Powered by Blogger.

‘මහගෙදර තුල්සි’ ලංකාවේ කොයි කවුරුත් ඇය හඳුනා ගන්නේ එලෙසිනි. එහෙත් ස්මිරිති අයිරානි ඇයගේ උපන් නමයි. ‘කූන්කි සාස් භි කභී බහූ ති’ නාට්‍යයේ ලේළිය ලෙස රඟන ඇය ජනාදරය දිනා ගත්තේ භාරත දේශයේ පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ රසිකයන් අතර ද ඇය ආදරණීය චරිතයක් වූවාය. 2000 වසරේ සිට 2008 වසර දක්වා කොටස් 1,800 කට වැඩි කොටසක එම නාට්‍යයේ රඟපා ජන හදවත් හි ලැගුම් ගත් අයිරානි කලාවේ ආලෝකයෙන් දේශපාලනය තෝරා ගෙන ඇත්තේ කලක සිටය. ඇය දේශපාලන පොර පිටියට පිවිස තිබෙන්නේ භාරතීය ජනතා පාක්ෂිකාවක ලෙසය.
ඒ වාගේම ඇය සටන් කරන්නේත් එසේ මෙසේ ප්‍රදේශයකට නොවෙයි. උත්තර ප්‍රදේශයේ අමෙයිති ප්‍රදේශය ඇගේ සටන් බිමයි. එය ගාන්ධි පරපුරේ ජය භූමියකි. හිටපු අගමැති රජීව් ගාන්ධිගේ බල ප්‍රදේශය වූයේ ද අමෙයිතිය. 2009 වසරේදී ගාන්ධි මහතා ඡන්ද සියයට හැත්තෑවකට වැඩි ප්‍රතිශතයක් ලබා බලයට පත් වූ අතර බීජේපී පක්ෂයට ලබා ගත හැකි වූයේ ඡන්ද සියයට දහයට අඩු ප්‍රමාණයකි.
අයිරානි විජයග්‍රහණය නොකළත් කරට කර සටනක් දෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. තවමත් අමෙයිති නොදියුණු පෙදෙසක් ලෙසින් පැවතීම ගාන්ධි පරපුර ලජ්ජාවට පත් කරන කරුණක් බව අයිරානි මෑතකදී ප්‍රකාශ කළාය.
ස්මිරිති අයිරානි බීජේපී පක්ෂයේ ප්‍රබල කාන්තා නියෝජනයකි. තිස් අට හැවිරිදි ඇය දේශපාලනයට ආධුනිකයකු නොවෙයි. 2003 වසරේදී අයිරානි භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූවාය. 2004 පැවැති මැතිවරණයේදී ඇය පරාජය වුවත්, දේශපාලනය අත් හැරියේ නැත. 2014 දී ඇය සටන් වදින්නේ කොංග්‍රස් පක්ෂ ලේකම් රාහුල් ගාන්ධි සමඟයි. මෙතරම් දැවැන්තයකු සමඟ සටන් වදින්නට ඇයට පාර කැපුණේ කලාවේ ආලෝකයෙනි.
1997 වසරේ ෆෙමිනා මිස් ඉන්ඩියා තරඟයේ ජයග්‍රාහිකාවක වීම නිසා ඇයට පුංචි තිරයට සම්බන්ධ වීමට වාසනාව ලැබුණාය. ආතිෂ්, හම් හෙයින් කාල් ආජ් කාල් ඕර් කාල් ටෙලි නිර්මාණවලට පසු ඇයට ‘කූන්කි සාස් භි කභී බහූ ති’ හි රඟන්නට වරම් ලැබුණාය. ඇය සුපිරි තරුවක් වූයේ එහි රංගනය නිසයි. ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේදී පස් වරක් ජනප්‍රියම නිළිය වෙමින් ඇය වාර්තා පොතට එක් වූවාය. ඊට අමතරව ඉන්දියානු ටෙලි සම්මාන හතරක් ද, ස්ටාර් පරිවාර් සම්මාන අටක් ද ‘කූන්කි සාස් භි කභී බහු ති’ රංගනයට හිමි විය. දැන් ඇය අධ්‍යක්ෂිකාවක් ද වන්නීය.
ස්මිරිති අයිරානි මල්හෝත්‍රා ඇයගේ උපන් නමයි. ළමා වියේ සිට මිතුරකු වූ ඇයට වඩා දස වසරක් වැඩිමල් සුබින් අයිරින් සමඟ 2001 දී ඇය විවාහ වූවාය. ඒ සුබින්ගේ දෙවැනි විවාහයයි. අයිරානි දුවකගේ සහ පුතකුගේ මවකි. ඇය සමාජ සේවයට මුල පුරා ඇත්තේ ග්‍රාමීය දිලිඳු ජනතාවට ජලය සපයන ව්‍යාපෘතියකිනි.
කෙසේ වුවත් මහගෙදර තුල්සිට නැන්දණිය මෙන්ම මෙවර මැතිවරණය ද දරුණු සටනක් වනු නම් නිසැකය.

මගේ පෙම්වතියට කේළම් කියලා

ධම්මික හේවාදුවත්ත
හෙළයේ රජ කළ රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ශ්‍රී විභූතිය පිළිබඳ ජනීජනයාගේ සිත් සතන් තුළ ඇත්තේ කුහුලකි. ඒ පිළිබඳ අපට ඇත්තේ පොතපතින් කියවා ලද දැනුමෙන් මනසින් මවාගත් ඡයාරූපයන්ගේ එකතුවක් පමණි.
එහෙත් දැන් ඒ මායාවෙන් මිදී ශ්‍රී වික්‍රම රාජසිංහ නරේන්ද්‍රයන් රජ කළ එදවසත්, එයින් ඔබ්බට ගිය විජය කුවේණි යුගයත් අපට පසක් කරදෙන චිත්‍රපට සැදෙමින් පවතී.
මේ චිත්‍රපටවල එදා යුගය අපට කියාපාන පසුබිම,ඇඳුම්,ආභරණ,ආයුධ, නිර්මාණකරු හෙවත්, කලා අධ්‍යක්ෂ,ඇහැලේපොළ කුමාරිහාමි දර්ශන තලයේදී අපට මුණ ගැහෙන ධම්මික හේවාදුවත්ත අද අපේ කථානායකයා වේ.
මේ ක්ෂේත්‍රයට පිවිසුනු ආකාරය පැහැදිලි කරමින්ම,ධම්මික අපේ කතා බහ අරඹමු?
මම පාසල් ගියේ අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයට. කලා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ පාසල් අවදියේ සිටමයි.මම රචනා කරමින් රඟපෑ තීන්දුව දෙනතුරු පාසල් වේදිකා නාට්‍යය 2002 දී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනුවා. ඉන් පසු මට අවස්ථාවක් ලැබුණා ජොසප් ජෙරම් මහත්තය සහාය අධ්‍යක්ෂණය කළ ගෞතමී මෙගා ටෙලියෙ සුළු චරිත කිහිපයක් රඟපාන්න. ඊට අමතරව ඔහු කලා අධ්‍යක්ෂණය පැත්තත් බැලුවා, ඒ කටයුතුවලට සහයෝගය දෙන්නත් මට අවස්ථාව ලැබුණා.මේ ක්ෂේත්‍රයට එන්න තියෙන අවශ්‍යතාව නිසා රඟපෑම තෝරා ගත්තත් ඉන් පසුව මම වඩාත් ප්‍රිය කරන කලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණා.
කලා අධ්‍යක්ෂණයට යොමුවෙන්න ඔබට තිබුණු සුදුසු කම් මොනවද?
චිත්‍ර, කැටයම් ,මූර්ති වැනි කලාවන් සඳහා සහජ හැකියාවක් මා තුළ තිබුණා. නමුත් මම එකවර කලා අධ්‍යක්ෂණයට යොමු වුණු කෙනෙක් නොවෙයි. මේ ක්ෂේත්‍රයෙ මගෙ ගුරුවරයා සුමිත් හිරාන් මහත්තයයි. එතුමා සමඟ ටෙලි නාට්‍ය හයක සහාය කලා අධ්‍යක්ෂ ලෙස කටයුතු කලා. එයින් ලැබුණු පන්නරයත් මගේ හැකියාවත් නිසා අද කලා අධ්‍යක්ෂණය පැත්තට යොමු වුණා. මේ කටයුතු සාර්ථක කරගන්නට මගේ කණ්ඩායමේ 26 දෙනෙකු පමණ සිටිනවා.
ඔබ තනිව, මේ බාර දූර කටයුත්තට අතගැසු පළමු ටෙලිය හා චිත්‍රපට පිළිබඳ යමක් කියමු?
සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ මායා මන්ත්‍රී ටෙලියෙන් තමයි ආරම්භ කළේ . දැනට ටෙලි නාට්‍ය15 ක පමණ වැඩ කළා. චිත්‍රපට කිව්වොත් අඟර දඟර, විජේ කුවේණි, වරිග පොජ්ජ, දැනට තිරගත වී අවසන්. ඇහැලේපොළ කුමාරි හාමි දැනට වැඩ කටයුතු අවසන් කරමින් සිටිනවා. මීට අමතරව චිත්‍රපටයක් හා ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.
ඇහැලේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙස ඔබට පැවරුනු වගකීම කුමක්ද?
මේ කතා පුවත දැනට වසර 200 කට එහා ගිය එකක්. එදා දවස පිළිබඳ තොරතුරු සොයා චිත්‍රපටයේ පිටපතට අනුව, චිත්‍රපටයට අවශ්‍ය සියලු පසුතල නිර්මාණය, ආයුධ, ඇඳුම්,පෞරාණික ගෘහ භාණ්ඩ පිළිබඳ අධ්‍යයනය කර නිර්මාණය කිරීමයි. මෙහිදී මම පළමුව කළේ නිර්මාණය කරන්න යන දේ චිත්‍රයට නගා අධ්‍යක්ෂ සුගත් සමරකොන් මහතාට සහ නිෂ්පාදක ගයාන් රණධීර මහත්වරුන් ගේ අධීක්ෂණයට යොමු කිරීමයි. ඉන් පසුවයි අප කණ්ඩායම මේ සියලු දෑ නිර්මාණය කරන්නේ. මේ චිත්‍රපටයේ තිබෙන්නේ සියයට 90 ක් මගේම නිර්මාණයි. ඊට අමතර ඇන්ටික් බඩු කිහිපයක් ගන්න සිදුවුණා.
ඔබ වැඩ කළ අධ්‍යක්ෂක වරුන්ගෙන් වඩා කැමති කාටද ? ඒ ඇයි?
නාලන් මෙන්ඩිස්, සුගත් සමරකෝන්, තුෂාරි අබේසේකර, තුෂාර තෙන්නකෝන්, නලින් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට. මේ අය සමඟ පැහැදිලිව කතා බහ කරලා වැඩකරන්න පුලුවන්. අපිව කුලීකරුවන් කියලා හිතන් නැතිව අප සමඟ හොද මිතු දමකින් වැඩ කරනවා.
ධම්මික, මේ ආ ගමන් මගේ අමතක නොවන සිදුවීමක් ගැන කියමු?
විජේ කුවේණි චිත්‍රපටයෙ වැඩ කරන කාලේ එයට සම්බන්ධ වෙලා වැඩ කළ ගැනු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇතිවුණා. මේක යෝජනාවක් කිව්වොත් නිවැරදියි. මේ සම්බන්ධය විවාහය දක්වා යන්නට සැමගෙන් ආශිර්වාදයත් ලැබුණා. නමුත් අප සමඟම එකට වැඩ කළ අයෙක්ම බොරු කේලම් කියලා අපව විරසක කළා. මේ සිදුවීම මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. මේක දිග කතාවක්. කෙටියෙන් කිව්වේ.
ඔබ ආ ගමන ආපසු හැරී බැලුවොත්?
ඇත්තටම සතුටුයි. මම අද යම් ස්ථාවරයක් ගොඩ නගාගෙන තිබෙනවා. මට අද මේ තත්ත්වයට එන්නට අතදුන් ගුරුවරුන්ට, මගේ දෙමාපියන් ඇතුළු සියලු මිත්‍රයන්ට, මාත් සමඟ එකට වැඩ කරන සැමට ස්තූති කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නවා.

සාතන්ගේ වරමින් තරුණියන් බිලි ගන්නා ‘ඩ්‍රැකියුලා’

ඩ්‍රැකියුලා චිත්‍රපට පිළිබඳ කතා මාලාව
ලන්ඩනයට තදාසන්න පිටිසරබද ප්‍රදේශයක වූ සුවිසල් මැදුරක් තුළ වූ එක්තරා රහසිගත කාමරයක සිදු කරනු ලබන වෙනස් මුහුණුවරක් ගත් යාගයකි. එවකට බටහිර රටවල ව්‍යාප්ත වෙමින් පැවතුණ ආගම් විරෝධී ‘කල්ට් සමාජය’ යනුවෙන් නම් කරන ලද සාතන් අනුගාමික කල්ලියක සාමාජිකයින් අතළොස්සක් මෙම යාගයට සම්බන්ධ වී සිටිති. මන්දිරයේ අධිපති චිං යැං නම් වූ චීන ජාතික කාන්තාව ගෙල සිට පාදාන්තය දක්වා වැටුණු සුලෝහිත පැහැ ලෝගුවලින් සැරැසුණු රූමතියන් කිහිප දෙනෙක් පිරිවරාගෙන යාගය මෙහෙයවනු ලබයි. ඊට අමරතව යාගයට සහභාගි වන්නන් අතර සුදු ලෝගුවලින් සැරැසුණු කිහිප දෙනෙකු ද වෙයි.
ඉන් සමහරක් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වන අතර සෙස්සෝ සමාජයේ ප්‍රභූවරුන් ද වෙති. සුවඳ දුම්, යාතිකා හඬ සහ කන්නලව් මැද යාගය සාර්ථකව කෙරීගෙන යද්දී වෙනත් කුටියක අත් පා ගැටගසා සිටි සිරකරුවෙකු ඉන් මිදී පළා යයි. ලුහුබඳීන්නන්ගෙන් අසීරුවෙන් ගැලවෙන ඔහු බරපතල තුවාල සහිතව රෝහල් ගත වෙයි.
රතු පැහැ විදුලි එළිය බිත්ති මත තැවරුන කාමරය මැද පුවරුවක් මත රූබර යොවුන් යුවතියක් වැතිරී සිටින්නේ අමු නිරුවතිනි. කුකුල් නාම්බෙකුගේ ගෙල සිදුරු කොට වෑස්සෙන ලේ වලින් පිර වූ බඳුනකින් ඇගේ නිරුවත් සිරුර පුරා රුධිරය වත් කරනු ලබයි. සෙස්සෝ එම රුධිරය දෑඟිලිවලින් ගෙන තම නලල් මත තවරා ගෙන බෞතීස්ම ලබති. යාගයේ උච්චතම අවස්ථාව වන්නේ චිං යැං අත වූ කිණිස්සෙන් මෝහනයට පත්ව ඒ මේ අත ඇඹරෙන තරුණියගේ ළය සිදුරු කිරීමයි.
ඇගේ මර ළතෝනිය මැදුර සිසාරා දෝංකාර දෙද්දී හාත්පස අඳුරු කරමින් ඩ්‍රැකියුලාගේ සම්ප්‍රාප්තිය සිදු වෙයි. යාගය අවසන් වෙද්දී තරුණියගේ ළය මත වූ ලේ වැකුණු සිදුර ක්‍රමයෙන් යා වීමට පටන් ගනී. එක්වරම නැගිට ඇස් හැර බලන ඈ වියරුවෙන් සිනාසීමට මුව විවර කරයි. එවිට ඇගේ මුව දෙපස දිස් වන්නේ සුදු පැහැයෙන් දිළිසෙන උල් දත් යුවලකි.
මේ අතර මෙම අද්භූත මන්දිරයෙන් පළා යන සිරගතව සිටි පුද්ගලයා රෝහලේදී පොලීසියට ප්‍රකාශයක් දී දෙනෙත් පියා ගනියි. ඉන්ස්පෙක්ටර් මරේ සහ කර්නල් මැතිව්ස් ඔහුගේ ප්‍රකාශය තුළ ඇති අභිරහස පැහැදිලි කර ගැනීම සඳහා සොයා යන්නේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති එකම පුද්ගලයා වන වැන්හෙල්සින් වෙතටයි. ඒ අනුව අබිරහස් මැදුර වෙත ඔත්තු බැලීම සඳහා යන පොලිස් නිලධාරීන්ට ජෙසිකා වැන්හෙල්සින් ද එක්වෙයි. නූතන ලෝකයේ තාක්ෂණය අනුව ඩ්‍රැකියුලා ඝාතනය කිරීමට ඊයම් වලින් සෑදූ විශේෂිත උණ්ඩයක් නිර්මාණය කිරීමට වැන්හෙල්සින් සමත් වන අතර චිං යැං ගේ අබිරහස් මැදුර වෙත ඔත්තු බැලීමට යන ජෙසිකා සහ මරේ ඩ්‍රැකියුලාගේ අනුගාමිකයින්ට අසු වෙයි.
‘කල්ට්’ සමාජයේ සාතන් වාදින්ගේ පූර්ණ ආරක්ෂාව සහ ආශිර්වාදය යටතේ ඩ්‍රැකියුලාගේ නව වාසස්ථානය වන්නේ මෙම අබිරහස් මන්දිරයයි. චිං යැංගේ භූගත බංකරයක සිරගතව සිටින ජෙසිකා සහ මරේ ගොදුරු කර ගැනීම සඳහා එහි ලැගුම්ගෙන සිටින ලේ පිපාසිත යකින්නන් සූදානම් වෙයි. හුදෙකලාව ඩ්‍රැකියුලා සමග සටන් වදින වැන්හෙල්සින් හට ඩ්‍රැකියුලා විනාශ කොට තම ආදරබර දියණියත්, පොලිස් නිලධාරියාත් ගලවා ගත හැකි වේවි ද යන පැනයට පිළිතුරු සැඟ වී ඇත්තේ සැටනික් රයිට්ස් ඔෆ් ඩ්‍රැකියුලා චිත්‍රපටය තුළයි.
බ්‍රෑම් ස්ටෝකර් නම් වූ අයිරිෂ් ජාතික ගත් කතුවරයා ගේ ‘ඩ්‍රැකියුලා’ නවකතාවේ චරිත පාදක කර ගනිමින් ඩොන් හියුටන් විසින් තිර රචනය කරන ලද ‘සැටනික් රයිට්ස් ඔෆ් ඩ්‍රැකියුලා’ චිත්‍රපටය නිපද වෙන්නේ 1973 වසරේදී අධ්‍යක්ෂ ඇලන් ගිබ්සන් අතිනි. වැන්හෙල්සින්ගේ චරිතයට අමතරව ඩ්‍රැකියුලා ඒ.ච් 1972 චිත්‍රපටයේ පෙනී සිටි ජෙසිකා වැන්හෙල්සින්ගේ චරිතය ද මෙහි ඇතුළත් වෙයි. හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් එය නිෂ්පාදනය කළේ රෝයි ස්කෙග්ස් විසිනි. කැමරාකරණයෙන් බ්‍රයන් ප්‍රෝබින් සහ වෙස් ගැන්වීමෙන් ජෝන් බ්ලැකර් දායකත්වය ලබා දුන් අතර සංගීතවත් කළේ ජෝන් කැකවාස් විසිනි.
සිරිත් පරිදි ක්‍රිස්ටෝපර් ලී ඩ්‍රැකියුලා ලෙසත් පීටර් කුෂින් ආචාර්ය ලොරිමා වැන්හෙල්සින් ලෙසත් තම භූමිකා තුළට අවතීර්ණ වූහ. හැමර් චිත්‍රපට සමාගමේ 7 වැනි ඩ්‍රැකියුලා චිත්‍රපටය සහ ලී සහ කුෂින් එක්ව අදාල චරිත මවන අවසාන චිත්‍රපටය ද වන්නේ ‘සැටනික් රයිට්ස් ඔෆ් ඩ්‍රැකියුලා’ චිත්‍රපටයයි. ඉන්ස්පෙක්ටර් මරේ ලෙස මයිකල් කෝල්ස් ද, කර්නල් මැතිව්ස් ලෙස රිචඩ් වර්නන් ද, විලියම් ෆ‍්‍රැන්ක්ලින්, පීටර් ටොරන්ස් ගේ චරිතය ද රඟපෑහ. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ වැන්හෙල්සින්ගේ මිණිබිරිය, ජෙසිකා වැන්හෙල්සින්ගේ චරිතය නිරූපණය කරන සුරූපී ජොඇනා ලුම්ලිට අමතරව තවත් සුරූපිනියන් කිහිප දෙනෙක් ඩ්‍රැකියුලාගේ පහසට නතු වූ යකින්නන් ලෙස රංගනයට එක්වීමයි. ඒ අතුරින් චිං යැං ලෙස රඟපෑ බාබරා යුලින්ග්, ජේන් ලෙස රඟපෑ චැලරි වැනොස්ට් සහ කළු ජාතික රූමතියක වන පෝලින් පියර්ට් ප්‍රධාන තැනක් ගනී.
චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් ලන්ඩන් නගරය ආශ්‍රිතවත් හැමර් චිත්‍රාගාරයේදීත් සිදු වුණු අතර බෙදා හැරීමේ කටයුතු වෝනර් සමාගම හරහා සිදු විය. 1973 නොවැම්බර් 3 වන දින ප්‍රථම තිරගත කිරීම් ආරම්භ කෙරිණ. චිත්‍රපටයෙන් ලද බොක්ස් ඔෆිස් ආදායම ස්ටර්ලින් පවුම් 223,450 ක් ලෙස වාර්තා ගත වී ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය