Powered by Blogger.


මේ සීතල බක්මහේ නැවුම් සුළඟ හමාගෙන එන්නේ කැවුම් කිරිබත් කැවිලි පෙවිලි සුවඳක් අරගෙන. ඒ සුවඳින් අද දසතම නැහැවිලා. රටේ තොටේ අස්සක් මුල්ලක් නෑරම නැ‍ඟෙන්නෙ රත්ඤ්ඤා හඬ, රබන් සුරල්, ඔංචිලිවාරම්. හැමදාමත් අපේකම රැකගන්න පෙරමුණ ගත්ත රන්වල පදන‍මේ රන්වල බළකායටත් අද දවස හරිම කාර්ය බහුලයි. මේ පදනමේ නිර්මාතෘ ලයනල් රන්වල. අලුත් අවුරුද්දත් එක්ක ඒ නම හැමදාමත් කියවුණා. අදටත් කියවෙනවා. ඒ ශ්‍රී ලාංකේය ගැමි සංස්කෘතියේ අපේකම, ගමේකම, අපේ ඇටමස් මිදුලු දක්වාම පතුරුවන්නට ඔහු දරපු නිර්මාණාත්මක ප්‍රයත්නය නිසා. අද ඔහු අප අතර නැතත් මතු පරපුර වෙනුවෙන් ඔහු ඇරැඹූ දේශීය නිර්මාණ කලා මෙහෙවර ඔහුගේ දෙටුපුත් සහන් රන්වල ඉදිරියට ගෙන යන්නට දරණ ප්‍රයත්නය අගය කළ යුතුයි. මේ අවුරුදු දිනයේ ජන ගීයේ තිබෙන රුව ගුණ නැවතත් කරළියට ගෙන එන්නට සහන් සමත් වෙලා‍. කොහාගේ නාදය දසතින් නැ‍ෙඟන මොහොතක ගැමි සංස්කෘතියේ ගැමි ගීතාවලියේ පිබිදී‍ම වෙනුවෙන් ලයනල් රන්වලයන් ඉටු කළ මෙහෙවර ගැන අපිත් එක්ක කතා කරන්න සහන් රන්වල එකතු වුණෙත් ඒ හින්දා.
“සිංහල අලුත් අවුරුද්ද දවසට ලයනල් රන්වල කියන මගේ පියාගේ නම කරළියට පැමිණෙනවා. එහෙම වුණත් තාත්තා නිර්මාණ කටයුතු කළේ අලුත් අවුරුද්ද ගැන විතරක් හිතලා නෙමෙයි. හැමවිටම තාත්තා දේශීය දේ අගය කරමින් ජන සංගීතය, ජන නැටුම්, අපේ දේ, අපේකම, තරුණ පරම්පරාව අතරට ගෙන යන්නට කටයුතු කළා. තාත්තාගේ ඒ වැඩපිළිවෙළ තුළ දේශීයත්වය, අපේකම අපේ රට හා බැඳුණු දෙයක් කියන දේ හැමදාමත් තිබුණා. ඒ නිසා අවුරුදු කාලෙට තාත්තා ගැන හැමෝම කතා කරනවා. තාත්තා ඈත තියා ම දැක්ක දෙයක් තමයි තාක්ෂණය, විද්‍යාත්මක දියුණුව එක්ක මේ ලෝකය එන්න එන්න ම කුඩා වෙනවාත් එක්ක අපි අපේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව හැමදාමත් රැකගන්න ඕනෑ කියන එක. එය කරන්නේ කොහොමද කියන දෙයට ඔහු පිළිතුරු සෙව්වා. සමස්තයක් විදිහට ගත්තම තරුණ අපේ මනස් එතනට යොමු කරන්නේ කොහොමද කියන දෙය ඔහු කල්පනා කළා. පොදුවේ ගත්කල එදා සිට අද දක්වා ම තරුණ පරම්පරාවට නැ‍ඟෙන චෝදනාවක් තිබෙනවා.
ඒ තමයි අපේ දෙයින් ඈත්වෙලා බටහිර පන්නයට අනුගත වෙලා කියන චෝදනාව. තාත්තා මේ දෙය ප්‍රතික්ෂේප කළා. ඔහු හැමවිට ම කිව්වේ අපේකම තරුණයන්ට ලබාදිය යුතුයි. ඔවුන්ට රස විඳින්නට ඉඩ නොදී, නිර්මාණ කරන්නට මඟ නොපෙන්වා චෝදනා කරන එක වැරදියි කියලයි. ශ්‍රී ලාංකේය තරුණයන්ට පළමුව අපේ නිර්මාණ අහන්නට දකින්නට සලස්වලා ඒ ඔස්සේ ඔවුන් පෙළ ගැස්විය යුතුයි කියන අදහස තාත්තා තුළ තිබුණා. සාමාන්‍යයෙන් තාත්තා තරුණ සිතුම් පැතුම් තේරුම් අරන් හිටපු කෙනෙක් විදිහට මම දකිනවා. තාත්තා මිය ගිහින් දැන් අවුරුදු 12 ක් වෙනවා. ඒත් ඔහු පටන් ගත්ත ජන කලාව පිළිබඳ වැඩපිළිවෙළ අදටත් අපි රැකගෙන තිබෙනවා. තාත්තා ගැන මතකය හැමදාමත් අලුත් වෙනවා. අපි හැමෝටම දැනෙන්නේ ඔහු නැති වුණේ අද ඊයෙක වගෙයි කියලයි.
ඩබ්ලිව්. බී. මකුලොළුව මහත්තය ලංකාවේ ජන ගීත ජාතික වශයෙන් එක් රැස්කර සංරක්ෂණය කළා. තාත්තා එතුමා ගෙන ගිය ඒ වැඩපිළිවෙළ තවත් පුළුල්ව සමාජයට ගෙන යන්නට කටයුතු කළා. ජනමාධ්‍ය ඔස්සේ දේශීයත්වය ගැන බහුලවම කතාබහ කරන්නේ සිංහල අලුත් අවුරුදු දාට නැතිනම් සාහිත්‍ය මාසය අළලා. මේ දේශීයත්වය ගැන කතා කරද්දී ජන, ගීත ජන නැටුම් ඒ සම්ප්‍රදායන් ඔවුන් සොයා යනවා. මේ නිසා එදත් අදත් තාත්තා ගේ ඒ දැනුම් සම්භාරය සොයාගෙන ඔවුන් ආවා. අද රන්වල පදනම හරහා ඒ දේවල් ඔවුන් මාධ්‍ය වෙත එකතු කරගන්නවා. අද වෙනකොට ජන සංගීතයට, නැටුම් කලාවට රන්වල පදනම හරහා විශාල වැඩකොටසක් කරන්නට අපිට පුළුවන්කම ලැබී තිබෙනවා. 1999 වසරේදී තමයි තාත්තා මුල් ම ජන ගීත එකතුව නිකුත් කළේ. ඒ ‘අහසෙ ඉන්නවලු’ නමින්. ‘ගම අවුලඤ්ඤං’ ගීත තැටිය එළි දක්වන්නට හැකි වුණේ ‍ඔහුගේ අභාවයෙන් වසරකට පසුවයි. එය එළිදැක්වූයේ රන්වල පදනම හරහායි. ඉන්පසුව රන්වල පදනම හරහා ‘යුද්දෙටත් ඇවිත්’, ‘පොඩි අයට ජන ගී’, ‘ත්‍රී’ වැනි ගීත ගණනාවක් අපි නිර්මාණය කළා.
ලංකාවේ ප්‍රථම වතාවට රන්වල බළකාය හරහා ‘අපේ අවුරුද්දට අපේ ගායනා නමින් ගී එකතුවක් අපි ඉදිරිපත් කළා. නමුත් අපි මීට පෙරත් නිර්මාණය කළ ගීතවලට අලුත් අවුරුද්ද සම්බන්ධ ගීත ඇතුළත් වුණා. මේ වනවිට විවිධ මාතෘකා ඔස්සේ දේශීය සංකල්ප පදනම් කරගෙන ගීත සියයක් පමණ අපි නිර්මාණය කර තිබෙනවා. මේ හැම ගීතයක් වගේ ම රසික ජනතාවට දකින්නට අහන්නට ලැබෙන්නේ අලුත් අවුරුදු සමයේ වීම විශේෂයි. තාත්තා තරුණ පරපුරට මේ දේවල් ගෙනයාම උදෙසා තාලම ජාතික පදනම ලෙස ජන ගී පාඨමාලාවක් ඇරැඹුවා. එය අඛණ්ඩව වසර 14 ක් පුරාවට අපි කරගෙන යනවා. දේශීයත්වය ජන ගායනා ජන නැටුම් ඇසුරින් නිර්මාණාත්මක සාහිත්‍ය පරම්පරාවක් බිහි කිරීමයි එහි මූලික අවශ්‍යතාව. අද වෙනකොට රන්වල පදනම කණ්ඩායම් කිහිපයකින් සමන්විතයි. රන්වල බළකාය, රන්වල ළමා බළකාය, රන්වල මතු පරපුර ලෙස කණ්ඩායම් කීපයක් ම රන්වල පදනම තුළ ක්‍රියාත්මක වෙනවා. මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අපිත් විශාල වැඩකොටසක් සිදු කරනවා.
පසුගිය දවසක BMICH කමතේ අපි අවුරුදු උත්සවයක් සාර්ථකව පැවැත්වූවා. ඒ වගේ ම රූපවාහිනී නාළිකාවල වැඩසටහන් ගණනාවකට අද දවසේ අපි දායක වෙනවා. මෙවර අලුත් අවුරුද්දට ස්වාධීන රූපවාහිනී සේවයේ සූර්ය මංගල්‍යය වැඩසටහන සඳහා තේමා ගීතය නිර්මාණය වුණේ රන්වල පදනමෙන්. එය රෝහණ බැද්දගේ සූරීන් සමඟ රන්වල බළකාය ගායනා කරනවා. මේ ගීතය රචනා කළේ ගීත් තරංග. සංගීත සංයෝජනය කළේ සදීප්ත ගුණවර්ධන. එහි තනුව මගේ. ඒ වගේ ම විදේශීය සංචාර කිහිපයක් ම රන්වල පදනමට ලැබී තිබෙනවා. විශේෂයෙන් ම අවුරුදු උත්සව සඳහා මේ හැමදේමත් එක්ක අපි රට වටා වගේ ම ලොව වටාත් අපේ දේ රැගෙන යාමට සූදානම් වෙනවා.

‘ඩැෆඩිල් මලේ’ තනුව මගේ

නිලු‍ෆා පෙරේරා

ඇය නිලුෆා පෙරේරා. ඇය බොහෝදෙනකුට ආගන්තුක වුණත් කලකට ඉහත දයාන් විතාරණ ගායනා කළ ‘ඩැෆඩිල් මල’ ගීතයේ තනුව නිර්මාණය කළේ නිලුෆා. එයින් පසු නිර්මාණකරණයෙන් කාලයකට විරාමයක් ගෙන විදෙස්ගත වන නිලුෆා පසුගිය දිනෙක ලංකාවට නැවත එන්නේ කලාව වෙනුවෙන් ම සක්‍රීය වීමේ අරමුණින්.
“මම අවුරුදු දහයක් විතර ලංකාවේ හිටියේ නැහැ. නැවත ලංකාවට ආවට පස්සේ මට හිතුණා මම දන්න දෙයින් කලාවට දෙයක් කරන්න ඕන කියලා. මම ලංකාවෙන් යනකොට අවසානයටම කළ නිර්මාණය තමයි දයාන් විතාරණ ගායනා කළ ‘ඩැෆඩිල් මල’ ගීතය. එහි තනුව නිර්මාණය කරලා පසුවයි එහි පද රචනය සිදුවුණේ.
මම පාසල් ගියේ කොටහේන යහපත් එ‍‍ඬේරා කන්‍යාරාමයට. පාසල් යන කාලයේ ඉඳලම මට ගායනා හැකියාවක් තිබුණා. පාසල් තරගවලින් පවා ජයග්‍රහණය කළා. බස්නාහිර පළාතේ ගායනයෙන් ප්‍රථම ස්ථානය පවා ලැබුණා. ඔය අතරතුරදියි ගුවන් විදුලි‍යේ ගායන වැඩසටහන් සඳහා සම්බන්ධ වෙන්න ලැබුණේ. එතැනදි ඉංග්‍රිසි ගීත පවා ගායනා කළා. ඒ කාලයේ ගායනයට වගේම පද රචනයටත් මට ලොකු හැකියාවක් තිබුණා. සිංහල, ඉංග්‍රිසි මාධ්‍ය දෙකෙන් ම මම නිර්මාණ කළා.
ගුවන් විදුලියේ ස්වදේශීය සේවයේ ‘නැවුම් මිහිර’ වැඩසටහනේ මම විවිධ නිර්මාණ කළා. ඒ විදිහට ගීතයක් ලියලා තනුවක් හදලා මම ගායනා කළ ‘සිනා විලක්’ ගීතය 1991 දී ප්‍රචාරය වුණා. ඔය අතරතුරේදි ‘නිදියන්න පුතුනේ’ ගීතය මම කළා. දවසක් ‍දයාන් විතාරණ ඒ ගීතය අහලා මට කතා කරලා ඇහැව්වා තනුවක් හදලා දෙන්න පුළුවන්ද කියලා.
ඒ වෙනකොට දයාන් පිළිබඳ මම දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු ගායනා කළ ‘වැටෙන් එහා’ ගීතය අහලා අවබෝධ කරගත්තා දයාන්ට තියෙන්නේ බටහිර ශෛලියේ හඬක් වගේම ගැඹුරු හඬක් කියලා. ඒ ගැන හිතලයි මම ‘ඩැෆඩිල් මල’ ගීතය සඳහා තනුව නිර්මාණය කළේ. එහි පද චාමින් රචනා කළේ. එය නොසිතූ ආකාරයට ජනප්‍රිය වුණා. ගායිකාවක් විදිහට මම පිට නිර්මාණකරුවෙක් වෙනුවෙන් කළ පළමු තනු නිර්මාණය තමයි ‘ඩැෆඩිල් මල'. අද ඒ ගැන කවුරුත් දන්නේ නැහැ. ඒ ගීතයේ ජනප්‍රියත්වය තිබෙන අවධියේමයි මම විදෙස් ගතවුණේ.
මෙවර ලංකාවට ඇවිත් කරපු අලුත්ම නිර්මාණයයි ‘අහසේ පාවේලා’ කියන ගීතය. එහි පද රචනයත්, තනු නිර්මාණයත්, ගායනයත් මම. සංගීතවත් කළේ ඒෂණ ගබඩාමුදලි.
මගේ ‘නිදියන්න පුතුනේ’ ගීතය ආයෙත් මට ඉදිරිපත් කරන්න හිතුණා. එය මායිම් ගම්මානයක ඉන්න අම්මා කෙනෙක් ගැන ලියැවුණු ගීතයක් වුණත් එය දැනට කාලෝචිත නැති නිසා නව ආරකින් මට එය නිර්මාණය කරන්න හිතුණා. මේ වෙනකොට එය මාධ්‍යයට නිකුත් කරලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙන්නේ. විශේෂයෙන් ම එහි රූප රචනය කළ වීඩියෝ ඉමේජ් ආයතනයට මම ස්තුතිවන්ත වෙන්න ඕන.
අද මගේ එකම බලාපොරොත්තුව කලා නිර්මාණවලට නොයෙක් අයුරින් එකතු වෙන එක. ටෙලිනාට්‍ය පෙර චිත්‍රපටයක් වෙනුවෙන් සංගීතය මුසු කරන්න මම ලොකු කැමැත්තකින් ඉන්නේ. ඒ අතරෙදිම මගේ ගීත ඇල්බමයක් නිකුත් කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

'ආයෙමත් ආදරෙන්' පදයයි මෙලඩි එකයි හරියටම සෙට් වුණා

ආත්මා ලියනගේ





කලකට ඉහතදි 'ලියතඔරා' ගීතයෙන් සුවහසක් රසිකයන්ගේ ආකරෂණයට ලක්වූ මේ හඬ සැලකිය යුතු කාලයක් අහන්නට ලැබුණේ නැහැ. නමුත් ඒ නිහැඬියාවට සමු දෙමින් 'ආයෙමත් ආදරෙන්' හා 'හිත දුර හන්දා' යන ඔහුගේ ශෛලීයෙන් බැහැරවූ වෙනස්ම ආරෙක ගීත දෙකකින් ආත්මා ලියනගේ නම් වූ ඔහු නැවතත් ශ්‍රී ලාංකේය රසික රසිකාවියන්ගේ හදවත් පැහැර ගෙන තිබෙනවා.
සැලකිය යුතු කාලයක් ඔබ නිහඬව හිටියා?
මට නිහඬ වෙන්න සිදු වුණේ අසනීපේ නිසා. විශේෂඥ වෛද්‍ය කොල්වින් සමරසිංහ ඇතුළු එම කාර්ය මණ්ඩලයේ අපරිමිත වෙහෙසට පින් සිද්ද වෙන්න තමයි අද මට ජීවත් වෙන්න වාසනාව ලැබිලා තියෙන්නේ. ඒ සැත්කම නිසා සැලකිය යුතු කාලයක් විවේකිව ගත කරන්න සිදු වුණත් විවේකීව ගත කළ කාලේ මම ගීත 16ක් විතර නිර්මාණය කරලා තියෙනවා.
ක්ෂේත්‍රයේ ඔබ නැවත පිය නඟන්නේ විනිසුරුවරයෙක් විදිහට?
එතන වුණේ යම් කිසි රූපවාහිනි නාළිකාවකින් අපේ ගායක ගායිකාවන් එකතු කරගෙන වැඩසටහනක් ආරම්භ කළා. ඒ තරගයේ ස්වභාවය වුණේ කණ්ඩායමක් තරග කරද්දි තවත් කණ්ඩායමක් විනිසුරු මඩුල්ලක් ලෙස කටයුතු කිරිමයි. ඉතින් ඔය අවස්ථාවේදී මටත් විනිසුරුවරයෙක් විදිහට කටයුතු කරන්න සිදු වුණා.
එය නැති වුණු ජනප්‍රියත්වය ගොඩ නඟා ගන්න යොදපු උපක්‍රමයක්ද ?
මම නිහඬව සිටි කාලයේදී පවා මගේ ජනප්‍රියත්වය නැති වුණා කියල මම හිතන්නේ නැහැ. නමුත් කිසිම වෙලාවක මම ජනප්‍රියත්වය සහ මාධ්‍ය සොයාගෙන යන්නේ නැහැ. පිරිසකට මාව අවශ්‍ය නිසානේ මාව සොයාගෙන එන්නේ. ඉතින් සුදුසු දේවල් වලට මම සහභාගී වෙනවා.
'ආයෙමත් ආදරෙන්' ගීතය රිලීස් කළේ මේ ජනප්‍රියත්වය නිසා කිව්වොත්?
මම ජනප්‍රියත්වය ගැන හිතන කෙනෙක් නෙවේ. ආත්මා ලියනගේ කියන මාව මිනිස්සු හඳුන ගන්නේ වාදන ශිල්පියෙක් ලෙස මම 'ලියතඹරා' ගීතය කියන්නත් කලිනුයි. මම ගායකයෙක් වුණේ 'ලියතඹරා' ගීතයෙන්.නමුත් ගායකයෙක් කියලා මම ඔළුවේ තියාගෙන ඉන්නේ නැහැ.
'ආයෙමත් ආදරෙන්' නිර්මාණය වෙන්නේ කොහොමද?
මගේ මිත්‍රයා සහන් රන්වල තමයි තිළිණ සහ රචිතා මට හඳුන්වල දුන්නේ. මේක ඔවුන්ගේ ගීතයක්. මා මෙතෙක් ගායනා කළ ගීතවලට වඩා හාත්පසින්ම වෙනස් ආරයක ගීතයක්. ඉතින් ඒ ගීතයේ මෙලඩි එකයි පද ටිකයි මට ගැළපෙනවා කියලා හිතුන නිසා මම ඒ ගීතය ගායනා කරන්න තීරණය කළා.
මේ ගීතයෙන් ලැබුණ ජනප්‍රියත්වය යොදා ගෙන ඔබත් 'පාර්ට් 2' නිර්මාණ කරණයේ රැල්ලට අහු වුණා?
නැහැ නැහැ. රචිතා සහ තිළිණ ම තමයි 'හිත දුර හන්දා' ගීතයත් නිර්මාණය කරලා දුන්නේ. 'ආයෙමත් ආදරෙන්' සහ 'හිත දුර හන්දා' කියන්නේ මෙලඩි එකෙන් වුණත් හාත්පසින්ම වෙනස් ගීත දෙකක්. සමහර විට 'පාර්ට් 2' කියලා දැම්මේ ඔවුන්ගේ අදහසකට අනුව වෙන්න ඇති.
පැරණි ගීත නවක ගායකයන් ගායනා කිරීම නිසා ප්‍රවීණයන් අසාධාරණයකට ලක්වෙනවා. ඔබටත් එවැනි අසාධාරණයක් සිදු වුණාද?
අපේ නම් ගහලා කොහේ හරි ඉන්න කෙනෙක්ව එක් කර ගෙන ඇවිත් ඔවුන් ලවා ගීත කියවලා මුදලකුත් දීල අරිනවා. ඒ වගේ අයට කොච්චර මුදලක් ගෙවනවද කියල නම් මට අදහසක් නැහැ. හැබැයි ඉතින් ඔය ඉන්නේ ගීත කියන කට්ටියක් මිසක් ගායනා කරන්න පුළුවන් හැකියාවක් තියෙන අය නෙවේ. මිනිස්සුන්ගේ හිතට වදින්න, හිතට දැනෙන්න ගීතයක් ගායනා කරන්න පුළුවන් කෙනාට තමයි ගායකයෙක් හෝ ගායිකාවක් කියන්නේ. මෙතන වැරැදිකාරයෝ ඔය වගේ සින්දු කියන අයට වඩා එයාලට මුදල් ගෙවන පිරිසයි. නමුත් ඕකට විසදුමක් විදිහට කිසිම නීතියක්වත් ප්‍රතිපත්තියක්වත් තවම නම් මේ ක්ෂේත්‍රයට ඇවිත් නැහැ. කලා කාරයෝ කියන පිරිස ඔය වගේ දේවල් පස්සෙන් පන්නන්නේත් නැත්තේ ඒක මාධ්‍යයටත් රසවත් මාතෘකාවක් වෙන නිසා.
ඔබත් රියලිටි වැඩසටහන් නියෝජනය කළ නිසා ඒ ඔස්සේ බිහිවුණු තරු ගැන ඔබේ අදහස?
හොඳට සින්දු කියන්න පුළුවන් අය ඒ අතරේ ඉන්නවා. චාමික සිරිමාන්න දක්ෂ ඕගන් වාදන ශිල්පියෙක්. ශිහාන් මිහිරංග හොඳ ගිටාර් වාදක ශිල්පියෙක්. ඔවුන්ගේ පළපුරුද්ද සහ දැනුම නිසා තමයි ක්ෂේත්‍රයේ රැඳී ඉන්නේ. ඒ වගේ දැනුමක් නැති අය ක්ෂේත්‍රයට ඇවිත් ටික දුරක් ගියත් ඉක්මනින් හැලිලා යනවා. දැනීමක් තියෙන අය හැමදාම රැදෙනවා.
නිර්මාණ එකතුවක් කරන්න ඔබේ අදහසක් තියෙනවද?
ඔව්. තවමත් බොහෝ දෙනෙක් මගේ ගීත ඉල්ලනවා. මිනිස්සු කැමැති ගීත එකකට දෙකකට නෙවෙයි. මගේ ගීත සී.ඩි එකක් විදිහට ගන්නයි එයාලට ඕනේ. නමුත් දැන් මේ තියෙන තාක්ෂණික ගැටලු නිසා මේ දේවල් කිරීමෙන් ප්‍රයෝජනයක් නැති තරම්. ගීතයක් රිලීස් වුණ ගමන්ම ඒක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරනවා මදිවට බොරු කවරෙකට පින්තුරයකුත් දාලා පිටරටත් පටවනවා. ඒ නිසා හිතන තරම් ආදායමක් සි.ඩි . එකක් කරලා හොයන්න බැහැ. ඒ හින්දා වෙන්න ඇති ගොඩක් අය අද රිංගින් ටෝන්ස් වලට එකතුවෙලා ඉන්නේ.
රිංගින් ටෝන් සංස්කෘතියට ඔබත් එකගද?
සි.ඩි . එකක් කරන්නවත් දැන් කිසිම ආයතනයක් නැහැ. ඉතින් අපිටත් යම්කිසි මාර්ගයක් තියෙන්න එපැයි. හැබැයි ඔය මොන දේ කළත් ආවට ගියාට කරන කෙනෙක් නෙවෙයි මම. රිංගින් ටෝන් එකක් වුණත් ඇහෙන කෙනාට කනට මිහිරක් දැනෙන්න ඕන.

නව අත්හදා බැලීම් කරන්න කැමැති නැද්ද?
අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න දැනටමත් සුදානම්. අපේම ස්ටුඩියෝ එකක් පටන් ගන්න සුදානම් වෙනවා. අත්හදා බැලීම් කරන්න නම් ඊට අදාළ සියලු ආම්පන්න තමන් සතුව තියෙන්න එපැයි.
'ආයෙමත් ආදරෙන්' සහ 'හිත දුර හන්දා' යන ගීත ඔබ සිතන අන්දමට ජනප්‍රිය වීමට හේතුව ?
ඒ ගීතයේ පද ටිකයි මෙලඩි එකයි මට හරියටම සෙට් වුණා. ඒ නිසා වෙන්න ඇති සාර්ථක වුණේ. මගේ අලුත් ගීතයක් හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න මොහොතකයි මේ ගීත රිලීස් වුණේ. ඉතින් ඒ හැමදේම මේ ගීත ජනප්‍රිය වෙන්න බලපාන්න ඇති.
මාධ්‍යත් එක්ක ඔබේ තියෙන අමනාපය මොකද්ද?
මාධ්‍යයත් එක්ක මට ඔරෝප්පුවක් නැහැ. නමුත් මධ්‍යයේ සමහර මිනිස්සුත් එක්ක මට ගැටලු තියෙනවා. අපි කියන දේවල් නෙවෙයි ලියන්නේ. ඒ වගේ අවස්ථා වලදී අපිට වෙන්නේ ලොකු අසාධාරණයක්.

ශෂිකලාගේ සැත්කමේ සිහිනය බොඳ නොකරමු

මේ ලෝකයට පය තියන අපි හැමෝම කොයි තරම් කාලයක් ජීවත් වෙයි ද කියලා කිසි කෙනෙක් කෙනකුට කියන්න බෑ. ඒ නිසා මියෙන මොහොත තෙක්ම ජීවත් වෙන්න අපි මොන තරම් නම් අරගල කරනව ද?
දැනුම් තේරුම් තිබෙන දා සිට කාටවත් බරක් නොවී, ජීවත්වෙන්නට උත්සාහ දරන දහසකුත් දෙනා අතර, තමන්ගේම උත්සාහයෙන් ධෛර්යයෙන් ජීවත් වෙමින් ලෝකයට ප්‍රයෝජනවත් යමක් කරන අයත් ඉන්නවා.
ඒත් සමහර දෙනා තමන්ටත් බරක් වෙලා අනුන්නටත් කරදරයක් වෙලා රටට ලෝකයටත් බරක් වෙලා ජීවත් වෙන හැටිත් අපට මේ සමාජයෙන්ම දැකගන්න පුළුවන්. ජීවිතය සැපෙන් සතුටින් ගෙවන අතර ම දුක් කරදර මැද ජීවත්වන අයත් අප අතර ම ඉන්නවා. ඔවුන් අතරිනුත් මොන තරම් දුක්කම්කටොලු බාධක ආවත් ඒවා තම ජීවිතයට පන්නරයක් කරගෙන ජීවත්වන දිරිය මිනිසුන් ද ඉන්න බවත් මතක් කරන්න ඕන.
දෛවයට අභියෝග කරමින් පැමිණි දුක් පැණි රසයි කියලා ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලමින් සතුටින් ජීවත්වෙන්න පුළුවන්නම් ඒක මොනතරම් දෙයක් ද? අද අපි මේ හෙළි කරන්න යන කතාව හොඳින් අහන්න. ජීවිතේ අසීරුම වේදනා විඳගෙන කෙසේ හෝ මේ ජීවන පියගැට පෙළ නඟින්න උත්සාහ කරන දිරිය දියණියක් අපට හමුවුණා. එයාගේ කතාව අද අපි ඔබ ඉදිරියේ ලෙහා දමන්නේ ලොකු දෙයක් ඔබෙන් ලබා ගන්න නෙමෙයි. පුළුවන්නම් ඇය වෙනුවෙන් පුංචි හෝ සරණක් වෙන්න කියන්න. එය ඇගේ ඉදිරි ජීවිතය සතුටින් ගත කරන්න යෝධ ශක්තියක්ම වේවි.
මිනුවන්ගොඩ හුණුමුල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහා විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ වාණිජ අංශයේ ඉගෙනුම ලබන ඇය නමින් ශෂිකලා මධුෂාණි. වාණිජ විෂය ධාරාවෙන්ම ඉහළට යන්න ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න ශෂිකලා මේ අවුරුද්දේ ඒ බලාපොරොත්තු ඉටුකර ගන්න අපොස උසස් පෙළ විභාගයට පෙනී ඉන්නත් සූදානම්. හැබැයි එයා ඉන්නේ ජීවිතේ ලොකු දුෂ්කරතා ගොඩක් වගේම අපහසුකම් රැසක් මැද. ඒත් ඒ සියල්ල දරාගෙන අද ඇය කෙසේ හෝ ජීවිතේට මුහුණ දුන්නත් හෙට දවස තීරණාත්මක බව ඇය හොඳාකාරවම දන්නවා. ඒ නිසයි ශෂිකලාගේ ජීවිත‍ය වෙනුවෙන් එයාගේ ආදරණීය තාත්තා ඇන්ටන් සිල්වා අපි හොයාගෙන එන්නේ.
“අපි ජීවත්වෙන්නේ හරිම අමාරුවෙන්. මම කරන්නේ කුලී වැඩ. ශෂිකලා මගේ ලොකු දුව. දැන් අවුරුදු 19 යි. තව අවුරුදු 15 ක පුතෙක් ඉන්නවා. මගේ බිරිඳ මල් වත්තක වැඩට යනවා. ඉතිං දුවට අවුරුදු 12 ක් විතර වෙනකොට කොන්දේ කැක්කුමක් ආවා. ඊට පස්සේ අපි බලද්දී අපිට තේරුණා කොඳුඇට පෙළේ පුංචි ඇදයක් තියෙනවා කියලා. පස්සේ අපි දොස්තර මහත්තයෙකුට පෙන්නුවා දුව. ඊට පස්සේ කිව්වේ කුඩා කාලයේ ඉඳලම දුවට මේ තත්ත්වය තියෙන්න ඇති ඒත් දැන් තමයි මේ වේදනාව මතුවෙන්න ඇත්තේ කියලා. ඔහොම ඉන්නකොට මාස දෙකක් විතර යද්දි කොඳුඇට පෙළේ ඇදවීම ටිකක් වැඩිවෙන්න ගත්තා.
බැරිම තැන රාගම රෝහලේ පුනරුත්ථාපනයට ගියා දුවවත් එක්කරගෙන අවුරුදු දෙකක් විතර. එතනින් කොළඹ මහා ඉස්පිරිතාලෙට දුව අරගෙන ආවා. එතැනදී වසන්ත පෙරේරා විශේෂඥ වෛද්‍ය තුමා පරීක්ෂා කරලා කිව්වා ඔපරේෂන් කරලා මේ තත්ත්වය හදන්න පුළුවන් හැබැයි අවදානමක් ‍ගන්න ඕන සැත්කමක් කියලා. ඉතිං මහත්තයෝ අපි කොහොමද අවදානමක් ගන්නේ. පස්සේ අපි සිංහල වෙදකම් කරන්න ගත්තා. ඒත් දුවගේ තත්ත්වය එන්න එන්න අමාරු වුණා. දුවටත් ලොකු බයක් තිබුණා ඔපරේෂන් එක කරන්න.
ඒත් අපේ අයියගේ දුවටත් ඔය ලෙඩේම හැදුණා. එයාගෙත් කොඳුඇට පෙළත් ඇදවෙන්න ගත්තා. පස්සේ ගිය ජනවාරිවල ඒ දුවට සැත්කම කරලා දැන් එයා හොඳින් ඉන්නවා. ඊට පස්සෙයි ශෂිකලා දුවටත් බයක් නැතුව මේ ඔපරේෂන් එක කරමු කියන තැනට ආවේ.”
කවුරු කොහොම මොනවා කිව්වත් තමන්ගේ ජිවිතය අවදානමකට ලක්කරන්න කවුද කැමැති. ඒක ඔබත් මමත් දෙපාරක් හිතන දෙයක්. ඒ අවදානමේම හිටපු ශෂිකලා දැන් මේ සැත්කමට මුහුණ දෙන්න සූදානම්. නොසිතූ ආකාරයට එයාගේ කොඳුඇට පෙළ ඇදවෙලා මේ වෙනකොට කාලයක් ගිහින් තිබුණ නිසා දැන් ශෂිකලාගේ පවුල ඉස්සරහා මුදල කියන කාරණය තවත් ඉදිරියට ඇවිල්ලා.
“අපිට මේ ඔපරේෂන් එක කරන්න ලක්ෂ විස්සක විතර මුදලක් හොයාගන්න කියලා රෝහලෙන් කිව්වා. ඒ වගේ මුදලක් හොයාගන්න එක අපි වගේ අයට ලොකු හීනයක් මහත්තයෝ. ඔය තත්ත්වය අපි ජනාධිපති අරමුදලටත් දන්වලා තියෙන්නේ. දුවගේ විභාගේ මේ අවුරුද්දේ. අපි ඒක ඉවර වුණු හැටියෙම මේ සැත්කම කරන්න ඕන. දැන් වුණත් එයා එයාගේ හැම වැඩක්ම කරන්නේ හරිම අමාරුවෙන්. හරියට ඇවිදගන්න අමාරුයි. ලොකු බරක් දරන්න බැහැ. එක විදිහට එක දිගට ඉන්න අමාරුයි. මේ තත්ත්වය දුවගේ ස්කොලෙන් පවා දැනගෙන උදව් කරනවා. අපේ තියෙන ආර්ථික අපහසුකම් එක්ක දුවගේ මේ සැත්කම කරන්න අපි ටිකට් පොත් ගැහැව්වා. එතැනදි ලක්ෂ දෙකක විතර මුදලක් අපි හොයාගත්තා. ගමේ හැමෝම වගේ උදව් කරනවා. පුළුවන්නම් අපිට ඉතිරි මුදල හොයාගන්න උදව් කරන්න කියලා පත්තරේ දාලා - දෙන්න මහත්තයෝ.” මේ පියා අපි ඉදිරියේ තමන්ගේ දුක්ගැනවිල්ල කියන්නේ එහෙමයි.
ඔව් ඒ යුතුකම අද අපි ඔබ ඉදිරියේ කියන්නේ මේ යොවුන් තරුණියගේ ජීවිතයට අස්වැසිල්ලක් වෙන්න ඔබට පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන්. අද එයා ජීවිතේ හැම අභියෝගයක්ම භාර අරගෙන එක් කඩඉමක රැඳිලා ඉන්නේ හිතට නෙමෙයි ගතට ශක්තියක් නැති නිසයි. පුළුවන්නම් ශෂිකලාගේ සැත්කම වෙනුවෙන් පුංචි හෝ සරණක් වෙන්න බලන්න. එහෙම වුණොත් ඇය ඔබ අපි වගේ සාමාන්‍ය මිනිසකු විදිහට ජීවත්වෙන්න වාසනාව ළඟාකර ගනී. ඒක එහෙම වෙනවානම් ඔබ අපි ලබන ලොකු පිනක් නේද?
ලිපිනය -
173/බී/1, ද/ කෙහෙල්ඇල්ල, හුණුමුල්ල.
ගිණුම් අංක - 079020123189 -
හැටන් නැෂනල් බැංකුව, මරඳගහමුල.
දුරකතනය - 0779211360

රිචඩ් ද සොයිසා ඝාතනය සිනමාවට නඟනවා

 අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන



*ඔබ හිතන විදිහට සෞන්දර්යාත්මක සිතිවිලි පිහිටන්නේ කෙ‍බඳු පුද්ගලයකුට ද?
මගේ විශ්වාසය අනුව සෑම මිනිසෙක් ම ජීවිත කාලය තුළදී සෞන්දර්ය චාරිකාවක යෙදිය යුතුයි. මව් කුස පිළිසිඳගත් දා සිට අපට ලැබෙන සංවේදනා අනුව මිනිසකුගේ ජීවිතය තුළ කලාකරුවකු නිර්මාණය වනවා.
* කුඩා කාලයේ සිටම ඔබ කලාවට ළැදි ද?
අපි කුඩා කාලයේ අපේ අම්මා අප නැළැවිලි ගී කීවා. බහ තෝරන විට සුරංගනා කතා, ජාතක කතා කියා දුන්නා. එය කුඩා දරුවන්ගේ සිත්වල ආකල්ප ජනිතවීමට, කලාකාමී හැඟුම් පුබුදන්නට ‍හේතු වනවා.
යමක් තේරෙන වයසෙදි ?”
අපි නිතර ශ්‍රීපාද වන්දනාවේ ගියා. ඒ වෙලාවට වන්දනාකරුවන් කියන කවි ගීත ආදිය අපට ඇසුණා.
“අපේ බුදුන් අපි වඳින්ඩ - දෙදන නමා අපි වදින්ඩ; ‘අග්ගල කං ඩෝං පුතා - හෙලේ නඟින් ඩෝං පුතා:’ ඒ වගේ දේවල් ඇහිලා අපිත් කවි සීපද ආදියට වගේ ම නාට්‍ය චිත්‍ර ආදියට ඇදුණා.
* ඉතිං ඔබත් කවි කියනවද?
අපේ පාසලේ කවි කීවා මතකයි‍. ඇස්. මහින්ද හිමියන්ගේ
රටත් ජාතියත් සමයත් කරනකොට
තුවක්කුවට කඩුවට ගල් මුල්වලට
ඉලක්කයක් වන්නට ඇත්නම් මෙමට
සැපක් තමයි නොතිබෙන නිවනින් මෙපිට
* කවි කීවා විතරද?
දහම් පාසලේ නාට්‍යවල රඟපෑවා.
* මොකක්ද චරිතය?
ඒක මතක නෑ.
*සින්දු කීවේ නැද්ද?
කීවා. ශිෂ්‍යත්වය සමත්වෙලා ද්විතියික අධ්‍යාපනයට හංවැල්ල මධ්‍ය මහා විද්‍යාලයට ආවාම සංගීතයට හිටිය ගුරුතුමා වැලිකල සර්.
අපි පාසල් ගීත ගායනා‍ කණ්ඩායමේ හිටියා‍.
සමනොළ පාදෙනි
ගලනා කැලණි
ගඟබඩ ඉතිහාසයට හුරු
හංවැල්ලේ මැදි විදුහල් මාතා
නමදිමු බැතිනි හදේ...
ඔබ හිටියේ අත්වැල් ගායනයට ද නැත්නම් මයික්‍රෆෝනය ළඟ ද?
මටත් මයික් එකක් හම්බුණා.
* එතකොට ලුම්බිණි විදුහලේදී?
ඒ තමයි නාට්‍ය කලාවේ තිඹිරිගෙය. අපි වුණත් කලා කටයුතුවලට වැඩිපුර යොමු වුණේ ලුම්බිණි විද්‍යාලයේදී. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. පාසලෙන් පස්සෙත් අපි ගෙදර ගියේ නෑ. රෑට පාඩම් කරන්න ඉන්නවා. ඒ අතර ලුම්බිණි ශාලාව බාර පැට්‍රික් අයියයි බාලසූරියයි නාට්‍ය පටන්ගෙන විදුලි පහන් නිවූ පසු ටිකට් නැතුව අපට ඇතුළට යන්න දෙනවා.
නාට්‍යකරුවන් සියලු දෙනා පාහේ අපට මුණ ගැසුණා. පුහුණු කිරීම් දැක්කා.
* ඔබටත් රඟපාන්න හිතුණා ද?
නෑ. කවදාවත් නෑ.
* ඇයි?
අපි ඉගෙන ගත්තේ වාණිජ අංශයේ නිසා අපි නාට්‍ය සංගීත සැදෑවන් සංවිධානය කළා මිස ඒවායේ රඟපාන්න හිතුවේ නෑ.
* විශ්ව විද්‍යාලයේදී?
මම බොහෝ වෙලාවට ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරී කටයුතු කරද්දී. දේශපාලනයට මිස කලාවට වෙලාවක් තිබුණේ නෑ. අනික මම බාහිර දේශකයකු ලෙසත් කටයුතු කළානේ. එතකොට තවත් කාලය අඩු වුණා.
* එහෙනම් චිත්‍රපට නිෂ්පාදනයට යොමු වුණේ?
චිත්‍රපටයක් හදන්න මම හිතාගෙන හිටියා. ධර්මසිරි බණ්ඩාරනායක හඳුනාගෙන මුලින් ම කරන්න හැදුවේ ‘හංස විලක්.’ ඒත් ඒ කාලේ මට ප්‍රාග්ධනයක් හැටියට තිබුණේ 10 ශ්‍රී මොරිස් ඉලෙවන් හන්ඩ්‍රඩ් එකක් විතරයි. ඒ නිසා බැංකුවකින් ණයක්වත් දුන්නේ නෑ.
ඊට පස්සේ?
ඊට පස්සේ ‘තුන්වැනි යාමය’ ට සම නිෂ්පාදකයකු හැටියට මුදල් යෙදෙව්වා. ඊළඟට ‘සුද්දිලාගේ කතාව’ නිෂ්පාදනය කරලා ඒ වර්ෂයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය වගේ ම සිංහල සිනමාවේ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් කරන්න ලැබුණා. අන්තර්ජාතික සිනමා උලෙළ රැසක් නියෝජනය කළා. මම විවාහ වෙන කොට චිත්‍රපට නිෂ්පාදකයෙක්. කලාකරුවන් සමඟ තිබූ ළෙන්ගතුකම කොතරම් ද කීවොත් විවාහයට අස්සන් කළෙත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්.
* තවත් චිත්‍රපට නිෂ්පාදනය කළානේ?
ඔව්. පරාක්‍රම නිරිඇල්ලව සිංහල සිනමාවට කැන්දන් ආවේ ‘සිරි මැදුරෙන්'. එයටත් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ලැබුණා. ඊට පස්සේ මම ‘අයෝමා’ නිෂ්පාදනය කළා.
* ඊට පසු නිහඬ වුණේ චිත්‍රපට කර්මාන්තය කඩා වැටුණ නිසා ද?
එහෙම කඩා වැටුණත් හොඳ චිත්‍රපටවලට දේශීය මෙන් ම අන්තර්ජාතික වෙළෙඳපොළක් දිනාගන්න පුළුවන්.
* ඒ කියන්නේ ආයේත් කරළියට එනවා?
අලුතෙන් දැන් චිත්‍රපට හදන්න ඕන කියලා හිතෙනවා. රිචඩ් ඩී. සොයිසා ඝාතනය සම්බන්ධව ඔහුගේ මවගේ දරු සෙනෙහස සහිත මානව හිතවාදී භූමිකාව අළලා චිත්‍රපටයක් කරන්න එක එක්කෙනා එක්ක කතා කරකර ඉන්නවා.
‍* ඔබ වර්තමාන චිත්‍රපට බලනවද?
බොහෝ ඒවා එළිදක්වන්නත් කලින් බලන්න ලැබෙනවා. ඒ අතරින් නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තණ්හා රති රඟා’ ට කැමැතියි.
* පොත් කියවනවද?
හුඟක්. මම විෂයානුබද්ධ වගේ ම නවකතා කෙටිකතා වැනි ඕනම පොතක් කියවනවා. ඒ අතරින් තාරකා වාසලමුදලිගේ නව කතා කීපයකටම මම කැමැතියි.
* පොත් ලියුවද ළඟදි?
'පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සාර්ව ආර්ථික විචල්‍යයන් ' කියා පොතක් ලීවා.
* ගීත?
අහනවා වගේ ම විවේකයක් ලැබුණාම ලියනවා. මේ දිනවල ‘දැයේ විරුවා ඔබයි’, ‘මේ අපේ පන්සලයි’ කියා ගීත දෙකක් කළා.
කැමැතිම ගීතය?
මගේ ම සිරි මැදුරේ ‘කන්‍යාවී’ ගීතය.
* ගායකයා? ගායිකාව?
එහෙම වෙනසක් න‍ෑ. හැමෝටම කැමැතියි.
* නළු නිළියන්?
සිරිල් වික්‍රමගේ. ඔහු මගේ සෑම චිත්‍රපටයකම වගේ හිටියා. ස්වර්ණා මල්ලවආරච්චිගේ රංගනයට කැමැතියි. මාලනී ෆොන්සේකාටත් කැමැතියි.
‍*බිරිය කැමැති චිත්‍රපට නිෂ්පාදකයාට ද? ඇමැතිවරයාට ද?
තමරා අකැමැතිම දේශපාලනයට. එයා කැමැතියි මම ගුරුවරයකු ලෙසම හිටියා නම්.
*දරුවන් කලාවට නැඹුරු ද?
ලොකු පුතා එංගලන්තයේ ග්‍රිනිච් විශ්ව විද්‍යාලයෙන් අන්තර්ජාතික ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය කළා. ඊට කලින් භාත් කණ්ඩේ සංගීත විශාරද සමත් වෙලා සංගීත ප්‍රසංගයක් පැවැත්වූවා.
දෙවැනියා මාස් හෝල්ඩිං ආයතනයේ විධායක ගණකාධිකාරි වරයෙක් ඔහු කලාවට එතරම් නැඹුරු නැහැ.
ලොකු දුව ඕස්ට්‍රේලියාවේ ජීව රසායන විද්‍යාව කරන්නේ.
දෙවෙනි දුව ගීත ගායනා කරනවා. අයියාගේ ප්‍රසංගවලටත් සහභාගි වුණා. ඇය එංගලන්තයේ නීතිවේදී උපාධිය හදාරනවා.
චූටි දුව විශාඛා විද්‍යාලයේ පෙරදිග තූර්යවාදක කණ්ඩායමේ නායිකාව. ඒ වගේ ම නාට්‍ය හා රංග කලාව විෂයක් හැටියට හදාරනවා.
* චූටි දුවවත් එහෙනම් රඟපායි ද?
ඉගෙන ගන්න කැමැති විෂයයකින් එයා ඉදිරියට යයි. ඒත් දේශපාලනය නම් කරන එකක් නැහැ.
* අලුත් චිත්‍රපටයේ ඇයත් ඉඳීද?
පවුලේ කිසිම කෙනෙක් චිත්‍රපට කෑලිවලට නම් යොදවන්නේ නෑ.
* ඔබ කලාකරුවෙක් ලෙස හඳුන්වනවාට කැමැති ද?
ඔව්. මෘදු සංවේදී මිනිසුන් බිහිවන්නේ කලාවෙන් නිසා.



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය