Powered by Blogger.

සංස්ථා අධ්‍යක්‍ෂ මණ්ඩලයට මෙයින් පසු යන්නේ නෑ
රේණුකා බාලසූරිය
ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමාජිකාවක වන සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මෙයින් ඉදිරියේ අධක්‍ෂ මණ්ඩලයේ රැස්වීම් සඳහා සහභාගි නොවන බව සරසවියට පැවසුවාය. එයට හේතුව ලෙස ඇය පවසන්නේ එහි වර්තමාන සභාපතිවරයා සමඟ චිත්‍රපට ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුබවාදී තීරණ ගැනීමට ඇති අපහසුවය.
මීට වසර කිහිපයකට කලින් ජනමාධ්‍ය තොරතුරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඇය අධ්‍යක්‍ෂ මණ්ඩල සමාජිකාවක ලෙස පත් කළ අවස්ථාවේ එම තනතුර බාර ගන්නා ලද්දේ දේශීය සිනමා කලාවේ හා කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවය කිරීමේ අභිලාෂයෙන් බවත් එහෙත් වර්තමාන සභාපතිවරයා ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා එසේ කළ නොහැකි බැවින් ඔහු සභාපති ධුරය දරනා තුරා තමා එම අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමට සහභාගි නොවන බව ඇය පැවසුවාය.
ඒ අනුව තම තීරණය පිළිබඳ ඇය විෂය බාර ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මෙන්ම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව ද ඇය පැවසුවාය.
එමෙන්ම රේණුකා බාලසූරිය විසින් විෂය බාර ඇමතිතුමන් වෙත යවන ලද ලිපියෙහි පිටපතක් සරසවිය පුවත්පතට ද එවා තිබිණි.
 

අලුතින් චිත්‍රපට ගී

ගායිකා මායා දමයන්ති
මගේ ‘රේඛා සංගීත ආශ්‍රමය’ කියන කලායතනයට මේ දවස්වල අලුත් ළමයි බඳවා ගන්න නිසා මමත් වික්ටර් වගේම කුෂාණිත් බොහොම කාර්යබහුලයි. ඒ අතර විවිධ තරගවලට ඉදිරිපත් වන ළමයින්ගේ කටහඬ පුහුණුවීම් කටයුතුත් සිදු කරනවා. විවිධ තරග විනිශ්චය සඳහාත් මට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මේ සෑම කටයුත්තක් අතරම දුව කුෂාණිගේ සංගීත කටයුතුවලටත් උපරිමයෙන් මගේ සහයෝගය ලබා දෙනවා.
ඈ පසුගිය දවස්වල ඉනෝකා සත්‍යාංගනීගේ අලුත්ම චිත්‍රපටයේ ගීතයක් ගායනා කළා. ඒ කටයුතු අතර ඈ ළඟටම වෙලා මම සිටිය එකට ඈට බොහොම සතුටුයි. මේ වෙනකොට මගේ ස්වරයට ආදරය කරන රසිකයන්ටත් යමක් කියන්න ඕනෑ. ඒ මගේ අලුත්ම ගීත කිහිපයක් පටිගත කරලා අවසාන බවයි. ඒ ගීත ළඟදීම ඔවුන්ට අසන්නට ලැබේවි. මේ අතර සංගීත ප්‍රසංගවලට සහභාගි වන ගමන්ම එවැනි ප්‍රසංග කිහිපයක් සඳහා විදේශ ගත වීමටත් සිතාගෙන සිටිනවා.


නඳුන් උයනයි ස්නේහයේ ඔබ සඳුන් සිසිලයි ජීවිතේ

කවියකු, විචාරකයකු,ගීත රචකයකු ලෙස රටක් දිනූ බුද්ධදාස ගලපත්තිගේ හැඟුම්බර හිත
අතීතයේ සැරිසැරූ නවාතැන්පොළ පිළිබඳ මතකය සොඳුරු ගීතයක පදවැල් අතර සැඟව ඇත්තේමය. ඒ පදවැල්, මියුරු ස්වරයක, මියුරු සංගීතය අතර සැරිසරන මොහොතක ගෙනෙන චමත්කාරය පිළිබඳ අපූරු අත්දැකීම් රාශියක් ඔබ සතුව ඇතිවාට සැක නැත. එවැනි අත්දැකීම් ඔස්සේ ශෝකයක් ඔබගේ හදවතට ගෙන පැමිණිය ද, ප්‍රීතියක් ඔබගේ හදවතට ගෙන පැමිණිය ද කම් නැතැයි ඔබට සිතෙනු නියතය. එසේ නම් තමා කැමැති තම අත්දැකීම් පිළිබඳ කියැවෙන ගී පදවැල් පිළිබඳ මතකය මෙවර මතක ගී පොතට රැගෙන එන්නේ බුද්ධදාස ගලප්පත්ති නම් ගීත රචකයාය. තීරු ලිපි රචකයාය. කවියාය.
දෛවය යනු අපූර්ව වූත්, පුදුමාකාර වූත් යෙදුමකැයි මට සිතෙන්නේ අතීත සිතුවිලි අතර සැරිසරන එක් ඇසිල්ලකදීය. ඒ තරමටම දෛවය මගේ ජීවිතයට සම්බන්ධ වූ යෙදුමක යැයි මා කෙසේ නම් නොපවසා සිටින්නද? ජීවිතයේදී විවිධාකාර වූ අයුරෙන්, විවිධාකාර වූ විලාශයෙන්, විවිධාකාර මිනිසුන් අපට හමුවන්නේ අහම්බයෙන් වුව ද, ඔවුන් හා අපූරු දෛවෝපගත බැඳීමකින් අප බැඳී ඇතැයි වරෙක මට සිතේ.
සොඳුරිය, ඔබ හා බැඳුණු ඒ සොඳුරු සෙනෙහෙදම ද එසේමය. නමුදු හදිසියේම නුඹ ඒ සෙනෙහෙදම බිඳ දමා යන්නට ගියේ නොසිතූ විරූ අයුරෙනි. නුඹ හා ගෙවුණු ඒ සොඳුරු අතීතයේ මිහිරි මතක පමණක් මා අසල තබා නුඹ නික්ම ගොස් පුරා වසර කිහිපයක් ගත වී ගිය ද ඒ අද ඊයේ මෙන් යැයි මට සිතේ. එවිට සිහින් රිදුමක් හදවත ස්පර්ශ කරන්නේ මටත් නොදැනීමය. ඒ අයුරෙන් හදවත ගැඹුරු තැනෙන් හටගන්නා රිදුම මුළු ශරීරය පුරා පැතිර යන්නට නිමේෂයකදු ගත නොවේ. එවැනි මොහොතක හදවත ගිලන් වූ රෝගියෙකු මෙන් මම හාන්සි පුටුවෙහි වැතිර සිිටිමි.
ඒ අතරතුර හාත්පස පරිසරය දෙස මගේ නෙත යොමු වන්නේ ඉබේමය. මඳ වේලාවකට පෙර මුළු පරිසරයම වෙලා ගත් රාස්සිගේ අව් දැල්ල අතුරුදන් වූයේ කුමන වේලාවකදැයි මට නිච්චියක් නැත. වැහිබීරම සමඟ එබිකම් කරන අඳුර අතරෙන් සීරුවට වැටෙන වැහිපොද තුරු අතර සැඟව ගියේ සැනෙනි. අව් රශ්මිය නිසා මලානිකව ශෝකවන තුරුලතා සිය ශෝකය මා හදවතට දී වැහි බිඳු සමඟ තාලයට වන්නමක් නටන්නේ යැයි මට සිතෙයි. ඒ අපූරු රටාව දෙස ඇසිපිය නොසොල්වා බලා සිටි මගේ සිතට යළි යළිත් ඔබ පිවිසෙන්නේ නිතැතිනි. මෙවැනි සොඳුරු දසුනක් නරඹන්නට නුඹ සිටියේ නම් යන සිතුවිල්ල මා පෙළයි.
‘මතකද අද වගේ ඒ දවස?’
නුඹ පිළිබඳ මතකයෙහි ගිලී සිටින මට නුඹ කොඳුරනු ඇසේ. මම වටපිට බලමි. ඇත්තේ අඳුර මුසුවුණු නිහඬත්වයේ ගිලී ගිය පරිසරය පමණි. යළිත් මම නුඹ සොයා ඒ අතීතයට සක්මනක යෙදෙමි.
එකල මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි ශිෂ්‍යයකු වීමි. අපගේ සාහිත්‍ය උත්සව සුපුරුදු ලෙස එවර ද පැවැත් වූයෙන් මම ද එහි බර කරට ගෙන වැඩ කළෙමි. සාහිත්‍ය උත්සවය පැවැත්වුණු දිනෙ ද පරිසරය අද මෙන් වග මට මතකය.
එහි වූ සුන්දරත්වය විඳීන්නට මට ඉඩහසර නොලැබුණ ද, නුඹ දුටු වෙලේ නම් මගේ සිතට පිවිසුණු සිතුවිල්ල පවසන්නට වචන වෙද්දැයි මා සිත උපදින්නේ සැකයකි. සීරුවට වැටෙන වැසි පොදවලින් බේරෙන්නට නුඹ මුවා වී සිටි කොන්ක්‍රිට් වහල්පලය මට අද මෙන් මතකය. උවන මතත්, ඇඳුමෙහිත් තිබූ වැහි බිඳු කිහිපය නුඹගේ සොදුරු බව තවත් තීව්‍ර කරන්නේ යැයි එවෙලෙහිම මට සිතිණි. වැස්ස සමඟ සෙල්ලම් කර ප්‍රීති වන කුඩා දරුවකු මෙන් නුඹ සුරත වැහි පීල්ලට අල්ලාගෙන සිටියේ දඟකාරියක විලසිනි.
‘නිකං ඉන්න ගීතා . . .’
යැයි අනෙක් අය පැවසුව ද නුඹ එය ගණනකට නොගත් බව දුටුවේත්, නුඹගේ නම අසන්නට ලැබුණේත් ඒ මොහොතෙහිය. මම සතුටෙන් පිනා ගියෙමි. අවංකව පැවසිය යුතු දෙයක් පවසන්නට මම අද බිය නොවෙමි. ඒ වන විටත් විශ්ව විද්‍යාලයේ යුවතියක් සමඟ ප්‍රේම සබඳතාවක පැටලී සිටි මම, කුමන හෝ දෛවයේ බැඳීමකින් මෙන් එවේලෙහිම පාසල් යුවතියක් වන් නුඹට රහසින් ප්‍රේම කරන්නට ද වූයෙමි. කිසිවක් නොදත් නුඹ මා හා සිනාසුණාය. කතාබහක යෙදුණාය. ඒ හමුවීම එතැනින් නිමා වූ බව සැබෑවකි.
එහෙත් ඉන් පසුව මා යුවතියන් කිහිප දෙනෙකුටම ප්‍රේම කළ බව ද සැබවි. ඒ අතරතුර යළිත් නුඹ මගේ නෙත අභියසට පැමිණෙන්නේ ඊට වසර කිහිපයකට පසුව බව මගේ මතකයෙහි ලියැ වී තිබේ. ඒ ටොරින්ටන් චතුරස්‍රයෙහි තිබූ ඩඩ්ලි සේනානායක මහතාගේ අවමංගල උළෙලෙහිදීය. කලකට පසුව දුටු නුඹේ නෙත මා නෙත හා ගැටිණි. ඒ ඇසිල්ලෙහිදීම මගේ හද මඬලෙහි කොණක තැන්පත්ව සිටි නුඹගේ රුව හඳුනා ගන්නට මට වැඩි කාලයක් අවැසි නොවීය. සුපුරුදු සිනහවේ සොඳුරු බව තවමත් එලෙසමය යන්න මගේ සිත මට මොර ගා කියූ කියුමකි. මම ද නුඹ හා සිනාසීමි. දෛවයෝගයකින් මෙන් එතැනින් ඇරැඹූ අපගේ සොඳුරු මිතුදම කාලයත් සමඟ ප්‍රේමයකට පෙරළී ගියේ නිතැතිනි. මා හදවත ගැහෙනා රාවය හඳුනා ගැනීමට තරම් නුඹ සමර්ථ වූවාය. එකිනෙකා හා බැඳි ඒ සොඳුරු ප්‍රේමය එක්තැන් කරමින් සංසාරයේම එකට බැඳී සිටින්නට, දෛවයට අනුව අපි දෙදෙනාම සපත කර ගතිමු. සැරයටියෙන් යනෙන තුරාවටම මාත් සමඟ අත්වැල් බැඳගෙන සිටින්නට එදා සපත කර ගත් නුඹ දරු දෙදෙනාත් මාත් තනි කර යන්නම යන්නට ගියේ දෛවයේ සරදමක් ලැබූ කලෙක සේය. මේ ගීතය අසන මොහොතක් මොහොතක් පාසාම දෛවයෝගයකින් මෙන් ගෙවුණු ඒ අපේ සොඳුරු අතීතයේත්, සොඳුරු නුඹගේ සමු ගැන්මත් නිතැතින්ම මට සිහිපත් වෙයි.
දෛවයෝගයකින් නොවේදෝ
හමු වුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමු වුණේ
 
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
සෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
 
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිසිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
 
ගේය පද – මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – වික්ටර් රත්නායක
 
සුනිල් ආරියරත්නයන්ගේ සුරතෙන් පද බැඳුණු මේ සොඳුරු ගීතය මගේ ජීවිතයට කෙතරම් සමීප ද ඒ තරමටම බොහෝ දෙනාගේ ජීවිතවලට ද සමීප බව මම දනිමි. ඒ සියල්ලන්ගේ ජීවිතවලට සමීප වූ අයුරෙන් ලියූ මේ සොඳුරු ගේය පද රචකයාගේ ගීතය අප හදවත බැඳ තබන්නේ වික්ටර් රත්නායකයන්ගේ සොඳුරු සංගීතයත්, ගායනයත්ය. ගිටාරයේ නැඟෙන ස්වරයෙහි තිබෙන්නේ අපගේ හදවත ගැහෙනා රාවය නොවේදැයි මට සිතේ. ඒ දෙදෙනාගේ සුසංයෝගයෙන් ගැයෙන මේ ගීතය මගේ ජීවිතය දෙස නැවත හැරී බැලීමට අපූරු පෙරවදනක් සපයන බව ද මම පවසමි.
මේ ගීතයට ද මගේ හදවතෙහි වූයේ අපූරු බැඳීමකි.
මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ
මේ හැටි දුර පියමං කරලා
ඇයි ඔබ ළඟ මම නතර වුණේ
 
මේ විල මේ නිල් දියෙන් පිරි
ඇයි මේ මල විල මත පිපුණේ
මා හද විල පතුලෙන් මතු වී
ඇයි ඔබ ආදර මල පිපුණේ
 
මේ විස කටු ගස ළඟ ඉපදී
ඇයි මේ මල් වැල එහි එතුණේ
ගිලිහී යන්නට ඔබෙ සුරතේ
ඇයි මගේ මේ අතඟැලි බැඳුණේ
 
ගේය පද – ලූෂන් බුලත්සිංහල
සංගීතය – වික්ටර් රත්නායක
ගායනය – නිරංජලා සරෝජනී
 
නුඹ පිළිබඳ සිතුවිලිවල නිරතවන මොහොතක සිතට පිවිසෙන මේ ගීතය ද මට සිහිපත් කරන්නේ ඒ අප හා බැඳුණු අතීතයයි. එවිට මම කාලයක් ඈත් වී සිටි අප, නැවතත් කාලයකට පසුව හමු වූයේ මන්දැයි මගෙන්ම විමසමි. ජීවිතයේ දිගු කාල පරාසයක බොහෝ දෙනා හමු වී, වෙන් වී ගෙවුණු කාල පරාසයෙහි හමු නොවූ නුඹ බොහෝ දුරකට පැමිණි පසු නැවතත් හමු වූයේ මන්දැයි මම මගෙන්ම නැවතත් විමසමි. එපමණක් නොවේ, ඒ කවුරුන්වත් මගේ ජීවන සහකාරිය නොවී නුඹ ම මා අසල නතර වූයේ මන්දැයි මා සිත පිළිසිඳ ගන්නේ කුහුලකි. කොපමණ දෙනෙකුට මගේ ආදරය හිමි වුව ද මගේ හදවතේ පත්ලෙහිම තිබී මතු වී මා හද නමැති විලෙහි පිපෙන්නට තරම් වූ පුෂ්පය වූයේත්, මගේ රජ සහනෙහි කිරුළ හිමි වූයේත් සොඳුරිය නුඹටම නොවේදැයි මගේ සිතට රැගෙන එන්නේ පුදුමයකි. ස්වභාව ධර්මයේ නියමයක මෙන් හමු වුවහොත් වෙන් වන්නට සිදු වේය යන නියමය සිහිපත් කරමින් නුඹ මගේ සුරතෙන් ගිලිහී ගිය බව සැබෑවකි. එසේ නම් අදත් මගේ සිත විමසන ප්‍රශ්නය වන්නේ සොඳුරු බවෙන් ළං වූ මිහිරියේ මේ තරම් ඉක්මනින් නුඹ මගෙන් වෙන් වූයේ මන්ද යන්නය.
මේ ගීතය ඇසෙන වාරයක් පාසා මම නිරතුරුවම මගෙන් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු අසමි. එහෙත් කිසි දිනෙක නොලැබෙන ප්‍රශ්න වැලක් තුරුළු කර ගෙනම මාද මෙලොවින් සමු ගන්නා තුරුම මේ ගැටලුවලට පිළිතුරු සොයන වග ද මම දනිමි.
ගීතය ගයන නිරංජලාගේ මියුරු ස්වරය මා හදවත පතුළේ නින්නාද දෙන්නේ සොඳුරියේ නුඹගේ ස්වරය හා මුසු වී යැයි විටෙක මට සිතේ. මේ ගීතයෙහි පද සංගීතයටත්, තනුවටත් අනුබලයක් ගෙනෙන අපූරු ගේය පද මාලාවකි ද යන්න අනෙක් වර මගේ සිතෙහි ඇති වුණු සිතුවිල්ලකි. මේ කුමන අයුරෙන් පැවසුව ද අතීත සිතුවිලි අතර සැරිසරන්නට වන ඉඩහසර පාදන මේ ගීතයට මම බෙහෙවින් ප්‍රිය කරමි. මේ ගීතයට ජීවිතය පුරාවටම මම සිත් බඳිමි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය