Powered by Blogger.


මහනුවර මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි උපසම්පදා පුණ්‍යෝත්සවය 2014 මැයි 14 වෙනි බුධ දින (වෙසක් පුර පසළොස්වක පෝදා) සිට ජූනි 12 වෙනි ගුරුදින (පොසොන් පුර පසළොස්වක පෝදා) දක්වා සිදුකෙරෙන බව මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මහනුවර ශ්‍රී හයගිරි විජයසුන්දරාරාම මහා විහාරාධිපති උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිතාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේ දෙනම ශාසන ගෞරවයෙන් නිකුත්කර තිබෙන නිවේදනවලින් ප්‍රකාශ කර ඇත.
පෝය දිනවල උපසම්පදා විනයකර්ම කටයුතු උපසම්පදා පෙරහර සහිතවද, සෙසු දිනවල පෙරහර රහිතවද සිදු කෙරෙන බවත් ඒ අනුව මැයි 14, මැයි 21 මැයි 28, ජූනි 05, ජූනි 12 උපසම්පදා පෙරහර සහිතව උපසම්පදාවන්, මල්වතු අස්ගිරි මහා විහාරයන්හි ඓතිහාසික මංගල උපෝෂථාගාරයන්හි සිදු කෙරේ. වාහල නාගනාමයෙන් පෝය දිනවල උපසම්පදාව ලබන සාමණේර හිමිවරු ශ්‍රී දළදා මාලිගාවේ සිට පෙරහරෙන් උභය මහා විහාර වෙත වැඩමවාගෙන යනු ලබති. වාහල නාග නාමයෙන් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබන සාමණේරයන් වහන්සේලාගේ, උපාධ්‍යායන් වහන්සේලා පදවිය අති ගෞරවාර්ය මහානායක මාහිමි දෙනම විසින් උසුලනු ලැබීම සම්ප්‍රදායයි. උපසම්පදා විනය කර්ම කටයුතුවල උපාධ්‍යායන් වහන්සේලා වශයෙන් අනුනාහිමිවරු ඇතුළු මහෝපාධ්‍යායන්වහන්සේලා ඒ ඒ දිනයන්හි පෙනී සිටිති. මල්වතු මහා විහාරපාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමි, දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමි සහ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අනුනායක මහියංගණ රාජමහා විහාරාධිපති ගලගම අත්ථදස්සි අනු නාහිමිපාණන්සේලා ප්‍රධාන මහෝපාධ්‍ය නාහිමිවරුන් ඒ අනුව සිදුකරන අතර උපසම්පදා කටයුතුවලදී මල් වතු මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී වල්ගොව්වාගොඩ, විමලබුද්ධි නාහිමි උප ලේඛකාධිකාරි, පහමුණේ ශ්‍රී සුමංගල යන හිමිවරුන්ගේ ද, අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි නා හිමි නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරන්පනාවේ ආනන්ද හිමිවරුන්ගේද ලේඛකාධිකාරීත්වයෙන් උපසම්පදාවන් සිදුකෙරේ.
උපසම්පදාපේක්‍ෂකයින් පළාතේ නායක තෙරුන් වහන්සේගෙන්ද පිරිවෙනක ශිෂ්‍යයෙක් නම් පරිවේණාධිපතින් වහන්සේගෙන්ද ගුරුවරුන් විහාරස්ථානය සහ ඉගෙනීම පිළිබඳ සහතික ලියුම් හා උප්පැන්න සහතික ඇතිව පැවිදි කළ ගුරුවරුන් සමඟ පැමිණිය යුතු බවත් මෙම වසරේ දී උපසම්පදාවීමට බලාපොරොත්තුවන සාමණේර තැනගේ නමත්, උපන්දිනයත් සම්මත පරිදි වාචෝත් ගත කරන ලද සාමණේර බණ දහම් ආදිය පිළිබඳ විස්තරත්, ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ නම් විහාරස්ථානයේ නම් ඇතුළත් ලිපිනයන්, දිස්ත්‍රික්කයන් පිළිබඳ විස්තර දන්වා එවන ලෙස මාහිමිපාණන්වහන්සේලා විසින් ඒ ඒ පාර්ශ්වයන්හි පළාත් සංඝනායක හිමිවරුන් සහ ප්‍රාදේශීය සියලු මහා සංඝයා වහන්සේලා වෙත දන්වා ඇත.
එම නිවේදනයන්හි මෙසේද දක්වා ඇත. මිථුන රවි 28 භාග වූ ජූලි මස 12 වෙනි ශනි දින ගිම්හාන සෘතුවෙහි 8 වෙනි පොහොය කොට ඊට පසු දින පෙරවස් එළඹීමද, කටක රවි 25 භාග වූ අගෝස්තු මස 10 වෙනි රවිදින වස්සාන සෘතුවෙහි 2 වෙනි පොහොය කොට ඊට පසු සඳුදින පසුවස් එළඹීමද, කන්‍යා රවි 22 භාගවූ ඔක්තෝබර් මස 08 වෙනි බුධ දින පෙරවස් පවාරණයද, තුලා රවි 20 භාගවූ නොවැම්බර් මස 06 වෙනි ගුරුදින පසුවස් පවාරණයද යෙදෙන බවද සඳහන් කර ඇත.
 

දෙයියන්ගේ ගල සොබා සොඳුරු දර්ශනයක් රැගත් පර්වත ගහනයකි.
මහනුවර කොළඹ මාර්ගයේ නෙළුම්දෙනිය ආසන්නයේ මාම්පිට ග්‍රාමයට අයත් වූ ඒ දෙයියන් ගේ ගල නම් වූ පව්ව මධ්‍යයේ මාම්පිට වළගම්බා පුරාණ ගල්ලෙන් විහාරස්ථානය නිමවී තිබෙයි.
කොළඹ නුවර මාර්ගයේ යට්ටෝගම මංසන්ධියෙන් හැරී බෙලිගල මාර්ගයේ කි.මී. 1/4ක් පමණ ගමන් කරන විට තුන්මං හන්දියක් හමුවෙයි. එතැනින් වමට දිවෙන මගේ තවත් කි.මී. 2 ක් පමණ පැමිණ පලපොලුව කනිෂ්ට විද්‍යාලය අසලින් ඇති මගේ මඳ දුරක් ඉදිරියට ගිය පසු දකින දසුන ආකර්ෂණීය කෙරෙනා කඳු පද්ධතියක පිහිටි මෙම ඓතිහාසික පුදබිමට පා තැබිය හැකි වෙයි. පරිසර පද්ධතිය වඩාත් නන්දනීය කරනා සොබා දම් දිනිතියගේ ළය මඬල සේ වූ කඳු පන්තීන් මේ රම්‍ය දිවයින දාහයෙන් නිවාලන තෙතමනයෙන් සිසිල් කරවයි.
අධ්‍යාත්මයෙන් පොහොසත් නොවූ දුරාතීත මානවයා ශිෂ්ඨාචාරවත් ගමන් මගේ ගමන් කිරීමට පෙර ඔවුන්ට නිසි ලෙස සංවිධානය වූ ආගමක් නො තිබුණි.
ඉරුට, සඳුට, ගහට ගලට ඔවුන් වන්දනාමාන කළේ මෙම ස්වභාවික සම්පත් මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් ඍජුව හා වක්‍රව බලපෑම් ඇති කළ නිසාවෙනි.
මිනිසා නො දියුණු වුවද ඇත්තෙන්ම එය එක්තරා ආකාරයක මානවයාගේ හික්මුණු ස්වභාවයකි යැයි පැවසිය හැකිය. එම සම්ප්‍රදායන් එක හෙළා ප්‍රතික්ෂේප නො කරමින් සංස්කෘතිය ගොඩ නැගෙන්නේ එම පැරණි ඇදහීම් වලට නව ආගමික අර්ථ කථනයක් ප්‍රදානය කරමිනි. නිනව්වක් නොමැතිව වන්දනාමාන කරනා මහා වෘක්ෂයන් අතරට බෝ ගස පැමිණෙන්නේ බෝධීන් වහන්සේ නමින් ගෞරව බහුමානයට පාත්‍ර වෙමිනි.මේ අජීවි වෘක්ෂයට එවන් සැලකීමක් ලැබෙන්නේ බුද්ධත්වය වෙනුවෙන් පිට දුන් සෙවණ සිසිලස සලසා දුන් නිසාය.
ස්වභාව ධර්මය අපූර්වත්වයට පත් කළ සොබා සිරිය වඩවාලමින් මිනිසාගේ දිවි පැවැත්මට පැන් පොදක් උපදවන්නට ජල උල්පත් ජනිත කරවන මහා කඳු පන්තීන් වෙත දොහොත් මුදුන් දී වඳින්නට ඉඩ හසර විවර කර දෙන්නේ මේ ධර්මද්වීපයේ ගිරගක් ගිරගක් පාසා ඉතා ආනන්දනීය ආකෘතියකින් හෙබි ස්තූප පෙළක් ඒ කඳු මුදුන් තවත් හැඩ කරමින් ගොඩ නැංවෙන නිසා ය.
සතා සරුපයාගේ වාස භූමි වූ අඳුරු ගල් ගුහා කටාරම් කොටා සකසා මිනිස් වාසයට සුදුසු ලෙස පරිවර්තනය වී එය තවදුරටත් විකාශනය වී සසර විමුක්තිය සොයා යන භික්‍ෂූන් වහන්සේගේ ආවාස කුටි ලෙස පූජනීයත්වයට පත්වී එතැනින්ද නොනැවති. ඒ තුළ ලෙන් විහාර මන්දිර ගොඩනැගෙන්නේද ස්වභාව ධර්මය සඟවා තබා සිටි අඳුරු ගල්ලෙන් වන්දනාමානයට පූජනීයත්වයට පත්කිරීම උදෙසා නව අරුතක් එක්කරලමිනි.
එවන් පසුබිම් කියැවීමක් තුළින් අපට ගිරි ශිඛරයක දැකුම්කළු පිදුම් ලබන තවත් විහාරස්ථානයක් දැක දැන ගැනීමට ලැබෙයි.
මෙම විහාරස්ථානය දිගු ඉතිහාසයක උරුමයක් බව පුරා විදු ලකුණු මත සනාථ කර ගැනීමට හැකිව තිබේ.
අඩි 600 ක් පමණ උසක අක්කර 17 ක් පමණ වපසරියක් ආවරණය කරන කඳු පර්වතයක අඩි සියයක් පමණ වූ දිගු ගල්ලෙනක් කටාරම් කොටා පූජනීයත්වයට පත් කළ ඒ අසිරිය දැක පැහැද විඳ ගැනීමට කදිම පරිසරයක් නිර්මාණය වී තිබෙයි.
මෙම ලෙන් විහාරය පිහිටි මට්ටමේ සිට අඩි 12 –ක් 14 ක් උසකින් ලෙන් පියසෙහි ශිලා ලිපියක් දැක ගැනීමට ලැබෙයි. එයට උඩින් කටාරම් කොටා ඇත්තේ වැසි ජලය ලෙන තුළට කාන්දුවීම වළකාලීමටය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ගෙන ඇති එම සෙල් ලිපියේ මේ වන විට අකුරු මැකී ඇතැම් වදන් කියැවීමට නො හැකිව පවතී.
අධි කස උතරහ දුවේ කහ පණෙ මණීකර පුෂ , නි, වලස කශ පණෙ, ලෙසින් අද කියැවෙන එහි අරුත මෙසේ ව්‍යවහාර බසට පරිවර්තනය වෙයි. “ඇළවල් භාර උත්තර කහවණු , දෙක මරිකාර පුස්සගේ , කහවණු වශයෙනි.
මෙය ක්‍රි.පූර්ව, 3 – ක්‍රි.වර්ෂ 01 සියවසට අයත්වෙයි. පූර්ව බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියැවී ඇති මෙහි භාෂාව පුරාණ සිංහලය. එහි අර්ථය විග්‍රහකර ඇත්තේ මෙලෙසය. වාරිමාර්ග භාර නිලධාරි උත්තරයන් කහවණු දෙකක්ද මණිකාර (මැණික් කර්මාන්තයේ යෙදුණු ) පුස්සගේ කහවණුවක්ද යනුවෙන් සඳහන්ය. ඇතැම් අක්‍ෂරයන් ගෙවී ඇති බැවින් පූර්ණ අර්ථයක් ලබා ගැනීමට නො හැකිය.
මෙම ගල්ලෙන් විහාරස්ථානයේ වටිනා ඓතිහාසික අන්‍යතාවය රැඳවීමට සමත්ව ඇත්තේ මෙම ලෙන් ලිපියයි. ඒ ඔස්සේ ඉතිහාස මඟ පිරික්‍ෂීමට විවිධ ඉසව් ඔස්සේ ගමන් කළ හැකි වෙයි.
ඒ අනුව මෙම ස්ථානය පූජනීයත්වයට පත් කරවන ලද්දේ වළගම්බා රජතුමා යැයි සැක සහිත විනිශ්චයකට එළඹිය හැකිය. එසේ නැතිනම්, උත්තර නමැත්තකු විසින් කළ විහාරයක් ද විය හැකිය.
කෙසේ වෙතත් එවන් නිගමනයකදී වුව මෙහි වටිනාකම හෝ ඓතිහාසිකත්වයේ අගයට පළුද්දක් ඇති නොවෙයිි.
පුරා විද්‍යා නිගමනයට අනුව මෙය ක්‍රි.පූර්ව යුගය දක්වා දිවෙයි. මෙතනදී ඇළවේලි පිළිබඳ නිලධාරිවරයෙකු එසේත් නැතිනම් රජවරයෙකුගේ අමාත්‍යවරයකු කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඊට අදාළ කාර්යයකට මුදල් වැටුප් වශයෙන් ගෙවු බවක් කියැවෙයි.
ඉතිහාසය විසින් හඳුන්වා දෙන ඉහත සමය වළගම්බා රාජ්‍ය සමය සමඟ සැසඳිය හැකිය. සතර කෝරළය ආශ්‍රය කරගනිමින් ආරක්‍ෂක ගනු දෙනුවක නියැළුණ වළගම්බා රජතුමා සල්ගල – ලෙනගල ආදි ස්ථානයන්හි සැඟව සේනා සංවිධානය කළ බව වංශකතාවල සඳහන්ව තිබේ. එසේම තම බල සේනාවන්ට බත සැපයීමට කෘෂිකර්මාන්තයද සටන් පුහුණුවට සමගාමීව කරගෙන ගිය බවට සාක්‍ෂි ද හමුවෙයි.
එසේම වළගම්බා රජතුමාට සප්ත යෝධ බලයක් තිබුණු බවට දීපවංශය සාක්‍ෂි දරයි. දීපවංශය එසේ හඳුන්වන යෝධයන් හත් දෙනා උත්තිය, සාලිය, මූල, පබ්බත, තිස්ස, දේව සහ උත්තර යන නම් වලින් හඳුන්වති. මෙම යෝධයන් නිලධාරින්ගේ අමාත්‍යවරුන් වශයෙන් රජතුමා නියෝජනය කළාද වියහැකිය.
මෙම ස්ථානයේ ඇති බැලුම්ගල නම් ස්ථානයට ගිය පසු හාත් පස සිසාරා දිවෙන නෙත් වසඟ කරනා සොඳුරු දසුන එදා ඔත්තු බැලූ මුර සෙබළාගේ උකුසු ඇස දුටුවේ වෙනත් දෘෂ්ඨි කෝණයකින් විය හැකිය.සතුරා මොනයම් හෝ මොහොතක පැමිණේදෝයි සැකයෙන් සිටි මුර සෙබළාට බැලුම්ගල ඉතා ආරක්‍ෂක දුර දක්නයක් වූවා යැයි සිතිය හැකිය.
භූගෝලීය පිහිටීම – ගිරි, වන දුර්ග සහිත ස්ථානයක් වීම, ආරක්‍ෂාව විශාල ගල්ලෙන , හාත්පස පිහිටි වෙනත් ආරක්‍ෂක ස්ථාන , සරුසාර කෙත්බිම් ගහනය ආදි වූ දෑ යුද කඳවුරකට අවැසි අත්‍යවශ්‍ය සාධක සපිරි සරු භූමියක් වූවාට සැක නැත.
මේ පසින් බලන කළ මෙය වළගම්බා රජතුමා කරවූ ලෙන් විහාරයක් බවට සැක සිතීමට හේතු ප්‍රත්‍ය එකතු වී තිබේ.
වළගම්බා රජතුමා සැඟව සිටි සේනා සංවිධානය කළ සැඟැවුණු ස්ථානයන් කෘතගුණ සැලකීමට විහාරස්ථාන වශයෙන් සැකසූ අවස්ථා බහුතරයක් අපගේ වංශ කතා ජනප්‍රවාද ඉතිහාස ලකුණු මතින් ගොඩනැගී තිබේ. ඒ අනුව යමින් මෙම විහාරස්ථානයද වළගම්බා රජතුමාගේ අනුග්‍රහයෙන් ප්‍රතිනිර්මාණය වු බව කියැවෙයි.
කෙසේ වෙතත් කඳු පද්ධතියක් ආශ්‍රයේ අඩි 100 ක් පමණ වූ ලෙනක කටාරම කොටා සෙල්ලිපියක් ලිවීමට තරම් පසු බිමක් නිර්මාණය වීම සුවිශේෂී කාර්යයකි. ඒ නිසාම ඉතිහාසයේ ඉතා නිරවද්‍ය වූ සත්‍ය සොයා යන ගමනේදී වෙනත් නිගමනයකට අවතීර්ණ වීමට සිදුවුවද මෙහි ඓතිහාසික වටිනාකමට එය කිසිදු අඩුවක් නොවනු ඇත.
කාලයත් සමඟ කළ අරගල වලදී මෙය පසු කළෙක වල් බිහිවී තිබි නැවත පුනර්ජීවය ලබන්නේ 1831 වැනි යුගයකදීය.
එයින් පසුව ඉදිවූ බුද්ධ ප්‍රතිමා සිතුවම ආදිය එම වකවානුවේ නිර්මාණය වී තිබේ. එම ප්‍රතිමාදිය ඒ යුගය නියෝජනය කළ විශේෂ ලක්‍ෂණ මතු කරයි. විහාරාරාමයක් පරිපූර්ණත්ව යට පත්කරවන චෛත්‍ය මෙන්ම බෝධීන් වහන්සේ රෝපණය වන්නේ 1949- 1954 වැනි වසර වලදීය. චෛත්‍ය මෑත යුගය නියොජනය කළද විහාර මන්දිරයේ ඓතිහාසික වටිනා කමට කිසිදු පළුද්දක් ඇති නොවේ.
ස්වභාව ධර්මයේ දෘෂ්ඨියට බුද්ධාලම්බන පී‍්‍රතීය ආගමික චින්තනයක්ද ඓතිහාසිකත්වයද සමීප කළ මෙවන් පුදබිම් වඩාත් ප්‍රසිද්ධියට පත් නොවී ඇති නිසා ජනතාව අතර එතරම් විශේෂ කතාබහකට ලක් නොවෙයි.
එහෙත් ආගමික සංහිඳියාවෙන් අප මව් බිමට සුවය ගෙනා අමතක කළ නොහැකි ඓතිහාසික බෞද්ධ සැමරුම් වශයෙන් මෙවන් ස්ථාන ද හඳුනා ගත යුතුව තිබෙයි.

උඩුදුම්බර කාශ්‍යප හිමියන් ගේ පැය හයක සදහම් දෙසුමක්


ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිවියාගහ යසස්සී නා හිමියන්ගේ අනුශාසනා පරිදි බෞද්ධායතන දායක සභාවේ සංවිධායකත්වයෙන් මේ මස 26 වැනිදින පස්වරු 1.00 සිට මහව ගල්ලැවවෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියන් විසින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරෙන් පවත්වනු ලබන පැය හයක ධර්ම දේශනාවක් ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධායතනයේදී පැවැත්වේ. පැය හයක කාලය අඛණ්ඩව සැදැහැයෙන් ධර්ම ශ්‍රවනය කිරීමට හැකි බව දායක සභාව දන්වා සිටියි.

බොදු පුවත් (ඡායාරූප)
 

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය සංඝකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය ගෞරව නාමය සහිතව මොනරාගල සිරිපියරතන පිරිවෙනේ ක්‍යාතාධිකාරී, විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කන්දඋඩපංගුවේ සුද-ම්ම හිමියන් වෙත ඉකුත් 12 දා පිරිනමන ලදී. ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමීන් වහන්සේ වෙතින් නව පදවිය පිළිබඳ ලිපිය, කන්දඋඩපංගුවේ සුදම්ම හිමියන් ලබාගත් අයුරු.
(ඡායාරූපය - ඌව, වෙල්ලස්ස විශේෂ, ඩී.එස්. ගුණතිලක)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 10 වැනිදා ඓතිහාසික කතරගම පුදබිම වෙත ගොස් කිරිවෙහෙර සමිඳුන් වැඳ පුදා ඒ අභියස පැවැති ආගමික වතාවත්වලට සහභාගි වූ අයුරු. ඡායාරූප – චන්දන පෙරේරා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය