Powered by Blogger.


ශ්‍රී පාද සමය නිමාවට ඇත්තේ තවත් දින කිහිපයකි.මෙම සිරිපා වන්දනාව හා සබැඳි  පාරිශුද්ධ වූ ශ්‍රී පාද ස්ථානය සියලුම ලාංකිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඈත අතීතයේ සිටය. උඳුවප් පුර පසළොස්වකින් ඇරඹී වෙසක් පුර පසළොස්වකින් නිමාවෙන  සිරිපා වන්දනාව තුළ සැඟවී  ඇති තොරතුරු ද ලියැවී ඇති ඉතිහාසයද අධ්‍යයනය කරන්නට බොහෝ  දෙනා තුළ  ඇත්තේ කුතුහලයකි. පසුගිය “ඉරිදා ලක්බිම” පුවත්පතක පළ වූ “ශ්‍රී පාද අඩවියේ සැඟවුණ ඇත් සොහොන” පිළිබඳ ලිපිය දුටුවිට පාඨක හිතවත් ඔබට මාගේ අත්දැකීමක් ලියා එවීමටද  සිත්විය.
බෞද්ධ ජනතාව බුදුන් වහන්සේ ගේ ශ්‍රී පතුල පිහිටියා වූ ස්ථානය ලෙස සලකා ද කිතුනු, ඉස්ලාම් හා හින්දු බැතිමතුන් භක්තිමත්වද මෙම කඳු සිරස වන්දනා කරනු ලබති. අතීතයේ සිට දේශ ගවේෂකයන්ගේ සටහන් තුළ ලංකාවේ  ශ්‍රී පාද ස්ථානය ගැන විශේෂයෙන්  ලියැවී ඇත. සියලු ආගමිකයන්  එකට එක්ව පුදනු ලබන ස්ථානයක් වේද ඒ පූජනීය වූ ශ්‍රී පාද ස්ථානයයි. හැටන් සිට  නල්ලතන්නියට පැමිණ, රත්නපුර ගිලීම‍ලේ  හරහා පලාබද්දලට පැමිණ හෝ කුරුවිට නගරයේ එරත්න මාර්ගයේ  අඩවි කන්ද ගමට ද පැමිණ එතැන් සිට සිරිපා කරුණා  කළ හැකිය. හැටන්  මාර්ගයට සාපේක්ෂව  රත්නපුර පලාබද්දල මාර්ගය දුරින් වැඩිය. කුරුවිටින් පැමිණේ නම් අඩවි කන්ද සිට මාර්ගය රත්නපුර පලාබද්දල මාර්ගයට හැරමිටිපාන ආසන්නයේ සම්බන්ධ වේ. මුහුදු මට්ටමින් අඩි
7360ක් උසින් පිහිටා ඇති මෙම කන්ද ශ්‍රී ලංකාවේ කඳු අතර උසින් පස්වැනි ස්ථානය ගනී.
ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මැනවින් දර්ශනය වන ශ්‍රී පාද කන්ද කොළඹ ප්‍රදේශයේ බොහෝ තැන් හි දී මා දැක ඇත්තෙමි.  රට මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී පාදය කඳු පද්ධතියකින් වට වී ඇත.
එය ශ්‍රී ලංකාවේ  ඇති අති පූජනීය වූ කන්ද  බව හැම  දෙනාම පිළිගනිති. මෙහි පිහිටියා වූ උතුම් වූ ශ්‍රී  පාද පද්මය දැකබලා වන්දනා කරන්නට කුඩා දරුවකු කාලයේ සිට තිබූ සිහිනය සැබෑ වන්නේ ජීවිතයේ වසර 30 කටත් පසුවය. ඒ 1996 දෙසැම්බර් 31 දිනදීය. දෙසැම්බර් සිට මැයි දක්වා ශ්‍රී පාද තරණය කරන මාර්ග පිරී ඇතත්  පුරා මාස 06 කට වැඩි කාලයක්  මිනිස් ඇසුරින් තොරව  පවතින්නේ  එම කාලය වන්දනාකරුවන් කඳු තරණය නොකරන බැවිනි. ‘අවාරය’ නමින් හඳුන්වනු ලබන මෙම කාල පරිච්ජේදයේ සිරිපා මළුවේ විශේෂ පූජාවන් නොපැවැත්වේ.  එනමුදු  සියලුම ආරක්ෂක  කටයුතු සිදුවේ.  වන්දනා සමය  නිම වූ පසු සමන් දෙවිඳුන්ගේ  පිළිරුව සහ ආභරණ නැවත පැල්මඩුල්ල , ගල්‍පොත්තාවල රජ මහා විහාරයට වැඩමවා  සමන් දෙවිඳුන්  වෙනුවෙන් පූජාවන් පවත්වනු ලබයි. එම නිසා දෙසැම්බර්  මස සිරිපා වන්දනාව ආරම්භයත් සමග ගමන් මාර්ගයන් එළි පෙහෙළි කර සකස් කර ගත යුතුවා මෙන්ම එම මග රාත්‍රී  කාලයට ගමන් කළ  හැකි ලෙස තාවකාලික  විදුලි රැහැන් ඇදීමද සිදුකළ යුතුවේ.
එවන් සිරිපා  වන්දනා සමයක  ආරම්භයේ  මා ගිය ගමනේ  නිමල් අයියා නඩේගුරා වූ අතර  එම ගමනට මිත්‍ර විශ්වද එක්විය. කිහිප වතාවක්ම එවන් අත්දැකීම් ලැබූ ඔවුන් අතර මා කෝඩුකාරයෙකු විය. අප රත්නපුරයට පැමිණ එතැනින්  ගිලීිම‍ලේ හරහා  පලාබද්දලට බසයෙන් පැමිණෙන විටදී සවස 3.30 පමණ වන්නට ඇත. ඒ වන විට පලාබද්දල කුඩා නගරයේ තිබූ කඩ කිහිපයද වන්දනා සමයට ලක ලෑස්තිවෙමින් තිබුණි. අසල ඇති කළුගඟෙන් නා ගැනීමෙන් පසුව වන්දනා නඩ බලා‍පොරොත්තුවෙන් සාදා තිබූ කඩයකින්  ආහාර ගත්තෙමු.
කළුගඟේ පාලමෙන් එගොඩ වෙද්දී සවස 4.30 පමණ වී තිබුණත්  සිරිපා හිම තරණය කරන්නට යන කාලය දැන නොසිටි බැවින් අප තිදෙනාගේ කුඩා නඩය පලාබද්දල විහාරයට පැමිණියේ මල් පහන් පුදා ගමනට මූලිකව සූදානම් වීමටයි. “කීර්ති ශ්‍රී රජමහා විහාරය” නම් මෙම පුද බිමට රාජසිංහ රජතුමාගේ  අනුග්‍රහය අතීතයේ  වෙසෙසින් ලැබි තිබුණි. මෙහි නඩත්තුව සැපයීමට සිටි “නිල පංගුකාරයන්ගේ” රාජකාරිය ඉටුකිරීමට  රජතුමාගේ  නියෝගයෙන් පත්කරන ලද අයට පැවරූ  රාජකාරිය  සම්බන්ධව අඩංගු වූ තොරතුරු ලියාපදිංචි කරන ලද “කොමසාරිස් ‍පොත” දැන් තිබෙන්නේ රාජ්‍ය ‍ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් පුස්තකාලයේය. මෙම විහාරයට පඬුරු බැඳ පන්සිල්  සමාදන්ව පිටත් වූ අපට රාත්‍රී කෑම ගැන සිහි වූ මුත් දහවල් ආහාරය ගත් කඩයෙන් පැවසුවේ “ඇහැල කණුව “අසල කඩයෙන් රාත්‍රියට ආහාර සපයා ගත හැකි බවයි. එම නිසා ගමන් මල්‍ලේ බිස්කට් කැවිලි වර්ග පමණක් තබාගෙන ඉදිරි කඩ පිළිබඳ බලා‍පොරොත්තුවෙන් ඉදිරියට ඇදුනෙමු.
ශ්‍රී පාදයට පිවිසීමට දුෂ්කර ම මාර්ගය ලෙස එදා සිට හැඳින් වූ මෙම මාර්ගය අද ශ්‍රී ලංකා යුද හමුදාවේ  කැපවීමෙන් පඩි බැඳ මෑතක දී සකස් කරනු ලැබූවත් එදා එහි ගමන්  කිරීම දුෂ්කර විය. “පවනැල්ල නම් ගම පසු කරමින් කන්ද තරණය කර “දොරල කඩේ” සහ “කෙකටිය කඩේ” පසු කරමින් ලිහිණි හෙලට ආවා මට මතකය. ඒ එන ගමනේදී කෙණ්ඩ පෙරළී වේදනාවට පත් වී නතර වුවද, කකුල වේදනාවයි කියා නවතින විටදී කට්ටියක්  යන හඬ ඇසෙනවා නවතින්න එපා ඉක්මනට යමු නිමල් අයියා කියුවත් ඉදිරියට ගොස් බලද්දී හමු වූ කුඩා දරුවන් දෙදෙනා පැවසුයේ කිසිවකු එහි ගමන් නොකළ බවයි. පළමු වරට ශ්‍රී පාදයේ ඇති මෙවන් සුවිශේෂ දේ අත්දැක පුදුමවීමි. විටින් විට ඇසෙන “පිරිත් හඬ” කොහේ සිට එන්නේ දැයි මා නොදැන  සිටියෙමි.  එනමුදු මෙම වන අඩවියට පිවිසි මොහොතේ  සිට කිසියම්  වෙනසක් මා අත්දුටුවෙමි.  කුමන හෝ ආගන්තුක සුවිශේෂී දෙයක් සිදුවේ  යැයි සැමවිට  මට දැනෙන්නට විය.
දැන් හතරවටින් කළුවර වේගෙන එයි. හාත්පස පාළු බවක් උසුලයි. සිරිපා  සමය පටන් ගෙන දින 03 ක් පමණක් ඒ වන විට ගෙවී ඇති බැවින්  පහළට බැස යන  වන්දනා නඩ හමුවූයේ එක් වතාවකි.  ඔවුනද කඩිමුඩියේ  පහළට කරුණා  කළේ රෑ බෝ වන්නට පෙර පලාබද්දල නගරයට ගොස් ගම්බිම්  බලා යාමටය.  වෙහෙස දැනුනත්  අපද පය ඉක්මන් කර ඉහළට  නැග්ගේ රෑ බෝවීමට පෙර හැකි තරම් දුරට යාමටය.  එනමුත් හිරු , කඳු වළලු අතරින්  සැඟවී ගොස් හාත්පස  මද අඳුරෙන් වැසී යද්දී අපට යා ගත හැකි වූයේ ලිහිණි  හෙලට මද දුරක් ඔබ්බටය. “ලිහිණි  අක්කේ අපි යනවෝ “ කියා කෑ ගසන විට ඒ හඬ කඳු අතර දෝංකාරය  දී වනයේ නිහඬතාවය බිඳලීය.  අප ඉටු කළේ වන්දනාකරුවන් විසින්  සිදුකළ පැරණී කළ සිට පැවත එන සිරිතකි.
ඉන්පසු අපට හමුවන “ගජමන් නෝනාගේ                                               ගිමන් හල” ගැන මෙන්ම එම කිවිඳිය ගැන පර්යේෂණාත්මක තොරතුරු හෙළි කළ දයානන්ද ගුණවර්ධන සූරීන්ගේ ගජමන් පුවත උප ග්‍රන්ථය (1976) මෙසේ සඳහන් වේ. නාට්‍යයේ ජවනිකාවේ  දෙබසේ දී  ගජමන්  නෝනා ඇලපාත මුදලිට  පවසන්නේ “ මුදලිතුමා මට ඇලපාත වලව්ව බලන්න යන්න ආසයි, වලව්ව බලා හෙට සිරිපා කරුණා කරන්ඩ කියලා තාත්තාට භාරයක්  වෙන්න, ඒ මොකද ආණ්ඩුකාරතුමා (ඩොයිලි) කියලා තියෙනවා හැකි තරම්  අලින් අල්ලන්න කියලා”
මේ අයුරින් ගජමන් නෝනා ඇතුළු පවු‍ලේ අයගේ තොරතුරු  සොයද්දී  මෙම පලාබද්දල සිරිපා මාර්ගයේ  වටිනා ඉතිහාසගත කරුණුද හමුවේ. ගජමන් නෝනාගේ පියා සිරිපා  වන්දනාවේ ගොස් එද්දී  1801 මාර්තු මස අලියෙකුගේ ප්‍රහාරයෙන් මිය ගිය බව සඳහන් වේ. එම මොහොතේදී ඉන් බේරුණු ගජමන් ළදැරිය භික්ෂුවක් විසින් පැල්මඩුල්‍ලේ හෝ බලංගොඩ නිවසකට භාරදුන්  බවද සඳහන්ය. එසේම දියබෙත්ම  ගජමන් නෝනාගේ ගිමන් හල ආශ්‍රිතව ඇති අලින්ගේ මාර්ගය ඇයගේ නම අනුවද තවත් අයුරකින් ගජ මං එනම් අලින්ගේ මාර්ගය ලෙසද ජන ප්‍රවාදයේ සඳහන් වේ.
මෙම ඉතිහාසගත ජනප්‍රිය කිවිඳිය විසින් තැනූ ගොඩනැගිල්ල ගජමන් ගිමන් හ‍ලේද නටබුන් ඡායාරූප  ගත කරගෙන කරුණා කරද්දී  අඳුර අප වෙලා  ගනු දක්නට ලැබිණි. සිරිපා වාරය  ඇරඹී දින කීපයක් පමණක් නිසා මාර්ගයේ අතු ඉවත් කර  සැකසී නොමැතිවා මෙන්ම  නොසිතූ  ලෙස කිසිදු කඩයක් අපට ආහාර ගන්නටද ඉදි වී නොතිබුණි. කෙසේ වුවද ගමන් මාර්ගයේ කොතැනන හෝ තාවාකාලික  ස්ථානයක්  සැකසී එහි සිටින කවරකු  හෝ හමුවේ යැයි බලා‍පොරොත්තුව අප තුළ දැඩිව වර්ධනය වූයේ, එම ගිරි දුර්ගයේ මිනිස් දසුනකින්  ලැබෙන රැකවරණය  විඳගන්නටය.  එනමුදු සියලු  බලා‍පොරොත්තු  වෙනස් විය.  තාවාකාලිකව සිරිපා වාරයට  ආලෝකය සපයන විදුලි රැහැන් පද්ධතිය දක්නට ලැබුණත් එම  රැහැන් මගේ සවිකර තිබූ විදුලි බුබුළු  අතරින් පතර නොමැති විය. එමනිසා එවන්  අඳුරු  කොටසකදී  අප කන්ද තරණය කළේ අපහසුවෙන්  මෙන්ම තැති ගැන්මෙනි.
 නොසිතූ  වීරු  ලෙස එක් මොහොතකදී  අප ඉදිරිපස  මාර්ගය සම්පූර්ණයෙන් අඳුරෙන් වැසී  ගියේය. අඩියක් හෝ ඉදිරියට යාමට  නොහැකිව  වික්ෂිප්ත වීමු.  විදුලි පන්දමක්  රැගෙන එන්නට  අමතක වීම නිසා කඩදාසි  කොළ දල්වා අපහසුවෙන්  මාර්ගයේ ඉදිරියට ගමන් කළෙමු.  විටෙන් විට  මාරුවෙන් මාරුවට අප තිදෙනා පෙරමුණ ගත්තද දැන් දැන් ගමන අසීරුය. කිහිප වතාවක්ම අප තිදෙනාම බිම ඇද වැටුණි.  අවදානම දැන් වැටහේ.  අප ගමන් කරන්නේ  කඳු බෑවුමකය. පහළට  වැටුණහොත් නතර වන්නේ  විශාල ප්‍රපාතයකය. කිසිත් කරතියාගත නොහැකිව  ඉදිරියට ගමන්  කළත් නැවත ආපසු හැරී  පසුපසට පැමිණියේ  තැනිතලා  භූමියකටය. දැන් අපට එකිනෙකා ළඟ සිටියද  නොපෙනේ.  කළුවර කෑලි  කැපිය හැකිය.  ඝන කැලෑව  මැද අප තනි වූ බව දන් ඒත්තු  ගොස්ය.  එම භූමියේ තිබූ අත්තිවාරමක් වැනි ගල් බැම්මක මා හිඳ ගතිමි.
වටපිට බැලූ විට මා යාම්තම් එළියෙන් දුටුවේ එයට දින කීපයකට පෙර ස්වාධින රූපවාහිනියේ චන්දික විජේසේනයන්ගේ “අවාරේ සිරීපාදේ” වැඩසටහනින් පෙන්වූ මෙම ස්ථානයයි. එහි සඳහන් වූ ලෙස මෙම නටබුන් වූ අම්බලම පුරාණයේ සිට ජනප්‍රවාදයේ එන ලෙස වන්දනා නඩවල අය අතුරුදන් වන ස්ථානයක් බවයි. දැන් මාගේ බිය දෙගුණ තෙගුණ විය. සිගරට් නොබිවත් එම මොහොතේ සිගරට්ටුවක් ඉල්ලා දල්වා ගත්තේ් සිතේ පවතින පීඩනය එයින් හෝ නිවා ගන්නටය. එහාට මෙහාට ඇවිදින මිත්‍රයන් දෙදෙනාටද මා ළඟ හිඳගන්නට කියුවේ ඔවුනට මෙම ස්ථානයේදී අනතුරක් වේ යැයි ඇති වූ බිය නිසාය. අඳුර තුළින් කොයි මොහොතේ හෝ සතෙකුගේ ආක්‍රමණයක් අනතුරක් වේ යැයි චතිකයෙන් අපි තිදෙනාම කතා කරමින් සිටියෙමු. එනමුදු මෙම ස්ථානයේ මිනිසුන් අතුරුදන් වන බව මා ඔවුනට නොකීවෙමි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය