Powered by Blogger.

නර්තනය මගේ ජීවිතයේ කොටසක්‌


පුංචි තිරයේ දිගහැරෙන ටෙලි නාට්‍ය බොහොමයක දඟකාර කටකාර චරිත මවන, විටෙක නපුරු වැඩ කරන ඒ සොඳුරු රුවැත්තිය නිරෝෂා තලගල. මේ ඇගේ සැබෑ ජීවිතය ගැන කෙරුණු කතා බහයි.

කොහොමද නිරෝෂා මේ දවස්‌වල මොනවද කරන්නේ?

මේ දවස්‌වල නම් මම බොහොම කාර්ය බහුලයි. මොකද මේ දිනවල විකාශය වන මුතු පලස, සඳසාවි, ආත්මා සහ රනා යන ටෙලි නාට්‍යවල රූ ගත කිරීම් කෙරෙනවා. ඒ සඳහා සහභාගි වෙන එක තමයි මම විවේකයක්‌ නොලබාම කරන කටයුතු වෙලා තියෙන්නේ.

ඔබ මේ වන විට ටෙලි නාට්‍ය කීයක රඟපා තිබෙනවාද?

මම ටෙලි නාට්‍ය 32 ක විතර රඟපාලා තියෙනවා. ඒ අතර ප්‍රධාන චරිත මෙන්ම අමතර චරිතද බොහොමයක්‌ තිබෙනවා. ඉන් ටෙලි නාට්‍ය තුනහතරක්‌ම ඉදිරියට විකාශය වෙන්නත් තියෙනවා.

ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයට ඔබ පැමිණි ආකාරය කෙසේද?

මම පෙනී සිටි වෙළෙඳ දැන්වීමක්‌ හරහා තමයි මට මුලින්ම ටෙලි නාට්‍යයක රඟපාන්නට ලැබුණේ. ඒ "පබා" නාට්‍යයෙයි. මගේ මුල්ම නාට්‍යයත් එයයි.

වේදිකාවට සහ සිනමාවට කැමැත්තක්‌ නැතිද?

නැතිව නොවේ. බොහොම කැමතියි. මම "සුසීමා" චිත්‍රපටයේ පොඩි චරිතෙකුත් රඟපාලා තියෙනවා. මේ දවස්‌වල චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා. ඒත් ටෙලි නාට්‍ය රංගනයත් සමඟ වෙනත් දෙයකට කාලය යොදා ගන්න එක අපහසු වෙලා තියෙනවා. වේදිකාවටත් එලෙසමයි. වේදිකාවේ රඟපෑමට පෙර පුහුණුවීම් අවශ්‍යමයි. ඒ සඳහා කාලය බොහෝ වැය කරන්නට වෙනවා. ඒ නිසා තමයි මට ඒ දේවල්වලට දායක වෙන්න බැරි වෙලා තියෙන්නේ.

මෙතෙක්‌ ටෙලි නාට්‍යවල රඟ පෑ චරිත සහ රඟපෑමට ආසාවෙන් සිටින චරිත මොනවාද?

මට වැඩිපුර ලැබිලා තියෙන්නේ තරුණ, අහිංසක, දඟකාර, කටකාර චරිත තමයි. ඒත් මම ඉතාම කැමැත්තෙන් ඉන්නවා. මීට වෙනස්‌ මට වඩා වයසින් වැඩි චරිතයක්‌ හෝ යම් පරිණත බවකින් යුක්‌ත ගැඹුරු චරිතයක්‌ රඟපාන්නට ලැබෙනවා නම් එකිනෙකට වෙනස්‌ චරිත තුළින් මගේ හැකියාව වැඩිපුර පෙන්වන්නට හැකි වේ යෑයි මට හිතෙනවා.

ඔබේ පාසල් කාලය ගැන කිව්වොත්?

මම ගියේ මාලබේ රාහුල බාලිකා විද්‍යාලයට. ඒ කාලය ඉතාම සුන්දරයි.

ඔබ සැබෑ ජීවිතයේ මොන වගේ කෙනෙක්‌ද?

මම සැබෑ ජීවිතයේ දී ටිකක්‌ කේන්ති යන නමුත් මොහොතකින් යළි නිවෙන කටකාර කෙනෙක්‌ තමයි.

ක්‍ෂේත්‍රයේ ඔබත් සමඟ සිටින සහෝදර නිළියන්ගේ රඟපෑම් ඔබට අභියෝගයක්‌ වී තිබෙනවාද?

ඔව්. මම හැමදාම හිතන්නේ ඔවුන් මට අභියෝගයක්‌ විදිහට තමයි. අද කොතැන බැලුවත් තිබෙන්නේ තරගයක්‌. ඉතින් රඟපෑමත් තරගයක්‌ විදිහට හිතුවොත් මම මගේ රඟපෑම උපරිම මට්‌ටමෙන් කරන්න උනන්දු වෙනවා. එය මට පමණක්‌ නොවේ, ඕනෑම කෙනෙකුට එලෙසමයි.

ඒ අයත් සමඟ ඔබගේ ඇති බැඳීම කොයිවගේද?

මා සමඟ රඟපෑ සහෝදර නළු නිළියන් සියලු දෙනා සමඟම මම හිතවත්. කිසිදු ප්‍රශ්නයක්‌ හෝ අමනාපයක්‌ කිසිවෙකුත් සමඟ නැහැ.

රංගනය පිළිබඳව ප්‍රවීණයන්ගෙන් සහ වර්තමාන නළු නිළියන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කෙලෙසද?

ඉතාම හොඳයි. ප්‍රවීණයන්ගෙන් බොහොම ගුරුහරුකම් ලැබුණා. ආශිර්වාදය ලැබුණා. එය මට ලොකු ශක්‌තියක්‌ මේ ගමන යන්න. සහෝදර ශිල්පීන්ගෙනුත් වෙනසක්‌ නැතිව බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා.

රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතාම ඉහළයි. ඔවුන් මට බොහොම කැමතියි. හරි ආදරෙයි. මම රඟපාන චරිතය නිසා හෝ මගේ සැබෑ ජීවිතයේදී මා සිටින ආකාරය නිසා හෝ ඔවුන් මට ඉතාම ලැදියි. එය ඇත්තටම සතුටක්‌.

පවුලේ තොරතුරු කිව්වොත්?

මට ඉන්නේ අක්‌කයි නංගියි. ඒ අයගෙන් මට ඉතා හොඳ සහයෝගයක්‌ ලැබෙනවා මේ කටයුත්ත කරගෙන යන්න.

ඔබේ වෘත්තිය රඟපෑම ද?

ඔව්. රඟපෑම තමයි. ඊට අමතරව නර්තනය. නර්තනය මගේ ජීවිතේම කොටසක්‌ වෙලා. ඒ තරමටම එය මට අවශ්‍යයි. ඒ නිසා රඟපෑම අතුරතුර මම කොහොම හරි නර්තන කටයුතුවලට වෙලාවට වෙන්කර ගන්නවා. මගේ ජීවිතය සමබර වෙලා තිබෙන්නේ රඟපෑම සහ නර්තනය යන අංශ දෙකෙන් තමයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය