Powered by Blogger.

මැයි මස 03, 04 දෙදින තුළ රුවන්වැලි මහා සෑ අභියස පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.
ගෞතම බුදුන් වහන්සේගේ ද්‍රෝනයක් පමණ ධාතූ®න් නිදන් කර ඇති රුවන්වැලි මහා සෑය අභියස මැයි 03 වැනිදා තුණුරුවන් ගුණ සටහන් සුවිශේෂී කප්රුක් පූජාවක් ථූපාරාම පින්බිමේ සිට රුවන්වැලි මහා සෑ පින්බිම දක්වා පෙරහැරින් වටතිර, අටපිරිකර, නෙළුම් මල් රැගෙන පැමිණ පූජා කෙරේ.
ගෞතම බුදු රජාණන් වහන්සේගේ තෙසැත්තෑ ඥානයන් උදෙසා අෂ්ඨපාන, මල්, පහන්, සුවඳ දුම්, ඖෂධ වර්ග සහිතව සෑ සමිදුන් වන්දනාව සිදු කරන අතර කහගොල්ලේ සෝමවංශ හිමියන් ගේ ධර්ම දේශනාවක් එදින පැවැත්වේ.
04 වැනිදා ථූපාරාමයේ සිට ස්වාමීන් වහන්සේලා දහසක් පාවාඩ, මුතුªකුඩ, මතින් වැඩම කරවා රුවන්වැලි මහා සෑ අභියස දී වස විස රහිතව වගා කර ලබා ගත් සුවඳැල් සහලින් හා එළවළු වලින් පිළියෙල කළ දානය සඟ සතු කොට පූජා කිරීම සිදු කොට, ස්වාමීන් වහන්සේලා වෙත අටපිරිකර, මුතුකුඩ පූජා කිරීමෙන් අනතුරුව මෙම පින්කම අවසන් වේ.

රැස් වෙහෙර රැස් වෙහෙරක්මයි


බෞද්ධ සංස්කෘතියට සමගාමීව ව්‍යාප්ත වූ අපගේ ශිෂ්ඨාචාර ගමන් මාර්ගයේ පියවර ඔසවන විට ආගමානුකූල සුවය සැනසීම වෙනුවෙන් බෝධීන් වහන්සේගෙන් සැලසෙන්නේ විශාල මෙහෙවරකි. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේගෙන් නො නැවතී දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ ද ව්‍යාප්ත කරවමින් දෙවනපෑතිස් මහා නරේන්ද්‍රයාණන් උත්සුක වූයේ යහපත් වූ ව්‍යායාමයකින් තම සහෝදර වැසියන්ගේ අධ්‍යාත්මය තුළට පිවිතුරු වූ සම්බුදු දහමේ පණිවිඩය සන්නිවේදනය කිරීමටය. ඒ සඳහා යෙදවූ ආකර්ශනීය පෙළඹුමක් වශයෙන් මෙම ස්වභාව ධර්මයට අනුකූල වූ උපක්‍රමය යෙදුවා විය හැකිය.
එසේ නම් මෙසේ බෝධීන් වහන්සේ තිළිණ වූ ස්ථානයන් විශේෂයෙන් මාතෘ භූමියට නිසි මඟ පෙන්වන ප්‍රදීපාගාර බඳුය.
අනුරාධපුර රාජධානිය පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයත් එවැනිම ඓතිහාසික අගයකින් අනූන කුරුණෑගල දිස්ත්‍රික්කයත් එකට යා කරවන සමීපයේ රැස්වෙහෙර නොහොත් සැස්සේරුව නම් ඉතිහාස ගත පුදබිම පිහිටා තිබෙයි. මාර්ග කීපයකින් පිවිසිය හැකි මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්වය.
දීර්ඝ ඉතිහාස වන්දනා චාරිකාවකදී අති ප්‍රබල සන්ධිස්ථානයක් වශයෙන් රැස්වෙහෙර ප්‍රමුඛව හඳුනාගත හැකි වන්නේ ඉහත අප සඳහන් කළ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නිසාය. එසේ නම් ඒ ඉතිහාසය ක්‍රි.පූර්ව (250 – 210) දේවානම්පියතිස්ස යුගය දක්වා දුරාතීතයට විහිදී යයි.
එය එදා මේ දම් දීපයේ සුවිශේෂී පුදබිමක් වූවා සැබෑ නමුත් අපඑයට ඒ තරමටම වටිනාකමක් ප්‍රදානය කර තිබේදැයි සැක සහිතය. බහුතර බෞද්ධයන්ගෙන් විමසුවොත් රැස්වෙහෙර වෙත ගොස් වන්දනා මාන කරගත් අය ඇත්තේ සුළුතරයක් බව සත්‍යයකි.
වනේ වන සතාගේ විශේෂයෙන් වන අලින් නිරන්තරයෙන් සරන අඩවියක කිලෝමීටර් ගණනාවක් ඈතට විහිදෙන උස් කඳු මෙවුලක් ආශ්‍රයේ ස්වාභාවික සොඳුරු පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් කරලන මෙය දුරාතීතයේ දී රැස්වෙහෙර නොහොත් සැස්සේරුව නමින් රහතන් වහන්සේගේ පහසෙන් පිරිසුදුවූ වන අරණක් වශයෙන් පැවැති බව කියැවෙයි.
එහි ව්‍යාප්ත වූ කඳු මේඛලාවෙහි ලෙන් 99 ක් පමණ හමු වී තිබේ. බහුතරයක කටාරම් කොටා ඇත. එම ලෙන්හී පැරණි බ්‍රාහ්මීය අක්‍ෂර සහිත සෙල්ලිපි 14 ක් පමණ සොයාගෙන ඇති අතර මේ ලෙන් භික්‍ෂූන් සඳහා පිදූ ඒවා ය.
බුදුන් වහන්සේ පිදුමට දුරාතීතයේ දී පිළිම ඉදිවී නොතිබුණු අතර ඒ වෙනුවට භාවිතා කළේ වෙනත් සංකේතයන්ය. ඒ අතර වූ සිරිපතුල් ගල් මේ භූමියේ නටබුන් අතර තිබී හමුවෙයි. පැරැණි පියගැට, විහාරාරාමයන්ට අයත් නටබුන්, දිය පොකුණු, සක්මන් මළු, ආදිය කියාපාන්නේ එදා විසල් විහාරාරාමයක ගෞරවාන්විත භාවයය.
එදා පුදබිම වෙත වැඩම වූ බෝධීන් වහන්සේ වෙතින් රැස් විහිදුණු නියා ‘රැස් වෙහෙර’ නමින් හැඳීන්වීමට පෙළඹුණු බව නම පිළිබඳ ජනප්‍රවාද ගත පුවතකි. දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ උත්සවශ්‍රීයෙන් වැඩමවා රෝපිත කරමින් මෙම පුදබිමට වඩාත් වටිනාකමක් ප්‍රදානය කළ ද, එයට නොදෙවෙනි විශේෂත්වයක් රැගෙන එන්නේ රැස් වෙහෙරෙහි ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.
සුවිසල් ගල් කන්දේ පර්වත ගුලයක් ඇතුළට හෑරීමෙන් මෙහි අඩි 39 යි අඟල් 3 ක් පමණ විසල් උසකින් යුතු ශෛලමය පිළිමයක් නෙලා ඇත. රැස්වෙහෙර බුදු පිළිමය යැයි කියවෙන විට ඒ සමඟම අවුකන බුදු පිළිමය ද සිහිපත් වෙයි. ඒ තරමට මේ දෙක අතර නෑ සබඳතාවයක් ගොඩනැඟී තිබේ.
එය එසේ වීමට හේතු කීපයක් බලපායි. කලාවැව ඉස්මත්තේ කළු පැලක් සමීපයේ ඉදිවන අවුකන බුදු පිළිම වහන්සේ ද මෙවැනිම වූ හිටි පිළිමයකි. පිළිම වහන්සේ ද්විත්වයේම පිහිටියේ සමීප දුරකය. පිළිමයන්හි මුව කමලේ සමානතා දැක ගැනීමට හැකියාව ඇත. එසේම හැඩ තලයන්හිද සමානත්වයක් පෙනුන ද කලාත්මක බව විමසිමේ දී අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ රැස්වෙහෙර පිළිම වහන්සේට වඩා ඉදිරියෙන් සිටී.
අවුකන පිළිම වහන්සේ පරිපූර්ණත්වයට පත්ව ඇතිමුත් රැස් වෙහෙර පිළිම වහන්සේ වැඩ අවසන් නොකළ පිළිමයකි. මහසෙන් රජතුමා (ක්‍රි.ව. 274 – 301 ) ගේ කාලයේ රජතුමාගේ අනුග්‍රහයෙන් රහෙර පර්වතයේ පිළිමය නිර්මාණය කළ බව කියැවෙයි. ‘මහාසේන පඨිමා’ නමින් ප්‍රකට වූයෙත් මෙයම බව මතයක් පවතී. පිළිම වහන්සේ නිමවීමට කලින් රජතුමා මිය ගිය බැවින් පිළිමයේ වැඩද නැවැතුණු නිසා මෙම තත්ත්වය උදා වූ බවද කියැවෙයි. මහාචාර්ය පරණවිතානයන් ගේ මතය එය වුවද මෙය ක්‍රි.ව. 12 වන සියවසෙන් පසු කාලයේ නිර්මාණයක් යැයි ආචාර්ය විජේසේකර පවසයි.
අවුකන බුදු පිළිමයේ සමස්ත හැඩරුවෙහි ඇති සමමිතික භාවය මෙන්ම සියුම් භාවය මෙහි නොමැති බවත් ස්ථූල භාවය මෙන්ම යම් තරමක රළු ලක්‍ෂණ මතු කරලැති නිසා මෙය අවුකන පිළිමයට වඩා ප්‍රාථමික තත්ත්වයක පවතියි.
එහෙත් මෙවැනි දැවැන්ත පිළිමයක් නිර්මාණය කරලීමට පෙළඹීම අමතක කළ නොහැකි ඓතිහාසික විශේෂත්වයකි. ඇතැම්විට පතුරු ගැලවීයන දැඩි බව වැඩි තද කළු ගලක් වීම නිසා පිළිමය නෙලීම වඩාත් පහසු නොවුණු බැවින් අවසාන ප්‍රතිඵලයට මෙලෙස බලපෑවා වීමට ද පුළුවන.
මෙම පුදබිමේදී හමුවන විහාර මන්දිර දෙක සත් විහාරගෙය සහ මහ රජ විහාරගෙය වශයෙන් හඳුන්වයි. සත් විහාර ගෙතුලෙහි බුද්ධ ප්‍රතිමා හතක් දැක ගැනීමට ලැබේ. මහනුවර කලා සම්ප්‍රදායේ ප්‍රතිභාපූර්ණ අවදියක් එම ප්‍රතිමා තුළින් විද්‍යාමාන වෙයි. ඒවා බොහෝ විට දඹුළු විහාරයේ නිර්මාණයන්ට සමානකමක් දක්වයි. වළගම්බා රජතුමා ආරක්‍ෂාව පතා සැඟවී සිටි ස්ථානයක් වශයෙන් ද සැස්සේරුව හඳුන්වන ලබන අතර වළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයට අයත් යැයි පැවසෙන මහ රජ විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ දේවානම්පියතිස්ස රාජ්‍ය යුගයේ කළ බවද ඇතමකුගේ මතයයි.
දුටුගැමුණු රජතුමාගේ පුත් කුමරු සාලිය අශෝක මාලා සමඟ විත් මේ තැන සැඟවී සිටි බවද පවසන්නේ ජනප්‍රවාදයමයි.
ඉහළ මාලයේ නටබුන් වූ ස්තූපයක් ද පහළ මාලයේ තවමත් නිරුපද්‍රිතව පවතින ස්තූපයක් ද දැක ගැනීමට ලැබේ. ඒ සමීපයේ ඇත්තේ මධ්‍යම ප්‍රමාණයේ වැවකි. මෙසේ රැස්වෙහෙර සොඳුරු කරනා දසුන් පෙළකින් මෙම පුදබිම අලංකාර වී තිබේ.
රහින ලද ගලක් ආශ්‍රයේ බුදුරුවක් නිර්මාණය කළ නිසා ‘රැස් සේරුව‘ සැස්සේරුව වී පසුව රැස් වෙහෙර බවට පද පෙරළි ඇති වී නම සැදුනු බවටද තවත් මතයක් ගොඩනැගෙන්නේ රැස්වෙහෙර පිළිම වහන්සේ නිසාය. ඒ කෙසේ හෝ රාජ්‍ය යුගකීපයක ලක්‍ෂණ හඳුනා ගත හැකි වූද ස්වභාව ධර්මය විසින් නිර්මාණය කළ ඉතා විචිත්‍රවත් හැඩ තළ රාශියක් මත රමණීය වන සෙනසුනක් වශයෙන් ප්‍රතිනිර්මාණය කළා වූ ද, තෙළි තුඩකට, කැමරා කාචයකට දකින දකින නෙක දිසාවන්හී අපූරු රූප රාමු මැවීමට සමත් වන අඩවිය තුළ සොඳුරු පාරාදීසයක් බඳු වූ පූජනීය අඩවිය. ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතර රැස් විහිදවාලන රැස් වෙහෙරක්මය.

බෝධි රෝපණ පින්කමක්


විපස්සනා කම්මට්ඨානාචාර්ය එස්.එන්. ගොඑන්කාතුමා ලොව කීර්තිමත් විපස්සනා කම්මට්ඨානාචාර්යවරයෙකි. විපස්සනා භාවනාව පිළිබඳව ජාත්‍යන්තර සමුළුවලදී රූපවාහිනි හා ගුවන්විදුලි නාලිකාවලදී දේශන විශාල සංඛ්‍යාවක් පවත්වා ඇත.
බුරුමයේ මණ්ඩලේ නගරයෙහි උපත ලැබූ ගොඑන්කාතුමා 1924 ජනවාරි 30 දින ඉන්දීය ජාතික හින්දු භක්තික පවුලක උපත ලබන ලදී. වයස අවුරුදු 31 වන විට විශාල ධනවතෙක්ව සිටි එතුමාගේ පවුලේ දයාබර බිරිඳ හා පුතුන් සය දෙනෙකි. සුවපත් කළ නොහැකි යැයි වෛද්‍යවරු පවසා තිබුණු දරුණු හිසරදයකින් පෙළුණු එතුමා බුරුම ජාතික සයාජි ඌ බා කිං තුමාගේ දසදින විපස්සනා පුහුණුවකට සහභාගිවීමෙන් පසුව විපස්සනා භාවනාව සියලු දුකින් මිදීමට ඇති මාර්ගය බව වටහා ගත්තේ ය.
විපස්සනා කම්මට්ඨානාචාර්ය ගොඑන්කාතුමා විසින් ‘ගුරු පියා’ යනුවෙන් හඳුන්වන ලද තම ආදරණීය ගුරුපියාණන් වූ සයා ජි ඌ බා කිං තුමාට ගුරු පූජෝපහාරයක් ලෙස 2010 ජනවාරි 17 වන දින ඉන්දියාවේ මුම්බායිහි ගෝරායි මුහුදු වෙරළ අසල දැකුම්කලු විශ්ව විපස්සනා ස්ථූපය ගොඩනඟන ලදී. අඩි 325 ක් උස හා අඩි 280 ක් පළල වූ මෙම සුවිශේෂ ගොඩනැගිල්ල ඇතුළත 8000 ක පමණ පිරිසකට භාවනා කිරීමට ඉඩ සලසා ඇත. විශ්ව විපස්සනා ස්ථුපය උඩ කොටසෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිදන්කර ඇත. මෙහි පරිවාර චෛත්‍යයන් දෙකක් ද වේ.
මෙම බෝධීන් වහන්සේ ඉන්දියාවේ මුම්බායි නගරයේ විශ්ව විපස්සනා චෛත්‍යය වෙත මාර්තු මස 1 වන දින වැඩම වීමට නියමිතව තිබිණි. පසුදින බෝධි රෝපණය විශ්ව විපස්සනා චෛත්‍ය භූමි පරිශ්‍රයේ දී අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් ශ්‍රී ලාංකීය, ඉන්දීය සහ වෙනත් විදේශීය භාවනා යෝගීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

වැලිගම ඤාණරතන මහා නා හිමි තෙමස් පූර්ණ පින්කම


අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහා නායක රත්මලාන මල්ලිකාරාමාධිපතිව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී තෙමස් පූර්ණ පින්කම නිමිත්තෙන් ගුණසම්භාවනා කිරීමේ පින්කම 17 වෙනි දින පැවැත්වීමට නියමිතය.
එදින සවස 07.00 ට මල්ලිකාරාම යේ දී කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ ධර්ම දේශනාවකින් ආරම්භ වන අතර පසුදින දවල් ශතාධික මහාසංඝරත්නය වෙත සපිරිකර සංඝගතදක්‍ෂිණාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.


ගංගොඩවිල වෙසක් අසිරිය 2014


2014-05-14, 15, 16, 17, 18 දින වෙසක් උත්සවය වෙනුවෙන් ගංගොඩවිල වෙසක් කලාපයක් නිර්මාණය කිරීමට කටයුතු සංවිධානය කරමින් සිිටින බව දාපනේ සුමනවංස හිමියන් දන්වයි. ඒ සඳහා වෙසක් කූඩු තරඟයක් පවත්වන අතර වෙසක් තොරණ / භක්ති ගීත ඇතුළු විවිධ නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. වෙසක් කූඩු තරග සඳහා අයදුම්පත් ලබා ගැනීම සම්බන්ධව පහත සඳහන් දුරකථන අංකයන්ගෙන් විමසන ලෙස ඉල්ලීමක් කරයි.
071 8268592 මහින්ද හිමි, 077 4563010 විපුල මහේෂ් මහතා, 072 4343870 ලංකා මහතා, 071 8258862 රණවක සුනිල් මහතා.

පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය


මහාවිහාර 2014 බක් මස ශීල භාවනා වැඩසටහන අප්‍රේල් 20 ඉරිදා පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී පැවැත්වේ. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ශීල භාවනා වැඩසටහන පැවැත්වෙයි. මෙම බක් ශීල භාවනා වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.
මෙම අප්‍රේල් 21 වැනි දා, එනම් පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් පුරා පැය දෙකක් මෙම භාවනා වැඩසටහන පැවැත්වේ. ශීල භාවනා වැඩසටහන සහ භාවනා වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මහාවිහාර ශීල භාවනා වැඩසටහනේ උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි. ශීල භාවනා වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.

මාතර තරුණ බෞද්ධ සමිතිය


මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී බක් පොහොය නිමිත්තෙන් අප්‍රේල් මස 13 වන ඉරිදා පෝය පින්කම පැවැත්වේ. මෙම වැඩසටහන පල්ලාවෙල සාසනරතන, දෙහිගස්පේ සිරි විමල, කුරුණෑගල සාරානන්ද, ගම්මැදගම චන්ද්‍රජෝති ජූලම්පිටියේ සොමින්ද, ජූලම්පිටියේ සුසීත, හඳුගල සමිත, කිරිඉබ්බන්ආරේ සුසීල, යටිගල සෝමතිලක, දිගාමඩුල්ලේ බෝධිසිහ යන හිමිවරු පින්කම් මෙහෙයවති. ධර්මාචාර්ය මාකාවිට ධම්මාචාරි සීලමාතාව, නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන් දෙසුම් පවත්වති.


කළුතර බෝධිය


කළුතර බෝධි භාරකාර මණ්ඩලය සංවිධානය කරනු ලබන පොහෝ දා පින්කම් මාලාව මේ මස පසළොස්වක පොහෝ දින උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා දවස පුරා පැවැත්වේ.
එදින මුළු දවස පුරා සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව, බුද්ධ පූජාව, භාවනා සහ ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ කළුතර සුබෝධි හිමියන් විසිනි.


බුදුවිරු දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානය


පෙරවරු 5.00 සිව්බුදුරජාණන් වහන්සේලා උදෙසා පැන් පූජාව හා ගිලන්පස බුද්ධ පූජාව, 6.30 අනුශාසකතුමාගේ කෙටි දෙසුම, 7.15 සම්බුද්ධ පූජාව හා බුද්ධ වන්දනාව, 10.00 – 11.00 අනුශාසනාව හා භාවනාව පිළිබඳව ගැටලු සාකච්ඡාව, 11.00 - 11. 11.30 දහවල් බුද්ධ පූජාව, පස්වරු 1.00 – 2.00 පිරිත් සජ්ඣායනය, 2.00 – 3.00 අනුශාසනාව සහ භාවනාව පිළිබඳව ගැටලු සාකච්ඡාව 4.00 – 5.00 ධර්ම දේශනාව, 5.30 – 6.30 බුද්ධ වන්දනාව අටවිසි බුද්ධ පූජාව, තෙසැත්තෑඥාණ පහන් ආලෝක පූජාව, රාත්‍රී 8.00 – 9.00 ධර්ම දේශනාව, රාත්‍රී 10.00 – 11.00 පිරිත් සජ්ඣානය, පසුදින උදෑසන 3.30 – 4.30 වත් පිළිවෙත, උදෑසන 5.00 ගිලන්පස සම්බුද්ධ පූජාව, උදෑසන 6.30 සිල් පවාරණය.

කතරගම කිරිවෙහෙර


ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී බක්පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ. එදින උදෑසන අටසිල් සමාදන් කරවීම, මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා බෞද්ධ කොඩි 300 පැලඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. උදේ ධර්ම දේශනාව හා භාවනා වැඩසටහන කිරිවෙහෙර චෛත්‍ය මලුවේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට දී පැවැත්වේ.
සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්පඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණින්ද හිමියන් විසින් සිදු කරයි.
රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000ක ආලෝක පූජාව ද පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක සහ කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ බක් පෝ දින පෙරවරු 6.00 සිට පසුදින 6.00 දක්වා දාන, සීල, භාවනා ඇතුළු පින්කම් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ ‘වීතදෝශි’ සංවිධානය කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් සඳහා වෑගල්ලේ රාහුල, දළුගම සමිතඥාන, බුත්කන්දේ රතනජෝති වේවැල්දූවේ ධම්මකිත්ති, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල හිමිවරුන් සහ ගාල්ලේ සුධම්මාචාරි දසසිල් මාතාවද වැඩම කරනු ලැබේ.






0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය