Powered by Blogger.

අලුත් අවුරුදු සමය කොයි කාටත් සතුට කැන්දාගෙන ආවද ‍පොළොන්නරුවේ අරලගංවිලදී සිද්ධ වූයේ එහි අනෙක් පැත්තය.ඒ අවුරුදු නෑ ගමනක් යමින් සිටි විසි දෙදෙනෙකු අත්ට්‍රැක්ටරය සමග ඉසෙඩ් ඩී ඇළට පෙරළී දස දෙනෙකු මිය යාම හේතුවෙනි. ඉකුත් අප්‍රේල් 18 වෙනිදා අරලගංවිල අලුත් ඔය ප්‍රදේශයේ දී සිදුවූ මෙම මාරක අනතුරෙන් දොළොස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමටද හැකි විය.
මාස හයක කිරිකැටි ගැහැනු දරුවෙකු, අවුරුදු හතරක  ආබාධිත දරුවෙකු සහ කාන්තාවන් පස් දෙනෙකුද, පිරිමි පස් දෙනෙකු ඇතුළුව දොළොස් දෙනෙකුගේ එසේ දිවි ගලවා ගැනීමට හැකිවූයේ එකම පවුලක ඥාතීන් තිදෙනෙකුගේ වීර වික්‍රමාන්විත දස්කම්වලට පින්සිදු වන්නටය.
අඩි 25 ක් පමණ ගැඹුරු ඇළකට පැන වේගයෙන් ගලා යන සැඩ පහරත් සමග ‍පොර බදමින් ජීවිතයත් මරණයත් අතර සටනක නියැළී ජීවිත දොළහක් බේරා ගැනීම සැබැවින්ම වීර ක්‍රියාවකි.
ඒ වීර ක්‍රියාවේ කතානායකයින් වන්නේ අරලගංවිල, ජයමුතුගම, අංක 248 දරන නිවසේ  පදිංචි බි.ඒ. ප්‍රියන්ත චන්දන, අලුත් ඔය, පිඹුරුත්තෑව අංක 58 දරන නිවසේ පදිංචි එස්.ඒ. චමින්ද සම්පත් සහ ඔහුගේ සහෝදරයෙකු වන බිබිල ප්‍රදේශයේ  පදිංචි ඉන්දික ගයාන් ගුණතිලක යන තිදෙනාය.
32 හැවිරිදි ප්‍රියන්ත චන්දන අරලගංවිල, බෝගස් හංදිය ප්‍රදේශයේ විදුලි කාර්මික සේවකයෙකි. ඔහු එක්දරු පියෙකි. එස්. ඒ. චමින්ද සම්පත් 34 හැවිරිදි තිදරු පියෙකි. ඔහු මාළු වෙළෙඳාම් කර ජීවිකාව ගෙන යයි. ඔහුගේ සහෝදරයෙකු වන ඉන්දික ගයාන් ගුණරත්න 27 හැවිරිදිය. ඉකුත් 18 වෙනිදා යතුරුපැදි දෙකකින් ඔවුහු ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ මාර්ගයේ දෙපස පටු මාර්ගයේ අලුත්ඔය චමින්ද සම්පත්ගේ නිවසට ගමන් කරමින් සිටියහ. ඒ අවස්ථාවේ දී ඔහු දුටුවේ සිත් කම්පා කරවනසුළු දසුනකි. ඒ ඉසෙඩ් ඩී ඇළට වැටී සිටින පිරිසක් දිවි ගලවා ගැනීමට ජලයේ ගසා යන පිදුරු ගහක් අල්ලමින් විලාප දෙන අයුරුය.
ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළේ කොන්ක්‍රීට් බැම්මෙ බඩගාමින්  මර හඩ නගා විලාප දෙන පිරිස දුටු  චමින්ද සම්පත්, යතුරුපැදිය නතර කළ සැණින් ඇළට පැන්නේය. ඔහු සමග පැමිණි මල්ලී ඉන්දිකත් මස්සිනා ප්‍රියන්තත් ඇළට පැන ගිලෙමින් සිටි පිරිස ගොඩට ගැනීමට සැඩ පහරත් සමග ‍පොර බැදූහ.
චමින්ද සම්පත්ගේ අතට මුලින්ම අහු වුණේ දියේ ගිලෙමින් සිටි මාස හයේ ගැහැනු දරුවෙකි. එම බිලිඳිය ගොඩ සිටි අයෙකුට දී යළිත් වරක් ඇළට පැන ආබාධිත දරුවෙකු ගොඩට ගෙන ආවේය. දියේ ගිලෙමින්, පාවෙමින්, සිටි පස් හය දෙනෙකු චමින්දගේ කකුල්වල එල්ලී මරහඬ නගා කෑගැසුහ.
ජලයේ සැඩ පහරත්  දෙපස ඇති කොන්ක්‍රීට්  බැමි නිසාත්  අනතුරට පත්ව ඇළට වැටී සිටින කිසිවෙකුට එල්ලී ගොඩට  ඒමට තරම් එහි කිසිදු  ආධාරයක් නොමැත. ඒ අවස්ථාවේදී ස්ථානෝචිත ප්‍රඥාව පහළ වූ ප්‍රියන්ත හැඳ සිටි ඩෙනිම් කලිසම ගලවා ඔහු ගොඩ සිට කලිසමේ එක කකුලක්  අල්ලා අනිත් කකුල් කොටස ජලයට දැමීය. 

Z-D-Ala1ඩෙනිම් කලිසමේ එල්ලී කාන්තාවෝ තිදෙනෙක්  දිවි බේරාගෙන ගොඩට පැමිණියහ.  
ඇළට වැටුණු මිනිසුන්ගේ දිවි බේරා ගනිමින් සිටි ප්‍රියන්ත හා චමින්දගේ කලිසම් සාක්කු වල තිබූ මුළු සේසතම ඇළට බිලි වූ බව ඔහු දැනගන්නේ ගොඩට ආ පසුවය. ප්‍රියන්තගේ සහ චමින්දගේ ජංගම දුරකථන දෙකත්, දෙදෙනාගේම රුපියල් 3700 ක පමණ මුදලකුත්  ඒ වන විට  ඇළ පතු‍ලේ සැඟවී ගොස්ය. මේ නිසා කිසිවෙකුට දුරකථනය මගින් මේ  අනතුර ගැන දැනුම් දීමට ඔවුන්ට හැකි වූයේ නැත. හැරත් පාළු ඇළ කණ්ඩිය දිගේ ගම්මු ගමන් ගන්නේ ද ඉඳහිටය.
මේ අතර අනතුර වූ ස්ථානය අසලින් ගමන් කරන දෙදෙනෙකු  දුටු චමින්ද හා ප්‍රියන්ත ඔහුගේ ජංගම දුරකථනය මගින් ‍පොලිස් හදිසි  ඇමතුම් අංශයට සහ අරලගංවිල ‍පොලීසියට මෙන්ම ගම්වාසීන්ට මේ ඛිෙදවාචකය දැනුම් දුන්හ.
කෙසේ නමුදු ඒ වන විටත් අයියා, මල්ලී, මස්සිනා එකතුව දොළොස්  දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගෙන තිබුණි. ඇළ පතුළේ කිමිදුනු ඔවුහු මළ සිරුරු කිහිපයක්ද ගොඩට ගත්හ.  මහා  ඛිෙදවාචකය කණ වැකුණු ගම්වැසියෝ ප්‍රදේශවාසීහු කෑගසමින් එම ස්ථානයට දුව ආහ. අලුත් ඔය ගම්මානයේ තරුණයෝ ද දැවැන්ත කඹයක් ආධාරයෙන් ඇළට වැටී තිබුණු අත්ට්‍රැක්ටරය ගොඩට ගත්හ.
පැයක් යාමටත් පෙර අරලගංවිල ‍පොලීසිය සිවිල් ආරක්ෂක නිලධාරීන් යුද හමුදාව අරලගංවිල රෝහ‍ලේ ගිලන් රථය එම ස්ථානයට ළඟා විය. එම නිලධාරීන් පිරිස මියගිය අයගේ සිරුරු මෙන්ම තුවාල ලැබූවන් අරලගංවිල රෝහල වෙත ගෙන ගියහ. මේ කතාවේ වීරයන් වන චමින්දත්, ප්‍රියන්තත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ඇළට වැටී සිටි අසරණ මිනිස් ජීවිත රැසක් බේරා ගෙන තිබේ.  මිනිස් ජීවිත පමණක් නොව ඇළට වැටුණු වල් අලින් ගවයින්ගේ ජීවිතයද බේරාගත් වාර අනන්ත අප්‍රමාණය.
Z-D-Ala2තම බිහිසුණු අත්දැකීම විස්තර කරමින් අලුත් ඔය එස්.ඒ. චමින්ද සම්පත් අපට කීවේ මෙසේය.
“මමයි, මස්සිනායි, මල්ලියි බයික් දෙකකින් ඉසෙඩ් ඩී ඇළ බන්ට් එක දෙපැත්තෙන් අලුත් ඔය අපේ ගෙදර යන විට මම දැක්කා පිරිසක් කෑ ගහනවා. කිහිපදෙනෙකු කොන්ක්‍රීට් බන්ට් එක දිගේ  මරහඬ දෙමින් බඩගානවා. තවත් කිහිපදෙනෙක් බන්ට් එක උඩ අඬනවා. මම එකපාරටම ඇළට පැන්නා. මාස කිහිපයක ළමයෙකු පාවෙනවා දැක්ක මම ඒ ළමයා ගොඩට අරං පිරිමි කෙනෙකුට දීලා ආයෙත් ඇළට පැන්නා එහෙම පැනලා තවත්  ආබාධිත ළමයෙක් ගොඩටගත්තා. කොහොමහරි  මම ජීවිත අටක් පමණ ගොඩ ගත්තා. ප්‍රියන්තත් පීනලා කිහිපදෙනෙක් ගොඩටගත්තා. මගේ ඇඟේ කකු‍ලේ එල්ලිලා තවත් කිහිපදෙනෙකු හයියෙන් කෑගැහුවා. අවාසනාවකට මෙන් ඒ අය මට බේරා ගන්න බැරි වුණා. “මට අදටත් මේක මහා කම්පනයක්. මේ ඇළට වැටුණාම ගොඩට එන්න කිසිම ආධාරකයක් නැති එක විශාල හානියක් “ඒ වගේම මීට පෙර ඇළ දෙපස තිබුණු ආරක්ෂිත වැට  එක එක අය කපාගෙන ගිහිං.” සමහරු යකඩ බට කපා ගෙන ගිහිං තව කවුරුහරි පීනන්න පුළුවන් අය හිටියා නම් තවත් ජීවිත කිහිපයක් බේරා ගන්න තිබුණා. මම ඉස්සරලාම ‍පොඩි අය තමා ඇළෙන් ගොඩට ගත්තේ. ‍පොඩි  අය හිටියේ නැත්නම් අනිවාර්යයෙන් තව ජීවිත හතරක්වත් ගොඩගන්න තිබුණා. “ඔහු කීවේය චමින්ද සම්පත් වැඩිදුරටත් කියන්නේ මේ ඇළ දෙපසට ආරක්ෂිත වැටක් සවිකරනවා නම් සිදුවන අනතුරු අවම කර ගැනීමට හැකි බවය. චමින්ද නතර කළ තැනින් සිද්ධිය විස්තර කළේ ජයමුතුගම බි.ඒ. ප්‍රියන්ත  චන්දනය.
“මම එක පාරටම දැක්කේ පිරිසක් ඇළට පැනලා නානවා වගෙ” චමින්ද ඇළට පැන්නට පස්සේ එයාගේ කකු‍ලේ එල්ලිලා කිහිපදෙනෙකු  කෑගහනවා මම දැක්කා. ඊට පස්සේ  මමත් ඇළට පැනලා කීප දෙනෙකු ගොඩට ගත්තා.“ ඒ අය බේරා ගන්න අහළ පහළ මොකුත්ම තිබුණේ නැහැ.  මගේ ඩෙනිම් කලිසම ගලවලා මම එක පැත්තක් අතින් අල්ලාගෙන අනිත් පැත්ත ඇළට දැම්මා.” ඒකේ එල්ලිලා ගැහැනු තුන් දෙනෙක් පමණ ගොඩට ඇදලා ගත්තා.  මමත් එක්ක බයික් එකේ  ආපු ඉන්දිකත් ඇළට පැනලා කිහිප දෙනෙකුගේ ජීවිත බේරා ගත්තා.” අපි  අලි වැටුණාමත් ගොඩගන්න වනජීවී අයට උදව් කරනවා. මීට පෙරදිත් ගැහැනු දෙන්නෙක් මේ ඇළට වැටිලා ඉදිද්දී චමින්ද බේරා ගත්තා. මේ ඇළ ඇතුළේ අයිස් කැට වගේ සීතලයි. සීතල නිසා අපේ  කන්වලින් ‍ලේ එද්දිත් අපි ජීවිතත් මරණයත් අතර සටනක් කරලා දොළොස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීම ජීවිතේ ලොකු අත්දැකීමක් වගේම  සදාමතකයේ රැඳෙන සිදුවීමක්” ඔහු කීවේය.
කෙසේ නමුදු මේ ඛිෙදවාචකයෙන් මියගිය අයගේ මළගමට පැමිණි ‍පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාගෙන් දිවි බේරා ගත් කාන්තාවක් හඬා වැටෙමින් ඉල්ලා සිටියේ තවත් වරක් මෙවැනි අනතුරක් සිදු නොවීමට ඇළ දෙපස ආරක්ෂක වැටක් ඉදිකරන ලෙසය. ඒ ඉසෙඩ් ඩී ඇළ බිලි ගන්නා තැනක් බවට පත් වීම නිසාය. එනමුත් මෙම ඇළ ගොවීන්ගේ පණමෙන්ය. ඒ ඔවුන්ට දියවර දෙන්නේ මෙම ඇළ නිසාය.
1983 වර්ෂයේ දී ඇමරිකන් කොන්ත්‍රාත් සමාගම් දෙකක් යටතේ වැඩ ආරම්භ වූ මාදුරු ඔය ජලාශය හා ඉෂඩ් ඩී ප්‍රධාන ඇළේ වැඩ නිම වන්නේ 1985 වසරේදීය.
මාදුරු ඔය ජලාශයේ සිට කිලෝ මීටර් 54 ක් දුරට වැලිකන්ද කාසන් වැව දක්වාත් එතැන් සිට නාගස්තැන්න දක්වා දිවෙන ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ ශ්‍රී ලංකාවේ දිගම කොන්ක්‍රීට්  ඇළ ලෙස නම් දරා තිබේ.ගැඹුරින් අඩි 25 සහ පළලින් අඩි 20 කින් සමන්විත ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ මහඔය මනම්පිටිය හා ‍පොළොන්නරුව මඩකලපුව යන ප්‍රධාන මාර්ග දෙකක් පසු කරමින් ගලා යයි.
කුඩා ඔය සහ සෙවනපිටිය ප්‍රදේශවලින් උමං මාර්ග දෙකක් හරහා ‍පොළව යටින් ගලා  බසී. මනම්පිටිය නගරය පසුකර මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 8 ක් පමණ ගිය විට සෙවනපිටිය නගරය ආසන්නයේ උමං මාර්ගයෙන් මතුවන ඉසෙඩ් ඇළ මඩකලපුව හංදියේ සිට අරලගංවිල දෙසට කිලෝමීටර් 8 ක් පමණ යන විටදී මැදගම නගරයට ආසන්නවද හමුවේ. ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ ඉදිකිරීම් කටයුතු කළ ඇමරිකන් කොන්ත්‍රාත් සමාගම් දෙකෙහි නාමයේ ඉංග්‍රීසි මුල් අකුරු දෙක යොදමින් ඉසෙඩ් ඩී. යන නාමය යොදා  ඇත.
සැච්රි ඩිලිංහෑම් (ZECHRI -DILINHEM) යන සමාගම් දෙක යටතේ මෙම ඇළේ ඉදිකිරීම් කටයුතු  අවසන් කර තිබේ.එදා සිට ඉසෙඩ් ඩී (ZD) ඇළ නමින් ප්‍රසිද්ධ වන මෙම ඇළට සතා සිවුපාවන් මෙන්ම මිනිස් ජීවිත රැසක්ද අනතුරු කිහිපයකින් බිලි වී තිබේ.
මෙම ඇළ මාර්ගය නඩත්තු කටයුතු කිරීමට  ඉදිකර ඇති පටු මාර්ගයද ජනතාවගේ ගමන් මාර්ගයක් බවට පත්කර ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් එම මාර්ගයේ බරවාහන ඇතුළු සෙසු වාහනවලට ගමන් කිරීම තහනම් කර තිබුණද ජනතාවගේ පහසුව සඳහා කෙටි ගමන් මාර්ගයක් ලෙස මෙම ඇළ නඩත්තු මාර්ගය යොදා ගනිති. එම තත්ත්වය නිසාම මෙම ඇළට ට්‍රැක්ටර් යතුරුපැදි පාපැදි මෙන්ම අනෙකුත්  වාහන වැටී අනතුරට පත් වීමෙන් ජීවිත ගණනාවකින් වන්දි ගෙවා තිබේ.
 ජලය බිමට  පැමිණෙන වන අලි පවා මෙම ඇළට වැටී සැඩ පහරට හසුව ගහගෙන යන අවස්ථා ද නිතර වාර්තා වන අතර ඒ අයුරින් එදා සිට මේ දක්වා වන අලි 50 කට වැඩි ගණනක් ගොඩගෙන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.ඇළේ පතුළට යන්න යන්න ජලය ගමන් කිරීමේ වේගය වැඩිවෙන ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළ දෙපස අතීතයේ ආරක්ෂිත වැටක් ස්ථාන කිහිපයකින් සවිකර තිබුණද එය හොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පෙන්වා දෙයි.
මෙම ඉසෙඩ් ඩී ප්‍රධාන කොන්ක්‍රීට් ඇළට වැටුණු  සතා සිව්පාවෙකුට හෝ පුද්ගලයෙකුට ගොඩ ඒමට කිසිදු මගක් නොමැති වීම බරපතළ අඩුවක් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ සිදුවූ අනතුරුද සැලකිල්ලට ගනිමිනි.ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී පළමු මාරාන්තික  අනතුරු වාර්තා වන්නේ 1984 වසරේ දීය.
ඒ අරලගන්විල දඹගහ උල්පත ප්‍රදේශයෙන් අත්ට්‍රැක්ටරයක් ඇළට පෙරළී සිදුවූ අනතුරෙන් අඹු සැමි යුවළක් ඇතුළු සිව් දෙනෙකුගේ ජීවිත අහිමි  කරමිනි. එතැන් සිට  බොහෝ පිරිසක් ඇළට බිලි වූහ. මේ අනතුරු වළක්වා ගැනීමට  ඉසෙඩ් ඩී ඇළ දෙපසට ආරක්ෂිත වැටක් නොකරන්නේ ඇයි දැයි අපි මහවැලි බි කලාපයේ නේවාසික ව්‍යාපාර
කළමනාකාර ජී.ජී. දයානන්දගෙන් විමසුවෙමු. ඔහු සඳහන් කළේ මෙහි මීට පෙර ආරක්ෂිත වැටක් ඉදිකර තිබුණද හොරුන්  විසින් එය විනාශ කර ඇති බවයි. ඉසෙඩ් ඩී ඇළ මාර්ගයේ දෙපස ගමන් කිරීම තහනම් කර ඇති බවත් එම ඇළ මාර්ගය දෙපස පටු මාර්ග යොදා ගත්තේ ඇළේහි නඩත්තු කටයුතු කිරීමට යෑම ඒම සඳහා පමණක් බවද හෙතෙම කීවේය.
නිමල් ජයරත්න
මෙවර අලුත් අවුරුද්දේ අනතුරු අඩුයි: මරණ වැඩියි
දශක තුනක් පුරා පැවැති යුද්ධයේ නිමාවට පසු එකම පවු‍ලේ සාමාජිකයන් රැසක් වළලන්නට මුල්වරට සමූහ මිනී වළවල් කැපුනේ ගිය සතියේය. එම කනගාටුදායක අත්දැකීම් වරක් නොව දෙවරක් විඳ ගැනීමට පසුගිය සතියේදී අපට සිදුවිය. ඒ අරලගංවිල ඉසෙඩ් ඩී ඇළ හා කතරගම දෙටගමුව වැව ආශ්‍රිතව වූ රිය අනතුරු නිසා මියගිය 15 දෙනකුගේ සිරුරු භූමදානය කරන්නටය. මේ සිද්ධීන් දෙක පමණක් නොව අප්‍රේල් මාසයේ පත්තර පිටු පීරුවේ ඉකුත් සති දෙක තුනක වූ රිය අනතුරුවලින් මියගිය අයගේ තොරතුරුවලිනි. ඒ අතර යතුරුපැදි අනතුරු රැසක්ද විය. මේ නිසා බැලු බැල්මටම පෙනෙන්නේ බක් මාසයේ රිය අනතුරුවලින් විශාල පිරිසක් මියගොස් ඇති බවය. කෙසේ නමුදු 2013 වසරේ සිදු වූ අනතුරුවලට සාපේක්ෂව මේ වසරේ වූ රිය අනතුරු ගණන නම් අඩු බව ‍පොලිස් රථ වාහන අංශය භාර නියෝජ්‍ය ‍පොලිස්පති අමරසිරි සේනාරත්න පෙන්වා දේ. ඔහු පවසන පරිදි අවුරුදු සමයේ අනතුරු ලෙස විශ්‍ලේෂණය කරනු ලබනුයේ 2014-04-10 සිට 2014-04-20 දක්වා වන දින 10 තුළ සිදු වූ අනතුරුය. 2014 වසරේ මෙම කාල පරාසය තුළ සිදු වූ අනතුරු ගණන 2013 වසරේ මෙම කාල සීමාවට සාපේක්ෂව පැහැදිලි අඩුවීමක් දක්නට හැක. 2013 වසරේ වාර්තා වූ රිය අනතුරු ගණන 1326ක් වන අතර 2014 වසරේ එය 859 දක්වා පහත බැස ඇත. 2013 වසරේ වාර්තා වූ මාර්ග අනතුරු ගණන 91 වන අතර  2014 වසරේ 89 දක්වා අඩු වී ඇත. 2013 වසරේ වාර්තා වූ බරපතළ අනතුරු ගණන 250ක් වන මුත් එයද 2014 දී 176 දක්වා අඩු වී ඇත. මේ ආකාරයෙන් 2014 වසරේ වාර්තා වන හදිසි අනතුරු ගණන 2013 සාපේක්ෂව සියයට තිස් තුනකින් පමණ අඩුවී ඇත.
එහෙත් 2014 වසරේ වාර්තා වන රිය අනතුරු නිසා සිදු වූ මරණ සංඛ්‍යාව යම් වැඩිවීමක් පෙන්වයි. 2013 වසරේ අවුරුදු සමයේ රිය අනතුරු නිසා 99 දෙනකු මියගියද මෙවර එම ගණන 110 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රතිශතාත්මකව මෙම අගය සියයට 10ක් තරම් ඉහළ යෑමකි.
කොළඹ ජාතික රෝහ‍ලේ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා පවසන ආකාරයට ජාතික රෝහලට වාර්තා වූ අනතුරු ගණන මෙවර පැහැදිලිවම අඩුවී ඇත. 2014-04-13 සිට 16 දින දක්වා ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු අංශයට රෝගීන් 956 දෙනකු හදිසි අනතුරු නිසා ඇතුළත් වී ඇත. ඉන් 156 මාර්ග අනතුරු නිසා ඇතුළත් වූ අයය. එහෙත් කිසිදු මරණයක් වාර්තා වී නැත.
උත්සව සමයේ අනතුරු සංඛ්‍යාව සැලකිය යුතු පරිදි අඩු වුවද මරණ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුව අරලගංවිල ඉසෙඩ් ඩී ඇළ සහ කතරගම දෙටගමුව වැව ආශ්‍රිත අනතුරින් 15 දෙනකු එකම ස්ථානයේ මියයාම බව පැහැදිලිය. මෙම අනතුරු දෙක මෙන්ම මේ දිනවල සිදු වූ අනතුරු බහුතරයකට හේතුව රියැදුරන්ගේ අපරීක්ෂාකාරී රිය පැදවීම බව වටහා ගැනීම අසීරු නැත. අරලගංවිල ප්‍රදේශයේ අනතුරට පත් ට්‍රැක්ටරයේ 24 දෙනකු පමණ ගමන් ගත් බව වාර්තා විය. මෙකී අපරික්ෂාකාරී රිය ධාවනයට මෙය හොඳ උදාහරණයකි. කතරගම දෙටගමුව වැවේ සිදු වූ පස් දෙනකුට මරු කැඳ වූ අනතුරටද හේතුව රියැදුරු අධික වෙහෙසට පත්ව සිටීම බව වාර්තා වෙයි.  
පසුගිය කාලයේ යුද්ධයෙන් ෙදෙනිකව මියගිය පිරිසට නොදවෛනි සංඛ්‍යාවන් තවමත් රට පුරා රිය අනතුරුවලින් මියයන බව රහසක් නොවේ. එබැවින් රිය අනතුරු අවම කර ගැනීම සඳහා මීට වැඩි අවධානයක් යොමු විය යුතු බව නොරහසකි. ‍පොලීසියට හෝ රට තුළ බල පවත්නා ෙනෙතික ප්‍රතිපාදනවලට පමණක් මිනිස් ජීවිතවල ආරක්ෂාව තහවුරු කළ නොහැකිය. විනයවත් රියැදුරන් සහ විචාර බුද්ධියෙන් යුතු මිනිසුන්ට රිය අනතුරු අවම කිරීමේදී සුවිශේෂී මෙහෙයක් ඉටු කළ හැකි බව සඳහන් කරමු.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය