Powered by Blogger.

Aranayakaඅහුපිනි ඇල්ල සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති සහ අහුපිනි ඇල්ල ආසන්නයේම පදිංචිකරුවකු ද වන රෝහණ රන්ජන් අබේරත්න මහතා පවසන අන්දමට අහුපැනි ඇල්ල සහ අහුපිනි ඇල්ල යනුවෙන් දිය ඇළි දෙකක් තිබේ. දැනට අහුපිනි ඇල්ල නමින් ප්‍රසිද්ධව ඇති ඇල්‍ලේ සැබෑ නම අහුපැනි ඇල්ලය. එමෙන්ම සැබෑ අහුපිනි ඇල්ල ඇත්තේ මීට මඳක් පහළින් මහ වන රොදක් තුළ සැඟ වී ගත්වනමය. එමෙන්ම සැබෑ අහුපිනි ඇල්ල වෙතට පා ගමනින් වුව යාම ද අසීරුය. එමෙන්ම අබේරත්න මහතා පවසන අන්දමට එය එතරම් දැකුම්කළු ඇල්ලක් ද නොවේ. තත්ත්වය එසේ බැවින් අතීතයේ අහුපිනි ඇල්ල නමින් හැඳින්වෙන එළිපහළියක ඇති මෙම දියඇල්ල වර්තමානයේ අහුපිනි ඇල්ල වශයෙන් සලකා කටයුතු කිරීමට අබේරත්නලාට ද සිදු වී තිබේ. භෞමික වශයෙන් වත්මන් අහුපිනි ඇල්ල අයත් වනුයේ මධ්‍යම පළාතටය. එහෙත්, පසුගිය කාලයේ සබරගමු පළාත් සභාව මගින් එම ඇල්ල ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කොට තිබේ. එහෙත් එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත.
‘කොහොම වුණත් මේ අහුපිනි ඇල්ල මේ රටේ වෙන කිසිම තැනක දකින්න නැති අපූරුම තැනක තමයි පිහිටලා තියෙන්නේ. වර්තමානයේ මධ්‍යම සබරගමු පළාත් වගේම පුරාණ හත් කෝරළයයි හතර කෝරළයයි වෙන් වෙන මායිම තියෙන්නෙත් මේ ඇල්ල කිට්ටුවෙන්. ඇල්ල ඉහත්තාවේ තියෙන්නේ දොළොස් බාගේ කඳු, ඒ කඳු අතරේ තියන රාක්ෂාවේ කන්දේ ඉස්සර ජීවත් වෙලා තියෙන්නේ යක්කු. ඒ යක්කු කවදාවත් මිනිස්සු ඉස්සරහට ඇවිත් නෑ. ඔය කඳු අස්සේ හැංගිලා බොහොම රහසිගතව තමයි ජීවත් වෙලා තියෙන්නේ. නමුත් පහළ ගම්වල මිනිස්සු තමන්ගේ ගොවිතැන් බත්වලට වුවමනා ආයුධ අරගෙන තියෙන්නේ ඔය යක්කුන්ගෙන්. අබේරත්න පවසන අන්දමට මෙම යක්ෂයන් යක්ෂ ගෝත්‍රිකයන් වශයෙන් සැලකන ආදි වාසී මනුෂ්‍ය වර්ගය විය යුතුය.
Aranayaka1මට මෙහිදී එක්වරම සිහිපත් වූයේ දෙවන රාජසිංහ රජ දවස (ක්‍රි.ව. 1635-1687) එළිමහන් සිරකරුවකු ලෙස වසර දහ නවයකුත් මාස හයක් ශ්‍රී ලංකාවේ ගත කළ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ ඓතිහාසික ග්‍රන්ථයෙහි ශ්‍රී ලංකාවේ වැදි ජනයා සම්බන්ධයෙන් සඳහන් වන කොටසකි.
එහි සාරාංශය මෙලෙසිනි.
ඇතැම් දිනයෙක උදෑසන තම කම්මල වෙත පැමිණෙන කම්මල්කරුට එහි තබා ඇති විවිධ හැඩැති ඊතල මෙන් කපා සකසා ඇති ගස් කොළ කිහිපයක් දක්නට ලැබේ. එය වැද්දකුගේ ක්‍රියාවක් බව කම්හල්කරුට ඒත්තු යයි. එවිට කම්මල්කරු කරනුයේ ඒ ගස් කොළවල හැඩයට සමාන අයුරින් ඊතල කිහිපයක් සාදා නියමිත ස්ථානයේ තැබිමය. ඉන්පසු පසුදා උදයේ කම්මලට පැමිණෙන කම්මල්කරුට ඒ ඊතල දක්නට නොලැබේ. ඒ වෙනුවට දක්නට ඇත්තේ එහි එල්ලා ඇති මීපැණි, දඩමස් ආදියයි.
එහෙත් කිසියම් අයුරකින් කම්මල්කරු මේ යුතුකම අමතක කළ හොත් කිසියම් දිනයෙක ගම්වැසියන්ට දැකිය හැක්කේ බෙහෙවින් ශෝචනීය දර්ශනයකි. එනම් සිරුරට වැදුණු හීපහරක් සහිත කම්මල්කරු කම්මල මැද මැරී වැටී හිඳින අයුරුය.” නොක්ස් ගේ එම ත්‍රාසජනක විස්තරය එසේ වුවත් අහුපිනි ඇල්ලට ඉහළ ඇති රාක්ෂාව කන්දේ පදිංචි යක්ෂයන් ලෝහ කර්මාන්තයේ යෙදී ඇති බවට කට කතා රැසක් ප්‍රදේශයේ පැතිර පවතී. ඒ අනුව ඔවුන් කිනම් හෝ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන්නවුන් බවට සැක නැත.
අතීතයේ රාස්ස ඇල්ල සහ රාවණ ඇල්ල නමින් ප්‍රකටව ඇත්තේ මෙම ප්‍රසිද්ධ අහුපිනි ඇල්ලම බවත් ඊට හේතුව එය යක්ෂයන් සේම නාග, දේව සහ ආර්ය ගෝත්‍රිකයන් වාසය කළ භූමි ප්‍රදේශයේ මායිමක පිහිටි නිසා බවත් ප්‍රදේශයේ පැරණි ගැමියෝ පවසති. දැනට සබරගමු පළාතට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දෙයියන්වල ඇල්ලෙන් පහළ පිහිටි ගමකි. මල්ගොල්ලවත්ත යනු ඇල්ලට සමාන්තරව පිහිටි තවත් ගමකි. නමුදු එහෙත් එය අයත් වන්නේ වත්මන් මධ්‍යම පළාතට සහ මහනුවර දිස්ත්‍රික්කයටය. ගම්මුන් විශ්වාස කරන අන්දමට ඒ ග්‍රාම නාම අනුව වුව අතීතයේ එම  ප්‍රදේශවල දේව ගෝත්‍රිකයන් වාසය කොට තිබේ. ඊට අමතරව ඉන්දියාවෙන් පැමිණි ආර්යයන්ද ඒ කාලයේ මෙහි ජනාවාස වී තිබේ.
කෙසේ හෝ පසු කාලය වන විට මෙම ප්‍රදේශයේ විසූ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහ දේව ගෝත්‍රිකයන්ගේ බලය හීන වී ඊට සාපේක්ෂව ආර්ය බලය ඉහළ නැංවී තිබේ. “අරම” යනු අහුපිනි ඇල්ල පාමුල ඇති වී ශීඝ්‍රයෙන් සංවර්ධනය වූ ආර්ය ජනාවාසයකි. “අරම” යන නම පටබැඳීම සම්බන්ධයෙන් විවිධ ජනප්‍රවාද ඇත. එහෙත්, එහි එන අරම යන්න ආර්යයන් විසූ පෙදෙස බව හැඟවෙන්නක් බවට ඇති ජනප්‍රවාදය එතරම් ප්‍රචලිත වී නැත.
කෙසේ හෝ අරම යනු දැනට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන පෙළේ බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ හැරුණු කොට දනගිරිහල, වාකිරිගල, සැලව, දෙවනගල, දොඩම්ත‍ලේ ආදී බෞද්ධ සිද්ධස්ථාන ද එම ප්‍රදේශයේ පැතිර ගිය ආර්ය ජනාවාස මුල්කොට මහින්දාගමනයෙන් පසු විවිධ වකවානුවල ඉදි වූ ඒවා බව පෙනේ. ඒ කෙසේ හෝ අහුපිනි ඇල්ල කේන්ද්‍රගතව පැවැති අතීත යක්ෂ ගෝත්‍රික ජනයා පසුව කමෛන් ආර්ය ශිෂ්ටාචාරය තුළට සංක්‍රමණය වූ බවට සැක නැත.
සෘජු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක මූලා ශ්‍ර නැතත් අහුපිනි ඇල්ල කේන්ද්‍රකර ගත් මෙම ඉසව්ව අතීත ආර්ය යක්ෂ නාග ගෝත්‍රිකයන් එක්ව විසූ ප්‍රදේශයක් බව ද එම ස්ථාන සහ සබැඳුණු ජන ප්‍රවාදවලින් ලද හැකි පිටිවහල සුළුපටු නොවේ. අහුපිනි ඇල්ල පාමුල සිට ඇති සමීපතම නගරය වන අරනායක ග්‍රාම නාමයම මීට කදිම නිදසුනකි. බොහෝ දෙනකු අර්ථ දක්වන අන්දමට අරනායක යන ග්‍රාම නාමය ඇති වී ඇත්තේ ආර්ය, යක්ෂ, නාග යන මානව ගෝත්‍රික තුන එකටම සම්බන්ධ වීමෙනි. එහෙත් මානව විද්‍යාත්මක වශයෙන් මනාව ගළපා ගත හැකි වර්තමානයෙන් සැඟව ගත් මෙවැනි අතිශය වැදගත් වංශ කතා හේතු සාධක සහිතව නූතන ජන සමාජය හමුවේ අනාවරණය කිරීමට මතෛක් දරා ඇති උත්සාහයන් ඉතා අල්ප බව මෙම සටහනේ සමාප්ති වාක්‍ය ලෙසින් ඉතා කනගාටුවෙන් වුව සටහන් කළ යුතුව තිබේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය