Powered by Blogger.

Sri-padaසිරිපා වන්දනාවට පෙර හෘද සෞඛ්‍යය ගැන සිතමුඉතිහාසයේ මින් පෙර කිසිදා දක්නට නොලැබුණු තරම් වන්දනාකරුවන් පිරිසක් මෙවර ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බව රහසක් නොවෙයි. එහෙත් ඒ සම්බන්ධයෙන් අසන්නට ලැබුණු අතිශය ඛිෙදනීය පුවතක් වනුයේ මෙම අප්‍රියෙල් මාසය තුළදී පමණක් ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු වන්දනාකරුවන් තිදෙනෙක් හදිසි හෘදයාබාධවලට ලක්වී මිය යාමයි. ඒ පසුගිය අප්‍රියෙල් 01, 17 සහ 19 යන දිනවල. මෙවන් තත්ත්වයක් යටතේ වෙහෙසකර කඳු තරණයක් වන ශ්‍රී පාද වන්දනාව යමකුගේ හෘද සෞඛ්‍යයට බලපෑ හැකි අන්දම පිළිබඳ ඔබට දැනුවත් කිරීමට අප අදහස් කළා.
කඳු නැඟීමකට පෙර
ශ්‍රී පාද වන්දනාව කියන්නේ අපේ රටේ සෙසු වන්දනා ගමන් සමග සසඳන කොට තරමක් වෙනස් ගමනක්. ඒකට හේතුව ශ්‍රීපාදස්ථානයේ පිහිටීම අපේ රටේ තියන සියලු සිද්ධස්ථාන අතුරින් මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි කඳු මුදුනක තියන සිද්ධස්ථානය තමයි ශ්‍රී පාදස්ථානය. ඒ නිසා සෙසු සිද්ධස්ථාන වන්දනා කිරීමට වඩා වැඩි කායික ශක්තියක්, ශ්‍රමයක් වැය කිරීමට ශ්‍රී පාද වන්දනා කරුවන්ට සිදුවෙනවා.
කඳු නැඟීම කියන්නේ ලොව පුරා ප්‍රචලිත විනෝදාංශයක් වගේම ඉතාම හොඳ ව්‍යායාමයක්. නමුත් කඳු නැඟීම සම්බන්ධයෙන් යම් කායික යෝග්‍යතාවයකුත් තිබිය යුතු වෙනවා. විවිධ කායික රෝග; ශ්වසන රෝග ආදියෙන් පෙළෙන අයට කඳු නැගීම අහිතකර අවස්ථාත් තිබිය හැකියි. ඒ වගේම ඒ සියලු  රෝගීන් අතුරින් හෘද රෝගීන් සම්බන්ධයෙන් බලනකොට මේ කඳු නැගීම වඩාත් කල්පනාකාරිව කළ යුතුයි. ඒ නිසා ශ්‍රී පාද වන්දනාව සම්බන්ධයෙන් එවැනි අය ගත යුතු පියවර මොනවාද කියලා වටහා ගැනීම ඉතාම වැදගත්.
හෘද රෝගීන්ට ශ්‍රීපාද වන්දනාව අකැපද ?
ශ්‍රීපාද වන්දනාවේ යෙදීමට පෙර ඒ ගැන සිතා බැලිය යුතු පිරිස් අතුරින් මුල්ම කොටස තමයි හෘද රෝගීන්. මෙතනදී හෘද රෝගීන් කිව්වම හැම දෙනාම එකම ගොඩකට දමන්න බැහැ. හෘද රෝග විවිධයි. ඒ වගේම ඒ සඳහා කරන ප්‍රතිකාරත් විවිධයි. ඒ අයගෙන් කොටසක් තමයි බයිපාස් සහ ඇන්ජියෝ ප්ලාස්ට් වගේ හෘද සැත්කම්වලට ලක්වුණු පිරිස. මේ අයට ශ්‍රී පාද වන්දනාවේ යාමේ කිසිම තහනමක් නැහැ. නමුත් එවැනි අය අදාල සායනවලට සහභාගී වීමේදී ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන් විමසා ඊට අනුමැතිය ගත යුතුයි. ඊට අමතරව එබඳු සැත්කම්වලට මුහුණ නොදී ඖෂධ ප්‍රතිකාර පමණක් ලබා ගන්නා රෝගීන් එවැනි ගමනක් යාමට පෙර ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැනුවත් කොට උපදෙසක් ලබාගැනීම ඉතාම වැදගත්.
හෘද රෝගීන් ලෙස හඳුනා නොගත් හෘද රෝග ලක්ෂණ පළ කරන අය මේ අතර හෘද රෝගීන් ලෙස හඳුනා නොගත් හෘද රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ පළ කරන තවත් සෑහෙන පිරිසක් අප අතර හිඳිනවා. ඒ රෝග ලක්ෂණ හැටියට තරමක වෙහෙසවීමකදී දැනෙන පපුවේ කැක්කුම, අධික මහන්සිය, ඇඟපතේ කෙඩෙත්තුව, අධික ලෙස දහඩිය දැමීම, ක්ලාන්ත ගතිය ආදිය සඳහන් කරන්න පුළුවන්. ඒ අනුව සාමාන්‍ය වෙහෙස වීමකදී පවා යමකු තුළ මෙවැනි ලක්ෂණ තිබෙනවා නම් ශ්‍රීපාද වන්දනාවේ යාමට පෙර ඒ පිළිබඳව වෛද්‍යවරයකුට පවසා උපදෙස් පැතිය යුතු වෙනවා.
හෘදයාබාධ පිළිබඳ අවදානම් සාධක
මීට අමතරව එවැනි රෝග ලක්ෂණ නැති වුණත් දියවැඩියාව, අධික රුධිර පීඩනය අධිකොලෙස්ටේ‍රා්ලියතාව වැනි ලක්ෂණ කලක් තිස්සේ පවතිනවා නම් හෝ ‍ලේ ඥාතීන් හට හෘදයාබාධ වැළඳී තිබුණේ නම් ඒ අයත් මෙවැනි ගමනකට පෙර වෛද්‍යවරයකු හමුවී උපදෙස් ගැනීම ඉතා වැදගත්.
විවේක ගත යුතු කායික රෝග
මේ අතර ටික කලක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබි ඇති කායික රෝග (වෙරස් උණ වැනි) ඇති  අයද “දැන් මට තරමක් සුවයි“ නැතිනම් “මමත් නොගියොත් අනික් අය තරහා වෙයි“ වගේ හැඟීම් මුල් කොට මෙවැනි වෙහෙසකර ගමන්වලට එක්වෙනවා. නමුත් මෙයත් කෙසේවත් නුවණට හුරු දෙයක් ‍නෙවෙයි; ඊට හේතුව අනවශ්‍ය ලෙස වෙහෙසවීම මත එවන් අය තුළ මයෝකාඩයිටිස් වැනි රෝග තත්ත්වයන් හට ගැනීමේ යම් සම්භාවිතාවක් පවතින නිසයි.
රෝග නැතත් ඇඟපත නවෛහෙසන අය
මේ අතර ඉහත සඳහන් රෝග සහ රෝග ලක්ෂණ නොමැති එදිනෙදා ජීවිතයේදී ප්‍රමාණවත් අයුරින් වෙහෙසකර කටයුතුවල නොයෙදෙන ඒ වගේම කිසිදා ව්‍යායාමක් කර නැති සෑහෙන පිරිසක් ද අප සමාජයේ හිඳිනවා. මෙවැනි පිරිස් ශ්‍රී පාද වන්දනාව වගේ වෙහෙසකර කටයුත්තකට පෙර විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඒ සඳහා තමන්ගේ කායික යෝග්‍යතාව පිළිබඳව වෛද්‍යවරයකු  මුණගැසිය හැකි නම් ඉතාමත් හොඳයි.
සිරිපා කරුණාවේදී බෙහෙතුත් රැගෙන යන්න
ඒ වගේම ඔබ කවර රෝගයකට හෝ ප්‍රතිකාර ගන්නේ නම් ශ්‍රී පාද වන්දනාවේ යනවිට ඒ ඖෂධත් රැගෙන යන්නට ද අමතක කරන්න එපා  
ඊට අමතරව ශ්‍රී පාද වන්දනාවේ අතරමගදී ඔබට පපුවේ කැක්කුමක් වැළඳුණහොත් ඇස්පිරින් මිලිග්‍රෑම් තුන්සියයක ප්‍රමාණයක් (මිලි ග්‍රෑම් 75 වශයෙන් නම් පෙති හතරක්) සපා දිව යට තබා ගැනීම අප්‍රමාදවම කළ යුත්තක්. ඒ සමගම එසේ පපුවේ කැක්කුම තිබියදී රෝගීන් තවදුරටත් ඉහළට හෝ පහළට ගමන් නොකළ යුතු අතර කළ යුතු හොඳම දෙය එම ස්ථානයේ රෝගියාට විවේකීව හිඳීමට සලස්වා ප්‍රථමාධාර හෝ වෛද්‍ය කණ්ඩායමක් එතැනට කැඳවීමයි. ඒ අනුව රෝගියා සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ඔවුන් ගනු ඇති.
මූලික හෘද රෝග ප්‍රතිකාර සවිමත් කළ යුතුයි
ඒ වගේම ශ්‍රී පාද වන්දනා කරුවන් හට වැළඳෙන මෙවන් හෘදයාබාධ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත්වීම බලධාරීන්ගේ යුතුකමක්.ඒ අනුව
ශ්‍රී පාද මාර්ගයේ කිසියම් ස්ථානයක ජංගම ඊසීජී යන්ත්‍ර, අම්ලකර වායුව, විද්්‍යුත් කම්පන ප්‍රතිකාර උපකරණ සහ හෘද රෝගීන් සඳහා දෙන මූලික ප්‍රතිකාර සහිත වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීමත් ශ්‍රී පාදස්ථානය ආසන්නයේම ඇති මස්කෙළිය රජයේ රෝහ‍ලේ හදිසි හෘද වෛද්‍ය පහසුකම් තවදුරටත් දියුණු කිරීමත් බලධාරීන්ගේ පැත්තෙන් ගත හැකි මේ සම්බන්ධ යහපත් ක්‍රියාමාර්ග හැටියට හඳුන්වන්න පුළුවන්
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යහෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
අවධාරණය කරයි

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය