Powered by Blogger.

මාරක රිය අනතුරෙන් තම දරුවා පමණක් දිවි ගලවාගෙන ඇත්තේ දේව හාස්කමකින් හා දරුවාගේ පෙර පිනකට බව කතරගම රියැ අනතුරෙන් දිවි ගලවාගත් නවහැවිරිදි ජනිත චාතිකර දාබරේ දරුවාගේ මව වන දුලානි මදුශංඛා මහත්මිය පැවැසුවාය. පෙරේදා (19දා) කතරගම නගරයට ආසන්න දෙටගමුව වැවට වෑන් රිය පෙරැළීමෙන් එහි ගමන්ගත් පස්දෙනකු මියගොස් චාතිකර දරුවා පමණක් දිවි ගලවාගෙන තිබිණි.

දිවිගලවා ගත් පුතා ගැන දුලානි අම්මා මෙසේ කීවාය.
වාහනේ හිටපු පස් දෙනාම මොනවා හරි කරලා බේරෙන්න පුළුවන් වයසේ අය. පුතා තමයි හිටපු පුංචිම කෙනා. දරුවා බේරුණේ කතරගම යන්න කලින් කතරගම දෙවියන්ට වුණු බාරය නිසා කියලා තමයි හිතෙන්නේ.

පුතාගේ මූණ විතරයි ඔය අනතුරෙන් තුවාල වෙලා තිබුණේ. වාහනේ හැමෝම නිදාගෙන ඉඳලා තියෙන්නේ. වාහනේ වැවට වැටුණාම ‍ෙදාරවල් ඇරිලා නැහැ. වීදුරු සේරම බිඳිලා පුතා ඒ වීදුරුවකින් රිංගලා පිටතට ඇවිත් තිබුණේ. අපේ පුතා පීනන්න දන්නේ නැහැ. කොහොම හරි අතපය ගහලා පුතා ගොඩට ඇවිත් තියෙනවා. එයාගේ පස්සෙන් ආපු පොඩි දුවව බේරගන්න කියලා පුතා කෑගහලා තිබුණා. ඒත් පුතාට එයාව බේරගන්න බැරිවෙලා.
පුතාගේ වාසනාවට තමයි දරුවා බේරුණේ. අපිටත් තාම හිතාගන්න බැහැ මොකක්ද මේ සිද්ධ වුණේ කියලා. ඇත්තටම හීනයක් වගේ යි මධුශංඛා මහත්මිය වැඩිදුරටත් කීවාය. දිවි බේරාගත් චාතිකර දාබරේ පුතා සිද්ධිය ගැන මෙසේ කියයි.

අපේ නැන්දලා නුවර ඉඳලා අපේ ගෙදර ආවා. නැන්දලාත් එක්ක මමත් කතරගම ආවා. මම ආවේ චූටි අක්කා ළඟ නිදාගෙන. මට ලොකු සද්දයක් ඇහුණා. මම ඇහැරෙන කොට වතුර වළක් දැක්කා. මම උඩට ආවා එතකොට මාමලා වගයක් ආවා මම කිව්වා වෑන් එක වතුරේ තියෙනවා කියලා.

දැඩි මානසික පීඩාවකින් පසු වූ ජනිත චාතිකර දාබරේ දරුවා මම නවගමුව රත්නසිංහ විද්‍යාලයේ 4 වසරේ ඉගෙන ගන්නවා. මම කතරගම ආවේ සියායි නැන්දයි මාමායි චූටි අක්කායි ලොකු අක්කා එක්ක. සීයා තමයි වෑන් එක එළෙව්වේ. අපි හික්කඩුවෙත් ගියා. මම පොඩි අක්කා ළඟ නිදාගත්තා. මම මොකක් වුණාද දන්නේ නැහැ. ලොකු සද්දයක් ඇහුණා. මම එතකොට වතුර තිබුණු වළක හිටියා. මම අමාරුවෙන් නැඟිටලා ආවා. වෑන් එක වතුරේ තිබුණා. පස්සේ මාමලා ඇවිත් මාව ඉස්පිරිතාලෙට අරන් ගියා යැයි චාතිකර දාබරේ දරුවා ඉතාම අපහසුවෙන් පිළිතුරු දුන්නේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය