Powered by Blogger.

කුලසිරි බුදවත්තයන්ගේ නිවෙසට ගොඩ වදිමු

කලාපුරයේ නිහඬ සුන්දරත්වය එහි ඇතුළුවන්නකුට විඳගන්නට වැඩි වෙලාවක් නොයයි. දස අතින් නැගෙන කුරුල්ලන් ගේ කීචි බීචි නාදය දෙසවනට එක් කරන්නේ මිහිරකි. නර්තනයෙන් ගායනයෙන් හා වාදනයෙන් දසතම නින්නාද වුණු ඒ නිවෙස අදත් කලාපුරයේ සෙසු නිවාස අතර කැපී පෙනේ. ඡායාරූප ශිල්පී සුදම් ගුණසිංහත් මමත් මේ සිටින්නේ මෙරට නර්තන කලාවේ යුග යුග එකලු කළ ප්‍රවීණ නර්තන ශිල්පී යුවළක වන කුලසිරි බුදවත්ත සහ නේමාලි බුදවත්ත ගේ සොඳුරු නිවෙස සමීප‍යේයි.
බුදවත්ත යුවළගේ නිවහන මෙවර ‘අපේගෙදර’ විශේෂාංගය හැඩකරයි. නිවෙසට ගොඩවැදුණු සැණින් අප පිළිගත්තේ නේමාලි බුදවත්තයි. සුදම් නිවෙසේ සොඳුරු ස්ථාන ඡායාරූපයට නඟන අවස්ථාවේ ඔවුන්ගේ සොඳුරු නිවහනේ අසිරිය ගැන කතා බහ කරන්නට නේමාලි මා අසලින් වාඩි වූවාය.
බැලූ බැල්මට දෙමහල් නිවෙසක් වුවද නිවෙසට ගොඩවැදුණු පසු එය තුන්මහල් නිවෙසක සිරියක් සිහිගන්වයි. ආලින්දය, විසිත්ත කාමරය සහ නිදන කාමර දෙකක් මෙන් ම ෆැන්ට්‍රිය සඳහා මෙනිවෙසේ බිම් මහල වෙන්වන අතර ඉහළ මාලය විවෘත බැල්කනියකින්, බුදුමැදුරකින් සහ බුදවත්ත යුවළ ගේ සහ පුතණුවන් ගේ නිදන කාමර වෙනුවෙන් වෙන්වී ඇත. තෙවන මහළ නිදහස් කතාබහේ යෙදිය හැකි ඉඩකඩකින් වෙන්ව ඇත.
ආලින්දය කළු ගලෙන් නිම කරන ලද බිත්තියකින් ඔපවත් වී ඇති අතර මනාව ඔප දැමූ පැරණි හාන්සි පුටු, ආලින්දය වටේට තබා ඇත. කළුගල් බිත්තියෙන් ලැබෙන සිසිලසත් පැරණි පුටුවලින් ලැබෙන සිත්ගන්නා සුලු බවත් ඒ නිවෙසට එක් කරන්නේ අපූර්වත්වයකි. බුදවත්ත නිවෙස් ආලින්දයේ සිට විසිත්ත කාමරයට ඇතුළු වූ විට දක්නට ලැබෙන්නේ උස්ව බිත්ති ගොඩ නැඟූ අලංකාර විසිත්ත කාමරයකි.
අපි මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේයි පදිංචි වී සිටියේ.


මේ විදිහට කාලය ගත වන විට රටට දැයට මෙහෙයක් කරපු තෝරාගත් කලාකරුවන් කීප දෙනෙකුට ඉඩම් ලබාදීම යටතේ බුදවත්තගේ පියා වන ප්‍රවීණ නර්තනාචාර්ය පුංචි ගුරු බුදවත්තයන්ටත් කලා පුරයෙන් ඉඩමක් හිමි වුණා. ඒ ඉඩමේ තමයි බුදවත්ත 1986 දී මේ නිවහන ඉදිකළේ. මේ ඉඩම පර්චස් 16 ක පමණ ඉඩමක්.”
“මට මතකයි බුදවත්ත අදටත් මතක් කරනවා. එයා ගේ තාත්තා මේ ඉඩම තෝරපු හැටි. මුළු කලාපුරයේ ම ඇවිදලා මේ ඉඩමේ තිබෙන දැවැන්ත කැට කෑල ගහ දැකලා. පුතේ, කැටකෑලේ ගෙට ආලේ කියලා කියමනක් තිබෙනවා. ඒ නිසා මේ ගහ තිබෙන ඉඩමේ ම ගෙය හදන්න කියලා කියලා තියෙනවා. ඒ අනුව අපි මේ ඉඩමේ ගේ හදන්න පටන් ගත්තා.
“අපේ ගෙදර හැමදෙනාම ගෙදරට හොඳින් ආලෝකය, වාතාශ්‍රය එනවට කැමැතියි. ඒ හින්දම විසිත්ත කාමරයේ බිත්ති ඉස්සුවා. ජනෙල් ඕනෑම වෙලාවක මිදුලත් එක්ක සම්බන්ධ වන ලෙස නිර්මාණය කළා. ඒ නිසා හරිම සිසිලසක් ගේ පුරාම තිබෙනවා.”
ගෙමිදුලේ වූ දැවැන්ත කැටකෑල ගස් සෙවණ අතරින් එබෙන හිරු රැස් නිවෙසේ බිත්ති මත නෙක නෙක සෙවණැලි මවයි. කුරුලු හඬ පමණක් ඇසෙන නිහඬ පරිසරයෙන් විටින් විට හමා එන සුළං රැළි අප ගතේ විඩාව නිවයි. එය මගේත් නේමාලිගේත් කතා බහ ඉදිරියට ගෙනයෑමටම අපූරු ජවයක් ලබා දෙයි.
“අපේ ගෙදර හැම ලී බඩුවක් ම නිර්මාණය වෙලා තියෙන්නේ තේක්කවලින්. දොර ජනෙල් පවා නිර්මාණය කරන්නට භාවිත කළේ තේක්ක. ඒ සියල්ල ම අපේ අදහස් අනුව මොරටුවෙන් හදවපුවා. ඊට අමතරව විසිත්ත කාමරයේ තිබෙන බිත්තියේ අලංකාර කැටයමක් නිර්මාණය කර තිබෙනවා. එය විශේෂත්වයක්. අපේ පරම්පරාවේ ඇඟ හැමතැනම දුවන්නේ නර්තනය. මේ කැටයම දකින ඕනම කෙනෙකුට එය සිහිවෙනවා.
මෙය නිර්මාණය වුණේ බුදවත්තගෙ අදහසකට අනුවයි. සිංහල වංශයේ ආරම්භය කුවේනියගේ ඉඳල මහනුවර යුගයේ කොහොඹා කංකාරිය, ගැටබෙරය, බුලත් කොළය, කළය, සෞභාග්‍යය, වෙස් නැටුම යනාදී සියලු නර්තන කලාවම මේ කැටයම ඔස්සේ අර්ථ නිරූපණය වන අයුරින් නිර්මාණය වී තිබෙනවා. ඒ වගේ ම පරිසරයට උචිත අයුරින් තමයි නිවෙසට අවශ්‍ය වර්ණ සංකලනය කළේ. කහ පැහැය සහ සුදු පැහැය හැම විට ම නෙතට ප්‍රිය උපදවන වර්ණ. ඒ අනුව බිත්ති සහ නිවෙසේ අනෙකුත් ස්ථාන වර්ණ ගන්වන්නට අපි කටයුතු කළා.”
කිරි පැහැයෙන් ඔපවත් වුණු නිවෙසට අවට හරිතවර්ණ කොළ පැහැයෙන් ලැබෙන එළිය නිවෙසේ ඇති සුන්දරත්වය තවත් ඔපවත් කරයි.
එළිමහනේ දක්නට ලැබෙන බිත්තියක ද අපූරු කැටයමක් නිර්මාණය කර ඇත. නිවෙස ඉදිකරන්නට යොදාගත් සියලුම ආම්පන්න යොදා සකස් කර ඇති ඒ කැටයම් නිර්මාණය එළිමහනට එක් කරන්නේ අපූරු අසිරියකි. යකඩ කැබැල්ලේ සිට තීන්ත ගෑමට ගත් පින්සලය පවා ඉතා අපූරුවට ඒ නිර්මාණය හරහා අගනා සිහිවටන බවට පත්ව ඇත.
“නිවෙස පුරාම පොළවට කිරිපැහැති ටයිල් තමයි අල්ලා තියෙන්නෙ. ඉදිරියේදී මේ නිවෙස තව තවත් වෙනස්කම්වලට ලක්වේවි.”
නේමාලි බුදවත්ත පැවැසුවේ සුපුරුදු සිනාවෙන් මුව සරසා ගෙනය. හෝරා දෙකකට ආසන්න කාලයක් බුදවත්ත නිවෙසේ සොඳුරු අසිරිය විඳගත් අප යළිත් කාර්යාලය බලා එන්නට පිටත් වුණේ බුදවත්ත නිවෙසේ සුන්දරත්වය තව තවත් මනසින් අත්විඳිමිනි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය