Powered by Blogger.

අලව්‍දින් රජු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
සුදර්ශන බSudarshana1ණ්ඩාර ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ සේම සිනමාව හා වේදිකාව තුළත් විවිධාකාර චරිත රංගනයේ යෙදීමේ භාග්‍ය උදාකරගත් රංගන ශිල්පියෙකි. ලැබෙන කවර චරිතයට වුවද උපරිම සාධාරණත්වය ඉටුකිරීමට කැපවන සුදර්ශන නිසඟ කුසලතාවය සේම රංගනය හැදෑරීම් තුළින් නිරන්තරව තම කුසලතා වැඩිදියුණු කරගන්නට උත්සාහ කරන ශිල්පියෙකි.මීට මාස කිහිපයකට පෙර සුදර්ශන විවාහ වූ අතර තම විවාහයට වැඩි ප්‍රසිද්ධියක් ලබාදීමට ද ඔහු මැලිවිය. මේ දිනවල ‘සත් පියවරු’, ‘තූර්යා’, ‘සිහින අරන් එන්න’, ‘තිමිරගිර’ යන ටෙලි නාට්‍ය මගින් රසිකයන්ගේ ආදරය දිනූ සුදර්ශන ගැන තොරතුරු බිඳක් ඔබට ගෙනෙන්නට අපි සිතුවෙමු.
* සුදර්ශනගේ විවාහය සිදුවුණේ අප්‍රකටව නේද ?
අප්‍රකටව කියන්න බැහැ. කලා ලොවේ සමීපතමයන්ට වගේම දෙපාර්ශ්වයේ ඥාතීන්ට අපේ මංගල්‍යට ආරාධනා කළා. නමුත් ඇතැම් මාධ්‍ය ආයතන පවා මා හට දුරකථනයෙන් කතා කරලා දොස් නැගූ අවස්ථා තිබුණා. ඊට හේතුව ඒ අයට මගෙ විවාහය ගැන දැන්වූයේ නැති වීම. ඇත්තටම මම මගේ විවාහය ගැනයි ආදරය ගැනයි වැඩි හෙළිදරව් කිරීමක් කළේ නැහැ.
* තරුණියන් අතර පවතින ජනප්‍රියත්වයට බාධාවක් වෙයි කියලා ආදරය, විවාහය සඟවන තරුණ නළුවන් ඉන්නවා තමයි.
නමුත් ආදරය හා විවාහය ජනප්‍රියත්වයට බාධාවක් කියල මම නම් හිතන්නෙ නැහැ. මට අවශ්‍ය මගෙ රඟපෑම තුළින් ජනතා ආකර්ෂණය ලබාගන්න. ආදරයයි විවාහයයි කියන්නේ පෞද්ගලික දේවල්නේ, ඒ වගේ දේවල් ඒ අදාළ පාර්ශ්වයන්ගේ විතරක් සහභාගිත්වයෙන් සිදු කෙරුනම හොඳටම ඇති.
* ඒත් ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ගැන දැනගන්න කැමති රසික රසිකාවියනුත් ඉන්නවා.
තම පෙම්වතා ගැන පෙම්වතිය ගැන මහා ඉහළින් වර්ණනාත්මකව, මාධ්‍යට කියන අය ඉන්නවා. ඒත් පසුකාලයේ එවැනි සබඳතා බිඳ වැටෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඒ අය සමාජයේ අපහාස උපහාසවලට ලක්වන අයුරු මා දැක තිබෙනවා. අනෙක තමන්ගේ ආදරයයි විවාහයයි පෞද්ගලිකත්වයයි අලෙවි කරලා ජනප්‍රියත්වයට අතිරේක වාසි ඇති  කරගන්නා අයත් අපි අතරේ ඉන්නවා. ඔය කී තත්ත්වයන් දෙකම මම අනුමත කරන්නෙ නැහැ. ඒකයි මම මගේ ප්‍රේමය ගැන කිසිම දෙයක් විවාහයට පෙර මාධ්‍යට හෙළි කළේ නැත්තේ.
* දැන්වත් එහෙනම් බිරිඳ ගැනයි ආදර සම්බන්ධය ගැනයි විස්තර ටිකක් කියන්න ?
 මගේ බිරිඳ සහනිකා සුමනසූරිය. වෘත්තියෙන් බටහිර වෛද්‍යවරියක්. ඇය විශාඛා විද්‍යාලයේ ඉගෙන ගන්න කා‍ලේ පාසල් නාට්‍ය තරගයට “පද්මාවතී” නාට්‍යයේ පද්මාවතීගේ චරිතය රඟපාලා හොඳම නිළිය වුණා. එදා අලව්දින් රජතුමාගෙ චරිතය රඟපෑවේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර. මෙම නාට්‍ය පුහුණු කරලා තියෙන්නේ නිශ්ශංක දිද්දෙණිය. පස්සේ කාලෙක නිශ්ශංක දිද්දෙණිය මහතාගේ නිර්මාණයකදී නැවත පද්මාවතී චරිතයට සහනිකා තෝරා ගත්තා. එම නාට්‍යයේ පූරක චරිතය කළේ මම.
* එහිදී ඇතිවූ දැන හැඳුනුම්කම තමයි ප්‍රේමයක් දක්වා දුරදිග ගියේ?
 ඔව්. ඒක තමයි වුණේ.
* දොස්තර නෝනා කෙනෙක් කියන්නේ අද සමාජයේ ඉහළම පිළිගැනීමක් තියෙන කෙනෙක්. ඉතින් ඔය දෙන්නාගේ ප්‍රේමයට බාධා එල්ල වුණේ නැද්ද ?
මම නළුවකු වීම නිසා මුලදී ඇගේ පවු‍ලේ අය අපට විරුද්ධ වුණා. ඒත් මමත් වෘත්තියෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ ගුරුවරයෙක්. අනෙක මම මේ දවස්වල මගේ ආචාර්ය උපාධියටත් සූදානම් වෙනවා. මගේ පසුබිම දැනගත්තම ඇගේ ගෙදර අය මට කැමති වුණා.
* ඒ කියන්නේ සුදර්ශන නළුවෙක් වගේම විද්වතෙක්. නළු නිළියන්ගේ පවුල් ජීවිත අවුල් වීම සුලබව සිදුවන්නේ ඇයි ?
අද උසාවියකට ගියොත් දික්කසාදය අනියම් සබඳතාවයන් වැනි දේ මුල්කරගත් නඩු බොහොමයි. ඒත් ඒ අය ප්‍රසිද්ධ චරිත නොවන හින්දා කවුරුවත් ඒ ගැන දැන ගන්නෙ නැහැ. නළු නිළියෝ කියන්නෙත් මේ සමාජය නියෝජනය කරන අයනේ. ඉතින් ඒ අතරේ ඉන්න නළු නිළියන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් ඉතාම ස්වභාවිකයි.
* සුදර්ශන නළුවෙක් වීම හින්දා බිරිඳගේ පාර්ශ්වය මුලින් විරුද්ධ වුණේ මොන හේතු පදනම් කරගෙනද?
 නළු නිළියන් කාර්යබහුලයි. ගෙදර ගතකරන ජීවිතය සීමාසහිතයි. පවුල් ජීවිතය සාර්ථක කරගන්න දෙදෙනා නිතර එකට සිටිය යුතු බවනේ වැඩිහිටියන්ගේ මතය. නමුත් මම කරුණු පහදලා කරලා දුන්නම, මගෙ පසුබිම තේරුම් ගත්තම ඒ විරෝධතා මැකිලා ගියා.
* ඔබේ මට්ටමේ සමහර තරුණ නළුවන් බොහෝ විට ප්‍රධාන චරිත සඳහා පමණයි උනන්දු වන්නේ.Sudarshana
මගේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ. ප්‍රධාන චරිතයද පෙම්වතාගේ චරිතයද සුදු චරිතයක්ද කියන එක මට ප්‍රශ්නයක් නමෛයි. මට කළ හැකි යමක් ඒ චරිතය තුළ තියෙනවා නම් ඒ චරිතය මම භාර ගන්නවා.
* සාර්ථක නළුවකු වීමට විවිධ චරිත විවිධාකාරව රංගනයේ යෙදිය යුතුයි. නමුත් වර්තමාන ටෙලි නාට්‍ය නළු පරපුර එතනදී අසරණ වෙනවා නේද?
ඇත්ත; අද ටෙලි නාට්‍ය කිහිපයකම රඟපාන නළුවන්ගේ මාරුවෙන්නේ ඇඳුම හා දෙබස් විතරයි. ඒකෙන් වෙන්නේ ඒ නළුවගේ රඟපෑම් ඒ ඒකාකාරීවීම සහ ඒ නළුවා ඉක්මනින් රසිකයන්ට එපා වීම. නමුත් මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ ඒ ඒකාකාරිත්වයෙන් මිදෙන්නයි.
* ඉතින් ඒ උත්සාහය සාර්ථකද?
මේ දවස්වල මම රඟපාන ටෙලි නාට්‍ය හතරක් විකාශය වනවා. සත් පියවරු, තිමිරගිර, සිහින අරන් එන්න, තූර්යා තමයි ඒ නාට්‍ය හතර. මම ඒ නාට්‍යවල එකි’නෙකට වෙනස් චරිත වෙනස් අයුරින් කරන බවට ප්‍රතිචාර තියෙනවා. තිමිරගිර ටෙලි නාට්‍යයේ මම හාමුදුරු නමක්. සිහින අරන් එන්න නාට්‍යයේ ශෂී කියන්නේ ස්ත්‍රී ලක්ෂණ මුසු හැසිරීම් ඇති පිරිමියෙකුගේ චරිතයක්.
* ශෂී වගේ චරිතයන් භාරගන්න ඇතැම් නළුවන් මැලිවන්න පුළුවන්....
ශෂී කියන්නේ ටෙලි නාට්‍ය වේශනිරූපණ ශිල්පියෙකුගේ චරිතයක්. ඔහු එහි ප්‍රධාන නිළියගෙ සමීපතම මිතුරා වුණාට ශෂී ඇයට පෙම් කරන්නේ නැහැ. ශෂීගේ ඇවතුම් පැවතුම් අනුව වෙනස් චිත්‍රයක් මනාසේ මැවුණට ශෂීගේ චරිතයට අශ්ලීල බවක් ආරෝපණය වෙලා නැහැ.
* සුදර්ශන කොහොමද ශෂී කියන ස්ත්‍රී ලක්ෂණ පෙන්නුම් කරන පිරිමියාගේ චරිතයට අවතීර්ණ වුණේ ?
 අධි රංගනයන් සිදු නොකර මගේ පෞද්ගලික ස්වරූපයත් මතු නොකර ඔය දෙක අතර තැනක රඟපෑම් දෝලනය විය යුතු බවට අධ්‍යක්ෂවරයා මට උපදෙස් දුන්නා. ඒ වගේ චරිතයක් නළුවකුට අභියෝගයක්.
* නමුත් තරුණ නළුවකු ස්ත්‍රී ලක්ෂණවලින් යුතු පිරිමියකුගේ චරිතයක් රඟපෑම මගින් ඒ තරුණයාගේ පෞරුෂයට යම් බලපෑමක් වෙන්න බැරිද ?
සමහරුන් එහෙම හිතන බව ඒ අයගේ කතාවලිනුත් මට වැටහිලා තියෙනවා. නමුත් මම නම් ඒ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි.
* ඇයි ඒ ?
මම හිතන විදිහට සැබෑ නළුවෙක් ඕනෙම දෙයක් පුරවන්න පුළුවන් හිස් බෝතලයක් වගේ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම සැබෑ නළුවෙකු තුළ ඕනෑම චරිතයකට ආවේශ වීමේ ආරූඪ වීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ. වැඩි ඈතකට යන්න ඕනේ නැහැ. අපේ ආසන්නතම ඉන්දියාවේ වුණත් අමිතාබ් බච්චන්, කමලාහසන්, නානා පතේකාර් වැනි විශ්ව කීර්තියට පත් වූ නළුවන් පවා ඔවැනි චරිත හා ජවනිකා රඟපාලා තියෙනවා. ඉතින් තවත් මොනවද කතා. 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය