Powered by Blogger.



අද වෙනකමි කාගෙන්වත් බැණුම් අහලා නැහැ

නාලිකාවන් රැසකින් ඔබ හමුවට එන තිසුරි යුවනිකා සමග කාලෙකට පස්‌සේ අපි ටිකක්‌ කතාබහ කරන්න හිතුවා. ඒ වෙන හේතුවක්‌ නිසා නම් නෙමෙයි. මේ දිනවල නිතර දකින රුව ඇය නිසා . මේ ඒ රුවේ හඬයි.

තිසුරි මේ දිනවල හැම නාලිකාවකින්ම දකින්න ලැබෙනවා ?

නාලිකාවලින් දකින්න ලැබීම ගොඩක්‌ සතුටුයි. හැබැයි එකිනෙකට වෙනස්‌ චරිතවලින් තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි එක වෙලාවකට හිතෙනවා, රඟපාපු ඔක්‌කොම නාට්‍ය ටික එකදිගට විකාශනය වෙන එක හරිනැහැ කියලත්.

මේ විදිහට ගියොත් තිසුරිව මිනිස්‌සුන්ට එපාවෙයිද?

එපාවෙන්නේ එකම චරිතය වගේ දැක්‌කොත්නේ. මට ලැබෙන හැම චරිතයක්‌ම වෙනස්‌ විදිහට කරන්න පුළුවන් උපරිම උත්සාහය ගන්නවා. විවිධ චරිත වලින් මාව දකින්න ලැබෙන හින්දා කවුරුත් මාව එපාවෙලා කියන්නේ නම් නැහැ.

අම්මාගේ අවස්‌ථාව දුව උදුරාගෙන වගෙයි ?

අම්මාගේ අවස්‌ථාව මට උදුරගන්න බැහැනේ. අම්මා ඉන්නේ ගොඩක්‌ ඉහළින්. තවම මට එතැනට ළංවෙන්නවත් බැහැ.

හැබැයි අම්මාට වඩා දැන් දුව තමයි වැඩිපුර දකින්නේ ?

ඒක ඉතිං අපේ වයසත් එක්‌කනේ. මට ලැබෙන්නේ පෙම්වතියගේ චරිතනේ. අම්මත් හිට්‌ එකේ හිටපු කාලයක්‌ තිබුණා.

දැන් දුව අම්මාට වඩා හිට්‌. ඒකනේ කියන්නේ ?

එහෙම නැහැ. අදටත් ඕනෑම තැනකට ගියහම මාව නෙවෙයි අඳුරන්නේ අම්මාව. මට ගොඩක්‌ දෙනෙක්‌ දන්නේ සුසන්තා චන්ද්‍රමාලිගේ දුව කිව්වහමයි. මේ වගේ තැනකට මෙච්චර ඉක්‌මනට එන්න පුළුවන් වුණේ මගේ දක්‍ෂතාව වගේම අම්මා මෙතැන හිටපු නිසා කියලත් කියන්න ඕනෑ.

අම්මා මොකද දුවගේ රඟපෑම ගැන කියන්නේ ?

මට වඩා ඇය සතුටුවෙනවා ඇති.

තිසුරිට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර එහෙමත් කිව්වොත් ?

අදවෙනකම් මම කාගෙන්වත් බැණුම් අහලා නැහැ. හැමෝම මට ආදරෙයි.

මෙතැනට අඩිය තියද්දී හිතුවද මේ තරම් දුර ගමනක්‌ යන්න පුළුවන් වෙයි කියල ?

එහෙම ලොකු බලාපොරොත්තු තියාගෙන මම මෙතැනට ආවේ. නැහැ. එදා ඉඳන් අද වෙනකම් කරන්නේ මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක්‌ කරන එකයි. ඒ අනුව ප්‍රේක්‍ෂකයෝ මට ආදරය කළා. මෙහෙම ජනප්‍රිය වෙන්න ඕනෑ කියලා මම කවදාවත් රඟපෑවේ නැහැ.

හැබැයි පසුගිය කාලේ ඔබ ජනප්‍රිය නිළියටත් නිර්දේශ වුණා?

ගොඩක්‌ සතුටුයි. නිර්දේශ වුණා කියන්නේ ප්‍රේක්‍ෂකයෝ මට ආදරය කළා කියන එකනේ.

නිතර දකින කුකුළගේ කරමල වගේ ඔබවත් ඔය කිව්වට මිනිස්‌සුන්ට එපාවෙයි නේද?

ඒක ඉතිං ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක්‌. හැබැයි මම ඔය කියන තරම් එකදිගට මාව දකින්න ලැබෙන්නේ නැහැ. පසුගිය කාලයේ මම නොපෙනී සිටියා. දැන් තමයි ආපහු මාව දකින්න ලැබෙන්නේ.

ඔබේ වැඩවලට අම්මාගෙන් ලැබෙන්නේ මොනවගේ සහායක්‌ද?

කලින් කිව්ව වගේ අම්මා නිසා තමයි මම මෙතැන ඉන්නේ. නැතිනම් මම සමහර විට රංගනයට එන්නේ නැතිවෙන්නත් පුළුවන්. මගේ සෙවනැල්ල දෙමාපියන්.

අම්මා නිසා දුවට වැරදි වැඩ කරන්න එහෙමත් බැරිව ඇති ?

මෙතැන කියල නැහැ, වැරදි වැඩ කරන කෙනා ඕනෑම තැනක වැරදි වැඩ කරනවා. මගේ අම්මා අදටත් මෙතැන හොඳ නමක්‌ හදාගෙන තිබුණ කෙනෙක්‌. මට අදටත් කවුරුහරි හම්බවුණහම කියන්නේ අම්මා වගේ ඉන්න කියලා. මම වැරැද්දක්‌ කළොත් තිසුරි යුවනිකා කියලා නෙමෙයි යන්නේ. සුසන්තා චන්ද්‍රමාලිගේ දුව වැරදි වැඩකරනවා කියලයි. ඉතිං මම කැමැති නැහැ අම්මාගේ නම කැතවෙන විදිහේ වැඩකරන්න.

පෙම්වතියගේ චරිතය රඟපානවාට අම්මා විරුද්ධ නැතිද?

එහෙම දෙයක්‌ නැහැ. අම්මාට ඒක රඟපාන්නත් බැහැනේ. (සිනාසෙමින්). ඇක්‌ෂන් කිව්වහම ඇක්‌ට්‌ කරනවා. කට්‌ කිව්වහම ඒක එතැනින් ඉවරයි.

තිරයට විතරයි කියලද කියන්නේ ?

තිරයට පමණයි. ඒක මම කවදාවත් ගෙදරට ගෙනියන්නේ නැහැ. තිරයේ ඉන්න පෙම්වතිය රිමූ කරලා තමයි ගෙදර එන්නේ.

අම්මා ඉන්න හින්දා බයයි වගේ ?

අනේ නැහැ. අම්මා හිටියත් මට ඔයටික තමයි කියන්න තියෙන්නේ.

තාත්තා මොකද දුවගේ වැඩ ගැන කියන්නේ ?

මගේ හොඳම විචාරකයා තාත්තා. අම්මාට වඩා මගේ අඩුපාඩු කියන්නේ තාත්තා.

ලැබෙන නිර්මාණ ගැන සෑහීමකට පත්වෙනවාද?

මෙච්චර පුංචි කාලයකට මට සෑහෙන චරිත කරන්න ලැබුණා.

තිසුරි යුවනිකා කියන්නේ මොනවගේ චරිතයක්‌ද?

ඉතාමත් සරල සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්‌.

ඉස්‌සරහට මොකද කරන්න හිතාගෙන ඉන්නේ ?

මම හැමදාම පත්තරවලට කිව්ව දෙයක්‌ තමයි මා ළඟ ලොකු බලාපොරොත්තු නැහැ කියන එක. අම්මයි තාත්තයි එක්‌ක හොඳින් ජීවත්වීම තමයි එකම බලාපොරොත්තුව.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය