ලුම් ගහ දකින විට මට ඇතිවුණු වේදනාව දරාගන්න බැරි තරම්.
සිරිපාල එල්ලා මැරූ තැන වශයෙන් බෝගම්බර බන්ධනාගාරය නැරඹීමේ විශේෂ වුවමනාවක් ඔබට තිබුණාද? එසේ නැතිනම් පසුගිය දිනවල එය නැරඹීමට පිරිස යන විටදීද ඔබටත් ඒ ගැන අදහසක් ඇති වුණේ?
සිරිපාලව එල්ලලා මැරුවාට පස්සේ ඉඳලා බෝගම්බර හිරගෙදර බලන්න යන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒත් ඒකට ඉඩ ප්‍රස්ථාවක් සැලසුණේ නැහැ.  මෑතකදී බෝගම්බර හිරගෙදර නැරඹීමට අවස්ථාව ලබා දෙන බව මාධ්‍යයෙන් නිවේදනය කළාම මම දුවට කිව්වා මට කොහොම හරි යන්න ඕනෑ කියලා. එහෙම තමයි මේ ගමන ගියේ.
ඔබ සමග ගමනට සහභාගි වුණේ සිරිපාලගේ දියණියද?
නැහැ. ඊට පසු කසාදයේ දුව. ඒ දුව තමයි මා ළඟ ඉඳගෙන මාව බලාගන්නේ.
ඔබ සිරිපාලගේ දුවට ගමනට කතා කළේ නැතිද?
එයා විවාහ වෙලා ටිකක් දුරින් ඉන්නේ. මම එයාට මේ ගමන ගැන කිව්වා. සිරිපාලගේ බිරිඳ කියලා කියන්නේ නැතිව සාමාන්‍ය විදියට ගිහින් බලලා එන්න කිව්වා. මම එහි ගිහින් මාධ්‍යයෙන් පෙන්නපු නිසා ඒ දුව මා එක්ක තරහ වෙලා. ඉස්සර හැමදාම මට කතා කරලා දුක සැප අහනවා. ඒත් දැන් සුමානෙකින් ඒ දුව කතා කළේ නැහැ.
බෝගම්බර බන්ධනාගාරයේ සිරිපාලව රඳවා තැබූ මැදිරි එහෙම බන්ධනාගාර නිලධාරීන් ඔබට පෙන්වන්න ඇති නේද?
ඔව්. එල්ලුම් ගහට නියම වෙලා එල්ලන්න පෙර අවසාන දවස් හත රඳවා තැබූ අඳුරු කාමර හත එහෙම පෙන්නුවා.
එය දකින විට ඔබට මොන විදියේ හැඟීමක්ද ඇතිවුණේ?
සිරිපාල හිරේ ඉන්න කා‍ලේ මම අනන්ත අප්‍රමාණ දුක් වින්දා. මම බඩගින්නේ හිටියා. කිරිදරුවාට පිටි කිරි දීලා මම කුලී වැඩට ගියා. ඒ කොහොම වුණත් මම ඉර හඳ තරු එළිය බල බලා හරි ජීවත් වුණා. ඒත් සිරිපාල කිසිම එළියක්  නැතිව කළුවර කාමරයේ කොහොමද ජීවත් වුණේ  කියලා මට හිතාගන්න බැරි වුණා.
සිරිපාලව එල්ලා මරණයට පත් කළ දිනය මතකද?
1975 අගෝස්තු 05 වැනිදා.
ඔබ සිරිපාලව අවසන් වතාවට බලන්න ගියේ කවදාද?
මම අගෝස්තු 01 වැනිදා මිරිස් කඩ කඩා ඉන්නකොට ටෙලිග්‍රෑම් එකක් ආවා සිරිපාලව අගෝස්තු 5 වැනිදා එල්ලන බව දන්වලා. ඒ වේලාවේ මගේ අතේ සල්ලි තිබුණෙත් නැහැ. ඒ පාර මම සලාක කාඩ් එකට දීපු සීනි රාත්තල් 2 අරං විකුණලා රු. 20.00 ක් අරගෙන තමයි අවසාන වතාවට සිරිපාලව බලන්න ගියේ. ඒ අගෝස්තු 02 වැනිදා.
සිරිපාලව එල්ලුම් ගසට රැගෙන යන විටදීත් ඔහු මරණයට පත්වී සිටි බවට රාවයක් තිබුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
ඒ කතාව ඇත්ත. දවසක් මට වාහනයක් එවලා ඇල්ලෙ‍පොල කාර්යාලයට එන්න කියලා මම ගියා. එතනට සිරිපාලව එල්ලා මැරූ  අළුගෝසුවන් දෙදෙනාත් හිරගෙදරට බණ දේශනා කරන්න වැඩම කළ හාමුදුරුනමත් පැමිණ සිටියා. මට මතකයි හාමුදුරුවෝ කිව්වා බණ දේශනා කරන්න වැඩම කළ විටදීත් සිරිපාල මියගොස් සිටි බව. මැරුණු අයට බණ කියන්නේ කොහොමද කියලා හාමුදුරුවෝ ආපසු වැඩම කළ බවත් හාමුදුරුවෝ පැවසුවා. අළුගෝසුවන් දෙදෙනාත් කිව්වා සිරිපාලව එල්ලන්න ගෙන එන විට මියගොස් සිටි බව. කකුල්වලින් ඔසවලා බෙල්ලට තොණ්ඩුව දැමූ බවත් ඒ අය කිව්වා.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ ඔබට සිරිපාල වෙනුවෙන් යම් පියවරක් ගත හැකිව තිබුණ නේද?
අනේ ජීවත් වෙන්නවත් විදිහක් නැතිව ඕවා කරන්නේ කොහොමද? ඕවාට කොහෙ තියෙන සල්ලිද? සිරිපාලගේ මිනිය භාර ගන්න කියලා මට බන්ධනාගාරයෙන් දැනුම් දීලා තිබෙද්දිත් මම මිනිය භාර නොගත්තේත් අවමඟුලට සල්ලි නැති නිසා.
ඇල්ලෙ‍පොල කාර්යාලය යනුවෙන් ඔබ හඳුන්වන්නේ කුමන කාර්යාලයක් ගැනද?
අනේ මට එහෙම කියන්න තේරුමක් නැහැ. ඇල්ලෙ‍පොල කාර්යාලය කියලා තමයි මාව එක්කං ගියේ.
සිරිපාලගේත් ඔබේත් ජීවන තොරතුරු ඇතුළත් කරමින්  චිත්‍රපට දෙකක් බිහිවුණා. එකක් සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටය. අනෙක මරුවා සමග වාසේ චිත්‍රපටය. ඔබ එකී චිත්‍රපට නැරඹුවාද?
ඔව් මම දෙකම නැරඹුවා
ඒවා ගැන ඔබට මොනවද කියන්න තිබෙන්නේ?
සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටය හුඟක් හොඳයි. ඒ චිත්‍රපටය හදන්න ඉස්සෙල්ලා ධර්මසිරි ගමගේ මහත්තයා මාව මුණගැහෙන්න අනේක වාරයක් ආවා. සිරිපාලගේ සැබෑ තොරතුරු හොයාගෙන තමයි සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටය කළේ. මරුවා සමග වාසේ චිත්‍රපටයේ නම් පට්ටපල් බොරු තිබුණා.
ඇයි ඔබ එහෙම කියන්නේ?
ඒ චිත්‍රපටයේ තියෙනවා සිරිපාල කැ‍ලේදි පච්ච කොටා ගන්නවා. කැ‍ලේදි පච්ච කොටන්න පච්ච කොටන මිනිස්සු කැ‍ලේ ඉන්නවාද බොරුනේ.
මරුවා සමග වාසේ චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙර ඔවුන් ඔබව මුණ ගැසුණේ නැතිද?
නැහැ කවදාවත් ඇවිත් මගෙන් කිසි දෙයක් ඇහුවෙ නැහැ. පත්තරවල ගිය තොරතුරු අරව මේවා එකතු කරලා තමයි ඒ චිත්‍රපටය හදලා තිබුණේ. මම දවසක් ටයිටස් තොටවත්ත මහත්තයාව හම්බවෙන්න ගියා. ඒත් මාව අඳුනන්නේ නැහැ කියලා කතා කරන්නේ නැතිවම පඩි පේළිය බැහැලා ගියා.
හෙළ නිළි රැජින මාලනි ෆොන්සේකා ඔබව මුණ ගැහෙන්න ආවා නේද?
ඔව්. ඔව් මම කතා කරන හැටි රෙද්ද අඳින හැටි වගේ මගේ චර්යාවත් හැසිරීම් හැමදේම අහලා කතා කරලා දැනගත්තා. ඒ විතරක් නමෛයි . සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ රූගත කරන ස්ථානවලටත් මාව එක්කං ගියා.
මාලනි ෆොන්සේකා රඟපෑ රන්මැණිකා යන ඔබේ චරිතයට ඇගෙන් සාධාරණයක් ඉෂ්ට වුණාද?
අ‍පොයි ඔව්. ඒ මමම තමයි. ඒ චරිතයේ කිසිම වැරැද්දක් අඩුපාඩුවක් නැහැ.
මෑතකදි මාලනි ෆොන්සේකා මහත්මිය යළි ඔබව මුණගැහෙන්න ආවා නේද?
අවුරුදු තිස් ගණනකට  පස්සේ ළඟදි ආවා. මාව බලලා මට සල්ලි ටිකක් දීලා ගියා. මට ගේකුත් හදලා දෙනවා කිව්වා. ඒ විතරක් නමෛයි ධර්මසිරි ගමගේ මහත්තයාගේ පුතෙකුත් ආවා. සිරිපාල හා රන්මැණිකා තිර නාටකයේ ‍පොතක් දොරට වඩින උත්සවයකට මාව එක්කං ගිහිං සංග්‍රහ කරලා මාව ගෙදර ගෙනත් ඇරලුවා. මට ලොකු මුදලකුත්  දුන්නා.
සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටය වෙනුවෙන් ඔබට යමක් ලැබුණද?
මුදල් ලැබුණේ නැහැ. චිත්‍රපටය නරඹන්න ප්‍රවේශ පත්‍ර 2 ක් ලැබුණා. ඒ ටිකට් වලින් මම කුරුණෑගල සහ අනුරාධපුර සිනමාශාලාවලින් චිත්‍රපටය නැරඹුවා.
දැන් ඔබේ කල දවස ගවෛන්නේ මොන විදිහටද?
දැන් මට අවුරුදු 70 ක් වෙනවා. මගේ වකුගඩු දියවෙන රෝගයක් තිබෙනවා. අක්මාවෙත් ලෙඩ තිබෙනවා. ඒ ගැන වෛද්‍යවරු  මට හරියට කියන්නේ නැහැ. ඒ මදිවාට පෙණහලු අමාරුවකුත්  තියෙනවා. දණහිස්  කැක්කුම ඉවසන්න බැහැ. දැන් මට කිසිම වැඩක් කරගන්න බැහැ. උයලා ළඟට ගෙනත් දුන්නොත් කනවා. මගේ  දුවලා මට හොඳින් සලකනවා. ඒත් එයාලාටත් අඟහිඟකම්  තියෙනවා. මගේ ලොකු දුව දියවැඩියා රෝගයෙන් පසුගිය ජනවාරි මාසයේ නැතිවුණා. ජීවිතේ මැරෙනකම් දුක තමයි.
හර්ෂා සුගතදාස
ඡායාරූප: බුද්ධික මහේෂ්

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය