Powered by Blogger.

‘ඩිස්කෝ ඩාන්සර්’, ‘80 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ චිත්‍රපටයක්. එම ජනප්‍රියත්වයට බලපෑවේ චිත්‍රපටයේ ඇතුළත් වූ මියුරු ගීත කිහිපයයි. භාරතයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු වන බප්පි ලහිරි එම ගීතවල තනු සහ සංගීතය නිර්මාණය කළා. මේ අසහාය නිර්මාණකරුවා ඉන්දීය ජාතික දේශපාලනයට පිවිසිලා. පසුගිය දා ඔහු භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ ළඟ එන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂයෙන් තරග කරන්නටයි. ‘ඩිස්කෝ කිං’ යනුවෙන් කවුරුත් හඳුන්වන බප්පි ලහිරි තරග කරන්නට බලාපොරොත්තු වන්නේ ඉන්දියාවේ හුග්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී රාම් පූර් ඡන්ද කොට්ඨාසය වෙනුවෙන්. මේ ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් හැටියට සැලකෙනවා.
බප්පි ලහිරි දේශපාලනයට එක්වීම පිළිබඳ තම සතුට පළ කළ සුපිරි නළු සල්මන් ඛාන් මේ සංගීතඥයාගේ මැතිවරණ ව්‍යාපාරයට තමන්ගේ උපරීම සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළා. සල්මන් විතරක් නොවෙයි, භාරත ගීත කෝකිලාව ලතා මංගේෂ්කර් හෝ ඇගේ නැඟණිය ආශා බෝස්ලේ යන දෙදෙනාගෙන් එක් අයකු බප්පි වෙනුවෙන් සහයෝගය දෙනු ඇතැයි පැවසෙනවා. බප්පි ලහිරි ගේ කළමනාකරු වන ක්‍රිෂ්ණා භට්ටාචාර්ජි පැවසුවේ සුපිරි නළු රිතික් රෝෂන් ද මේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි.

අවුරුද්දටම එකයි

කජ්ලිමා මුඛර්ජි ගැන ඔබ අහල තියෙනව ද? ඇය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම නිළියක්. ඒත් මේ කියන නම ඔබට නුහුරු ඇති. ඒ නිසා අපි ඇයව කාජල් යනුවෙන් හඳුන්වමු. ජනප්‍රිය සුපිරි නිළි කාජල් නම් කවුරුත් දන්නවා. අනූව දශකයේදී ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය 1999 දී විවාහ දිවියට එළඹුණා. ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය නළු අපේ දේව්ගන් බව බොලිවුඩ් සිනමා රසිකයන් හොඳින්ම දන්නවා.
අජේ - කාජල් යුවළ දැන් දියණියක ගේ සහ පුතෙකුගේ මවුපියන්. දියණිය ‘නීසා’ ගේ වයස අවුරුදු 11 යි. පුතා ‘යුග්’ ගේ වයස අවුරුදු 3 1/2 යි. විවාහයෙන් පසුව කාජල් රඟපෑවේ සීමිත චිත්‍රපට ගණනක පමණයි. දියණිය ලැබී මාස කිහිපයක් ගතවෙද්දී ‘ෆානා’ චිත්‍රපටයේ සංවේදී රංගනයක යෙදුණු කාජල් ඉන් පසුව රඟපෑවේ ‘යූ මී ඕර් හම්’, ‘මයි නේම් ඉස් ඛාන්’, ‘වී ආ ෆැමිලි’ සහ ‘ටූන්පර් කා සුපර් හීරෝ’ යන චිත්‍රපටවල පමණයි.
දරුවන් දෙදෙනාගේ කටයුතුවලට වැඩි කාලයක් මිඩංගු කළ යුතු නිසා සිනමා රංගනයෙන් මඳක් බැහැරව සිටින බවයි කාජල් කියන්නේ. “දුවටත් පුතාටත් මගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ දෙන්නා හොඳින් රැක බලා ගැනීම මගේ වගකීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ? මම ඒ දෙන්නව මේ ලෝකෙට බිහි කළේ ඔහේ අත්ඇරල දාල මගේ වැඩ කරගන්න නෙමෙයි. මම ඒ වගේ අම්ම කෙනෙක් නෙමෙයි. මට අවශ්‍ය වෙලා තියෙන්නෙ දුවයි පුතයි හොඳින් බලා කියාගෙන ඇතිදැඩි කරන්නයි.
පුංචි දරුවො හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ ඒ අයගෙ අම්මල තාත්තල තමන්ගෙ ළඟින් ඉන්නව දකින්නයි. මගේ සැමියා තාම චිත්‍රපටවල රඟපානවා. සාමාන්‍යයෙන් එයා මාස 6 කට චිත්‍රපට 4 ක විතර රඟපාන්න භාර ගන්නවා. එයාගෙ කාර්ය බහුලත්වය නිසා නිතරම ගෙදර රැ‍ඳෙන්නෙ නැහැ. ඒ නිසා මම දරුවන් එක්ක ඉන්න එපැයි?”
“දුවට පුතාට මගේ ආදරය නිතරම ලැබෙනවා. හැබැයි මම ඒ දෙන්නව හදන්නෙ විනයක් ඇතුව. ළමයින් හැසිරෙන්න ඕනෙ සීමාව මොකක්ද කියල අපි දැනගන්න ඕනෙ. ඒ සීමාව ඇතුළෙ මම මගේ දරුවන්ව යහමඟ යවන්න උත්සාහ කරනවා.”
“රසික රසිකාවියො තාමත් කැමැතියි මගේ රඟපෑම් දකින්න. හැබැයි මම දැන් රඟපාන්නෙ අවුරුද්දකට එක චිත්‍රපටයක විතරයි. ඊට වඩා බැහැ. මම එදා රඟපෑවෙ තෝරා ගත් චිත්‍රපටවල විතරයි. අද නම් එදාට වඩා තේරීමක් කරලයි චිත්‍රපටයක රඟපාන්න යන්නෙ.” කාජල් පුරුදු සිනහව නංවමින් පැවසුවා.

ආම් ආද්මි පක්ෂය අමීර්ගේ රුව සොරාගෙන

ඉන්දියාවේ දේශපාලනයට මෑතකදී එක්වූ ආම් ආද්මි පක්ෂය ගැන බොහෝ දෙනෙකු කතා කරනවා. ජනතාවගේ ප්‍රසාදයට ලක්වී තිබෙන මේ දේශපාලන පක්ෂයට පසුගියදා බොලිවුඩ්පුරයෙන් සුපිරිතම නළුවෙකුගේ සහාය ලැබී තිබෙන බවට ආරංචියක් හදිසියේම පැතිරී ගියා. කිසිදාක දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවක් පළ නොකළ මේ සුපිරි තරුව ආම් ආද්මි පක්ෂයට සහයෝගය දැක්වීම කාටත් පුදුමයක්.
මේ සුපිරි තරුව අන් කිසිවෙකු නොවෙයි අමීර් ඛාන්. පසුගිය දා අන්තර් ජාලයේ ඇතුළත් වූ ආම් ආද්මි පක්ෂයේ වෙබ් අඩවියක අමීර් ගේ ඡායාරූපයක් දක්නට ලැබීම නිසයි කවුරුත් පුදුම වුණේ. බොහෝ දෙනෙකු අමීර් ගෙන් මේ ගැන විමසන්න පටන් ගත්තා. තමන්ගේ ඡායාරූපයක් ආම් ආද්මි පක්ෂයේ ප්‍රචාරක කටයුත්තකට යොදා ගෙන ඇති බව අමීර් දැන ගත්තේ ඉන් පසුවයි. විමසීම් කළ තම හිතවතුන්ට ඔහු පැවසුවේ තමන් ඒ පිළිබඳ මෙතෙක් කිසිවක් දැන නොසිටිය බවයි. “මගේ අනුදැනුමක් නැතුව අනවසරයෙන් තමයි ඔය පින්තූරය දාල තියෙන්නෙ.” අමීර් ඔවුන්ට පැවසුවා.
අමීර් එතනින් නැවතුණේ නැහැ. ඔහු මේ සිද්ධිය පිළිබඳ ඉන්දීය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කළා. තමන්ගේ කිසිඳු අවසරයකින් තොරව ආම් ආද්මි පක්ෂය තම ඡායාරූපය ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරයට යොදාගෙන ඇතැයි ද එබැවින් එය වහාම නවතා දැමිය යුතු යැයි ද අමීර් ඒ සමඟම ඉල්ලා සිටියා. ආම් ආද්මි පක්ෂයේ නායක අර්වින්ද් කේජ්රිවාල් වෙත ද මේ පිළිබඳ තම විරෝධය ලිපියක් මඟින් දන්වා යවා තිබෙන බවත් අමීර් පැවසුවා.
“තමන්ගේ පින්තූරයක් මේ විදිහට දේශපාලන ප්‍රචාරයට යොදා ගැනීම ගැන අමීර් කනගාටුවට පත්වෙලා. මේ පින්තූරය දැකපු හැමෝම හිතුවේ අමීර් ආම් ආද්මි පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වෙලා කියලයි. අමීර් කිසිම දේශපාලන පක්ෂයකට බැඳිල නැහැ. මේක මහජනතාව මුළුමනින්ම නොමඟ යැවීමේ වැඩක්. මේ නිසයි අමීර්, ඉන්දීය මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින් මේ ගැන ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නයි කියල දැන්නුවෙ. අමීර්, කිසිම දේශපාලන පක්ෂයක කිසිම වැඩකට කවදාවත් සම්බන්ධ වෙලා නැහැ.” මේ ගැන අදහස් දැක්වූ අමීර්ගේ ප්‍රකාශකයකු පැවසුවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය