Powered by Blogger.

කලා ක්ෂේත්‍රයට අලුත් තරු පායලා එනවා වගේම බොහෝම ඉක්මනින් නැතිවෙලා යනවා. නමුත් ක්ෂේත්‍රයේ දිගු කාලයක් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගෙන ඉන්න පුළුවන් වෙන්නෙත් බොහෝම ටික දෙනාටයි.
ඒවගේ බොහෝ දෙනකුගේ ආදරේ දිනාගෙන ඉන්න ඇය ලෝචනා ඉමාෂි.තූර්යා ටෙලි නාට්‍යයත් එක්ක ටිකක් කාර්යබහුල වුණත් ලෝචනාගේ අලුත් තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළා.

ඉතින් ලෝචනා ‘තූර්යා’ ටෙලි නාට්‍යයත් එක්ක කොහොමද ඔයාට ලැබෙන ප්‍රතිචාර එහෙම? මම ඇසුවෙමි.
ප්‍රතිචාරනම් හුඟක් හොඳයි. නතාරා කියන්නේ ජීවිතේ ස්ථාවරත්වයක් ගොඩනගාගන්න උත්සාහ කරන ඒ වගේම ජනප්‍රිය වෙන්න, නිළියක් වෙන්න උත්සාහ කරන කෙනෙක්. කොහොම වුණත් රසිකයන් ඒ චරිතයට කැමති බව පේනවා. ලෝචනා කීවාය.

• ඔයා මෙච්චර හොඳට හින්දි කතා කරන්නේ කොහොමද?
මගේ ඊළඟ පැනය වූයේ එයයි. ඒ හින්දි චිත්‍රපට නිතරම බලනවානෙ. ඒ නිසා භාෂාව ටිකක් විතර හුරුවුණාට පස්සේ චරිතය කරගෙන යනකොට ඒක ඉබේම වාගේ පුරුදුවුණා.

• ඉතින් මේ දවස්වල කොහොමද වැඩකටයුතු එහෙම?
මේ දවස්වල අලුත් ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් සිදුකරනවා. ඒ වගේම ඉදිරියේදී මම රඟපෑමෙන් දායක වුණ ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වෙන්නත් තියෙනවා.

• ලෝචනාව ඇයි මේ දඟකාර චරිතවලට තෝරාගන්නේ. විශේෂත්වයක් තියෙනවද?
එහෙම විශේෂයක් නැහැ. ඇත්තටම මට ගොඩක්ම ලැබිලා තිබෙන්නේ ඒ වගේ දඟ චරිත (ඇය සිනාසෙමින් කියයි) අධ්‍යක්ෂවරු මාව තෝරාගන්නෙත් දඟ චරිතවලටමයි. අනේ දැන්නම් ඒවගේ චරිත ලැබුණම මග අරින්න තමයි බලන්නේ. ඇත්තටම වෙනස් චරිතයක් ලැබෙනවා නම් මම කැමතියි.

• වෙනස්ම චරිතයක් කියන්නේ මොන විදියේ එකක්ද?
දඟකාර චරිතයක් හැරෙන්න පෞද්ගලික ජීවිතයට බලපෑමක් නොවෙන විදිහෙ චරිතයක් කරන්න තමයි මම කැමති.

• ඔයා විලාසිතා තෝරා ගන්නකොට විශේෂයක් කරනවද?
ඇත්තෙන්ම මම අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට අඳිනවා. ඒත් මම බොහොම සරල චරිතයක්. සරලව ඉන්න කැමති කෙනෙක්. සාමාන්‍යයෙන් මම Makeupකරන්න ඒ තරම්ම කැමතිම නැහැ.

• ලෝචනා ක්ෂේත්‍රයට එන්නෙ ළමා නිවේදිකාවක් විදිහට?
ඔව් ළමා නිවේදිකාවක් විදිහට තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මම සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය අවසන් වෙලත් නිවේදන කටයුතු සිදුකළා. ඊට පස්සේ තමයි රංගනයට ඉදිරිපත් වුණේ.

• ඔයා ඒ කියන්නේ ක්ෂේත්‍රයට ආවේ කාගෙවත් උදව් අරගෙන නමෛයිද?
අනේ නැහැ. මගේ පවු‍ලේ කවුරුත් ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. දෙමව්පියෝ ගොඩක් උදව් කළා. විශේෂයෙන් තාත්තා සමහර ටෙලිනාට්‍යවලට මම බැහැ කිව්වම තාත්තා තමයි කියන්නේ තව පාරක් ඒ ගැන හිතල බලන්න කියලා. මට හරිම සතුටුයි මගේ අම්මා තාත්තා ගැන. මොකද එයාලා මාව හොඳට තේරුම් අරගෙන තියෙනවා. මම කලාවත් අධ්‍යාපනයත් ජීවිතයවත් පටලවා ගන්නෙ නැහැ කියලා එයාලා දන්නවා.

• ඔයාටත් හිතුනේ නැද්ද මැතිවරණයට ඉදිරිපත් වෙන්න
අ‍පෝ නැහැ. ඒකට සමහරු කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. රංගන ශිල්පියො කියන්නෙත් සමාජයේ ජීවත්වෙන කට්ටියනෙ. අපි ව්‍යාපාරයක් කරනවා වගේ තමයි. ඒක ඒ අයගෙ ව්‍යාපාරික කැමැත්ත වෙන්න ඇති.

• ලෝචනා දැනටමත් පෙම්වතියක් නේද?
ඔව්.....හැබැයි මගේ පෙම්වතා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නමෛයි.

• ඒ කියන්නේ ළඟදීම ලෝචනත් මනමාලියෙක් වෙයි
එහෙම හිතාගෙන ඉන්නවා. බලමුකො නේද (ඇය සිනසෙයි)

• ලෝචනා හිතන විදිහට ක්ෂේත්‍රයට එන නවකයන්ට ඇයි ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් අයුතු යෝජනා කරනවා කියන්නෙ
වැරදි යෝජනා කරන්නේ මං හිතන විදිහට නම් වැරදි අයටම තමයි. නමුත් හැම කෙනෙක්ම එහෙම නැහැ. ගොඩක් දෙනෙක් බොහොම හොඳයි. මං නම් ප්‍රර්ථනා කරන්නේ මට නම් එහෙම ප්‍රවීණයන් මුණගැහෙන්න එපා කියලා. ඒ වගේම එහෙම අය ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධ කරන්න ඕන. නැත්නම් හොඳ අයටත් ඒ නරක නාමේ එනවා.

• අනාගතේ හීන ගැනත් අපි දැනගන්න කැමතියි.
අනාගතේ මගේම ව්‍යාපාරයක් කරන්න ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා. පෞද්ගලික ජීවිතෙත් ලොකු වෙනසක් සිදුවේවි.
ශකිලා රාජපක්ෂ
ඡායාරූප- චමිල කරුණාරත්න
http://www.rivira.lk/edition/images/2014/04/06/lochana%202.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය