Powered by Blogger.

මනමේ, සිංහබාහු පේමතෝ ජායති සෝකෝ, ලෝමහංස වැනි සාර්වාත්‍රික නාට්‍ය මතක් වූ සැණින් කාගෙත් මතකයට නැගෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර යන්නයි.
වර්ෂ 1996 අගෝස්තු මස 16 වැනි දින සියලු මතකයන් ඉතිහාසයට එක් කර ඔහු සදහටම සමුගත්තේය. එහෙත් ඔහුගේ නාමයෙන් පසුව එම නාට්‍ය මතක් වන හැම මොහොතකම තවත් කෙනකුගේ නාමය කියැවෙයි. ඒ නිශ්ශංක දිද්දෙණියන්ය. වේදිකා නාට්‍ය පහක්, චිත්‍රපට හතක් හා ටෙලිනාට්‍ය පහළොවකට ආසන්න සංඛ්‍යාවක රංගන ප්‍රතිභාව දැක්වූ ඔහු දැන් ඉඳහිට දැකගන්න ලැබුණත් නිශ්ශංක දිද්දෙණිය යන නාමය ඉතිහාසයට එක් වී හමාරය.

ප්‍රතිභාපූර්ණ රංගධරයකු වන ඔහුගේ අතීත කතාව රිවිසරසි පිටු අතරේ තබන්න අපි කල්පනා කළේ ඒ නිසයි. මේ නිශ්ශංක දිද්දෙණියයන් අපට දැක්වූ අදහසයි. ඇත්තටම දැන් නම් රඟපෑම කම්මැලියි. ඒත් එක දිගට නිර්මාණවලින් දකින්න හෝ දායක නොවී ඉන්නේ නම් කම්මැලිකම නිසාම නමෛයි. මම කවදාවත් මට රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලීම් කරලා නැහැ. ඒත් මට හුඟක් අවස්ථා ලැබෙනවා. ඒ ලැබෙන හැම ආරාධනාවක්ම පිළිගන්නේ නැති නිසයි වැඩිය දකින්න නැත්තේ.  අපිට එහෙම හැම පිටපතක්ම භාර ගන්න බැහැ. අපිට ඒවා සුදුසුද බලන්න ඕන. ඒ නිසා තෝරා ගත් නිර්මාණවලට දායක වෙනවා. එහෙම සම්බන්ධ වුණ නිර්මාණයක් තමයි දුවන මුවන් නාට්‍යය. එකේ මම රඟපාන්නේ මගේ දුව පබසරා දිද්දෙණිය එක්ක. ඊට අමතරව සඳසේයා, හත්වැනි කඩුල්ල කියන නිර්මාණවලටත් දායක වුණා. දිද්දෙණියයන් කතාව ආරම්භ කළේ මගේ එක් පැනයකට පිළිතුරු එලෙස ලබා දෙමින්.

කේ.බි.හේරත්, ජයලත් මනෝරත්න, කපිල කුමාර කාලිංග, නිමල් ඒකනායක, සම්පත් ඒකනායක, ජය ශ්‍රී චන්ද්‍රජිත් වැනි කලාකරුවන් ඔබේ සමකාලීනයන්. ඔවුන් ස්වනිර්මාණ කරද්දී කාලයක් තිස්සේ නාට්‍ය කලාව ගනුදෙනු කරන ඔබ පර‍පෝෂිතයෙක් බවට පත් වෙලා. ඒ ඇයි?
නාට්‍ය පිටපත් රචනය හදාරන්න ඕන. ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් නැතිව කරන්න අපහසුයි. නාට්‍ය පිටපත් රචනය නොකළට මම නාට්‍ය නිෂ්පාදනය කළා. මම නාඩගම් සම්ප්‍රදාය ගැන පර්යේෂණය කළා. නාඩගම් පිළිබඳව වැඩමුළු කළා. වර්ෂ 1998 දී ගී රඟමඩල අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කළා. ඒ වගේම උතුරු ඉන්දියානු නාට්‍ය ෙශෙලිය නාඩගම්, බෙරවාදන, එකතු කරගෙන 2012 වර්ෂයේ සුරංග පුවත නැවත නිර්මාණය කළා. ස්වර්ණමාලී නාට්‍යය සම අධ්‍යක්ෂණය කළා. ගායනය පැත්තෙන් ගත්තොත් 92 වර්ෂයේදී අවරගිරි මුදුනින් ගී තැටිය කළා. සුරංග පුවතේ අඩංගු නූර්ති නාඩගම් ගායන ෙශෙලිය එකතු කරලා සී.ඩී පට දෙකක් කළා. වර්ෂයක් පාසා නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ලබා නොදුන්නාට මම පුළුවන් විදිහට ඒ දේවල් කළා. නාට්‍ය පිටපත් පැත්තට හෝ ටෙලිනාට්‍ය, චිත්‍රපට අධ්‍යක්ෂණය නොකළාට. ඒ නිසා නිශ්ශංක දිද්දෙණිය කියන මනුස්සයා පර‍පෝෂිතයෙක් වෙන්නේ නැහැ.

අනුරාධපුර ගොවි පවුලක ඉපදුණු මට එදා ඉඳලම ලොකුම ඉලක්ක, බලා‍පොරොත්තු තිබුණේ නැහැ. ඒක පුරුද්දක් කරගත්තේ නැහැ. සරල ජීවිතයක් ගත කළේ. එදිනෙදා වැඩ කටයුතු කැපකිරීමෙන් කළා. විශ්වාසයෙන් ජීවත් වුණා. ඒ  ජීවිතේ දිහා බලද්දී මට හිස් තැනක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මගේ අතීතය, වර්තමානය හෝ ඉදිරිය ගැන මම කනගාටු වෙන්නේ නැහැ.
මම මූලික අධ්‍යාපනය ලබන්නේ අනුරාධපුර පනාවැන්න ධම්මාරාම විද්‍යාලයෙන්. ඒ පාස‍ලේ පන්ති තිබුණේ අට වසර වෙනකල් විතරයි. ඊට පස්සේ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තා. සමස්ත ලංකා පාඨශාලා, නාට්‍ය උළෙ‍ලේ පළමු ස්ථානය ලබා ගත්තේ නරි උගුල කියන නාට්‍යය. ඒ නාට්‍ය අපේ පාසලෙන් නාට්‍යය උළෙලට ඉදිරිපත් කළ නාට්‍යය මම එකේ රඟපෑවා. පැල්මඩුල්ල විද්‍යාලයේ හිටියා. සීතා වින්සන් කියලා හැඩකාර ගුරුවරියක්. ඒ මිස් තමයි මගේ රංගන හැකියාව මුලින්ම හඳුනා ගත්තේ. මිස් මට උපදේශයක් දුන්නා. දඟවැඩ කරන එක නතර කරලා එදිරිවීර සරච්චන්ද්‍ර සර්ව හඳුනාගෙන ඔයාගේ හැකියාව දියුණු කරගන්න කියලා. ඒ අතරතුර මම සරත් ලාල් පනාවල සර් යටතේ නර්තනය ඉගෙන ගත්තා. සංගීතය නම් හැදෑරුවේ නැහැ. ඒත් මගේ හඬ හොඳයි කියලා චන්ද්‍රා කුලසූරිය සර් පාඩම් ‍පොත්වල තියෙන කවි කියවන්න දුන්නා. උසස් පෙළ හොඳින් සමත් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ 1967 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. මම උසස් පෙළ කරන කා‍ලේ සීතා මිස්ට සමරු ‍පොත දුන්නම මිස් එකේ ලිව්වේ ඔබ හොඳ කලාකරුවෙක් වෙනවා කියලයි. ඒ සටහන මට අදටත් මතකයි.

මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට 67 වර්ෂයේ ඇතුළත් වෙලා සිංහල, භූගෝල විද්‍යාව හා ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තා. සිංහල විෂයේ කලා විචාර උගන්වන්න එන්නේ සරච්චන්ද්‍ර සර්. එතුමාගේ දේශන හරිම ආකර්ෂණීයයි. මමත් හුඟක් ඒ විෂයට ඇලුම් කළා. ඔය අතරතුරේ තමයි මට දැනගන්න ලැබුණේ පේමතො ජායති සෝකෝ නාට්‍යය කරනවා ගීත ගායනා කරන්න පුළුවන් අයට පරීක්ෂණයට සම්බන්ධ වෙන්න කියලා. මමත් ඒ පරීක්ෂණයට සම්බන්ධ වුණා. එදා ‍පොඩි තැති ගැන්වීමක් ආවා මොකද කොළඹ, මහනුවර වගේ ජනප්‍රිය පාසල්වල ළමයි ඒ පරීක්ෂණයට සම්බන්ධ වුණ නිසා. ඒ පරීක්ෂණයට සම්බන්ධ වුණ කිහිප දෙනෙක් දිහා හා සරච්චන්ද්‍රයන් ඔවුන්ට දුන් ප්‍රතිචාර දිහා මම ටික වේලාවක් බලාගෙන ඉඳලා මමත් පරීක්ෂණයට ඉදිරිපත් වුණා. මම කිව්වේ අමර දේවයන්ගේ සන්නාලියනේ ගීතය. එතුමා අනෙක් අයගේ හඬට වඩා මගේ හඬ සාවධානව අහගෙන හිටියා. ඊට පස්සේ සටහන් කරගන්න ළමයකුට කිව්වා මෙයාගේ නම සටහන් කරගන්න කියලා. සර් මට කිව්වා පුහුණුවීම්වලට  එන්න දැනුම් දෙන්නම් කියලා. ඒ විදිහට මට 68 වර්ෂයේදී ඒ නාට්‍යයට අවස්ථාව  ලැබුණේ ප්‍රධාන චරිතය රඟපාන්න. ඊට පස්සේ මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. සර් මාව සිංහබාහු නාට්‍යයට තෝරා ගත්තා. එදා ඉඳලා වසර 26ක් අඛණ්ඩව මම සිංහබාහු නාට්‍යයේ රඟපෑවා. මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණේ 71 වර්ෂයේ. ඊට පස්සෙත් එතුමා එක්ක එකතු වෙලා එතුමාගේ බොහෝ නිර්මාණවලට මගේ රංගන දායකත්වය ලබා දුන්නා.

නිශ්ශංක දිද්දෙණිය කියන ජීවියාව නිර්මාණකරුවෙක් කරන්න පවුල් සංස්කෘතියත් බලපාන්න ඇති.
අම්මයි, තාත්තයි හැරුණු කොට මට, සහෝදර, සහෝදරියෝ හයක් හිටියා. තාත්තා කුඹුරු වැඩ කරලා ගෙදර ආවට පස්සේ බණ ‍පොත් කියවනවා. කවි විදිහට බණ කියන්නේ. ලොකු අයියටත්, පුංචි අයියටත් සිංදු කියන්න පුළුවන්. මම පුංචි කා‍ලේ ඒ දෙන්නා චිත්‍රපට බලලා ඇවිත් ඒ සිංදු ගෙදරදී ගායනා කරනවා. ගමේ ටීටර්වල ඒ දෙන්නා රඟපෑවා. ඒ අය වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ. මම විතරයි ඉගෙන ගත්තේ. ඒ නිසා මං ගැන ඒ අයට පැහැදීමක් තිබුණා. මම හිතනවා මගේ කලා හැකියාවට ගෙදර පසුබිම ලොකු පිටිවහලක් වුණා. පාසල, විශ්ව විද්‍යාලය වගේම, කලාකරුවකු කරන ගමනේ තිඹිරිගෙය නිවහනත්, පාසලත් වුණා කිව්වොත් මම නිවැරදියි.

ඔබට ප්‍රියම්බිකාව මුණ ගැහෙන්නෙත් නාට්‍ය කලාව නිසා නේද?
මගේ බිරිඳ විනීතා නන්දනී දිද්දෙණිය. එයා කොළඹ පරිසරයේ ජීවත් වුණ කෙනෙක්. මට ඇයව මුණ ගැහෙන්නේ 1970 වර්ෂයේදී. සිංහබාහු නාට්‍යය බලන්න ඇවිත් හිටියා. ලූෂන් බුලත්සිංහලයන් විනීතාගේ පවු‍ලේ අයව ළඟින් ඇසුරු කළා. ඒ මාර්ගයෙන් තමයි මට විනීතාව මුණ ගැහෙන්නේත් දැන හඳුනා ගන්න ලැබෙන්නේත්. අපි අවුරුදු හතක් ආදරය කරලා 1979 වර්ෂයේ අප්‍රේල් 21 වැනි දින විවාහ වුණා. විනීතා සිංහබාහු බලන්න ආව නිසාත් ලූෂන්ව හඳුනන නිසාත් තමයි මට ඇයව සහකාරිය කරගන්න පුළුවන් වුණේ. අපිට දැන් දරු මුනුබුරෝ ඉන්නවා. පුතා මනුජ දිද්දෙණිය නිෂ්පාදන විධායකවරයෙක්. එයාගේ බිරිඳ වෛද්‍යවරියක්. ලූෂාන්ති ශ්‍යමිලා. එයාගේ පුතා මගේ මුනුබුරා අසිදු ඉඳුවර. වයස අවුරුදු තුනයි. අපේ දුව පබසරා දිද්දෙණිය. එයා ළඟදී විවාහ වුණේ. එයාගේ සැමියා නිශාන්ත පෙරේරා. මූල්‍ය පරිපාලකයෙක්. මුනුබුරා නිතරම අපේ ගෙදර ඉන්නේ නැහැ. එයා ළඟ නැති වෙලාවට ගෙදර හරිම පාළුයි. මගේ ජීවිතේ දැන් නිදහසේ සතුටින් ගෙවන්නේ ඒ අයගේ සතුට එක්කයි.

දිද්දෙණිය කියන කලාකරුවාගේ නාමය ඉදිරියට ගෙන යන්න නම් දරුවන් කලා කටයුතු කළ යුතුයි. දරුවෝ දෙන්නම කලාවට සම්බන්ධ නැහැ. ඒ ගැන කනගාටුවක් නැද්ද?
දරුවෝ දෙන්නම කලාවට සම්බන්ධ නැහැ. පුතාට හොඳ හඬක් තියෙනවා. ඒත් රැකියාවේ කාර්බහුලකම එක්කද දන්නේ නැහැ. එයා කලාවට සම්බන්ධ නොවන්නේ. පුතා කලාවට දක්ෂයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයෙක්. පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමෙත් හිටියා. අධ්‍යාපනය නිසා එයාට එයින් ඉවත් වෙන්න වුණා. අද ජාතික ක්‍රිකට් කණ්ඩායම දකිනකොට මට පුතාව මතක් වෙනවා. දුව එක නාට්‍යයකට විතරයි හිටියේ. ඒ දෙන්නම කලාවට ඒ තරම් උනන්දුවක් නැහැ. මම බල කරන්නෙත් නැහැ. කලාවට සම්බන්ධ නොවුණට ඒ දෙන්නා හොඳින් ඉගෙන ගත්තා. ඒ ගැන මම සතුටු වෙනවා. 
හර්ෂණී වීරරත්න
ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත
http://www.rivira.lk/edition/images/2014/04/13/nissanka%20diddeniya%201.jpg
http://www.rivira.lk/edition/images/2014/04/13/nissanka%20diddeniya%202.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය