Powered by Blogger.

යුග දිවියට පිවිසි භාග්‍යා කියන කතාව
එයා රඟපාන්න ඕනෙ නැහැ දන්න ක්‍රිකට් ගැහුවාම ඇති
නව පරපුරේ ජනපි‍්‍රය රංගන ශිල්පිනී භාග්‍යා හෙට්ටිආරච්චි පසුගිය දා යුග දිවියට පිවිසුණා. ඇගේ අතගත් මනාලයා වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල නියෝජනය කරන කෞශාල් සිල්වායි. භාග්‍යා - කෞශාල්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ කොළඹ ජෙයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී යි.
භාග්‍යා, කොහොමද අලුත් ජීවිතේ?
බොහොම සුන්දරව සතුටින් ගෙවනවා. කෞශාල් මට ගොඩක් ආදරෙයි. ඒ වගේ ආදරයක් ලබන්න මං සෑහෙන්න පින් කරලා තියෙනවා. ඔහු වගේ ළබැඳියෙක් මගෙ ජීවිතයට එකතුවීම මගේ පෙර වාසනාවක්.
කෞශාල් සහ ඔබගේ පළමු හමුවීම මතකද?
මොකද නැත්තේ. අද වගේ මතකයි. උත්සවයකදියි ඔහුව මට මුණ ගැහුණෙ. අකලංක ගනේගමයි මට කෞශාල්ව හඳුන්වා දුන්නේ. පළමු හමුවීමෙන්ම අපි ගොඩක් හිතවත් වුණා. දුරකථනයෙන් නිතරම වගේ කතා කළා.
කාගේ හිතේද මුලින්ම ආදරයක් ඇති වුණේ?
මං හිතන්නේ අපි දෙන්නට දෙන්නා නොදැනීම පෙම්වතුන් වුණා. මං එයා ආදරේ ප්‍රකාශ කරනකම් බලාගෙන හිටියා. මං දන්නවා කෞශාල් එහෙම කියයි කියලා.
කෞශාල් ආදරෙයි කිව්වට පස්සෙ ඔබ මොකද කිව්වේ?
මං බලාපාරොත්තුවෙන් හිටිය වචනෙ ඇහැව්වට පස්සෙ මොනවා කියන්නද ‘මමත් ආදරෙයි’ නොකියා.
ඔබ දෙපළගේ මවුපියන්ගෙන් මේ සම්බන්ධයට මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?
අපිට ආශිර්වාද කළා. අපි දෙන්නගෙ වෘත්තීන් එළිපිට සිදුවන ඒවා නිසා අපි ගැන දැනගෙන හිටියා දෙපාර්ශවයෙන්ම.
කෞශාල් කැමැතිද ඔබේ නිළි වෘත්තියට?
ඔව්, එයා මං ඉන්න නිර්මාණ නරඹලා මට ගුණදොස් කියනවා. කෞශාල් තමයි දැන් මගේ හොඳම විචාරකයා.
ඔබ පෙම්වතියගේ චරිතය රඟපාද්දි ඔහුට ඊර්ෂ්‍යාවක් ඇතිවනවා ඇති.?
මන්දා, හැබැයි ඔහු මේ වෙනකම් මට වාරණයක් දාලා නැහැ පෙම්වතියගේ චරිතය කරන්න එපා කියලා. අනික මගේ වයසේ හැටියට පෙම්වතියගේ චරිතය මිසක් අම්මගෙ චරිතය කරන්න බැහැනේ.
ක්‍රිකට් ක්‍රීඩකයො කියන්නේ නිබඳව තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වන පිරිසක්. කෞශාල්ටත් එහෙමයි?
කෞශාල් වැරැදි දේවල්වලට යොමු වන්නේ නැහැ කියලා මට විශ්වාසයි. මේ වෙනකම් ඔහු ඒ විශ්වාසය බිඳලා නැහැ.
කොහෙද දැන් දෙන්නා පදිංචි වෙන්න හිතාගෙන ඉන්නෙ?
අපි දෙන්නා එකතුවෙලා තලවතුගොඩ ගෙයක් හැදුවා. එහෙ තමයි ඉන්න හිතාගෙන ඉන්නෙ.
භාග්‍යාට උයන්න පුළුවන්ද?
ඔව්, මගෙ අතිනුයි කෞශාල්ට මින් ඉදිරියට කන්න හදලා දෙන්නේ. ඔහු ආස කෑම හදලා දෙනවා.
බැරිවෙලාවත් කෞශාල්ට රඟපාන්න කතා කළොත් යවනවද?
බුදු අම්මෝ, එයාව රඟපාන්න නම් යවන්නේ නැහැ.
ඒ මොකද?
එයා දන්නේ ක්‍රිකට් ගහන්නනේ. දන්නදේ විතරක් කරගෙන හිටියොත් මට ඒ ඇති.
අඩුම ගානෙ වෙළෙඳ දැන්වීමකටවත් කතා කළොත්?
නැහැ යවන්නෙ නැහැ. එයාට රඟපන්න තහනම්.
ඕකට තමයි භාග්‍යා කියන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා?
පිස්සුද අයියේ, ඊර්ෂ්‍යාවකට නෙවෙයි. එයා ක්‍රිකට්වලින් ඉස්සරහටම යන්න ඕන. මං රංගනයෙන් ඉදිරියට යද්දි ඔහු ක්‍රිකට්වලින් මුළු ලොවම දිනන්න ඕන. කෞශාල් රංගනයට ආවොත් ඒ තත්ත්වය උදාකරගන්න බැරිවේවි කියලා මට දැනෙනවා.
කෞශාල් සතු නරකම ගතිගුණය මොකක්ද?
එයා ඉතාම ඉක්මනින් මිනිස්සුන්ව විශ්වාස කරනවා. එයාගේ ඒ ගතිගුණයට මං ආසා නැහැ. ඒ වගේම කෞශාල් ඉක්මනින් තීරණ ගන්නවා. මං නිතරම කියනවා එහෙම කරන්න එපා කියලා.
ඇයි ඔබ කෞශාල්ට කැමැති වුණේ?
කෞශාල් වැඩිය කලබල නැහැ. අනිත් අයට උදව් කරන කෙනෙක්. මට ගොඩක් ආදරේ වේයැයි කියලා දැණුනා. මේ කරුණු කාරණා මතයි ඔහුට මම කැමැති වුණේ.
කෞශාල්ව ඔබ අවසන් වතාවට කේන්ති ගැස්සුවෙ කවදද?
එයාට නෙවෙයි මටයි ඉක්මනින් කේන්ති යන්නෙ. එයාට කේන්ති යන්නෙම නැති තරම්. මට කේන්ති ගියාම කතා නොකර ඉන්නවා. කතා නොකර ඉන්නකොට එයත් දන්නවා මට කේන්ති ගිහින් කියලා.

රූපා ඉන්දුමතීට යුරෝපයෙන් සම්මානයක්

ලෝක කාන්තා දිනය වෙනුවෙන් පසුගිය මාර්තු 9 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී රූපා ඉන්දුමතී උපහාර සම්භාවනා ගී ප්‍රසංගය පැවැත්වුණි. එහිදී ඇය සම්මානයටද පාත්‍ර වුණි. ඉන් දින කිහිපයකට පසුව ඇය සරසවිය පුවත්පතට පැමිණියේ ලද සම්මානය ද අතැතිවය. මේ රූපා ඉන්දුමතී ගී ප්‍රසංගය සහ උපහාර උළෙල පිළිබඳ කළ කතාබහකි.
ඔබට ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?
මට මේ ලැබුණු සම්මානය මගේ ජීවිතේ අමතක නොවන මතකයක්. මේ ප්‍රසංගය සංවිධානය කළේ ප්‍රංශ ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර ඒකකයෙන්. එම සංගමයේ සභාපතිනිය රේණුකා පෙරේරා මහත්මිය ඇතුළු පිරිස තමයි මේකට මූලිකත්වය අරගෙන කටයුතු කළේ.
ඔබේ ඒක පුද්ගල ගී ප්‍රසංගය සහ ප්‍රංශ සංචාරය පිළිබඳ පැවසුවහොත්?
මා විසින් ගායනා කළ ගීත 15 ක් ඇතුළත් සී. ඩී. පටයක් සහ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. ඒ වගේම කියන්න ඕනෑ මා ගැන සියළු විස්තර සොයා මේ සඳහා නිර්දේශ කරලා සම්බන්ධීකරණය කළේ ලක්ෂ්මන් හේවාවිතාරණ. මම දැන් අවුරුදු 66 ක ගායිකාවක්. නමුත් ලංකාවෙන් මට සම්මානයක් ලැබුණේ නැහැ. ඒත් ජීවිතේ පළමු වතාවට යුරෝපා රටකින් සම්මානයක් ලැබීම ගැන මට තියෙන්නේ පුදුමුකාර සතුටක්.
ඔබට ස්තුති කළ යුතු බොහෝ දෙනා ඇති?
ඔව්. ශ්‍රී ලංකා කාන්තා සංගමයේ අවමංගල්‍යාධාර එකකයේ රේණුකා පෙරේරා ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට, ලක්ෂ්මන් හේවාවිතාරණ ගායන ශිල්පියාට. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වීමට නියමිතව තිබුණා. නමුත් කරුණාරත්න හඟවත්ත මහතාට සහභාගිවීමට නොහැකිව ඒ වෙනුවට කිසා ගෝතමී මහත්මිය සහභාගි වුණා. ඇයටත් ප්‍රංශයේ ජීවත්වන සියළුම ශ්‍රී ලාංකිකයින්ටත් මගේ ප්‍රණාමය පුද කරනවා.
ගායිකාවක ලෙස ගමන් ඇරැඹූ රූපා ඉන්දුමතී ශිල්පිනියගේ කලා දිවියට වසර පනහක් සපිරෙන මොහොතේ තවමත් ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙසින් ද, වේදිකා නාට්‍ය ශිල්පිනියක් වශයෙන් සහ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් වශයෙන් අදටත් සහභාගි වෙනවා. විශිෂ්ඨ ශ්‍රේණියේ ගායිකාවක් වන ඇය ලද සම්මානයට සරසවිය පුවත්පතෙන් සුබපැතුම්.

නිලේන්ද්‍රගෙන් ජීවිතයට පැතුමක්


නිලේන්ද්‍ර ක්‍රිෂාන්ටස් අබේකෝන්ගේ කුළුඳුල් ගායන ප්‍රසංගය ‘Hope for Life’ මෙම මස 26 වන සෙනසුරාදා ප. ව. 6.30 සිට මීගමුව ආවේ මරියා විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
වසර 15 ක් මුළුල්ලේ ගායන ශිල්පියෙකු ලෙස සුවිශේෂ දස්කම් දැක් වූ නිලේන්ද්‍ර දැනට වකුගඩු රෝගී තත්ත්වයකට බඳුන්ව සිටින අතර වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ප්‍රසංගය සංවිධානය කොට තිබේ.
ලහිරු පෙරේරා, රුවන් හෙට්ටිආරච්චි, බාචි සුසාන්, චින්ති යන ගායන ශිල්පීන් ඇතුළුව තවත් ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ප්‍රසංගයේදී නිලේන්ද්‍ර සිය කුළුඳුල් ස්වතන්ත්‍ර ගී නිර්මාණයන්ද ඉදිරිපත් කෙරේ. මේ සොඳුරු ගී දැහැන රස විඳන්නට ඔබ සැමට නිලේන්ද්‍ර ඇරැයුම් කර සිටී.

ඩ්‍රැකියුලා චිත්‍රපට පිළිබඳ කතා මාලාව

යකා වැහුණු නිවුන් රූමතියන්


වැනීසියේ සිට මධ්‍යම යුරෝපයේ කර්න්ස්ටයින් වෙත ගමන් ගන්නා රූබර යොවුන් යුවතියන් දෙදෙනෙකු වන මාරියා සහ ෆ‍්‍රීඩා රුවින් එකිනෙකාට අතිශය සමාන වූ නිවුන් සොහොයුරියන් දෙදෙනෙකි. කර්න්ස්ටයින්හි වෙසෙන ප්‍රභූවරයෙකු වන ගුස්ටාව් වේල් නැමැති ආගම්වාදයෙන් අන්ධ භක්තිකයෙකු වූ ශුද්ධවන්තයා ඔවුන්ගේ මාමාය. කුරුසියට විරුද්ධ වන්නන් සහ සාතන්ගේ අනුගාමිකයින් පණපිටින් පුළුස්සා මරා දමමින් ප්‍රදේශයේ සිය අණසක පතුරුවා ගෙන සිටින ඔහුගේ යථා ස්වරූපය කෙල්ලන් දෙදෙනා නියමාකාරයෙන් දැනගන්නේ ඔහුගේ වහළ යටට පැමිණ කල් ගෙවන්නට වූ පසුවය.
මාමාගේ දාමරිකකම් නොරිස්සූ ෆ‍්‍රීඩා ඔහුගෙන් මිදී පළා යාමට මාන බලමින් සිටියි. ගුස්ටාව් ට අභියෝගයක් වී සිටින සාතන් අනුගමිකයෙකු වන කර්න්ස්ටයින් සිටුවරයාගේ නෙතට සරාගී ෆ‍්‍රීඩාගේ රුව හසු වන්නේ එවැනි අවස්ථාවකය. ඇය ඔහුගේ ග්‍රහණයට ගැනීමට සැලසුම් සකස් කරන්නේ එබැවිනි. ඒ අතරතුර යොවුන් රූමතියක් පැහැරගෙන කර්න්ස්ටයින් වරුන්ගේ සොහොන් ගෙයක් තුළට වදින ඔහු ඇය මරා ඇගේ රුධිරයෙන් පූජාවක් පවත්වා එහි මිහිදන් කොට ඇති ‘මිර්කෝලා’ නමැති මළගිය ප්‍රාණකාරියකට නැවත ජීවය ලබා දෙයි. සිටුවරයා වසඟයට ගන්නා ඇය නිදි යහනේදී ඔහුගේ ලේ උරා බොයි. ඒ හේතුවෙන් ඔහු ද ලේ උරා බොන්නෙකු බවට පත්වෙයි.
පසුව සිටුවරයාට බිලි වෙන ෆ‍්‍රීඩා ද ලේ උරා බොන යකින්නක් බවට පත් වෙයි. රාත්‍රී කාලයේදී මිනිසුන් පසුපස හඹා යන ඇගේ මිනිස් දඩයම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීමට තම නිවුන් සොයුරිය පොළඹවා ගන්නේ ඇය සපා කන බවට තර්ජනය කරමිනි. මේ අතර ඇන්ටන් නම් තරුණයෙක් මාරියාට පෙම් බඳියි. සැර පරුෂ මාමණ්ඩියගෙන් වසන් වී පෙම් කිරීමට ද ඔවුනට ප්‍රශ්නයකි. සිටුවරයා පිසාචයෙකු වූ පසු ගම්මානය සාතන්ගේ ශාපයට ලක්වී ඇති බව වටහා ගන්නා ගුස්ටාව් තමා සැක කරන තරුණියන් අල්ලා ගම්මුන්නගේ සහාය ඇතිව අමු අමුවේ පුළුස්සා ඝාතනය කරයි. තමාගේ ඥාති දියණිය ෆ‍්‍රීඩා ද උන්ගෙන් එකෙකු බවට ගම්මුන් චෝදනා නඟද්දී ඔහු ඇයව ද අල්ලා පුළුස්සා දැමීමට සැරැසෙයි. එහෙත් රූපයෙන් සමාන නිසා ෆ‍්‍රීඩා වෙනුවට ඔවුන්ගේ ග්‍රහණයට පත්ව සිටින්නේ මාරියාය. මේ අතර මාරියා සොයා යන ඇගේ පෙම්වතා ෆ‍්‍රීඩාගේ වසඟයට හසු වීම වලකා ගන්නේ අසල වූ කුරුසියකින් ඇයට පහර දීමෙනි. ඇගෙන් මිදී පළා යන ඔහු මාරියා පුළුස්සා දැමීමට සැරැසෙන පිරිස අතරට ගොස් කරුණු පැහැදිලි කර දී ඇය මරණයෙන් මුදවා ගනී.
සිටුවරයා හඹා යන ගුස්ටාව් සහ පිරිස ඔහුගේ මාළිගාවේදී දරුණු සටනකට එළඹෙයි. එම මාරාන්තික සටනෙන් ජය අත් වන්නේ කාටද? සුරූපී යොවුන් සොයුරියන් දෙදෙනාගේ ඉරණම කෙසේ විසඳෙයි ද යන්නට පිළිතුරු සැඟ වී ඇත්තේ ’ට්වින්ස් ඔෆ් ඊවිල්’ චිත්‍රපටය තුළය.
18 වන සියවසේ විසූ අයිරිෂ් ජාතික ෂෙරිඩින් ලී ෆානු නමැති ලේඛකයා විසින් විරචිත නවකතාවක අනුසාරයෙන් ටියුඩර් ගේට්ස් විසින් තිර රචනය කරන ලද ‘ට්වින්ස් ඔෆ් ඊවිල්’ චිත්‍රපටය ‘හැමර්’ චිත්‍රපට සමාගමේ තවත් නිෂ්පාදනයකි. ජෝන් හෆ් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළේ මයිකල් ස්ටයිල් සහ හැරී ෆයින් දෙපළ විසිනි.
ඩ්‍රැකියුලා චිත්‍රපටවලට වඩා භීතිය, සංත්‍රාසය වෙනුවට ‘නිරුවත’ හුවා දැක්වීමට අධ්‍යක්ෂවරයා උනන්දු වී ඇති සෙයක් පෙනෙන්නේ එමඟින් ප්‍රේක්ෂකයා චිත්‍රපටය වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් යුතුව විය හැක. සුප්‍රකට ‘ප්ලේබෝයි’ සඟරාවේ පිටු ගණනාවක් තම නිරුවත් ඡායාරූපවලින් හැඩ ගැන් වූ ළපටි වියේ නිවුන් රූමතියන්ගෙන් උපරිම දායකත්වයක් ලබා ගැනීමට ඔහු සමත් වී ඇත. අඩ නිරුවත් පෙම් ජවනිකා කිහිපයක් ද චිත්‍රපටයට ඇතුළත්ව ඇති නිසා බාහිර බලපෑම් හේතුවෙන් ඇතැම් දර්ශන ඉවත් කිරීමට නිෂ්පාදකවරුන්ට සිදු වූ බව ද සඳහන් වෙයි.
ප්‍රධාන චරිත දෙක සුරූපී මේරි කොලින්සන් සහ මැඩලින් කොලින්සන් යන නිවුන් සොයුරියන් විසින් නිරූපණය කරන ලදී. ගුස්ටාව් වේල් ලෙස රඟපෑවේ ඩ්‍රැකියුලාගේ ප්‍රතිවාදියාගේ චරිතය නිරූපණය කළ පීටර් කුෂින් විසිනි. ඩේමියන් තෝමස් කාර්න්ස්ටයින් සිටුවරයා ලෙසත් කෙට්යා විත් ’මිර්කෝලා ආර්යාව’ ලෙසත් රංගනයට එක් විය. මාරියාගේ පෙම්වතා වූ ඇන්ටන්ගේ චරිතය නිරූපණය කළේ ඩේවිඩ් වෝබෙක් විසිනි. හැරී රොබට්ස් විසින් චිත්‍රපටය සංගීතවත් කරන ලදී. බෙදා හැරීමේ කටයුතුª සිදු කළේ ඇමෙරිකාවේ රෑන්ක් සහ යුනිවර්සල් චිත්‍රපට සමාගම් විසිනි. 1971 දී මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හළ චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ස්ටර්ලින් පවුම් 205,067 ක් ලෙසින් වාර්තා විය.
ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ වාරණයට ලක්ව දර්ශන ගණනාවක් කප්පාදු කරන ලද ‘ට්වින්ස් ඔෆ් ඊවිල්’ චිත්‍රපටයේ පිටපතක් 1982 වසරේදී මරදානේ රූබි සිනමාහලේදී ප්‍රදර්ශනය විය. එය නැරැඹූ අපේ ඉංග්‍රීසි චිත්‍රපට රසිකයින් හට අද මේ සටහන කියවන විට මොහොතකට සිය අතීතය සිහිපත් වනු නොඅනුමානය.

නර්තන ශිල්පී පියදාස නානායක්කාර දැයෙන් සමුගනී

මෙරට නර්තන කලාවට සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වූ පියදාස නානායක්කාර (තුම්බෝවිල පියදාස) පසුගිය 18 වැනි දින දැයෙන් සමුගත්තේය.
ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ වසර විසි දෙකක් සේවයකර විශ්‍රාම සුවයෙන් සිටි ඔහු විදේශ සංචාර පනහකට අධික සංඛ්‍යාවකට සහභාගී වෙමින් දේශීය සංස්කෘතිය, නර්තන කලාව ලොවට හඳුන්වාදීමට පෙරමුණ ගත්තෙකි.
පහතරට නර්තන කලාවේ සුවිශේෂී කලාකරුවකු ලෙස ප්‍රකටව සිටි හඳපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේ (සුදුමාමා) ගේ සහෝදරයකු වන ගිරිගෝරිස් ගුරුන්නාන්සේගේ බාල පුතනුවන් වන ඔහු මිය යනවිට 56 වැනි වියේ පසු විය. ඔහුට දරුවන් දෙදෙනෙකි.
‘ඇරෝව්ස්ටාර්’ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වදන ශිල්පියා ලෙස කටයුතු කරන සම්පත් ඉරෝෂන් ඔහුගේ පුත්‍රයා වන අතර ‘මුතුපලස’ ටෙලි නාට්‍යයේ ‘පැණියා’ ගේ චරිතයෙන් රසික හදවත් දිනා සිටින මහේන්ද්‍ර විජේරත්න ගේ බාප්පා ද වේ. ඒ මහතාගේ අවසන් කටයුතු 21 වැනි සඳුදා තුම්බෝවිල සුසාන භූමියේ දී සිදුකෙරිණි.

තන්හා රතී රඟා ජාත්‍යන්තර කීර්තියට

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමා සිතුවම තන්හා රතී රඟා ජූලියන් ඩුබියුග් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල තේරීමේ අංශයට තේරී පත් වී තිබේ. එම උළෙල මෙම මස 23 වැනිදා සිට 27 දක්වා අමෙරිකාවේ ජුලියන් ඩුබියුන් නගරයේදී පැවැත්වෙයි.
නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි තිර රචනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ගෙනි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටී. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. රොබ් නේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද තන්හා රතී රඟා සඳහා දායකත්වය සපයා ඇත.
සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රතී රඟා රංගනයෙන් හැඩ කරයි.

රොජර් නමින් රසික හවුලක්


රොජර් සෙනෙවිරත්න නමින් රසික හවුලක් පසුගියදා ආරම්භ කෙරිණ. දිනෙන් දින හීන වී යන ළමුන්ගේ රස වින්දනය ඉහළ දැමීම, ඔවුන්ගේ ඉදිරි අනාගතය වඩාත් සුරක්ෂිත කිරීමේ වැඩසටහන් පැවැත්වීම ආදී අරමුණු ඇතිව ඇරැඹි මෙම සංසදයේ නිලධාරි මණ්ඩලය මෙසේ තේරී පත් විය.
සභාපති - රොජර් සෙනෙවිරත්න, උප සභාපති – ඊ. ඩී. ශ්‍රියාපාල, ලේකම් - හේමසිරි අමරසිංහ, උප ලේකම් – වික්‍රමසිරි ජයවික්‍රම, භාණ්ඩාගාරික – පද්මා ගුණසේකර, ජාතික සංවිධායක - සමන් මලිදූව, සංවිධායක මණ්ඩලය – රත්නපාල පෝරගේ, රංජිත් විත්‍රමසිංහ, එස්. ජයවර්ධන

තරුව විකිණේ සමඟ අපොන්සු ආයෙත් වේදිකාවට

ජයසේකර අපොන්සු කලකට පසු නිර්මාණය කළ නවතම වේදිකා නාට්‍යය ‘තරුව විකිණේ’ ලබන 26 වැනිදා ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත කෙරේ.
ජයසේකර අපොන්සු සමඟින් ගයාන් මාපලගම, ධර්මසේන දෙහිවල, එන්. සූරියබණ්ඩාර, තාරුකා අංජලී, පුෂ්පා ජෙනට්, බී. ඩී. සරත් විජේවර්ධන, ස්ටැනී ද සිල්වා සහ ගාමිණී කොස්තා තරුව විකිණේ හි රංගනයෙන් දායක වෙති. සංගීතය ඩිලාන් ගුණවර්ධනගෙන් වන අතර වේශ නිරූපණය ගාමිණී කොස්තා විසිනි. තරුව විකිණේ රචනය හා නිෂ්පාදනය ජයසේකර අපොන්සු ගෙනි.

නිර්මාණ පහකට ශිල්පීන් තෝරා ගැනේ

නාට්‍යවේදී එම්. සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම මගින් නිෂ්පාදනය කරනු ලබන නාට්‍ය නිෂ්පාදන 05 ක නිර්මාණ කාර්යයන් සඳහා ශිල්පීන් තෝරා ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ජාත්‍යයන්තරව පුහුණුව ලැබූ ඉන්ටර් ඇක්ට් ආර්ට් පුහුණුකරුවන් මෙහෙය වන මේ නිර්මාණ සඳහා සහභාගී වීමට කැමති අය තමන් විසින් සකස් කළ අයැදුම් පතක් ඉන්ටර් ඇක්ට් ආර්ට්, බ්ලැක් බොක්ස් රඟහල, 160/7, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය යන ලිපිනයට හෝ interactartsl@gmail.com විද්‍යුත් ලිපිනයට එවන්න. වයස 18 ට වැඩි සිංහල, දමිළ ඕනෑම අයෙකුට මේ සඳහා අයැදුම් කළ හැකිය.

අවුරුදු ඇවිල්ලා


මොරටුව ‘හමිං බර්ඩ්ස්’ සංගීත කණ්ඩායමේ ගායක තිලක් ද මැල්ගේ අවුරුදු ඇවිල්ලා සංගත තැටිය පසුගිය දා එළි දැක්විණි. මෙහි සංගීතය සරත් ගුණවර්ධන ගෙනි. සේයාරුවෙන් දැක්වෙනුයේ තිලක් ගීත පටිගත කළ අවස්ථාවයි.

භවාන්තර ජාතික රූපවාහිනියේ


රංග බණ්ඩාරනායකගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘භවාන්තර’ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.
හේමසිරි ලියනගේ, පාලිත සිල්වා, විශ්වජිත් කරුණාරත්න, පුබුදු චතුරංග, රශ්මි රූත් අබේකෝන්, මධුවන්ති ලියනගේ, තුසිත ලක්නාත්, දුලංජලී සංකල්‍යා, තුමිදු දොඩම්තැන්න, අතුල ජයසිංහ ආදීහු මෙහි රංගනයෙන් දායක වේ.
භවාන්තර තිස්සවීර වර්ණපුරගේ නිෂ්පාදනයකි. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රූපවාහිනී රචනයෙන් එක්වෙයි. දේශක සම්පත්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. කුලරුවන් ගමගේ කැමරාව මෙහෙයවයි. දුමිත් කුමාර දංගාරගොඩගේ සංස්කරණයක්ය. අරුණ මැදකුඹුර කලා අධ්‍යක්ෂවරයාය. ප්‍රියන්ත එස්. වන්නිනායක අංග රචනයෙන්ද, සමන් ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, මධුසංඛ බණ්ඩාර නිෂ්පාදන කළමනාකරණයෙන් ද මෙයට එක් විය.

පසු කවරය ගැන විශේෂ වදනක්

මංජුල මොරගහ කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ප්‍රසංග වේදිකාවේ ද ඇතැම් අවස්ථාවලදී ඔහු ගායකයකු ලෙසින් ද අප හමුවට එනවා. මේ කියන්න හදන්නේ ඒ මංජුල ගැන අපූරු මෙන්ම ආදර්ශවත් කතා පුවතක් ගැනයි. මංජුලට ස්වර්ණවාහිනි නාලිකාව මඟින් සංවිධානය කළ අවුරුදු උත්සවයට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. ජන ක්‍රීඩාවලට බෙහෙවින් කැමැති මංජුල මේ ආරාධනාව භාර ගත්තේ හිස් මුදුනින්මයි. ඔහු එනිසා ලක ලැහැස්ති වෙලා මේ අවස්ථාවට සහභාගි වුණා.
එහිදී කලාකරුවන් වෙනුවෙන් දිනුම් ඇදීමක් ද එකතු කරන්න ස්වර්ණවාහිනිය අමතක කළේ නැහැ. කොට්ටා පොර, අන්ධයාට කිරි කැවීම, ගෝනි රේස් ආදී තරගවලට එකතු වුණු මංජුල අර දිනුම් ඇදීම ගැන කන වැටිලා ඒ පැත්තට ගියේ නිකමට වගේ. ඔහුගේ නම ද සංවිධායක කමිටුව ද ඊට එක් කරලා. එහෙම වුණත් වැඩි බලාපොරොත්තුවක් නැතුවම මංජුල නැවතත් ජන ක්‍රිඩා කරන්න ගියා. කොහොම හරි එදින නිමා වෙද්දී කලාකරුවන් කැඳවලා මේ කුසපත් ඇදීම සිද්ධ වුණා.
පුදුමයි.
අර දිනුම් ඇදිමේ ජයග්‍රාහකයා මංජුල. ඒ වෙනුවෙන් ඔහුට හිමි ත්‍යාගය මෝටර් බයිසිකලයක්. මංජුල උඩ බිම බැලුවා. ජයග්‍රාහී ප්‍රීති ඝෝෂා මැද ඔහු බයිසිකලය මත වාඩි වී ළඟ තිබූ මයික්‍රෆෝනයක් අතට ගත්තා.
මේ තෑග්ග මට එපා. මේක අයිති වෙන්න ඕනෑ වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි රූබා. රංජිත් රූබසිංහ. එයා අපිටත් කලින් ෆීල්ඩ් එකට ආවේ. ඒත් තවම වාහනයක් නැහැ. මේක රූබාට දෙන්න ඕනෑ.
එහෙම කියලා මංජුල, රංජිත් රූබසිංහව කැඳවලා බයිසිකලය ප්‍රදානය කළා. නමුත් රූබා තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මංජුලටම ආයෙත් එය ලබා දුන්නා. කොහොම වෙතත් මංජුල කරන්න හදපු මේ දේ ගැන බොහෝ දෙනා කතා කළේ ප්‍රශංසා මුඛයෙන් අනුන්ගේ තෑගි බලෙන් ලබාගන්නා මෙවන් යුගයක තමන්ට ලැබුණු වටිනා තෑග්ගක් තමාගේම ක්ෂේත්‍රයේ සහෘදයකුට ලබා දෙන්න මංජුල උත්සාහ කළ එක ගොඩක් ආදර්ශවත් කියලයි හැමෝම කිව්වේ. අද අපේ පසු කවරය සැරසෙන්නේ ද ඒ මංජුලගේ රුවින්.

පුතුගෙත් මගෙත් උපන් දින එකයි

රංගන ශිල්පි රොඩ්නි වර්ණකුල
මේ සතිය මට කරුණු කිහිපයක්ම නිසා සුවිශේෂයි. මෙවර අලුත් අවුරුද්ද සමඟින් පාස්කු සතිය උදා වුණා. කිතුණු බැතිමතෙක් විදියට පාස්කු වෙනුවෙන් මම ආගමික වතාවත් වෙනුවෙන් කැප වෙන්නේ. මහ සිකුරාදාට කිසිම වැඩක් භාර අරගෙන ගෙදරින් පිට වෙන්නේ නැහැ. ඊට පසුව සුපුරුදු පරිදි කලා කටයුතුවල නිරත වෙනවා.
මේ සතියේ මගේත්, මගේ පුතාගේත් උපන් දින යෙදිලා තියෙනවා. උපන් දින දෙකම එකම දිනයක වීම නිසා ගොඩක් සතුටුයි. මගේ පුතා ඉරෝෂ වර්ණකුල. අපි දෙන්නාගෙම උපන් දින වුණත් පුතාගේ මනාපය අනුව එදා දවස ගත කරනවා.
මම දරුවන්ට වුණත් පුංචි කාලේ ඉඳලාම උපන් දිනදා අපි විතරක් පාටි දාලා සතුටු වෙන්නේ නැතුව අපේ උදව් අවශ්‍ය අයට උදව් කරන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ අනුව ඒ ලස්සන දවස ගත කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ දවස්වල කලා කටයුතු නම් එතරම් යෙදා ගෙන නැහැ. මැයි මාසයේ ඉඳලා සුපුරුදු පරිදි වේදිකා නාට්‍ය සමඟින් රට වටා යන්න සූදානම්. ඒ වගේම අලුත් චිත්‍රපටයක රූගත කිරීමේ කටයුතු සඳහාත් දායක වෙන්න යොදා ගෙන තියෙනවා.







0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය