Powered by Blogger.



සූදු කෙළියේ ඉහළම වංචාව කුමක්‌ද? බුකියේ තිබෙන සල්ලිටික හොරකම් කරගෙන පැන යැමද? නැහැ. තරගවල ජය පරාජය ක්‍රීඩකයන්ට අල්ලස්‌ දී කල් තබා තීරණය කිරීම හෙවත් Fix කිරීම සූදු කෙළියේ ඉහළම වංචාව ලෙස සැලකෙනවා. IPL හෙවත් ඉන්දියන් ප්‍රීමියර් ලීග් ඇතුළු ක්‍රිකට්‌ තරග ගණනාවක ක්‍රීඩකයන් රේස්‌ බුකීකරුවන්ගෙන් අල්ලස්‌ ලබාගෙන ක්‍රිකට්‌ Match Fixing කළ නිසා පසුගිය කාලයේදී අන්තර් ජාතික ක්‍රීඩා ක්‌ෂේත්‍රය තුළ විශාල නොසන්සුන්තාවක්‌ ඇති වුණා. මේ අතර පසුගියදා වාර්තා වුණේ මෙයට අවුරුදු 1700 කට පෙර ග්‍රීක රාජ්‍යය තුළ Match Fixing පැවති බවයි. එකල පැවති මල්ලව පොරයකදී එවැනි වංචාවක්‌ සිදුවී තිබෙන බව ලේඛන ගත වී තිබෙනවා.

ඉහත සඳහන් ලේඛනය ක්‍රි.ව. 267 දී පැපිරස්‌ පත්‍රයක්‌ යොදාගෙන පිළියෙල කළ පොරොන්දු ලියෑවිල්ලක්‌. තරුණයන් දෙදෙනකු සහභාගි වන රෙස්‌ලිං තරගයක ජය පරාජය සිදුවිය යුතු ආකාරය ගැන කල්තබාම මෙහි ලියා තිබුණා. නිතැන්ටිනස්‌ නමැති රෙස්‌ලිං ශූරයකුගේ පියා සහ දිමිත්‍රියස්‌ නමැති රෙස්‌ලිං ශූරයකුගේ පුහුණුකරුවන් අතර මේ ලියෑවිල්ල හුවමාරු වී තිබෙනවා. ක්‍රි.ව. 267 දී ග්‍රීසියේ 138 වන වරට පැවති Great Antinoeia නමැති ක්‍රීඩා උත්සවයේදී තරග වැදීමට නිතැන්ටිනස්‌ සහ දිමිත්‍රිසස්‌ නම් කෙරී තිබුණා. ගිවිසුමේ හැටියට නිතැන්ටිනස්‌ගෙන් පහර කා දිමිත්‍රියස්‌ තුන් වතාවක්‌ බිම ඇද වැටිය යුතුයි. ඒ වෙනුවෙන් දිමිත්‍රියස්‌ට රිදී කාසි තුන්දහස්‌ අටසියයක්‌ ගෙවන බව පොරොන්දු පත්‍රයේ සඳහන් වුණා. Antinoeia යනුවෙන් හැඳින්වෙන්නේ ඉපැරැණි රෝමන් පෞර රාජ්‍යයක්‌. නයිල් නදියේ නැගෙනහිර ඉවුරේ පිහිටි මේ නගරය රෝමන් අධිරාජ්‍යයකු වූ (ක්‍රි.ව. 76-110) සිය හිතවතකු වූ Antinous වෙනුවෙන් නිර්මාණය කළා.

ඉහත සඳහන් ඉතිහාසගත අල්ලස්‌ ලියෑවිල්ලේ සඳහන් වන පරිදි තරගයේ ජයග්‍රහණය නිතැන්ටිනස්‌ට හිමි වනවා. යම් හෙයකින් තරග විනිශ්චයකාරයන්ට අල්ලස්‌ සිද්ධිය හෙළිවී තරග ප්‍රතිඵලය අවලංගු කළත් ගිවිසගත් පරිදි තුන් වතාවක්‌ පහර කා බිම වැටෙන දිමිත්‍රියස්‌ට ගිවිසගත් පරිදි රිදී කාසි තුන් දහස්‌ පන්සියය ලැබෙනවා.

මෙහි අදහස වන්නේ පුරාණ රෝම රාජ්‍යය තුළ වංචනික කටයුතුවලට පවා නෛතික ස්‌වරූපයක්‌ ලැබුණ බවයි. අල්ලසක්‌ දෙන විට එය ලබාගත් බවට ලියෑවිල්ලක්‌ පිළියෙල කරන බවත් අල්ලසට අදාළ කොන්දේසි එම ලියවිල්ලට ඇතුළත් කරන බවත් එමගින් පෙනී යනවා. එම ගිsවිසුමෙහි තවත් වැදගත් වගන්තියක්‌ තිබෙනවා. එනම් දිමිත්‍රිsයස්‌ ගිවිසගත් පරිදි කටයුතු නොකර නිතැන්ටිනස්‌ට පහරදී පරාජයට පත් කළොත් ඒ සඳහා වන්දි වශයෙන් රිදී කාසි දහසය දහසක්‌ පමණ නිතැන්ටිනස්‌ට ගෙවන්නට දිමිත්‍රියස්‌ගේ පුහුණුකරුවන්ට සිදුවන බවයි.

ඉහත සඳහන් පැපිරස්‌ ලියෑවිල්ල පරිවර්තනය කළ එංගලන්තයේ Oxford විශ්වවිද්‍යාලයේ Kings විද්‍යාලයේ මහාචාර්ය ඩොමිනික්‌ රැන්බෝන් කියන පරිදි රිදී කාසි තුන්දහස්‌ අට සියයක්‌ යනු මෙයට වසර 1700 කට පෙර එතරම් විශාල මුදලක්‌ නොවෙයි. එය බූරුවකුගේ වටිනාකමයි.

ප්‍රතිවාදියා ඔසවා තුන්වරක්‌ බිමට දමා ගැසීම ඉපැරැණි රෙස්‌ලිං ක්‍රීඩාවේ තරග රීතියකි. එසේ තුන්වරක්‌ බිම වැටෙන ප්‍රතිවාදියා පරාජිතයා ලෙස පිළිගන්නවා.

පැපිරස්‌ ලියෑවිල්ල සොයා ගන්නා ලද්දේ මෙයට වසර 100 කට පෙර ඊජිප්තුවේ කයිරෝ නගරයට සැතපුම් 100 ක්‌ ඈතින් පිහිටි ස්‌ථානයකින්. මෙය හරියාකාරව පරිවර්තනය කර ගැනීමට බැරිව එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සංරක්‍ෂණය කර තිබුණා.

නූතන ලෝකයේ ක්‍රීඩා තරග Match Fixing නිසා ඉතා දරුණු ලෙස දූෂණය වී තිබෙනවා. 1919 දී පැවති අන්තර්ජාතික බේස්‌ බෝල තරගාවලිය මෑත ඉතිහාසයේ වාර්තාගත තරග පාවා දීම ලෙස හඳුන්වන්නට පුළුවනි. මේ තරගාවලියේදී චිකාගෝ වයිට්‌ සොක්‌ස්‌ නමැති බේස්‌ බෝල් කණ්‌ඩායම බුකීකරුවන්ගෙන් අල්ලස්‌ ලබාගෙන සින්සිනාටි රෙඩ්ස්‌ නමැති බේස්‌ බෝල් කණ්‌ඩායමට පැරදුණා. මේ වංචාව හෙළි වූ අතර චිකාගෝ වයිට්‌ සොක්‌ස්‌ ක්‍රීඩකයන් අට දෙනකු අධිකරණයට ඉදිරිපත් කර ජීවිත කාලයටම බේස්‌ බෝල ක්‍රීඩා තරගවලට සහභාගි වීම තහනම් කළා. (Mail Online$ Wikipedia)

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය