Powered by Blogger.


තම බාල සහෝදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් කළ සහෝදරියන් දෙදෙනකු ගැන පුවතක්‌ පසුගිය දිනක අසන්නට ලැබුණි. ඒ දිය නෑම සඳහා කලපුවකට ගිය තම බාල සහෝදරියව කිඹුලකු විසින් ඩැහැගෙන ගිය අවස්‌ථාවේ එම කිඹුලා සමග පොරබදා තම සහෝදරියව බේරාගත් සහෝදරියන් දෙදෙනකු ගැනය.

මෙම සිද්ධිය පිළිබඳ එම යුවතියන් දෙදෙනාගෙන් විමසීමේදී ඔවුන් එක ඉල්ලීමක්‌ කළේය. ඒ තමන්ගේ නම් සහ ඡායාරූප පුවත්පතේ පළ නොකරන ලෙසය. මෙම සිද්ධිය පමණක්‌ පළ කරන ලෙසය. එම නිසා එම යුවතියන් දෙදෙනාගේ නම් සහ ඡායාරූප පළ නොකර කතාව පමණක්‌ ලියමි.

මෙම තරුණියන් දෙදෙනා ඉස්‌ලාම් භක්‌තිකයන්ය. පදිංචිය මලයඩිග්‍රාමම් ප්‍රදේශයේය. අතිශය බිහිසුණු වූත් ත්‍රාසජනක වූත් එම සිද්ධියට සම්බන්ධ වූ එක්‌ යුවතියක්‌ අපට අදහස්‌ දක්‌වමින් මෙසේ ප්‍රකාශ කළාය.

අපි පදිංචිවෙලා ඉන්නේ මලයඩිග්‍රාමම් කියන ප්‍රදේශයේය. අපේ පවුලේ සාමාජිකයන් 13 ක්‌ සිටිනවා. පිරිමි 6 යි. ගැහැනු හතයි. මේ අනතුරට මුහුණ දුන්නේ අපේ පවුලේ බාලම නැඟණිය. එයාගේ වයස අවු. 17 යි. සමන්තුරේ අල් - අස්‌රන් විදුහලේ ඇය උසස්‌ පෙළ හදාරනවා.

ඔය සිද්ධිය වුණේ අප්‍රේල් 15 වැනිදා. හරියටම සිංහල අලුත් අවුරුද්දට පසුදින අපි ගැහැනු අය හත් දෙනෙක්‌ නාන්න ගියා. නෙයිනාකාඩු කලපුවට. අපේ නිවසේ සිට කිලෝ මීටර් 5 ක්‌ පමණ දුරයි එම ස්‌ථානයට. පසුගිය කාලය පුරාම පැවති නියඟය නිසා අපේ ප්‍රදේශයට ජලය හිඟයි. ප්‍රදේශයේ සේරම ළිං පවා හිඳිලා. අඩු ගානේ බොන්නවත් වතුර ටිකක්‌ නැහැ. ඒකයි අපි මෙච්චර දුරක්‌ නාන්න ආවේ.

ඥති සහෝදරයකුගේ වෑන් රථයකින් අපි ආවේ. ඔහු අපිව නෙයිනාකාඩු කලපුව ළඟ බස්‌සලා වෑන් රථයෙන්ම ටිකක්‌ ඈතට ගියා. එසේ ගියේ ඔහුට නිදිමත ගතියක්‌ තිබුණ නිසා අපි නාගෙන එනකන් ටිකක්‌ වෙලා නිදා ගන්න. එතකොට වෙලාව පස්‌වරු 3.30 පමණ වී තිබුණා.

අපි හත්දෙනා ඇඳුම් වගයක්‌ තිබුණා. ඒවත් සෝදලා පැය ගාණක්‌ එම කලපුවේ අපිට රිසි සේ නෑවා. නාලා ඉවරවෙලා අපි ආපහු එන්න ගොඩ බැස්‌සා. අපි හත් දෙනාම එකම වෙලාවේ තමයි ගොඩට ආවේ. ගොඩට ඇවිත් බලනකොට ඔය අනතුරට මුහුණදුන්න බාල නංගිගේ පිටේ මඩ ටිකක්‌ ගෑවිලා තිබුණා. ඉතින් ඒක හෝදගන්න එයා ආපසු දියට බැස්‌සා.

දියට බැස්‌ස නංගි ගොඩ එන්න පරක්‌කු වුණ නිසා අක්‌කයි මමයි ආපහු හැරිලා කලපුව දිහා බැලුවා. නමුත් නංගි පේන්න හිටියෙ නැහැ. අපිත් එක පාරටම බය වුණා නංගිට මොනව හරි වෙලාද කියලා. ඒක නිසා අක්‌කයි මමයි ආපසු දියට බැස්‌සා.

මගේ හිතට පොඩි චකිතයකුත් ආවා නංගීට මොනව හරි වෙලාද කියලවත්. අක්‌කයි මමයි දියට බැස්‌සත් නංගි පේන්න හිටියේ නැහැ. ඒ පාර අපි දෙන්නත් හොඳටම බය වුණා නංගීව පේන්න නොසිsටි නිසා.

අපිට අඩි කිහිපයක්‌ ඉදිරියෙන් වතුර දෙබෑ කරගෙන මුළු ප්‍රදේශයටම ඇහෙන ලෙස කෑගසාගෙන නංගී එක පාරටම මතුවුණා. ඒ සමගම ඇය අක්‌කාගේ බෙල්ලෙන් අල්ලාගෙන මාව බේරගන්න බේරගන්න කියලා ලතෝනි දුන්නා. ඒ එක්‌කම මගේ කකුලෙන් කවුද අදිනවා ඉක්‌මනට බේරගන්න කියලා ඇය විලාප දෙමින් පැවසුවා. නංගිට එක පාරටම මොකද වුණේ කියලා අපිටත් හිතා ගන්න බැරිවුණා.

අපි නංගිව හෝඳටම තද කරලා අල්ලගත්තා. තප්පර ගණනක්‌ යනකොටයි අපි දැක්‌කේ නංගිගේ කකුල කිඹුලෙක්‌ අල්ලගෙන ඉන්නවා කියලා. ඒ හරියේ වතුර රතුපාටට හැරිලා තිබුණා මට මතකයි. අක්‌කයි මමයි තවත් පුළුවන් තරම් හයියෙන් නංගිව අල්ලගෙන ගොඩට ඇදලා ගන්න උත්සාහ කළා.

ගොඩ හිටිය ගැහැනු උදවිය හොඳටම බයවෙලා කෑගහනවා. ඔවුන් එක්‌කෙනෙක්‌වත් උදවුවට ආවෙත් නැහැ. ඒ තරමටම ඒගොල්ලොත් බයවෙලා.

අක්‌කයි මමයි හිතා ගත්තා අපේ ජීවිත පූජා කරලා හරි නංගිව බේර ගන්නවා කියලා. ඒ වෙලාවේ අපේ හිතට ලොකු හයියක්‌ ආවා. ඒක කොහෙන් ආවද මන්දා. අපි ටිකෙන් ටික නංගිව දියෙන් ඉවුර දෙසට ඇදලා ගත්තා. ඒත් කිඹුලා නංගිගේ කකුල අතහැරියේ නැහැ. ඌ නංගිව වතුර පැත්තටම අදිනවා.

විනාඩි පහළොවක්‌ විතර මහන්සිවෙලා අමාරුවෙන් නංගිව ඉවුර දෙසට ඇදලා ගත්තා. ඒත් කිඹුලා ඒ විදිහටම නංගිගේ කකුල සපාගෙන දඟලනවා.

ඒ වෙලාවේ නංගිගේ මුහුණ හොඳටම මැලවිලා. වේදනාවත් එක්‌කම අහිංසක විදිහට අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. සමහරවිට එයාට හිතෙන්නැති තව ටිකකින් අපි දෙන්නා කිඹුලත් එක්‌ක පොර බදන එක අතහැර දමලා අයින් වෙයි කියලා. මට ඒ වෙලාවේ හිතේ ඇතිවුණ දේ වචනවලින් කියන්න බැහැ. නංගිගේ මුහුණ දැක්‌කම මට හිතු=ණා කිඹුලත් මරාගෙනම මම මැරිලා හරි නංගිව බේරගන්නවා කියලා. ඒ වෙලාවේ පුදුම ධෛර්යයක්‌ හිතට ආවේ.

දඟලලා දඟලලා බොහොම අමාරුවෙන් නංගිව ඉවුරෙනුත් ගොඩබිමට ගත්තා. ඒත් කිඹුලා නංගිගේ කකුල අතහැරියේ නැහැ. හපාගෙනම හිටියා. බැරිම තැන කිඹුලගේ ඇඟ උඩත් නැග්ගා. ඒත් ඌ හපාගෙන හිටිය එක අතහැරියේ නැහැ. පැය භාගයක්‌ විතර නංගිව බේර ගන්න කිඹුලත් එක්‌ක අක්‌කයි මමයි පොර බැදුවා. අනිත් ගැහැනු අය බයටම ළඟට ආවේ නැහැ. පේන තෙක්‌මානයක මනුස්‌සයෙක්‌ හිටියෙත් නැහැ.

ටික වේලාවකට පස්‌සේ අපේ කෑගැහිල්ල ඇසිලා පිරිමි පුද්ගලයෙක්‌ එතැනට ආවා. ඔහු මෙම සිද්ධිය දැකලා ලොකු කලුගලක්‌ ඔසවාගෙන ඇවිත් කිඹුලගේ පිටට අතහැරියා. ඒ වැදුණ ගල් පාරට කිඹුලගේ කට ඇරුණා. ඒ සමගම අපි නංගිව කිඹුල ගෙන් බේරා ගත්තා. නංගිව බේරගත්ත එකට සතුටක්‌ සිතට ආවත් එය ඒ මොහොතෙම පහව ගියේ නංගිගේ කකුල දුටු විටයි. ඒ කකුලෙන් ලේ විදිනවා.

වහාම නංගිව අපි සමන්තුරේ රෝහලට ඇතුළත් කළා. එහිදී මූලික ප්‍රතිකාර ලබාදී නංගිගේ තත්ත්වය බරපතළ නිසා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට මාරුකර යෑව්වා.

දැන් ඒ සිද්ධිය මතක්‌ වෙනකොට හිතට සතුටක්‌ වගේම ලොකු බයක්‌ දැනෙනවා. ඇත්තටම අපිට ඒ වෙලාවේ නංගිව කිඹුලගෙන් බේරගන්න කොහෙන් ශක්‌තියක්‌ ලැබුණද කියලා හිතාගන්න බැරි වුණා. කිඹුලත් එක්‌ක පොර බදන කොට බය කියලා එකක්‌ අපේ හිතට ගෑවිලාවත් තිබුණේ නැහැ. ඒ විදිහට කිඹුලත් එක්‌ක පොර බැදුවේ නැත්නම් නංගිව අපිට සදහටම අහිමි වෙනවා. මං හිතන්නේ ඒ වෙලාවේ අපිට මෙච්චර ශක්‌තියක්‌ ලබා දුන්නේ දෙවියන් තමයි. ඔවුහු අපට කියති.

මෙම පිරිස දිය නෑමට ගිය නෙයිනාකාඩු කලපුවේ මීට දින කිsහිපයකට උඩදීද අවුරුදු 10 ක්‌ පමණ වයසැති දැරියක්‌ කිඹුලකු විසින් ඩැහැගෙන ගොස්‌ තිබුණි. අද වන විටත් එම දැරියගේ සිරුර පවා සොයා ගැනීමට අපොහොසත් වී ඇත. මීට පෙරද මෙම කලපුවේ සිටිනා කිඹුලන් මිනිස්‌ ජීවිත කිහිපයක්‌ බිලිගෙන ඇත.

ප්‍රදේශවාසීන් පවසනුයේ දැන් මෙම කලපුව ආශ්‍රිතව කිඹුලන් වැඩි වී ඇති බවකි. එම නිසා මිනිස්‌ ජීවිතවලට විශාල තර්ජනයක්‌ එල්ල වී ඇති බවත් ඔවුහු කියති. එම නිසා මෙම අහිංසක ජනතාව වගකිවයුතු නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව සොයා බලා කඩිනම් විසඳුමක්‌ ලබාදෙන ලෙසය.

අඩුම තරමේ මෙම ප්‍රදේශයේ කිඹුලන්ගෙන් ප්‍රවේශම් වනු කියා දැන්වීම් පුවරුවක්‌වත් සවිකිරීමට වගකිවයුතු නිලධාරින් අසමත් වී සිටිති. නෙයිනාකාඩු කලපුව මරු කටක්‌ නොකිරීමේ වගකීම මේ නිලධාරීන් සතුව තිබේ.


ගයාන් සමරසිංහ
පින්තූර - කල්මුණේ ආර්. ශ්‍රීවේල්රාජා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය