Powered by Blogger.



යාල සහ විල්පත්තු ජාතික වනෝද්‍යානවල භාරකරු හැටියට මා රාජකාරි කළ වකවානුවේදී එම උද්‍යානවලට නිතර ආ ගිය අමුත්තන් සහ මගේ මිත‍්‍රයන් මගෙන් නිරන්තරයෙන් ඇසූ ප‍්‍රශ්න ගණනාවක් විය. ඉන් මා වැඩිම සිත්ගත් පැනය වූයේ ”විල්සන් මහත්මයා කොහොමද මේ වනසතුන් ගහණ වනාන්තරවල අනතුරක් නොවී රාජකාරි කරන්නේ.... අපි අහලා තියෙනවා ඔයා කැලේ අලින් ළඟටම යනවා කියලා.” මුලින්ම, එනම් 1968 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු මා වසරක් පමණ ගතවන තුරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මා ඇසූ පැනයද එයයි. ඔවුන්ගෙන් බොහෝ දෙනකු මේ වන විට මියගොස්ය. නැතහොත් වියපත්ය. ඔවුන් මට දුන් පිළිතුරු, මග පෙන්වීම්, උපදෙස් සහ වසර 40 කට අධික කාලයක් දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ ලත් පළපුරුද්දෙන් එම පැනයන්ට පිළිතුරු දීමට අද මම පිරිපුන්ව සිටිමි.

මා මුහුණ දුන් ඉතා අවදානම් වූ අවස්ථා සහ පළපුරුද්දෙන් මා උගත් කරුණුවලින් බිඳක් ඔබ හමුවේ තැබීම අද මගේ ප‍්‍රයත්නයයි.

හඹා එන වන අලි නතර කරලීම:
යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු වශයෙන් මා සේවය කළ 1990 වසරේ දෙසැම්බර් මාසයේ දිනක උද්‍යානයේ විසූ දැවැන්ත දළ ඇතකුගේ හිසේ නළල (forehead) මතවූ තුවාලයකින් සැරව ගලන බව සේවකයන්ගෙන් මට දැනගැනීමට ලැබිණ. ක්ෂණයකින් මා කාර්ය මණ්ඩලය කැඳවා තුවාල වූ ඇතා ගැන කරුණු විමසීමේදී අසන්නට ලැබුණේ ”සර් ඔය ඇතා අද උදේ ගෝනගල පිටියේදී අපට දකින්නට ලැබුණා.” යන්නයි.
උද්‍යානයට පිවිසෙන ප‍්‍රධාන ගේට්ටුවේ සිට කි.මී.  නමයක් දුරින් යාල උද්‍යානයේ 1 කොටස තුළ ගෝනගල පිටිය පිහිටා ඇත. ගෝනගල වනාහි කාවන්තිස්ස රජ වකවානුවේ පුරාණ චෛත්‍යයකි.
 

 
නොපමාව මා ඇතාගේ තුවාලය පරීක්ෂා කළ යුතුය. එවන් රාජකාරියක් යටත් සේවකයකු වෙත පැවරීම මා කිසිම දිනක නොකළ දෙයකි. නළල් තලයේ පවතින තුවාලයක් බැවින් එය පරීක්ෂා කිරීමට මුහුණට මුහුණ දෙමින් ඇතා ඉදිරියට මා යා යුතුය. යාල උද්‍යානයේ 1 කොටස තුළ උදේ සිට සවස්වන තුරුම දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහන ශබ්ද ඝෝෂාව මධ්‍යයේ ඔවුන් බලා සිටියදී එය කිරීමද නුවණට හුරු නොවේ.

එබැවින් සවස 6.00 පමණ සියලූ වාහන උද්‍යාන ගේට්ටුවෙන් පිටමං වී ඇති බව තහවුරු කරගෙන මගේ නිල ජීප් රථයෙන් රියැදුරු සමග ගෝනගල පිටියට ළඟා වීමු. අතරමගදී අලි රංචු හමුවුවත් කළුවර වැටීමට පෙර මගේ අරමුණ ඉටුකර ගත යුතුව තිබේ. ප‍්‍රමාද නොවී ගෝනගල පිටිය මැදට රථය ධාවනය කළ රියැදුරු ”අන්න සර් ඇතා ඉන්නවා” රථයේ සිට මීටර් පනහක් පමණ ඈතින් වනරොදෙන් පිටතට නිසොල්මනේ ගමන් කරන ඇතා මට පෙන්වීය. රථයෙන් පිටතට බැස ගෙන දුරදක්නයෙන් ඇතාගේ නලල් තලය පරීක්ෂා කළ මට පෙනී ගියේ එය අලූත් තුවාලයක් බවය. කෙසේ වෙතත් ඇතා සමීපයටම ගොස් තුවාලය පරීක්ෂා කළ යුතුය.

ආපස්සට හැරුණු මා රියැදුරු අමතමින් බැරිවෙලාවත් ඇතා මට පහරදීගන්න බැරි වුණොත් ජීප් රථයට ගහයි. ඒ නිසා ඈතට ගිහින් පාර අයිනේ නතර කරන්න” මම උපදෙස් දුනිමි. සවස හය පසුවී ඇති බැවින් එම මාර්ගයේ වෙනත් වාහන කිසිවක් නැත. මම විනාඩි පහක් පමණ ඇතාගේ ඉරියව් අධ්‍යයනය කළෙමි. ජීප් රථයේ එන්ජිමෙන් නික්ම ගිය ශබ්දයට අවධානය යොමු කරගෙන සිටි ඇතා යළි ස්වභාවික හැසිරීමට එළඹිනි.

ඡායාරූපයක් ගැනීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා වනසතකු හෝ පක්ෂියකු සමීපයට යන අයකු තම ඇඳුමේ වර්ණය ගැන සැලකිලිමත් විය යුතුය. වඩාත් සුදුසු වර්ණය කොළ (Jungle green) පැහැයයි. සියලූ ශබ්ද වලින් තොරව එම සතා දෙසට පියවර නැගිය යුත්තේ ඔහු තමා ගැන අනවධානයෙන් සිටින විටදීය. උදාහරණයකට සතා ආහාර බුදින විට එය ප‍්‍රයෝජනයට ගෙන පියවර කීපයක් ඉදිරියට ගොස් සතාගේ අවධානය තමා වෙත එල්ලවන විටම නිසොල්මන් වියයුතුය. එවිට ඔහු ස්වල්ප වේලාවක් ආගන්තුකයා දෙස බලා සිට නැවත ආහාර බුදීම ආරම්භ කරනු ඇත. මේ අන්දමින් සතා සමීපයටම යා හැකි වුවත් අලියකු සමීපයට යාමේදී හමන සුළෙඟ් දිසාව තමාගේ මරණය කැඳවන්නක් විය හැකිය.

සුළඟ තමා පසුකොට අලියා දෙසට හමා ගිය කෙණෙහිම මිනිස් ගඳ (Human odour) ඉව වැටී කෝපාවිෂ්ඨ වන අලියා ආගන්තුකයා සිටින්නේ ඈතින් නම් ඌ පළා යන්නේය. ඇතා සමීපයට සහ ඉදිරියට පියවර නගන මම මේ සියල්ල දැන සිටියෙමි. සුළඟ ඇතා දෙසින් මා වෙතය. මේ අවස්ථාවේ දුර දක්නයකින් බැලීම අන්තරාදායක වන්නේ එය තුළින් අලියාගේ ඉරියව් හරිහැටි නොපෙනෙන බැවිනි. අලියාගේ නළලේ තුවාලය පියවි ඇසින් හොඳ හැටි මම දැක ගතිමි. එය වෙඩිකරුවකුගේ වෙඩි පහරක් වුවත් මොළයට (Brain) හානියක් සිදුවී නොමැති සැටියක් පෙනේ.

දැන් මා සහ ඇතා අතර දුර යාර 30 ක් පමණය. මම ඉදිරියට යාම නතර කළෙමි. ඇතාගේ ඉරියව් වෙනස් වන ආකාරය මට පෙනේ. ඔහු කන් පෙති දෙක කෙළින් කරගෙන හොඬවැල අග කොටස මුව තුළට ගති. ඇතාගේ අවධානය හා දෙඇස් මා වෙත යොමුවී ඇති අතර මගේ දෙඇස් කෙළින්ම ඔහු වෙතය. තව මොහොතකින් ඔහු මා වෙත හඹා එන බව මම හොඳින්ම දැන සිටිමි. මේ සුන්දර වනපෙතේ අධිපති මමයි. ඉන් නැගෙන අභිමානයෙන් මගේ සිත තුළ දැඩි චිත්ත ශක්තියක් ජනිතව තිබේ. මම තවත් පියවරක් ඉදිරියට ගත් තැන ඇතා විශාල ඝෝරනාඩු ශබ්දයක් මුවින් පිටකරමින් හොඬවැල නමාගෙනම මා වෙත හඹා එන්නට විය.

මම එකදු අඩියක් පස්සට නොගෙන නොබියව මුහුණ දෙමින් මගේ පාදයේ ඇඟිලි තුඩුවලින් ශරීරය එක්වරම උඩට උස්සා අත්දෙක දෙපසට විහිදුවා ඉතා අධික උස්හඬින් කෑගසමින් ”දහ අලියා ඒයි කොහෙද බොල එන්න හදන්නේ” නොනවත්වා කියාගෙන ගියෙමි. මගේ කටහඬ දැඩිය. එයද ඝෝරනාඩු ශබ්දයකි.
එම ශබ්දය නිසොල්මන් වනාන්තරයේ දෝංකාරය විය. 1973 වසරේදී ගල්ඔය ජාතික වන උයනේදී ඉතාමත් අනපේක්ෂිත අන්දමින් මුහුණට මුහුණ ලා හමුවූ දැවැන්ත කුළු මීහරක් මදයකු කෝපාවිෂ්ට වී ඊයක් ලෙසින් අප වෙත හඹා ආ අවස්ථාවේදී පවා ඔහු පලවා හැරියේ අපගේ දැඩි කට හඬ ශබ්දයෙන් බව මට සිහිපත් විය.

අනතුරුව තව තවත් උස්හඬින් ඇතාගේ මුහුණ දෙස බලාගෙනම බැණවැදුණි. එකෙණෙහිම නතරවූ ඇතා ආපසු නොහැරී ආපස්සට යන්නට විය. මමද ආපසු නොහැරී ඇතා දෙස බලාගෙනම යාර 15-20 පමණ ආපස්සට වුත් මගේ නිල රථය නතර කොට තිබූ මාර්ගය දෙස බැලූවෙමි.

මගේ රථයට අමතරව තවත් වාහනයක් මාර්ගයේ නතර කරගෙන ඒ තුළ සිටි අමුත්තෝ මා දෙස බලා සිටිති. මේ අවේලාවේ මෙතැනට ආ පිරිස කවුද යන්න සිතමින් මගේ රථය ගෙන එන ලෙස රියදුරුට සංඥාවක් කොට මම මාර්ගය දෙසට පිය නැගුවෙමි.

මොහොතකට පසුව ආගන්තුක රථයේ සිට එළියට පැමිණියේ මගේම කාර්යාලයේ සේවය කරන වන ජීවී අඩවි සහකාර ආර්.පී. කරුණාසේන මහතාය (දැනට විශ‍්‍රාමික). කරුණාසේන මා අසලට පැමිණ ”සර් මම එක්ක ආ කණ්ඩායම නතර වෙලා ඉන්නෙ උද්‍යානයේ බුතව බංගලාවේ. ජීප් රථයේ ඉන්න දොස්තර මහත්තයා සර්ට පොඞ්ඩක් කතා කරන්න පුළුවන්ද අහනවා”

කවුරුන් වුනත් මට පහරදීමට හඹා ආ ඇතා නතර කළ ජවනිකාව දුටුවෙන් ඉන් ජනිත වූ කුතුහලය නිසා මට කතා කිරීමට අවශ්‍ය වූ අයකු විය යුතුයැයි මට සිතුනි. එය මගේ රාජකාරියේ අංගයක් බව කල්පනා කළ මා එම රථය අසලට ගියෙමි.

රියැදුරු අසුනේ වාඩිවී සිටි අය මට කතා කරමින් ”විල්සන් මහත්මයා මම මාතර මහ රෝහලේ ප‍්‍රසව නාරි වෛද්‍ය හේමන්ත පෙරේරා. අපි දැනගන්න කැමතියි ඔයා අර ඇතා නතර කළේ කොහොමද කියලා”

මද සිනහවක් පෑ මම පොඩි විජ්ජාවක් කළා. ඔයාලා ලබන වතාවේ යාල ආවම විස්තරේ කියන්නම් කළුවර වැටීගෙන එන නිසා දැන් බංගලාවට යන්න” යයි මම කීවෙමි. යාබද අසුනේ වාඩිවී සිටි හේමන්ත පෙරේරා මහත්මිය හේමන්ත මහතාගේ කණට කොඳුරා යමක් කීය. ඇයද වෛද්‍යවරියක් බව මම පසුව දැනගතිමි.

”එහෙනම් අද රාත‍්‍රී අප ඉන්න බංගලාවට එන්න. අපිත් එක්ක කෑම ටිකක් කාලා යන්න” වෛද්‍ය හේමන්ත මට ආරාධනා කළෙන් මම මගේ නිවහනට ගොස් රාත‍්‍රී ඔවුන් පදිංචිව සිටි බංගලාවට පැමිණියෙමි.

එහෙත් ඇතා නතර කළ ආකාරය එදින හෙළි කළේ දැයි මතක නැත. මේ වන විට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව නාරි වෛද්‍ය විශේෂඥ වරුන්ගෙන් කෙනෙකු වන වෛද්‍ය හේමන්ත පෙරේරා සහ එම මහත්මිය එදින සිට මගේ හොඳ මිත‍්‍රයෝ වූහ.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය