Powered by Blogger.

මහරජ අජාසත්


දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට ඇතිවන දොළදුක සන්සිදුවන එක පුරාණ කාලයේ සිට ම අපේ මුතුන් මිත්තන් අතින් පවා සිදුවූවක්. අපේ කතාවේ කතා නායිකාවටත් ඇතිවී තිබෙන්නේ අපූරු දොළ දුකක්. මේ දොළදුක් ඇත්තිය නිකම්ම නිකම් කාන්තාවක් නම් නොවේ. ඇය බුදුන් දවස දඹදිව විසූ රජ බිසවක්. අජාසත්ත මහ රජතුමාගේ ප්‍රියාදර දේවීන් වහන්සේ වන ඛේමා බිසව. දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින ඛේමා බිසවට උපන් දොළ දුක වන්නේ රජතුමාගේ උරය පලා ලේ බීමට ඇතිවන ආසාවයි.
රජතුමා සිය සිරියහන් ගබඩාවේ ඛේමා බිසව අසලින් හිඳගෙන සිටියි. සිය දේවියගේ දොළ දුක ගැන දන්නා මහරජ අජාසත්. දේවියගේ කුසයේ සිටින සිය ලෙසින් මසින් සැදුණ දරුවා වෙනුවෙන් උපන් අපරිමිත ස්නේහයෙන් සිය උරය සියැතින් ම පලා දේවියට ලේ බොන්නට සලස්වයි. ඔහු අසීමිත වේදනාවෙන් උසුලන බව මුහුණින් ම ප්‍රකට කරයි.
ගතවූයේ නිමේෂයෙකි. පිටුපසින් ඇසුණේ ඕ.කේ. කට්... යන හඬකි. රජතුමා‍ත්, දේවියත් සිනා නඟති. වට පිටින් පැමිණි පිරිසෙන් සිරියහන් ගබඩාවද පිරී යයි. මේ අප සිටිනුයේ මේ දිනවල රූගත වන ‘මහරජ අජාසත්’ දර්ශන තලයේ ය.
පසුගිය දිනවල අනුරාධපුරය, කොළොන්නාව, පේරාදෙණිය අවට ප්‍රදේශවලදී මෙහි ඉතිරි රූගත කිරීම් සිදුවිය. මහරජ අජාසත්ත ගේ සහ බිම්බිසාර රජුගේ සිරියහන් ගබඩා ඉදිකොට තිබුණේ වැල්ලම්පිටිය සුනන්දාරාම විහාරස්ථාන භූමියේ ධර්මශාලාවේ ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වනුයේ මීට ප්‍රථමත් ඓතිහාසික කතා සිනමාවට රැගෙන විත් නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගත් සනත් අබේසේකර ය.
“ඇත්තට ‘මහරජ අජාසත්’ චිත්‍රපටයට පදනම් වෙන්නේ බුදුන් වහන්සේ‍ ජීවමානව වැඩ සිටින කාලයේ ඉන්දියාවේ මගධ දේශයේ රාජ්‍යය කළ බිම්බිසාර රජුගේ කතා ප්‍රවෘත්තියය. බිම්බිසාර රජතුමා තමයි ගෞතම බුදුන් වහන්සේට වේළුවනාරාමය පූජා කළේ. බිම්බිසාර රජතුමාගේ පුත්‍ර රත්නය වන අජාසත්ත කුමාරයා දේවදත්ත තෙරුන් හා එක්ව බිම්බිසාර රජතුමා රජකමෙන් පහ කරල සිර කුටියක සිරකරනවා. මෙන්න මේ ඉතිහාස කතාවට නව අර්ථකතනයක් දෙමින් වර්තමාන පරපුරට ගැළපෙන පරිදි තමයි ‘මහරජ අජාසත්’ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ.” අධ්‍යක්ෂ සනත් අබේසේකර අප සමඟ පැවසුවා. සනත් අබේසේකර සිනමාවට සම්ප්‍රාප්ත වන්නේ මෙරටට බුදු දහම හඳුන්වා දුන් මිහිඳු හිමියන් පිළිබඳ වන ‘මහින්දාගමනය’ චිත්‍රපටය නිර්මාණය කිරීමෙනි. සිය කුලුඳුල් නිර්මාණයට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාරය තවදුරටත් ඔහු සිනමාව හා බැඳ තැබීමට හේතුවක් වන්නට ඇත. ඉන්පසු ඔහු ‘සිරි දළදා ගමනයත්’, අනගාරික ධර්මපාල චරිතයත්, ‘මහරජ අජාසත්’ නිර්මාණය කළේ ය.
“මගේ ගමන් මාර්ගය වෙන්නේ බෞද්ධ සිනමා සංස්කෘතියක් ඇති කිරීමයි. මීට ඉහත කරපු චිත්‍රපටය වගේ ම ඉදිරියේ දී තිරගත වීමට නියමිත චිත්‍රපටවලින් මේ මාවත දිගු කරන්නට මට හැකිවෙයි කියලා හිතනවා.
‘මහරජ අජාසත්’ හි බිම්බිසාර මහරජුට ජීවය දෙනුයේ ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංග ය. ඛේමා බිසව වනුයේ ප්‍රවීණ නිළි සබීතා පෙරේරා ය. ජීවන් කුමාරතුංග මීට ප්‍රථම ‘මහින්දාගමනය’ සහ ‘සිරි දළදාගමනය’ යන චිත්‍රපට දෙකෙහි ම රාජ චරිත නිරූපණය කළේ ය. සබීතා‍ පෙරේරා ‍ඛේමා බිසව ලෙස මෙහි රඟනුයේ වසර 04 ක දිගු නිහැඬියාවකින් පසුව ය. ඇය අපට මතක හැටියට අවසන් වරට රංගනයට එක් වූයේ ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ ‘අබා’ චිත්‍රපටයේ ය.
“බෞද්ධ කාන්තාවක්” විදියට මගේ ජීවිතේ මට ලැබුණු භාග්‍යවත් අවස්ථාවක් විදියට තමයි ඛේමා බිසවගේ චරිතය මම සලකන්නේ. මේක බෞද්ධ තේමාවක් එක්ක නිර්මාණය වෙන කතාවක්. මේ කතාව ගැන මම පොත්පත්වලින් කියවල අහලා තිබුණා. බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ කතාවක්. මේ චරිතය ඔස්සේ වර්තමාන සමාජයට මට දෙන්න පුළුවන් දේ බොහොමයි.
විශේෂයෙන් මේ කතාව මට හිතෙනව කොළඹ අයට වඩා ගම්වල ජීවත්වන බොහෝ දෙනාට අතිශයින් වැදගත් වෙයි කියලා. අද දවසේත් අපි කොයිතරම් නම් අහනවද තාත්තා ඝාතනය කළ පුත්තු ගැන. ඒ නිසා සමස්ත සමාජයටම මේක හොඳ පණිවිඩ සපයන චිත්‍රපටයක් වේවි. විශේෂයෙන් අම්මා කෙනෙක් විදියට මම ගොඩාක් කැමැතියි මගේ පුතාට මෙවැනි චිත්‍රපටයක් පෙන්වන්නට ලැබීම ගැන” මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‍ෙඛ්මා බිසවගේ චරිතය රඟන සබීතා පෙරේරා අපට කිව්වා.
‘මහරජ අජාසත්’ සුනිල් ටී. ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කරනුයේ සුනිල් ටී. ප්‍රනාන්දුය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය