Powered by Blogger.

පිළිකා ඇති කරන රසායනික ද්‍රව්‍ය, ආහාර පානවලට, ජලයට සහ වාතයට මිශ්‍රවීම නිසා මෙරට බහුතර ජනතාව පිළිකා රෝගයට ගොදුරු වීමේ දැඩි අනතුරක්‌ මතුව ඇත.

මෙය ඉතා භයානක තත්ත්වයක්‌ බව මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

දිවයින ඉරිදා සංග්‍රහය සමග විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමින් මේ අනතුර පිළිබඳ හෙළිදරව් කළ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මේ වන විට අපේ රටෙන් වසරකට අලුතින් වාර්තා වන පිළිකා රෝගීන් සංඛ්‍යාව පහළොස්‌ දහස ඉක්‌මවන බවද කියා සිටී. එය මෙයට වසර හත අටකට පෙර එක්‌ වසරක්‌ තුළ අලුතින් ලියාපදිංචි වූ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා සියයට පනහක පමණ වැඩිවීමකි.

ආහාර රස කිරීමට සහ කල්තබා ගැනීමට යොදන ඇතැම් රසායනික ද්‍රව්‍යවල පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වීමත් විවිධ වල්නාශක, කෘමිනාශක සහ කම්හල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය ජල මූලාශ්‍රවලට එකතු වී ඒවා පානීය ජලයට මුසු වීමත් ඩීසල් දුම ඇතුළු පරිසරය දූෂණය කරන විවිධ වායු වර්ග වාතයට මුසු වීමත් නිසා දිනපතා වාර්තා වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද ඒ මහතා කියා සිටියේය. ආහාර වර්ග අසුරා තැබීම හා ප්‍රවාහනය සඳහා නොයෙක්‌ රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට යොදා ගත් භාජන භාවිත කිරීම නිසා පිළිකා කාරක ශරීරගත වීමේ අවදානමක්‌ ඇතැයි ද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ආහාර පානවලට, ජලයට සහ වාතයට පිළිකා කාරක ද්‍රව්‍ය එකතු වීම වැළැක්‌වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොකළහොත් මෙරට සමස්‌ත ජනතාව පිළිකා රෝගයන්ට ගොදුරුවීම වැළක්‌විය නොහැකි බවද පැවසීය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය