Powered by Blogger.



සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වුවාද යන උතුම් වචනය අසා දැන ගැනීමටත් නොහැකිව කෙතරම් සසර සැරිසරමින් සතර අපායට වැටී දුක් ගැහැට වින්දා ද? කියා මොහොතක් සිතා බැලුවා ද? එම අන්ධකාරය සිහිපත් කරනවා ද? ඔබට පෙනෙනවා මහ මඟ තැනින්තැන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කර තිබෙනවා. යන එන හැම ස්ථානයකමත් ගෞරව ආකාරයෙන් ද, සාමාන්‍ය ආකාරයෙන් ද නිර්මාණය කර තිබෙනවා. මේ කිසිදු ආකාරයකින් ඒ අසීමිත බුදුගුණවලින් බිඳක් තම ජීවිතය තුලින් ඔපවත් කර බැලීමට ඔබ උත්සහයක් කළා ද? බොහෝ දෙනා පවසන්නේ දූ දරු, රැකීරක්ෂා වෙළෙඳාම් ආදී අනේක විධ කටයුතු තිබෙන නිසා විවේකයත්, කාලයත් නැති බවයි. එයින් අදහස් වන්නේ නැවතත් අන්ධකාරයට යෑමට කැමැති බව නේද? සසරට වැටෙන කර්ම රැස්කර ගනිමින් දුක් විඳීමට කාලය, විවේකය වැඩිපුරත් තිබෙනවා. ඒ සඳහා ම සිත යොමු කරනවා. එහෙත් තමා දිනීමට (ජරා ව්‍යාධි මරණ) උනන්දුවන්නේ කීයෙන් කීදෙනා ද? අඩුම වශයෙන් එක බුදුගුණයක් වත් වචනයෙන්, මනසෙන් මනසිකාරය කරන්න දූ දරුවන්ට පුරුදු පුහුණු කරනවා ද? යන්නත් සිතා බැලිය යුතු වෙනවා.
ජීවිතය ගෙන යෑමට අවශ්‍ය අධ්‍යාපනය, දැනුම, වෘත්තිය පුහුණුවත් ලබාදීමත් කළ යුතුම වෙනවා. එයට සිතේ මානසික සැනසීමට සසර බියකරු භාවය අවබෝධ කර ගැනීමට ප්‍රමාණවත් නොවන බව හොඳින් තේරුම් ගත යුතු වෙනවා. කුඩා කල පටන් පවට බිය වී හිරි ඔතප් ඇතිකරගෙන තම පවුල් සංස්ථාව තුළ ජීවිතය අසීමිත බුදුගුණ වලට වන්දනා කරමින් නිරතුරුව ආරක්‍ෂාව රැකවරණය සෙත ශාන්තිය සලසා ගත් පවුලක් පිළිබඳ මතක් කර දීමට අදහස් කරනවා. ඒ තුළින් ඔබටත් අප කරන අනුවණ කම් තේරුම්ගෙන එදිනෙදා ජීවන කටයුතු සැහැල්ලුවෙන් කරගෙන සතර සංග්‍රහ වස්තුවෙන් ජීවිත ආලෝකමත් කරගෙන කෙලෙස් ගඟ සිඳවා ගැනීමට පුළුවන් බව තව දුරටත් කරුණු කාරණා තේරුම් ගැනීමට මඟ හෙලි පෙහෙලි කරගැනීමට භාග්‍ය ඇති වෙනවා. එයින් විවේකය සැනසීම කුමක්ද? යන්න වටහා ගැනීමට පුළුවන් කම ලැබෙනවා.
බුදුන්වහන්සේ තමන් ලොවට පහළ වන්නේ ලද මිනිස් භවය අඳුරට නොවැටී දහමෙන් සකසා ගැනීමටත් අප්‍රමාදීව කුසල් දහම් කරගැනීමට නිවැරදි මාවත ලෝකයාට මතු කරදීමටත් සනාථන දහම වන ත්‍රිලක්‍ෂණය ලෝකයාට අනාවරණය (හෙලිදරව් කිරීමට) කරමින් ආර්ය සත්‍යය අවබෝධ කොට ගෙන ශාන්ත සුවය අත්පත් කර ගැනීමට මං සලසා දීමට යි. එහි සුවය ප්‍රමාද කරගෙන නිමක් කොනක් නැති දිගු සසරට වැටීමට හේතු නිර්මාණය කර ගන්නේ සුවයක් ලැබේය කියා විශ්වාස කොට ගෙන ද? එසේ නම් ඔබ තවමත් මිථ්‍යා දෘෂ්ඨිය වැළඳගෙන ප්‍රමාද කටයුතු කරන බව සිහියට ගත යුතු වෙනවා.
ලොව්තුරු බුදුගුණ තුළින් එක ගුණ බිඳක් නිරතුරුව සිහිපත් කළොත් අපගේ ජීවිතවලට ලැබෙන මහත් සැනසිල්ල කෙතරම් වටින්නේ ද? කියලා මොහොතක් සිතා බලමු. රජගහනුවර එක්තරා පවුලක කුල දරුවෙක් හොඳින් වැඩෙයි. ඔහුගේ දෙමාපියන් ද තෙරුවන් කෙරෙහි බලවත් පැහැදීමකින් කටයුතු කරයි. එදිනෙදා ජීවිතයට උපයෝගි කරගෙන සිත තුළ දහම මැන බලයි. තම පුතාට ද කුඩා කල සිටම ස්වාමින්වහන්සේ නමක් දුටු තැන ‘සාධු’ කියා වඳින්නට පුරුදු කර වූහ. ‘නමෝ බුද්ධාය’ යන වචනය පුරුදු පුහුණු කරයි. එම උතුම් වදන පුතාගේ මුවින් නිතර ප්‍රකාශයට පත් වූහ. යන එන ගමනේ දී නිදන පුබුදින විට දී ක්‍රීඩා කටයුතුවල දී භාවිතා විය. මෙම ශ්‍රේෂ්ඨ වචනය තමා සමඟ ක්‍රීඩා කරන මිසදිටු ළමයින් ද කීමට පුරුදු විය.
ඒ මිසදිටු ළමයි එහි අරුත දැන නොසිටියත් නිතර කියවීමට පුරුදු වුනා. දිනක් එම ගමෙහි මිසදිටු පියෙක් දර ගෙනෙනු පිිණිස නුවරින් බැහැර ඝන වන ලැහැබකට ‘නමො බුද්ධාය’ කියා කීමට පුරුදුව සිටි තම පුතා සමඟ පිටත්ව ගියේ ය. එම දරුවා නිරතුරුව මෙම ‘නමො බුද්ධාය’ කියන උතුම් වචනය පුහුණු කළේ ය. දර සොයා ගෙන ආපසු ඒමට නොහැකි විය. රාත්‍රි කල කැලයේ නැවතීමට විය. ගැල් කරත්තය නවතා නින්දට වැටුණි. ඒ ප්‍රදේශය යකුන්ගෙන් යුතු විය. එක් යක්ෂයකු පියා සහ පුතු නිදන තැනැට පැමිණ දරුවාගේ කකුලෙන් අදින්නට විය. එකෙණෙහිම ළමයා තමාට පුරුදු කළ භාවිත කළ ‘නමො බුද්ධාය’ යන වචනය සිහිපත් විය. නින්දෙන් ම අවදි විය. යකා වෙවුලමින් වේගයෙන් පැන ගියේ ය. යකුන්ගේ උවදුරක් ගැන නොදත් දරුවා බිය තැති ගැනීමක් නොවී සුවසේ පියා සමග තම නිවසට පැමිණියේ ය. මෙම සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර ගියේ ය. ඒ නිමිති කොට පහත සඳහන් ගාථාව දේශනා කර වදාළ සේක. එහි ගාම්භීරත්වය ප්‍රමාණ වශයෙන් සංඛ්‍යාත්මකව ගණනය කළ නොහැක.
සුප්පබුද්ධං පබුජ්ජන්ති
සදා ගොතම සාවකා
යෙසෙට දිවා ච රත්තෝච
නිච්චං බුද්ධ ගතාසති

දිවා රාත්‍රි නිරන්තරයෙන්ම බුදු ගුණ සිහිපත් කරමින් තමා තුළ හටගන්නා වූ රාග, ද්වේශ, මෝහ ආදි අකුසල සිතිවිලි බැහැර කරමින් ක්‍රම ක්‍රමයෙන් බුදු මඟ යන සවිමත් සැම සුවසේ කල්ගත කර සුවසේ නිදත්. සුවසේ ප්‍රබෝධයෙන් අවදිවෙත්. එදා බුදු බණ අසා තමා දෙසට පමුණුවා ගත් ශ්‍රාවකයන් සියලු හුදු කටයුතු කරමින් දැහමෙන් සෙමෙන් ජීවිත ගෙවා ලොව්තුරු මග ඵල නිවනට පත් වූහ. විවේක සුවය, සැනසීම කටයුතු කරමින්ම ලැබුවාය. දිවා රාත්‍රි කර්මාන්තවල යෙදෙමින් භාවිතා කළේ ය. දෙදෙනෙක් තිදෙනෙක් එක් රැස් වූ විට දහමින් පෝෂණය වූ සිත් සහනය කරන දැහැමි කථා කළේය. එකි නෙකාගේ සුහදත්වය වර්ධනය වූයේ ය. කලහ විවාද තණ්හා ලෝභ මාන ඊර්ෂ්‍යා ක්‍රෝධ සිතිවිලි සමනය කර ගත්තේ ය. දහමෙන් සැනසුනේ්ය. හුදකලාව භාවනා අරමුණක සිත පිහිටුවා පී‍්‍රති ප්‍රමෝදය ලැබුවේ ය. විදසුන් නුවණින් සියලු ගිනි නිවා ගත්තේ ය.
වත්මන් සමාජය තුළ විවේකය නැතැයි කියන්නේ ඔවුන්ගේ අදක්‍ෂකම අනුවණ කම නිසාම ය. එදා සැදැවතුන් තම ජීවිතය දහමෙන් පෝෂණය කරගෙන ප්‍රායෝගිකව ලත් සුවය තම දරුවන්ටත් පුරුදු කළේ ය. ඒ ආභාෂය දරුවන් ද වගා කර ගත්තේ ය. ඒ සිත් සතන් වල් බිහි නොවූයේ ය. අද කුමක් සිදුවෙනවා ද යන්න තම තම නැණ නුවණින් විමසා බැලිය යුතුය. තමනුත් දරුවනුත් තණ්හාව වැඩෙන පැත්තට ම (භෞතික දේ පසු පස) තරගකාරිව දිව යන්නේ ය. එහි දිවගොස් ලබන සැනසුම කුමක් ද? එදවස නිදා ගන්නා අවස්ථාවේත් බුදුගුණ, දහම් ගුණ, මහා සඟ ගුණ මෙත් ගුණ, අසුභය, ආදි භාවනා මනසිකාරයෙන් කරමින් විවේක සිතකින් නින්දට අනුගත වූයේ ය.
අද අඩුම වශයෙන් නිදා ගන්නට ගිය මොහොතේ වත් පවුල් සංස්ථාව තුළ තෙරුවන් වැඳ සමඟිය සමාදානය වූ සිතක් මැන බලනවාද යන්න විමසා බැලිය යුතුවේ. බොහෝ දෙනා හරවත් සාරවත් දේට වඩා නිසරු වූ දෙය ප්‍රණීත කොට ගෙනම කෙලෙස් සිත් උපදවනවා. රූප රාමුව තුළ නැරඹු ලාමක දර්ශන, විකාර දර්ශන, නරඹා රාගය, ද්වේශය, මෝහය වැඩෙන අයුරින් ම ඊළඟ දවස වනතෙක් ගිලන් සිතකින්ම බලාපොරොත්තු තබා සිටිනවා. එදිනට විදුලිය නැතැත් වෙනත් ගෙදරකට වෙනත් ප්‍රදේශයකට හෝ ගොසින් එම ලාමක දේ බැලීමට උත්සාහ වෙනවා. දරුවන් නොමඟ යන, ද්වේශ, ක්‍රෝධය, වෛරය, පටිඝය බහුල වශයෙන් වැඩෙන දර්ශන බහුලවෙමින් පවතිනවා. ඒවා නරඹා තමා ද හිංසාව පිණිස, අතත්ඥානය පිණිස, කාම මිච්ඡාචාරය පිණිස, බොරු කීම පිණිස, මතට ප්‍රමාදයට යොමු වන පිණිසම පාප මිත්‍ර සේවනයට කුඩා කල සිට යොමු වෙනවා. එහි භයානක විපාක සමාජය තුළින් සිදුවෙන ක්‍රියාකාරකම් තුළින් ප්‍රකටව පේනවා. මෙම දර්ශන නැවැත නැවත මෙනෙහි කිරීම තුළින් දරුවාගේ සිත තුළ රාග ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, හිංසා පීඩා සිදුකිරීම බහුල වී තිබෙනවා. සියලු දර්ශනම අහිතකර බව කියනවා නොවෙයි. ඒවා කරණ කොට පිරිහෙන පැත්තට සිත යොමු වෙන ප්‍රවණතාව වැඩිවීමක් විය හැකි ය.
එම නිසා අවුලාගත් ගිනිදැල් නිවා ගැනීමට වත් බුදු ගුණයක අසිරිය මෙනෙහි කර ද්වාර සංවරය ඇතිකර ගැනීමට වීර්යය සලසා ගනිමු. අරහං බුදු ගුණය තුළින් සිත් සකසා ගනිමු.
ඇසින් රූප දැක ඒ රූප කෙරෙහිද, කණින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි ද, නාසයෙන් ගඳ සුවඳ විඳ ඒ ගඳ සුවඳ කෙරෙහිද, දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි ද, කයින් පහස ලබා ඒ පහස කෙරෙහිද, මනසින් අරමුණු ලබා ඒ අරමුණු කෙරෙහි තථාගතයන් වහන්සේ නොඇලුනු සේක, නොගැටුන සේක. මුලා නොවුණු සේක. ආශාවන් දුරු කළ සේක, නිවීමට පත් වූ සේක, මාද එසේ නුවණින් ද්වාර සංවරය කොට ගෙන බුදු මඟ වඩන්නෙමි. රූප ශබ්ද, ගන්ධ, රස, පහස ධම්ම යන අරමුණු කෙරෙහි ඇලෙන බැෙඳන ගැටෙන සිත ක්‍රමක් ක්‍රමයෙන් මුදාගෙන යථාර්ථය දැක (අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම) විදසුන් නුවණින් සිත සනසා ගනිමු. දාන්ත කර ගන්නෙමි. කෙලෙස්ගිනි නිවා ගනිමි. නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරත්වා.

අවවාදය හා අනුශාසනය




අවවාද අනුශාසනා නොසලකා කෙරෙන අධ්‍යාපනයෙන් සිදුවන්නේ විෂය දැනුම පමණක් සම්පූර්ණ කරගත් සදාචාරයෙන් පිරිහුණු පිරිසක් නිර්මාණය වීමයි. මෙහි ඛේදජනක තත්ත්වය වන්නේ අනාගතයේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට අවනත නොවන ප්‍රචණ්ඩකාරී දරුවන් නිර්මාණය වීමය. දරුවන් හා සිසුන් ශික්‍ෂණය කිරීමේ වගකීම හා අයිතිය දෙමාපියන් හා ගුරුවරුන් සතු දෙයකි. එහෙත් ඇතැම් දෙමාපියන් කල්පනා කරන්නේ දරුවන්ට අවවාද කිරීමට හෝ වරදට සුදුසු දඬුවමක් දීමට ගුරුවරුන්ට අයිතියක් නොමැති බවයි. මේ වැරදි ආකල්පය නිසා බොහෝ ගුරුවරු අවවාද දීමෙන් වැළකී සිටිති. මේ තත්ත්වය එතරම් යහපත් එකක් නොවන බව වටහා ගත යුතුවේ

බෞද්ධ සදාචාර දර්ශනයෙහි පුද්ගලයා ශික්‍ෂණය කිරීමේ කාර්ය හා යෙදෙන සුවිශේෂි පරියාය පද දෙකකි අවවාදය හා අනුශාසනය. කිසියම් වරදක් කිරීමට පළමුව එම වරදෙහි ආදීනව පෙන්වා දෙමින් මෙය කළ යුතුය, මෙය නොකළ යුතුය යනුවෙන් කෙරෙන කරුණු පැහැදිලි කිරීම අවවාදය වේ. එය නොසලකා යමෙක් වරදක් කළහොත් එහි බරපතළ බව පෙන්වා දෙමින් කෙරෙන කරුණු පැහැදිලි කිරීම අනුශාසනයයි. එසේම හික්මවීම උදෙසා කටයුතු නොකටයුතු දෑ දක්වමින් කරුණු කීම අවවාදයයි. නැවත නැවත කීම අනුශාසනයයි. මේ අනුව කෙනෙකු වරදට පෙළඹීමට පෙර මෙන්ම පසුවත් අවවාද හා අනුශාසනය මගින් පුද්ගලයා ශික්‍ෂණය කිරීම මෙහි අරමුණ බව පැහැදිලිය. මෙම පිළිවෙත ගිහි පැවිදි දෙපක්‍ෂයටම නිර්දේශ කර තිබේ. ගිහියන් සඳහා ඒ වෙනුවෙන් දෙමාපියන් හා ගුරුවරුන් නම් කර තිබෙන අතර පැවිදි සමාජය උදෙසා උපාධ්‍යාය හා ආචාර්යවරුන් පත්කොට තිබේ. මෙම දෙපක්‍ෂයේම පරම වගකිම වන්නේ තම දරුවා හෝ ශිෂ්‍යයා වරදින් මුදා ගෙන නිවැරදි දේට යොමු කිරීම සඳහා අවශ්‍ය අවවාදය හා අනුශාසනය සිදු කිරීමයි.
ගිහි සමාජය සම්බන්ධයෙන් ගත්විට දෙමාපියන් හා ගුරුවරුන්ගේ කාර්ය භාරය අතර පළමු හා වැදගත් වගකීම වන්නේ තම දරුවා හෝ ශිෂ්‍යයා පවින් වළක්වා යහපතෙහි යෙදවීම හා ශික්‍ෂණය කිරීමය. වර්තමානයේ ඇතැම් තරුණ තරුණියන් හා සිසු දරු දැරියන් දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ අවවාද හා අනුශාසනය නොපිළිගැනීම හේතුවෙන් තම ජීවිත අවුල් කරගත් අවස්ථාද සුලබය. විෂය දැනුම පමණක් ලබාදීම අරමුණු කරගත් තරගකාරී අධ්‍යාපනය බෞද්ධ ඉගැන්වීම සම¼ග එකඟ නොවේ. බුදුසමය අවධාරණය කරන්නේ පළමුව සදාචාරය වර්ධනය කළ යුතු බවයි. සිගාලෝවාද සූත්‍රයෙහි දෙමාපිය හා ගුරුවරුන්ගේ වගකීම හා යුතුකම ලෙස නිර්දේශ කරන්නේ දරුවා හෝ ශිෂ්‍යයා පළමුව සදාචාර සම්පන්න අයෙකු බවට පත්කිරීමේ වගකීමයි. හැදියාවෙන් තොර උගත්කම බුදුසමයෙන් ඇගයීමට ලක්නොවේ.
උගත්කම බබළන්නේ චරිත සංවර්ධනයෙන්ය. අවවාද අනුශාසනා නොසලකා කෙරෙන අධ්‍යාපනයෙන් සිදුවන්නේ විෂය දැනුම පමණක් සම්පූර්ණ කරගත් සදාචාරයෙන් පිරිහුණු පිරිසක් නිර්මාණය වීමයි. මෙහි ඛේදජනක තත්ත්වය වන්නේ අනාගතයේ දෙමාපියන්ට හා ගුරුවරුන්ට අවනත නොවන ප්‍රචණ්ඩකාරී දරුවන් නිර්මාණය වීමය. දරුවන් හා සිසුන් ශික්‍ෂණය කිරීමේ වගකීම හා අයිතිය දෙමාපියන් හා ගුරුවරුන් සතු දෙයකි. එහෙත් ඇතැම් දෙමාපියන් කල්පනා කරන්නේ දරුවන්ට අවවාද කිරීමට හෝ වරදට සුදුසු දඬුවමක් දීමට ගුරුවරුන්ට අයිතියක් නොමැති බවයි. මේ වැරදි ආකල්පය නිසා බොහෝ ගුරුවරු අවවාද දීමෙන් වැළකී සිටිති. මේ තත්ත්වය එතරම් යහපත් එකක් නොවන බව වටහා ගත යුතුවේ.
ගුරුවරයා යනු විෂය දැනුම් පමණක් ලබා දෙන්නෙක් නොවේ. සදාචාර සම්පන්න විනය ගරුක දරුවෙක් නිර්මාණය කිරීමද ගුරු භූමිකාවේ ප්‍රධාන වගකීමකි. නිවසේදී හා පාසලේදී දරුවෙකුට ලැබෙන මූලික සදාචාරමය ශික්‍ෂණය නොලැබීම අපරාධ වර්ධනයට එක් හේතුවකි. පෙර දිග සංස්කෘතියේ පවතින ඇතැම් වටිනාකම් බටහිර ලෝකයට තාමත් වටහා ගැනීමට අපහසු වී තිබේ. මේ නිසා බටහිරින් එන සියල්ලම අවිචාරයෙන් වැලඳගැනීමෙන් සිදුවන්නේ තවදුරටත් විනයෙන් පිරිහුණු සමාජයක් නිර්මාණය වීම පමණි. අවවාදය හා අනුශාසනය අවශ්‍ය වන්නේ දරුවන්ට හා සිසුන්ට පමණක් නොව වැඩිහිටි පිරිසටද එය වැදගත් වේ. ලෝභ, දෝස, මෝහ මූලික කරගත් මානසික දුර්වලතා පවතින තාක් පුද්ගලයාගේ හැසිරීම පූර්ණ වශයෙන් යහපත් නොවේ. අවබෝධයක් සහිත පුද්ගලයාට වුව කලින් කලට ඒවායේ බලපෑමට යටත් වීමට සිදුවේ. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි සිදුවීමට තිබෙන ඉඩප්‍රස්ථා සුලබය. මෙම පසුබිම යටතේ පරිණත වැඩිහිටියෙකුට වුවද අවවාද අනුශාසනා මෙන්ම මගපෙන්වීම් අවශ්‍ය වේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව ධර්ම විනය තම ශාස්තෘවරයා වශයෙන් තබාගැනීමෙන් පෙන්වූයේ එම ආදර්ශයයි. විනය පිටකයේ වත්තක්ඛන්ධකයෙහි අන්තේවාසිකයා හා සද්ධිවිහාරිකයා සදාචාරසම්පන්නව ශික්‍ෂණය කිරීමේ ආචාර්ය උපාධ්‍යාය වගකීම දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරේ. අන්තේවාසිකයා ආචාර සමාචාරයෙහි හික්මවනු ලබන්නේ ආචාර්යවරයාය සද්ධිවිහාරිකයාට සාවද්‍ය හා නිරවද්‍ය දේ පෙන්වාදෙන්නේ උපාධ්‍යායවරයායි. ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සම්බන්ධය පියපුතු සබඳතාව හා සමානකොට දක්වා තිබේ. ගුරුවරයා ශිෂ්‍යයා තම පුතු වශයෙනුත් ශිෂ්‍යයා තම ගුරුවරයා පියා වශයෙනුත් සැලකිය යුතු යැයි අවධාරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවෙහි පවතින පරිපූර්ණ බැඳීමයි. වත්තක්ඛන්ධකයේ දැක්වෙන ගුරු ශිෂ්‍ය සබඳතාව වර්තමාන පාසල් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක විය යුත්තකි. අතීතයේ ගුරු දෙමාපියන් හා සිසු දරු දැරියන්ගෙන් සමන්විත වූ පාසල හා අනෙකුත් ඇතැම් අධ්‍යාපන ආයතන පිරිහීමට පත් වී තිබෙන්නේ අවවාදය හා අනුශාසනයේ වටිනාකම නොදැකීම හේතුවෙන්ය.
අනුපසම්පන්න සාමණේරයන් මෙන්ම උපසපන් භික්‍ෂුවක් වුවද දස වසක් තම ආචාර්ය උපාධ්‍යාය ඇසුරෙන් නොමිදිය යුතුයැයි විනයෙහි සඳහන් වේ. කිසියම් භික්‍ෂුවක් ස්වයං ශික්‍ෂණයෙන් කටයුතු කළ නොහැකි පුද්ගල දුර්වලතාවන්ගෙන් යුක්ත අයෙක් නම් උන්වහන්සේ දිවිතෙක් ආචාර්ය උපාධ්‍යාය ඇසුරේ වාසය කළ යුතුයි. ගුරු ඇසුරෙහි පවතින වටිනාකම කොතරම්දැයි මෙයින් වටහාගත හැකිවේ. ගිහි වුවද පැවිදි වුවද අවවාද හා අනුශාසනය ලබාදෙන දෙමාපියන් හා ගුරුවරුන්ගේ ඇසුර ලැබීම භාග්‍යයකි.
විෂය පමණක් නොව සදාචාරාත්මක චරිතයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ඔවදන් හා අනුශාසනා ලබාදීම ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ වගකීමකි. එහෙත් අවවාද හා අනුශාසනා කිරීමට පළමුව තමා ආදර්ශමත් අයෙකු විය යුතුවේ. අවවාදයට වඩා ආදර්ශය උතුමේ වේ. වචනයෙන් පමණක් කෙරෙන මගපෙන්වීම් අර්ථවත් නොවේ. ධම්මපදයෙහි දැක්වෙන්නේ අනුශාසනා කිරීමට පළමු තමා නිවැරදි පිළිවෙතෙහි පිහිටිය යුතු බවයි. මඩෙහි එරී සිටින්නෙකුට මඩේ එරී සිටින වෙනත් අයෙකු එයින් ඉවත් කළ නොහැකිය. එබැවින් අවවාද හා අනුශාසනා කිරීමට පළමුව තමා ආදර්ශමත් වීම අතිශය වැදගත් වේ. සදාචාර ශික්‍ෂණයෙන් තොර මව්පියන්ගේ හෝ ගුරුවරුන්ගේ අවවාද හා අනුශාසනා පිළිගැනීමට දරුවන් හා සිසුන් තුළ කැමැත්තක් ඇති නොවේ. අවවාද හා අනුශාසනය කළ යුත්තේ සතර අගතීන්ගෙන් තොරවයි. වරදින් මුදවා යහපතෙහි යෙදවීමේ යහපත් අරමුණ පෙරදැරිවය. අවවාදයෙන් හා අනුශාසනයෙන් ශිෂ්‍යයා හික්මවන ගුරුවරයෙකු සතුවිය යුතු ලක්‍ෂණ රැසක් විනය පිටකයේ වත්තක්ඛන්ධකයේ ඉදිරිපත් කෙරේ. එම සදාචාර ගුණ ගිහි පැවිදි ගුරුවරු සියලු දෙනාටම පොදුවේ තමන් තුළ වගා කර ගැනීමෙන් තම අවවාදය හා අනුශාසනය අර්ථවත් ආකාරයෙන් සිදුකළ හැකිවේ.
අවවාද හා අනුශාසනය පිළිගැනීම කීකරු බවේ ලක්‍ෂණයකි. ධම්මපදයේ දැක්වෙන්නේ තම වරදට නිග්‍රහකොට දැඩිලෙස අවවාද කරන තැනැත්තා නිධානයක් පෙන්වාදෙන අයෙකු වශයෙන් සලකා කටයුතු කරන ලෙසයි. යහමග පෙන්වන අවවාද අනුශාසනා කරන ගුරුවරයෙකු කළ්‍යාණමිත්‍රයෙකු නොමැති තැන ජීවිතය සැබැවින්ම අඳුරු වේ. මහා පොළොවේ වැලිකැට ගාණට අවවාද ලැබේවායි රාහුල හිමියන් ප්‍රාර්ථනා කළේ අවවාදයේ හා අනුශාසනයේ වටිනාකම මැනවින් අවබෝධකරගත් නිසයි. සමාජයක ප්‍රාථමික සමාජානුයෝජන ක්‍රියාවලිය සිදුවන්නේ නිවසෙන් හා පාසලෙන්ය. සමාජයට අවශ්‍ය යහපත් සාමාජීකයන් හැඩගස්වන ප්‍රධානම ආයතන දෙක නිවස හා පාසලයි. මෙහිදී නිසිපරිදි සමාජානුයෝජනය නොවීමෙන් අපගාමි පෞරුෂ සහිත පුද්ගලයන් නිර්මාණය විය හැකිය. සමාජයක බොහෝ අපරාධ මෙන්ම විනය විරෝධි ක්‍රියා සිදුවන්නේ මෙම අපගාමී පෞරුෂ ලක්‍ෂණ සහිත පුද්ගලයන්ගෙන්ය. සමතුලිත පෞරුෂයක් සහිත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් සමාජයක් නිර්මාණයෙහිලා බෞද්ධ සදාචාර ශික්‍ෂණය යටතේ ඉදිරිපත් කෙරෙන අවවාදය හා අනුශාසනය නිවසෙහි මෙන්ම පාසලෙහිද නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුවේ.

තරුණ වියයි බුදු දහමයි ලිපි මාලාව - 13

පතිකුලයට යන විශාඛාවට ධනංජය සිටුතුමා දුන් උපදෙස්



පසුගියදා අපගේ අවධානය යොමු වූයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ ඇතුළත් සත්ත භරියා සූත්‍රයෙහි සඳහන් භාර්යා වර්ගීකරණයන් හඳුනාගැනීමට ය. මෙවර අපගේ අවධානයට යොමුවන්නේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන උග්ගහ සූත්‍රය වෙතටයි. අද අපගේ අවධානය යොමු වන්නේ කා අතරත් ප්‍රසිද්ධ ධනංජය සිටුතුමා පතිකුලයට යන සිය දියණියට එනම් විශාඛාවට ලබාදුන් උපදේශයන් විමසා බැලීමටයි. එම උපදේශයන් සාර්ථක දිවියකට බෙහෙවින්ම උපකාරී වෙයි.
අන්තෝ අග්ගි බහි න නිහරිතබ්බෝ - ඇතුළත ගිනි පිටතට නොදිය යුතුය.
මෙහිදී “ගිනි’ යනුවෙන් අදහස් කරන්නේ ප්‍රශ්නයි. ඇතුළත ගිනි ලෙස හඳුන්වා ඇත්තේ ගේ දොර ඇතුළේ ඇතිවන ප්‍රශ්නයන්ය. ගේ දොර ඇතුළත බිරිඳත්, ස්වාමියත් අතර යම් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. එසේ ඇතිවන ගැටලු පිට අයට නොදැන්විය යුතු ය. ඇතුළත ගිනි පිටත නොදිය යුතුය යනුවෙන් අදහස් කරන්නේ එයයි. ගෙදර දී ස්වාමියත්, බිරිඳත් අතර ඇතිවන යම් යම් ගැටුම්කාරී අවස්ථාවන් බොහෝවිට පිට අයට දැනගන්නට ලැබෙන්නේ බිරිඳගෙනි. එය ස්වාමියාට අවමානයක් මෙන්ම සමහර විට ඒ අය ලබාදෙන උපදෙස් අනුව බිරිඳ ක්‍රියාකිරීම නිසා ගෙදර දී ඇති වී තිබෙන ඉතා සුළු ප්‍රශ්න විශාල ගැටුම් බවට පරිවර්තනය වී දුරදිග යා හැකිය. ඇතුළත ගිනි පිටත නොඳිය යුතුය යන්නෙන් අර්ථවත් කර ඇත්තේ නිවස තුළ සිදුවන දේ පිට අයට දැන ගැනීමට නොසැලැස්වීමයි.
බහි අග්ගි අන්තෝ න සවිස තබ්බෝ - පිටත ගිනි ඇතුළට නොගත යුතුය.
පිටත ගිනි ඇතුළට නොගත යුතුය. යන්නෙන් අදහස් කරන්නේ පිට අයගේ ප්‍රශ්න තමාගේ ගෙදරට නොගත යුතුය යන්නයි. බුදුදහම අන් අයගේ වැරැදි සෙවීම කිසිසේත් අනුමත කරන්නේ නැත. බුදුදහම අවධාරණය කරන්නේ අන් අයගේ වැරැදි සොය සොයා සිටිනවාට වඩා තමාගේ වැරැදි සොයා බලා ඒවා නිවැරැදි කර ගැනීමට උත්සාහ කිරීමයි. ධනංජය සිටුතුමා ද තම දියණියට උපදෙස් දෙනුයේ මෙයින් වැළකීම සඳහා ය. එනම් අන් අයගේ ප්‍රශ්න තමාගේ නිවසට ගෙන ඒවා පිළිබඳ කාලය නාස්ති කරනවාට වඩා තමාගේ කටයුත්තක් සිදුකිරීමට එම කාලය මිඩංගු කිරීම වඩාත් යහපත් බවයි. බොහෝ විට බිරිඳ සෙසු අය සමඟ කටයුතු කරන විට ඒ අයගෙන් වැරැදි උපදෙස් ලැබුණහොත් තම ස්වාමියාට වැරැදි ලෙස පිළිපදින්නට පුළුවනි. එබැවින් පිට අයගේ ප්‍රශ්න තමාගේ නිවසට ගැනීම නොකළ යුතු බව මින් අවධාරණය කර ඇත.
දදන්නස්සේව දාතබ්බං - දෙන අයටම දිය යුතුය
මෙහි දී දෙන අයට දිය යුතුය යන්නෙන් අවධාරණය කරන්නේ තමාට සලකන උදව් උපකාර කරන අයට සැලකිය යුතුය. හෙවත් ප්‍රත්‍යුපකාර කළ යුතුය යන්නයි. අප ගතකරන ජීවිතයේ විවිධ අවස්ථාවල අපට අන් අයගේ සහාය අවශ්‍ය වේ. සමාජයේ ඇතැමුන් සිදුකරනුයේ යමෙකුට වාසි අවස්ථාවල පමණක් ඔහු ඇසුරු කර, කරදරයක් පැමිණි අවස්ථාවල ඔහු අතහැර දැමීමයි. එය අකෘතඥකමකි. එබැවින් තමා ආශ්‍රය කරන අයට වාසී පැමිණෙන අවස්ථාව දීමෙන්ම අවාසී හෙවත් කරදර පැමිණෙන අවස්ථාවල දී ද අප ඇසුරු කරන අය අතහැර නොයා යුතු ය. එබැවින් තමාට මිල මුදල් ආදියෙන් අග හිඟ අවස්ථාවල දී මිල මුදල් දී උපකාර කරන අය දෙන අය යනුවෙන් මින් අදහස් කොට ඇත. තමාට අවශ්‍ය අවස්ථාවන් හි දී උපකාර කරන අයට ප්‍රත්‍යුපකාර කිරීම මින් අවධාරණය කර ඇත.
අදන්තස්ස න දානබ්බං - නොදෙන අයට නොදිය යුතුය
අප සමාජයේ සමහර අය අප කරන උදව් උපකාර ඉතා කෙටිකලකින් අමතක කර දමයි. ඔවුන්ට අවශ්‍ය අවස්ථාවන්හි එනම් මිල මුදල් ආදිය හිඟ අවස්ථාවන්හි ලබා ගන්නා මුදල් නැවත නොදෙන අවස්ථාවන් ද අප සමාජයේ කොතෙකුත් ඇත. බුදුදහමේ එවැනි අය හඳුන්වන්නේ වසලයන් ලෙසය.
යෝ භවේ ඉණමාදය – චුජ්ජමානෝ පලායතී
නහි තේ ඉණමත්ථිති – තං ජඤ්ඤා වසලෝ ඉති

යමෙක් ණය ගෙන තමා ණය ගත් පුද්ගලයා පැමිණ එම ණය විමසන විට මම ඔබට ණය නැතැයි යනුවෙන් පවසා පලා යෑමට උත්සාහ කරන පුද්ගලයා වසලයෙකි.
එබැවින් පවුල් ජීවිතයේ දී ණය (ණය හෝ ණයට ගත් වෙනත් දෙයක්) ගෙන, නැවත ණය නොදෙන පුද්ගලයන් හා ගනුදෙනු නොකළ යුතු බව මින් අවධාරණය කරයි.
දදන්තස්සාපි අදන්තස්සාපි දාතබ්බං - දෙන අයටත් නොදෙන අයටත් දිය යුතුය.
මෙහි දී දෙන අය යනුවෙන් අදහස් කරන්නේ තමාට අවශ්‍ය අවස්ථාවන්හි උදව් උපකාර කරන අයයි. එවැනි අයට ඕනෑම අවස්ථාවක උදව් උපකාර කළ යුතු ය. දෙන අයට දියයුතුය, යන්න එයින් පැවසෙන අතර නොදෙන අයටත් දිය යුතුය, යන්නෙන් පැවසෙන්නේ බලාපොරොත්තු රහිතව යම් යම් අවස්ථාවල අපට යම් අයට උදව්කිරීමට සිදුවන අවස්ථා ඇත. අපට අකෘතඥ වූ කෙනෙකුට වූද ද යම් යම් අවස්ථාවල උදව් කිරීමට සිදුවේ. එය සද්පුරුෂ ලක්‍ෂණයකි. එවැනි අවස්ථාවල අපට නොදුන් අයට වුණද උදව් කළ යුතුය. මෙය තවදුරටත් අර්ථවත් කරන්නේ නම් යම් යම් පුණ්‍ය කටයුතු සඳහා ආධාර උපකාර කරන්නේ ඒවා නැවත ලබා ගැනීමේ අදහසින් නොවේ. විශේෂයෙන් තම නිවසට පැමිණෙන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට දන් පැන් පුදන්නේ උදව් උපකාර කරන්නේ නැවත ඒවා බලාපොරොත්තුවෙන් නොවේ. එබැවින් ඒ අයට සිදුකරන ප්‍රදානයන් මෙහිදී නොදෙන අයට දීම වශයෙන් ද අර්ථවත් කළ හැකි ය. එබැවින් තමාට සලකන අයට මෙන්ම තමාට නොසලකන අයට ද (බලාපොරොත්තු රහිතව) සැලකීම මින් අවධාරණය කරයි.
සුඛං නිසිදිතබ්බං - සුවසේ හිඳිය යුතුය
බිරිඳක් තම නිවස මනාව පිරිසුදුව තබාගත යුතු අතර නිවසෙහි ඇවතුම් පැවතුම් ද මනාව සිදු කළ යුතු ය. තම ස්වාමියා ඉදිරිපිට මනාව හැසිරිය යුතුය. තම නිවසෙහි ස්වාමියාගේ දෙමාපියන් හා වෙනත් සහෝදර සහෝදරියන් සිටිත් නම් ඔවුන් ඉදිරියේ සුදුසු අයුරින් හැසිරිය යුතුය. පිටතින් ගෙදරට පැමිණෙන අය ඉදිරියේ ද මැනවින් හැසිරිය යුතු ය. ඔවුන්ට මැනවින් පිළිපැදිය යුතුය. නිවස තුළ කිසිදු අපහසුවකින් තොරව මනාව ඇවතුම් පැවතුම් පවත්වාගෙන යා යුතු ය. එය තමාගේ නිවස ලෙස සිතා කටයුතු කළ යුතු ය. ධනංජය සිටුතුමා විශාඛාවට සුවසේ හිඳිය යුතු ය. යන්නෙන් උපදෙස් ලබා දෙන්නේ මේ කරුණු පිළිබඳවය.
සුඛං පරිභුඤ්ජි තබ්බං - සුවසේ අනුභව කළ යුතුය
අනුභවය හෙවත් ආහාර ගැනීම ස්ත්‍රියකගේ චර්යාව විදහා දක්වන කැඩපතක් බඳුය. බොහෝ අය මෙය ලඝු කොට සලකන කරුණකි. නමුත් මෙය විශේෂ අවස්ථාවකි. එය ස්ත්‍රියකගේ ඉවසීම, බුද්ධිය මෙන්ම අරපිරිමැස්ම මනින අවස්ථාවකි. පැරැණි පවුල් සංස්ථාව තුළ කාන්තාව ආහාර ගත්තේ නිවසේ සියලු දෙනා ආහාරගත් පසුවය. හදිසියේ යම් අයෙක් නිවසට පැමිණිය හොත් පරිත්‍යාග කරන්නේ ඇගේ ආහාර වේලයි. වර්තමානයේ නම් පවුලේ සියලු දෙනා ආහාර ගන්නේ එකටය. එහෙත් බිරිඳ ආහාර බෙදාගන්නේ අන් සියලු දෙනා බෙදාගත් පසුවය. ආහාර ගන්නා විට පිරිමියෙකුට වඩා කාන්තාව සංයමයෙන් කටයුතු කළ යුතු ය. එය සමාජයද බලාපොරොත්තු වන දෙයකි. එබැවින් ධනංජය සිටුතුමා, සුවසේ අනුභව කළ යුතුය යන්නෙන් අදහස් කර ඇත්තේ මෙයයි.
සුඛං නිපජ්ජිතබ්බං - සුවසේ නිදාගත යුතුය.
නිදාගන්නා විට නිවසේ අන්තිමටම නිදා ගන්නේ බිරිඳය. ගෙදර දොර, ජනේල ආදිය නිසි අයුරින් වසා ඇද්දැයි ඇය විසින් පරීක්‍ෂා කර බැලිය යුතු ය. එමෙන්ම කිසිදු අපහසුවකින් තොරව මෙත් සිතින් නින්දට යා යුතු ය. නිදියහන ක්‍රමවත්ව සකස්කර ගත යුතු ය. එහි දී ස්වාමියාට පි‍්‍රය ඇතිවන අයුරින් හැසිරිය යුතු ය. සුවසේ නිදාගත යුතු ය යන්නෙන් අර්ථවත් කරන්නේ මෙයයි.
අග්ගි පරිචරිතබ්බෝ - ගිනි පිරිමැසිය යුතුය
ගිනි පිරිමැසිය යුතුය යන්නෙන් අදහස් කරන්නේ ස්වාමියා උපයන වස්තුව ක්‍රමවත්ව නිසි කළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යා යුතු බවයි. මෙහි දී ගිනි යනුවෙන් අර්ථවත් කරන්නේ ආහාරාපානාදිය පිසීමයි.එබැවින් ආහාරපානාදිය පිසීමේ දී ද අනවශ්‍ය ලෙස අපතේ යන ලෙස ඒවා නොපිස අවශ්‍ය පමණට පමණක් පිසිය යුතු ය.එසේ නොවුණ කල සිදුවන්නේ නාස්තියකි. අපතේ යෑමකි. එය ස්වාමියා උපයන වස්තුවට කරන නිසි ගෞරවයක් නොවන්නේ ය. එබැවින් ආහාරපානාදිය පිසීමේ සිට සියලු ගේ දොර සිදුවන සියලු කටයුතු සඳහා අරපිරිමැස්මෙන් කටයුතු කිරීම ගිනි පිරිමැසිය යුතුය යන්නනෙන් අර්ථවත් වේ.
අන්තෝ දේවතා නමස්සිතබ්බෝ - ඇතුළත දෙවියන් පිදිය යුතුය.
ඇතුළත දෙවියන් පිදිය යුතුය යන්නෙන් අදහස් කර ඇත්තේ තම ස්වාමියා හා විශේෂයෙන්ම ස්වාමියාගේ දෙමාපියන්ය. පතිකුලයට ගිය පසු බිරිඳ තම ස්වාමියාගේ දෙමාපියන්ට තමාගේම දෙමාපියන්ට මෙන් සැලකිය යුතුය. ඔවුන් ගෙදර දෙවියන් ලෙස සිතා කටයුතු කළ යුතු ය. එමෙන්ම ඔවුන්ට නිසි ගෞරව සැලකිලි ලබා දිය යුතු ය. එවිට ඔවුන් ද ඇය තමාගේම දියණියක් ලෙස සිතා කටයුතු කරනු ඇත. එම නිවසේ ස්වාමියාගේ වැඩිහිටි සහෝදර සහෝදරියන් සිටිත් නම් ඔවුන්ට ද නිසි අයුරින් සංග්‍රහ කළ යුතු ය.
ධනංජය සිටුතුමා තම දියණියට ලබාදුන් මේ ඔවදන් සියල්ලෙන්ම බලාපොරොත්තු වී ඇත්තේ තම දියණිය, වඩාත් චරිතවත්, ගුණවත් මෙන්ම යහපත් ස්වාමි දියණියක් කරලීම බව මනාව පැහැදිලි වෙයි. මෙම ඔවදන් වර්තමාන සමාජයේ ද පතිකුලයට යන දියණිවරුන් පිළිපදින්නේ නම් සුන්දර යුගදිවියක් ගොඩනැඟෙනු නොඅනුමාන ය.

ශ්‍රී පාද පුදබිම සුරකින පාරිසරික වන්දනාව


පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගේ උපදේශකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී පාද වන්දනාව දිගුකාලීන පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක පළමු පියවර ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලාංකේය ජාතියේ ආගමික වන්දනාවන් අතර ශ්‍රී පාද වන්දනාව, ශ්‍රී දළදා පෙරහර, මරදමඩු මංගල්‍යය සහ කතරගම කඳසුරිඳු පෙරහර, නල්ලූර් කෝවිල මංගල්‍ය ආදි ආගමික වන්දනාවන් දැක්විය හැක. එවැනි ස්ථානවලට සිදුවන පාරිසරික බලපෑම් පාලනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් මේ වන විට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර ඇත.
එහි පළමු පියවර වශයෙන් අප්‍රේල් මස 05, 06 දෙදින තුළ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනය නිලධාරීන්, පරිසර නියමුවන්, විශ්ව විද්‍යාල සිසුන් තරුණ සේවා සභාවේ කණ්ඩායම, පරිසර මාධ්‍යවේදීන් ඇතුළු දහසක කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් “ශ්‍රී පාද පුදබිම සුරකින පාරිසරික වන්දනාව” ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.
සමාරම්භ වැඩසටහන ශ්‍රී පාදස්ථානයේ පවත්වා දීප ව්‍යාප්ත මට්ටමින් රටේ අනෙකුත් ආගමික මධ්‍යස්ථාන වෙත ද, ඇමතිතුමන්ගේ උපදේශකත්වයෙන් හා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ මහතාගේ මාර්ගෝපදේශයෙන්, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර කොළඹ කොටුවේ සිට දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය දක්වා සහ කොළඹ හා පිට පළාත් වල සිට බස්රථ වලින් දහසක කණ්ඩායමක් රැගෙන යෑමට සැලසුම් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

කතරගම මහා දේවාලයේ අවුරුදු මංගල්‍ය පෙරහර


ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික අවුරුදු මංගල්‍ය පෙරහර අපේ‍්‍රල් මස 14 වැනි දින රාත්‍රී පැවැත්වේ.
පෞරාණික චාරිත්‍ර, පුද සිරිත් වලට මුල්තැනක් දෙමින් උඩරට, පහතරට නැටුම් මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම් වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත.
පෙරහර සමයේ කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හා කතරගම පොලීසිය කටයුතු යොදා ඇත.

කොළඹ ගංගාරාමයේ සති පිරිත් පින්කම


කොළඹ ගංගාරාම විහාරස්ථානය මඟින් ලබන්නා වූ නව වසරට සෙත් ප්‍රාර්ථනා කරමින් 82 වැනි වසරටත් පවත්වනු ලබන සති පිරිත් දේශනාව මේ මස 01 වැනිදා ආරම්භ වූ අතර එය 09 වැනි දින දක්වා පැවැත්වේ.
අප්‍රේල් 03 වැනිදා ‘දොරකඩ අස්න’ සහ ‘අනුශාසනාව‘ ද එදිනම සවස 4 ට දේවදූත පෙරහර ද පැවැත්වේ. දිනපතා රාත්‍රි 6.30 ට කේශධාතු පූජාව ද, අටවිසි බුද්ධ පූජාමය පින්කම හා දේව පූජාව පැවැත්වේ. 09 වැනිදා දවල් ‘දේවාල මහා දානය’ පැවැත්වීමට නියමිතව තිබුණි.

රුවන්වැලි මහා සෑයට කප්රුක් පූජාවක්


අනුරාධපුර රුවන්වැලි මහා සෑයට සුවඳ ගැල්වූ ඖෂධ පැළැන්ද වූ කප්රුක් පූජාව බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොල්ගස්ඕවිට වෛද්‍ය ධනංජය අත්තනායක ඇතුළු නෑදෑ හිත මිතුරු සංවිධානත්වයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ අසූහාරදාහක් ශ්‍රී ධර්මස්කන්ධය සිහිකොට ඖෂධ පත්‍ර, පහන්, පිච්ච මල්, නිල් මහනෙල්, නෙළුම් මල් ආදියෙන් සමන්විතව කිරීමට බලාපොරොත්තු වන බව කියයි. මෙම උතුම් පින්කම අපි‍්‍රයෙල් 15 දින සවස 3ට ජය ශ්‍රී මහ බෝ මළුවේ සිට රුවන්වැලි සෑය දක්වා පෙරහරින් වඩමවාලීමට නියමිත ය.






0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය