Powered by Blogger.

බළන්ගොඩ ප්‍රදේශයේ එක්තරා නිවසක් ඉදිරිපිට සිංහල හින්දු අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ අවස්ථාවක් සූදානම් කර තිබුණි. මේ සඳහා පිරිසක්ද පැමිණ සිටියහ. නැකැත් වේලාව බලාගැනීම සඳහා අසල තබා තිබූ ඔරලෝසුවේ දෝෂයක් නිසා නිවැරදි නැකැත් වේලාව බලාගැනීමට නොහැකි විය. දස දෙසින් ඇසුණු රතිඤ්ඤා හඬත් සමග හිසතෙල් ගෑමේ නැකත පසුවී ඇති බව කාටත් වැටහුණි.
මෙම හිසතෙල් ගෑමේ කටයුත්තට අවශ්‍ය ද්‍රව්‍ය තබා තිබූ මේසය මත වතුර බේසමක්, හකුරු සමග ‍පොල් කැබලි, හිසට තබන කොළ ආදියද තිබූ නමුත් ඖෂධ යොදා සකස් කළ තෙල් බඳුන තිබුණේ නැත. කලබලයට පත්වූ හිසතෙල් ගල්වන තැනැත්තා නිවස තුළ තිබෙන නානු බෝතලය ගෙන එන්නයි අසල සිටි තම පුතුට පැවසුවේය. ඔහු ගෙතුළට දිවගොස් තෙල් බෝතලයක් ගෙනැවිත් දෙමින් මෙන්න තාත්තේ යැයි කියමින් තම පියා අතට පත් කළේය. වහාම මේසය මත කෝප්පයක තබා තිබූ කෙසෙල්පත්වලින් සකසා තිබූ පච්චල ගොටුවට තෙල් වත්කර හිසතෙල් ගෑම අරඹන ලදී.
හිසතෙල් ගල්වාගත් සැමට ඉදිරිපස තබා තිබූ දෙහියුෂ මිශ්‍ර ජල බඳුනෙන් හිසට ජලය ගා ගන්නා ලෙසද කියා තිබුණි. හිසතෙල් ගල්වාගත් කවුරුත් පාහේ මේ තෙල් බෙහෙත් සුවඳක් නැහැ. හරිම ගඳයි යනුවෙන් කියන විට එක් තරුණයකු ගෙනා තෙල් බෝතලය පරීක්ෂා කර බැලීය. කලබලයට මෙතැනට ගෙනැවිත් දී ඇත්තේ වාහනවලට යොදන තෙල් වර්ගයක් (2ටී ඔයිල්) බව අනාවරණය වීමෙන් පසු හිසතෙල් ගාගත් සියලු දෙනා නොසන්සුන් තත්ත්වයට පත්වී වහා හිසෙහි තිබූ තෙල් පිසදාගෙන ස්නානය සඳහා ළිඳ වෙත දිව ගියහ. නැවත නිවැරදි තෙල් බෝතලය ගෙනැවිත් තෙල් ගෑම ඇරඹුවත් නැකැත් වෙලාව බොහෝ ඉක්ම ගොස් තිබුණි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය