Powered by Blogger.

ශාස්‌ත්‍රපති ඕමාරේ පුඤ්ඤසිරි හිමි
නුගේගොඩ සුභද්‍රdරාම පිරිවෙන් විද්‍යායතනයේ
පෙරවරු අංශයේ නියෝජ්‍ය පරිවෙණාධිපති


පවුල යනු සෑම සමාජයක්‌ තුළ ම දැකිය හැකි ඥාතීත්වය පදනම් කරගත් කුඩා ම සමාජ ඒකකයකි. මූලික ම සමාජ සංස්‌ථාව වන පවුල නිර්මාණය වී ඇත්තේ මව්පිය හා දරුවන්ගේ එකතුවෙනි. රටට, දැයට, සමයට වැඩ ඇති සදාචාරාත්මක දරුවන් තැනීම මුල් ම ගුරුවරුන් වන මව්පිය දෙපළගේ යුතුකමක්‌ මෙන් ම වගකීමකි. දරුවන් යෑයි කී විට එක ම දරුවෙකු හැදීම ප්‍රමාණවත් නො වේ. පවුලක ශක්‌තිය, ගුණය, බලය වර්ධනය වීමට 'පුංචි පවුල රත්තරන්' වීම තේමාව යටතේ ක්‍රියාත්මක වීම හොඳ ලක්‌ෂණයක්‌ නො වේ. ලාංකීය සමාජයේ පවුලක එක්‌ දරුවකුට සීමා කිරීම නූතන ප්‍රවණතාව වී ඇත. ආර්ථික අපහසුතා ඇති දෙමාපියන් එසේ කළ ද ඇති හැකි අය එසේ කිරීම කොහෙත් ම අනුමත කළ නො හැක. ලාංකීය මධ්‍යම පාන්තික සිංහල පවුල් තුළ මෙම ලක්‌ෂණය බොහෝ විට දක්‌නට ලැබීම කණගාටුදායක තත්ත්වයකි.

එදා සමාජය තුළ පවුලකට අයත් වූයේ දෙමාපියන් සහ දරුවන් පමණක්‌ ම නො වේ. ආච්චි, සීයා සහ කිට්‌ටුවන්ත ඥාතීන් සියල්ලෝ ම පාහේ එක ම පවුලකට අයත් වූහ. ආච්චි අම්මා, ලොකු අම්මා, නැන්දා, මාමා, පවුලේ සාමාජිකයින් ලෙස සලකන ලදී. එම අය එකට අධ්‍යාත්මිකව බැඳී සිටි බව නො රහසකි. එවැනි පවුල් සමාජ විද්‍යාත්මකව හඳුන්වනු ලබන්නේ 'විස්‌තෘත' පවුල් ලෙස යි. නූතනයේ දක්‌නට ලැබෙන්නේ න්‍යෂ්ටික පවුල් ය. එයට ස්‌වාමියා, භාර්යාව සහ දරුවන් පමණක්‌ අයත් වේ. ඉහතින් කී පවුල්වලට වඩා මෙකී පවුල් හුදෙකලා ය. ආධ්‍යාත්මික අතින් දුප්පත් ය. බොහෝ විට එක දරුවෙකු පමණක්‌ සිටින බැවින් දරුවාගේ භාවමය අංශය මෙන් ම, බුද්ධිමය අංශය ද දුර්වල ය. න්‍යෂ්ටික පවුලක වුව ද, දරුවන් සංඛ්‍යාව වැඩි නම් ආධ්‍යාත්මික පොහොසත්භාවය වැඩි ය. නූතන සංවර්ධන ඉලක්‌කයන් පසු කිරීමට 'පුංචි පවුල රත්තරන්' යන සංකල්පය සමාජගත කළ ද එයින් රටකට වන හානිය අතිවිශාල ය. භෞතික සංවර්ධනයක්‌ ඇති වුව ද, මානව සංවර්ධනය නොමැති නම් එම භෞතික සංවර්ධනයේ ප්‍රතිඵලයක්‌ තිබේ ද? රට පිළිබඳව, ලෝකය පිළිබඳව, ශාන්ත සිතුවිලි ජනනය කිරීමට උපකාරී වන පවුල හුදකලා කිරීම වනාහී සමාජය අස්‌ථාවර කිරීමකි. සංස්‌කෘතිය අස්‌ථාවර කිරීමකි. සමාජමය බෙදීම්වලට සහ වාර්ගික අසමගියට මූලාශ්‍රය සපයන 'පුංචි පවුල' යන සංකල්පය නූතන විද්වතුන්ගේ විවේචනයට ලක්‌ වී ඇත. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන පරිදි බුදුරදුන් දවස පැවති පවුල්වල දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක්‌ ගත් බව පෙනේ. බන්ධුල මල්ලිකාට දරුවන් තිහකට වඩා සිටි බව සඳහන් වේ. මෙම දරුවන් ගුණයෙන්, බලයෙන්, ඥානයෙන් පිරිපුන් වූවන් ය. ලංකාවේ අතීතයේ පැවැති බොහෝ පවුල්වල දරුවන් දහදෙනෙකු හෝ දොළොස්‌ දෙනෙකු සිටි බව ඉතිහාස කතාවන්හි සඳහන් ය. ඒ නිසා ම එම පවුල් ශක්‌තිමත් වී ඇත.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය දේශනා කරමින් සිඟාල කුල පුත්‍රයාට දරුවන් විසින් මවුපියන් වෙත ඉටු කළ යුතු යුතුකම් ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කොට ඇත. පුංචි පවුල රත්තරන් යන්න බුදුරදුන් ප්‍රතික්‌ෂේප කර ඇති ආකාරය එයින් ද ගම්‍ය වේ.

1. දරුවන් සිය මවුපියන් පෝෂණය කළ යුතු ය

2. ඔවුන්ගේ කාර්යයන් ඉටු කළ යුතු ය

3. දායාද නිසි පරිදි පරිහරණය කළ යුතු ය

4. කුල පරපුර රැකිය යුතු ය

5. මවුපියන් පරලොව ගිය පසු පිං අනුමෝදන් කළ යුතු ය.


මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙමවුපියන්ගේ මෙලොව හා පරලොව සුභසාධනය දරුවන් විසින් ඉටුකළ යුතු බව අවධාරණය කරති. එය පවුල් සංස්‌ථාව නිවැරැදිව, සාමූහිකත්වයෙන් ඉදිරියට යාමට මග පාදන්නකි. දැහැමින් උපයන ලද මිල මුදල් වියපැහැදම් කොට මවත් පියාත් පෝෂණය කිරීම දරුවන්ගේ යුතුකමකි. පවුලේ සිටින්නේ එක ම දරුවකු නම් එකී දරුවා හදිසියේ වත් මියගිය හොත්, නැති නම් ආබාධිත වුව හොත් දෙමවුපියන් වියපත් වූ විට මව්පියන් රැකබලා ගන්නේ කවුරුන් ද? මෙයින් පැහැදිලි වන්නේ 'පුංචි පවුල රත්තරන්' යන සංකල්පය බුදුදහමට ද පටහැනි වන බව නො වේ ද? අද දින වැඩි වැඩියෙන් වැඩිහිටි නිවාස ඉදි වන්නේත්, දෙමව්පියන් අසරණ වී ඇත්තේත් මෙම තත්ත්වය නිසයි. බුදුදහම සජීවීව පවත්වා ගෙන යාමට සංඝ සමාජයේ පැවැත්ම අවශ්‍යතම සාධකයකි. සංඝ සමාජයට සාමාර්කයින් ඇතුළු වන්නේ ගිහි සමාජයෙනි. ගිහි සමාජයේ පවුලක සිටින්නේ එක්‌ ළමයා බැවින් පැවිදි කිරීමට ළමයින් නැත. මේ තත්ත්වය නිසා සංඝ සමාජය ද අභියෝගයට ලක්‌ව ඇත.

'පුත්තා වFථු මනුස්‌සානං' මිනිසුන්ට ඇති වස්‌තුව දරුවෝ ය. මෙම අනගිතම වස්‌තුව සුරක්‌ෂිත කිරීම මානව වර්ගයාගේ පැවැත්ම සහතික කිරීමක්‌ ලෙස අප හැමෝ ම තේරුම් ගැනීම අතිශයින් ම වැදගත් ය. ආසියාතික සමාජයේ හර පද්ධතීන්ට අභියෝග කරන 'පුංචි පවුල රත්තරන්' යන සංකල්පය බටහිරෙන් ආනයනය කරන ලද තවත් සංස්‌කෘතික ප්‍රහාරයක්‌ මිස අන් කිසිවක්‌ නො වේ. 'අම්මයි, තාත්තයි, එක දරුවයි' යන්න ඇතැම් විට විලාසිතාවකි. තවත් අයට ආඩම්බරයකි. එහෙත් එක ම දරුවා නිසා එම දරුවාගේ පෞරුෂ වර්ධනයට වන හානිය කොතරම් ද යන්න එම අයට නොතේරේ.

අපේ රට සජාතීය සමාජයක්‌ නො වේ. බහුවිධ සමාජයකි. විවිධ ජනවර්ග ජීවත් වෙති. විවිධ ආගම් අදහති. එවැනි සමාජයක විවිධත්වය තුළ ඒකත්වයක්‌ ඇති කිරීම අවශ්‍ය සාධකයකි. මෙ වැනි සන්දර්භයක එක ජනවර්ගයක්‌ පමණක්‌ ජනගහනය පාලනය කිරීම බොහෝ ගැටලු නිර්මාණය වීමට හේතු සාධක සපයයි. භූමිය, අධ්‍යාපනය, රැකියා ආදිය සඳහා ජන කොටස්‌ අතර ඇති වන තරගය තුළින් වාර්ගික ගැටලූ නිර්මාණය වීමට පසුබිම සපයයි. ප්‍රාදේශීය වශයෙන් ජනවර්ගවල ව්‍යාප්තියේ විෂමතාවන් මෙරට සාම්ප්‍රදායික සංස්‌කෘතියේ පදනම වෙනස්‌ කිරීමට ද හේතු වනු නිසැක ය. මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන මිහිදු මහරහතන් වහන්සේ හඳුන්වා දෙනු ලැබූ මහා සංස්‌කෘතිය නො නසා පවත්වාගෙන යාම සෑම බෞද්ධයකු ගේ ම පරම යුතුකමක්‌ ලෙස සලකා සදාචාරාත්මක බැඳීම්, ආගමික සහජීවනය, ජාතික අනුකලනය මෙන් ම මානව වර්ගයාගේ පැවත්මට බාධා කරන 'පුංචි පවුල රත්තරං' යන සංකල්පය පරමාදර්ශය කරගැනීමෙන් වැළකී හොඳ ම දේ දරුවන්ට දී හොඳ ම දරුවන් වැඩි වැඩියෙන් තැනීමට අධිෂ්ඨාන කරගන්න.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය