Powered by Blogger.

කොස්තාපල් පුඤ්ඤසෝම සමඟ උදයකාන්ත හමු වෙමු
උදයකාන්ත වර්ණසූරිය සිනමා පුවත්පතක පාඨකයකු වන ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු චරිතයක් නොවේ. ලාංකේය චිත්‍රපට කලාවට අරුණෝදයේ හසරැලි ගෙන ආ උදය කාන්ත විවිධ ශෛලියේ චිත්‍රපට හරහා අප සිත්මත තැබූ සිහිවටන අමිලය. මෙවර උදයකාන්ත අප හමුවට පැමිණෙන්නේ කොස්තාපල් පුඤ්ඤසෝම හරහාය. මහේන්ද්‍ර පෙරේරා පුඤ්ඤසෝම කරමින් ප්‍රේක්ෂකාගාරයට අපූරු රසයක් රැගෙන පැමිණෙන උදයකාන්ත සරසවිය හමු වූ මොහොතයි මේ.
සුබ අලුත් අවුරුද්දක් වේවා උදය අයියේ. අලුත් වසරක අලුත් වෙනසක්. කොස්තාපල් ළඟ නවතිමු.
මං එදා ඉඳන්ම හැමදාම වෙහෙසුණේ වෙනස්ම වර්ගයේ නිර්මාණ කරන්න. ඒ නිර්මාණ ඒ ඒ කාලයේ ප්‍රේක්ෂකාගාරය ඉතාමත් ඉහළින් පිළිිගත්තා. සිරිපොද වැස්ස වගේ චිත්‍රපට වෙනස්ම ඉසව්වකට ප්‍රේ්ක්ෂකයා රැගෙන යාමට සමත් වුණා.
මෙවර මට උවමනා වුණේ හොඳ හාස්‍ය චිත්‍රපටයක් කරන්න. ඒක මම හිතන තරමට ලෙහෙසි පහසු කටයුත්තක් නොවන වගත් තේරුණා. රූපයෙන් මිනිස්සු හිනැස්සවීම ලේසි නැහැ. ඒක විශාල අභියෝගයක්. මේ අභියෝගය දෝත දරාගෙන තමයි කොස්තාපල් පුඤ්ඤසෝමට අත තිබ්බේ.
බුද්ධියට නිගා නොවෙන ලෙස කතා පුවතක් තුළ ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය ලබාදීම තමයි මගේ අරමුණ වුණේ. මා විසින් මට ලැබුණු අභියෝගය ජය ගත්තා කියලා හිතෙනවා.
කොස්තාපල් පුඤ්ඤසෝමට පණ දෙන්න කොපමණ කල් ගත වුණාද?
ෂූටින්වලට දවස් හතළිහක් විතර ගියා. වසරක් වගේ කාලයකදී තිරයට ගෙනෙන්නටත් හැකි වුණා. මා හිතනවා ඒක මේ වකවානුවේ මා ලැබූ ජයග්‍රහණයක් කියලා.මේ චිත්‍රපටය මි. මි. 35 පටල පටයෙන් ප්‍රක්ෂේපණය කරනු ලබන ලංකාවේ අවසන් චිත්‍රපටය විය හැකියි. ඒකත් මට වටිනවා.
සිනමා ශාලා මණ්ඩලවල අර්බුදය මේ දිනවල ප්‍රචලිත මාතෘකාවක්?
ඔව්. චිත්‍රපට හැදුවට පෙන්වන්න විදිහක් නැතිනම් ඒක වැඩක් නැහැ. වෙලා තියෙන ප්‍රශ්නය මණ්ඩලවලට කීමට නිර්මාණකරුවන්ට යට වෙන්නට සිදු වෙලා තිබෙනවා. අපේ ඉල්ලීම්වලට වඩා ඔවුන්ගේ ඉල්ලිම් බලවත්. ආධුනික නිර්මාණකරුවන්ට මේක ඉතා තදින් බලපානවා. ඒ වගේම ඔවුන්ට මේ ගැටලුවට විශාල වශයෙන් මුහුණ දෙන්නට සිදු වෙනවා. හොඳ චිත්‍රපටයක් කරලා වියදම් කරල ඒක පෙන්වන්න බැරි තත්ත්වයන්ට මුහුණ දුන් අය ඕනෑ තරම් ඉන්නවා. ඒක ඉතාම ඛේදනීය තත්ත්වයක්.
මේ තත්ත්වය යටතේ කලාත්මක චිත්‍රපටවලට විශාල අසාධාරණයක් සිදු වෙනවා. සිනමා ශාලා හා මණ්ඩලවලට ආදායම් අවශ්‍යයි. මේ නිසා කලාත්මක චිත්‍රපට ඉක්මනට ගැලවිලා යනවා.
මෙහෙම ගියොත් කලාත්මක සිනමාව අපේ රට හැරදා යයිද?
ඔව්. සිනමා මණ්ඩල කලාත්මක සිනමා කටයුතුවලට උනන්දු නැහැ. ඉස්සර පස්වන මණ්ඩලය තිබුණා. දැන් ඒකත් නැහැ. සිනමාව විනෝද මාධ්‍යයක් වගේම හැඟීම්බර අරුත්බර දේටත් ඉඩ ලබා දිය යුතුයි. කලාත්මක සිනමාව රැක ගැනීමට රජය මැදිහත් වෙලා යම් සම්මතයකට පැමිණීම මා හිතන්නේ ඉතා වැදගත් කටයුත්තක්. නිර්මාණකරුවන් විදියට රටක කලාත්මක සිනමාව රැකීමට අප හැමෝටම වගකීමක් තිබෙනවා.
දැන් යන්නේ ඉතිහාස කතා රැල්ලක්. උදයකාන්ත වර්ණසූරියත් ඉතිහාස කතාවක් කරාවිද?
ඇත්තටම ඉතිහාස කතාවක් කරන්න මමත් හරි ආසයි. ඒත් තවමත් ඒකට නිෂ්පාදකවරයෙක් හමු වුණේ නැහැ. ස්පාටකස්, ට්‍රෝයි, සෙවන් සමුරායි වගේ ඒව මගේ ජීවිතේ තදින්ම සිත්තම් වෙලා තියෙනවා. මමත් කාලයක් ඉතිහාස කතාවක් කරන්න ආසාවෙන් හිටියා. දුටුගැමුණු චරිතය මට මග හැරුණා. ඒක ජයන්ත ඉතාමත් හොඳට කළා. හොඳ නිෂ්පාදකයෙක් ආරාධනා කළොත් මමත් ඉතිහාස කතාවක් කරනවා. ඒක මේ රාමුවලින් මිදුණු එකක් කරන්න තමයි මං බලාපොරොත්තු වෙන්නේ.
ඔබ ඉතිහාස කතාවක් කරන කොට මේ රැල්ල ගිහිං තියේවි?
මෙහෙමයි. රැලිවලට චිත්‍රපට කරන්න මං තරගකරුවෙක් නෙවෙයි. නමුත් මේ රැල්ල බාල කළොත් රැල්ල නැත්තටම නැති වේවි. ඒ නිසා ඉතා හොඳ උසස් ඉතිහාස කතන්දර මේ රැල්ල පෝෂණය කරාවි. කර්මාන්තයේ ගුණාත්මක බව රැකීම අනාගතයේ සුව සිහින දැකීමට මහෝපකාරී වේවි.
දැන් ආයෙමත් කොස්තාපල් ළඟ නවතිමු. ඇයි මහේන්ද්‍ර වගේ කෙනෙක් මේ චරිතයට තෝරා ගත්තේ?
මේ පිටපත ලියද්දී රොඩ්නි, මහේන්ද්‍ර මගේ ඔළුවේ වැඩ කළා. නමුත් අවසානයේදී මහේන්ද්‍රව මේ චිත්‍රපටය සඳහා දායක කර ගන්න මං තීරණය කළා. ඒකෙදි සංසන්දනයෙන් නෙවෙයි, මහේන්ද්‍ර මේ චරිතයට සාධාරණයක් කරාවි කියලා මට හිතුණා. මේ චරිත ස්වභාවය 100% ගැළපෙන්නේ මහේන්ද්‍රට. මහේන්ද්‍ර මගේ බලාපොරොත්තුව ඉටු කළා.
දැන් හැම තැනම හාස්‍ය චිත්‍රපට. මේක ප්‍රේක්ෂකයා පිළිගනීවි කියලා ඔබට විශ්වාසද?
මෙහෙමයි. හිනා යන කතා හදන එක ලේසියි කියලා හිතලා ඒක කරනවා නම් මිනිස්සු ඒ වගේ බාල චිත්‍රපට පිළිගන්න එකක් නැහැ. නමුත් මම චිත්‍රපට හදන්නේ ප්‍රේක්ෂකාගාරය ඉලක්ක කරගෙන. ඒ නිසා හැමදාම මගේ චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය පිළිගත්තා. මා හිතනවා මෙවරත් ප්‍රේක්ෂකයන් මගේ නිර්මාණය පිළිගනීවි. ඒක මට විශ්වාසයි.
පිටපත් කීයක් දාන්න හිතාගෙන ඉන්නවාද?
පිටපත් 35 ට වඩා දාන්නේ නැහැ. මං තවම ඉන්නේ ඒ ස්ථාවරයේ. මගේ වගේම අනෙක් හැමෝගෙම චිත්‍රපටත් තිරගත විය යුතුයි. නැත්නම් මේ කර්මාන්තය කඩාගෙන වැටේවි.
උදයකාන්ත වර්ණසූරියගෙන් බොහෝ දෙනා බලාපොරොත්තු වෙන්නේ ආදර කතාවක්?
ඔව්. ඒක ඇත්ත. මැරෙන්න මොහොතකට පෙර හරි ආදර කතාවක් කරන්න ආරාධනාවක් ලැබුණොත් ඒක මං පිළිගන්නවා. මගේ ආදර කතාවලට ප්‍රේක්ෂකයන් අතර විශාල ඉල්ලුමක් තිබුණා. දැනටත් ප්‍රේක්ෂක හිතවතුන් හිතවතියන් ඒ ගැන කතා කරනවා. නිෂ්පාදකවරයෙක් ආරාධනා කළොත් ආදර කතාවකටත් මං සූදානම්.
මෙතනින් පස්සේ උදයකාන්ත අපට හමුවන්නේ කොතැනද?
කොස්තාපල් පුඤ්ඤසෝම 02 අරඹන්න අදහසක් තිබෙනවා. ඒ වගේම තවමත් අලුත් චිත්‍රපට පිටපත් කිහිපයක්ම අතේ තියෙනවා. නිෂ්පාදකවරයෙක් කතා කළොත් ඒ කටයුතු වෙනුවෙන් මං සූදානම්.

මහා කවි ශේක්ස්පියර්ගේ 450 වැනි උපන් දිනය සෙනසුරාදා

ශේක්ස්පියර් නාට්‍ය ඇසුරෙන් තැනුණු ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ගැන සොයා බලමු
‘කවුද රජා’ තැනුණේත් ශේක්ස්පියර් කතාවකින්?
කවියෙක්, නාට්‍ය රචකයෙක් ලෙස ලොව පුරා ප්‍රචලිත විලියම් ශේක්ස්පියර් ඉංග්‍රිසි සාහිත්‍යයේ විශිෂ්ඨතම රචකයා ලෙස ද සැළකෙයි. 1564 අප්‍රේල් 26 වැනිදා එංගලන්තයේදී උපත ලද මේ මහා කවියා සිය ජීවිත කාලය පුරා සාහිත්‍ය ලොවට ඉදිරිපත් කළ නිර්මාණ බොහෝය. විලියම් ශේක්ස්පියර් නිර්මාණය කළ නාට්‍ය සංඛ්‍යාව 37 පමණක් වුණත් ඔහුගේ එම නිර්මාණ ඇසුරින් සිනමාවට නැඟුණු සිනමා නිර්මාණ හා රූපවාහිනි කතා මාලා හාරසියයකටත් අධික සංඛ්‍යාවක් වේ. ඒ අනුව ඉංග්‍රීසි සාහිත්‍යයේ විශිෂ්ටතම රචකයා මෙන්ම ලොව වැඩිම චිත්‍රපට ගණනාවකට පදනම් වූ නිර්මාණ රචනා කළ ලේඛකයා වන්නේ ද ඔහුයි. මේ මහා නිර්මාණකරුවා කළ නිර්මාණ අතර හාස්‍ය, ඛේදාන්ත හා ඉතිහාස කතා පදනම් කර ගනිමින් චිත්‍රපට එදා මෙන්ම අදත් නිර්මාණය වෙමින් පවතී.
විලියම් ශේක්ස්පියර් රචනා කළ නාට්‍ය අතර අතිශය ජනාදරයට පත් වූ කතා පුවත වන්නේ ‘රොමියෝ ජුලියට්’ ආදර අන්දරයයි. එදා මෙදාතුර මේ ආදර කතාව පාදක කර ගනිමින් නිර්මාණය කළ චිත්‍රපට බොහෝ වේ. ඒ අතර 1968 වසරේදී ෆ‍්‍රැන්කෝ සෙෆ්‍රිලි අධ්‍යක්ෂණය කළ රොමියෝ ජුලියට් චිත්‍රපටයත්, 1996 වසරේදී ලුහාර්මන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයත්, 2013 වසරේදී කාර්ලෝ කාර්ලි අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයත් ප්‍රධාන වේ. එමෙන්ම සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කර පසුගිය 2013 වසරේදී තිරගත වූ ‘රාම් ලීලා’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ද රොමියෝ ජුලියට් ආදර කතාවයි.
ෆ‍්‍රැන්කෝ සෙෆ‍්‍රිලි අධ්‍යක්ෂණය කළ ‘ද ටේමින්ග් ඔෆ් ද ශෲ’ චිත්‍රපටය ද ශේක්ස්පියර්ගේ එම නමින්ම වු නාට්‍ය ඇසුරින් නිර්මාණය වූවකි. එළිසබෙත් ටේලර්, රිචඩ් බර්ටන් ප්‍රධාන චරිත නිරූපිත මෙම චිත්‍රපටය තිරගත වූයේ 1967 වසරේදීයි. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ ‘කවුද රජා’ චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ද ශේක්ස්පියර්ගේ නාට්‍ය නිර්මාණයේ කතා පුවතයි.
විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය අතර ඉතාමත් ජනප්‍රිය වූ හැම්ලට් නාට්‍ය ඇසුරින් කෙනීත් බ‍්‍රැනා අධ්‍යක්ෂණය කළ හැම්ලට් චිත්‍රපටය තිරගත වූයේ 1996 වසරේදීය. කෙනීත් බ‍්‍රැනා ශේක්ස්පියර්ගේ නාට්‍ය ඇසුරින් චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කළ අධ්‍යක්ෂවරයෙකි. ‘ඈස් යූ ලයික් ඉට්’ චිත්‍රපටය ද එවැනි චිත්‍රපටයකි. ඊට අමතරව ඔහු ශේක්ස්පියර්ගේ නිර්මාණයක් ඇසුරින් කළ චිත්‍රපටයක් වන්නේ ‘මච් ඇඩෝ අබවුට් නතින්ග්’ චිත්‍රපටයයි. ජෝස් වෙඩොන් මේ නමින්ම තවත් චිත්‍රපටයක් 2012 වසරේදී අධ්‍යක්ෂණය කළේය.
විලියම් ශේක්ස්පියර්ගේ ‘ද මර්චන්ට් ඔෆ් වෙනිස්’ නාට්‍ය ඇසුරින් නිර්මාණය වූ ද මර්චන්ට් ඔෆ් වෙනිස් චිත්‍රපටය තිරගත වූයේ 2004 වසරේදීය. මයිකල් රැඩොල්ෆ් එය අධ්‍යක්ෂණය කළේය. ශේක්ස්පියර්ගේ නාට්‍ය නිර්මාණ අතර ප්‍රකට මැක්බත් වේදිකා නාට්‍යය ඇසුරින්ද චිත්‍රපට රැසක් සිනමාවට නැඟුණි. ඒ අතර පළමු ස්ථානය හිමි වන්නේ රොමාන් පොලන්ස්ති අධ්‍යක්ෂණය කළ මැක්බත් චිත්‍රපටයටය. එය තිරගත වූයේ 1971 වසරේදීය. ජොෆ්රි රයිට් අධ්‍යක්ෂණය කළ මැක්බත් චිත්‍රපටය 2006 වසරේදී තිරගත කෙරිණි. ජපානයේ අකිර කුරොසවා ද ත්‍රෝන් ඔෆ් බ්ලඩ් නිර්මාණය කළේ ද මැක්බත් ඇසුරිනි. රැල්ෆ් ෆයිනෙස් අධ්‍යක්ෂණය කළ කොරියොලානස් චිත්‍රපටයට පදනම් වන්නේ ද ශේක්ස්පියර්ගේ කොරියොලානස් නාට්‍ය නිර්මාණයයි. රැල්ෆ් ෆයිනෙස් සමඟින් ජෙරාඩ් බට්ලස්, වැනේසා රෙඩ්ග්‍රේට් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
රංගන ශිල්පියෙකු වටා ගෙතුණු කතා පුවතක් ගෙන එන ‘අ ඩබල් ලයිෆ්’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ ද ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයි. මෙම චිත්‍රපටය තිරගත වූයේ 1947 වසරේදීය. රොබට් වයිස් සහ ජෙරම් රොබින්ස් අධ්‍යක්ෂණය කළ ‘වෙස්ට් සයිඩ් ස්ටෝරි’ චිත්‍රපටයට පාදක වන්නේ ද රෝමියෝ ජුලියට් කතා පුවතයි. 1961 වසරේ තිරගත වූ එය එම වසරේ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතර දෙවැනි ස්ථානයට හිමිකම් කීවේය. නටාලි වුඩ්, රිචඩ් බේමර්, රීටා මොරෙනෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වූහ. 2006 වසරේදී තිරගත වූ ආදරය මෙන්ම හාස්‍ය ද රැගත් චිත්‍රපටයක් වන ‘ෂි ඊස් ද මෑන්’ චිත්‍රපටය පදනම් කරගෙන තිබෙන්නේ ශේක්ස්පියර්ගේ ‘ටුවෙල්ත් නයිට්’ නාට්‍ය නිර්මාණයයි.
1956 වසරේ තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන ‘ෆෙ‍්‍රාබිඩ්න් ප්ලැනට්’ චිත්‍රපටයේ චරිතවලට ද පාදකව ඇත්තේ ශේක්ස්පියර්ගේ ‘ද ටෙම්පෙස්ට්’ නාට්‍යයි. ෆෙ‍්‍රාබිඩ්න් ප්ලැනට් අධ්‍යක්ෂණය ෆෙ‍්‍රඩ් එමි විල්කොක්ස් විසිනි. අකිර කුරසෝවා අධ්‍යක්ෂණය කළ ජපන් චිත්‍රපටයක් වන ‘රන්’ චිත්‍රපටයට පදනම් වී ඇත්තේ ද විලියම් ශේක්ස්පියර්ගේ ශෝකාන්ත නාට්‍යයක් වන ‘කිනිග් ලියර්’ නාට්‍යයි. 1985 වසරේදී තිරගත වූ මෙය කුරසෝවාගේ අවසන් වීර කාව්‍ය ද වේ. විවිධ සංගීත ශෛලීන්ගෙන් රසවත් වූ ‘ඕ’ චිත්‍රපටයට පාදකව ඇත්තේ ද ශේක්ස්පියර්ගේ ඔතෙලෝ නාට්‍යයයි. එමෙන්ම සංගීතමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන ‘ද ලයන් කිංග්’ චිත්‍රපටයට පදනම් වන්නේ ද හැම්ලට් නාට්‍යයයි.
විලියම් ශෙක්ස්පියර් නම් වූ මේ මහා නිර්මාණකරුවාගේ නිර්මාණ ඇසුරින් අද දක්වා බිහි වූ සිනමා නිර්මාණ සංඛ්‍යාව ඉතා විශාලය. එදාට මෙන්ම අදටත්, හෙටටත් ගැළපෙන අයුරින් වූ ඔහුගේ අගනා නිර්මාණ තුළින් අනාගතයේදී ද තවත් බොහෝ නිර්මාණ බිහිවනු ඇත.
හැම්ලට්
ද ලයන් කිංග්
කවුද රජා
මැක්බත්
රාම් ලීලා
රන්
ද මර්චන්ට් ඔෆ් වෙනිස්
 
 

මේ ගුවන් විදුලි වෙළෙඳ සේවයයි ජ්‍යෙෂ්ඨම ශිල්පියාට 88 යි

ආරියදාස පීරිස්
උසාවියේ කොමසාරිස්වරයකු වුවත් ආරියදාස පීරිස් මහතාගේ හදවත තිබුණේ සරස්වතී දේවියගේ තුරුලේය. එනිසාමදෝ දෛවය ඔහුට නිසි තැනට පාර කැපුවේය. මැකලම් වීදිය දිගේ පැරැණි නෝර්ට්න් බයිසිකලය පදවාගෙන යන විට හිටි අඩියේම ආරියදාස මහතාගේ බයිසිකලය නතර විය. බයිසිකලය නතර කිරීමට තිබූ සුදුසුම තැන නැෂනල් තියෙටර් (පසුව ගාමිණී හෝල් නමින් ප්‍රකට විය) නිසා බයිසිකලය ඔහු එතැනට තල්ලු කරගෙන ගියේය.
එහි අතුරු සිදුරු නැතිව සෙනඟ පිරී සිටින බව දුටු ඔහුට කාරණය දැනගන්නා තුරු සැනසිල්ලක් නොතිබිණි. එසේ රැස්ව සිටින්නේ නළුවන් තෝරා ගැනීමේ පරීක්ෂණයකට බව දැනගත් විගසම ඔහු ද ඒ පෝලිමට එක් විය. එහි සිටි ඔහු වැනිම වූ තවත් කඩවසම් හාදයෙක් ද එදා මිතුරකු බවට පත් විය. ඒ මිතුරා පසුව නළුවකු, ගායකයකු ලෙස ජනප්‍රිය වූ කිංස්ලි ජයසේකරයි. (‘මොනවද අම්මේ අකුරු ජාතියක්’ ගැයුවේ ඔහුයි) දෙදෙනාම පරීක්ෂණයෙන් සමත් වූයේය. ඔවුන්ගේ රංගනය විනිශ්චය කළේ ලැඩී රණසිංහ නම් එකල කලා ලොවේ සිටි අති දැවැන්තයායි.
ආරියදාස පීරිස් තරුණයාගේ රංගනය ‘කුරුලු බැද්ද’ සිනමාපටයේ වෛද්‍යවරයකුගේ චරිතයටත් (දයානන්ද ගුණවර්ධන සමඟ සිටි අනෙක් වෛද්‍යවරයා) පෙරකදෝරු බෑණා, මර හඬ වැනි වේදිකා නාට්‍ය දෙක තුනක චරිතවලටත් සීමා විය. ‘දේව සුන්දරී’ සිනමාපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුයි.
ආරියදාස මහතාගේ රංගන ජීවිතයට ලොකුම බාධකය එල්ල වූයේ ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තම පෙරැළියකට ජීවය සපයන්නට සිදු වූ නිසයි. ඒ ලංකා ගුවන් විදුලි සේවයේ වෙළෙඳ සේවයට මුල පිරුණු කාල වකවානුවයි. ඔස්ට්‍රේලියානු ජාතික ක්ලිෆඩ් ආර්. ඩොට් එහි අධ්‍යක්ෂ ධුරය හෙබවූවේය. ලැඩී රණසිංහ මහතා ද ඉහළ නිලධාරියකු විය. සිංහල බසින් චතුර ලෙස වචන හැසිරවීමට වාගේම ඉංග්‍රීසි සහ දමිළ භාෂාව ද හොඳින්ම දත් ආරියදාස තරුණයා, වෙළෙඳ සේවයේ සිංහල නිවේදකයාගේ අඩුව අපූරුවට ඌන පූරණය කළේය. ලැඩී රණසිංහ මහතාගේ දක්ෂයන් හඳුනා ගැනීමේ පුදුමාකාර ඉව නිසා රංගනයට පැමිණි ආරියදාස, 1951දී නිවේදකයකු බවට පත් විය.
කොහොමටත් ගුවන් විදුලිය ඔහුට නුහුරු නුපුරුදු තැනක් නොවීය. කොටා රෝඩ් හි රේඩියෝ සිලෝන් තිබූ කාලයේ කොලු ගැටයකුව සිටි ඔහු පැමිණ ගී කිහිපයක්ම තැටිගත කර තිබිණි.
කෙසේ වුවත් ආරියදාස මහතාට වෙළෙඳ සේ්වයේ තනතුර සැබෑම අභියෝගයක් විය. මුද්‍රිත මාධ්‍යයෙන් මේ අලුත් ගුවන් විදුලි සේවයේ ආරම්භය උපන් ගෙයිම මරා දැමීමට පහර පිට පහර පෑනින් එල්ල කළේය. ඇමැතිතුමා දැන්වීමක් පැය හතළිස් අටක් ඇතුළත නොගෙනාවොත් වෙළෙඳ සේවය වසා දමන බවට අභියෝග කළේය. දැන්වීම සෙවීම භාර වූයේත් කෝකටත් තෛලය මෙන් සිටි ආරියදාස පීරිස් තරුණයාටමය. ‘කෙසේ හෝ දැන්වීමක් රැගෙන එන්න’ යන ක්ලිෆඩ් අධ්‍යක්ෂවරයාගේ අනින් තරුණයා කොටුවේ වීදියක්, වීදියක් ගණනේ සැරිසැරුවේය. පුවත්පතක මුද්‍රණය වන දැන්වීමක ඇති බලය සුළෙඟ් පාවී යන දැන්වීමක නැති බව බොහෝ දැන්වීම්කරුවන්ගේ අදහස විය.
ආරියදාස තරුණයාගේ දෙපා අවසානයේදී නතර වූයේ ‘වීරරත්න සහෝදයෝ’ සමාගම අසලයි. ෆාවේලුබා නම් ඔරලෝසු ගෙන්වන සමාගමක් වූ එහි ප්‍රධානියා සමඟ තරුණයාගේ තරමක මිතුදමක් තිබිණි. එහෙත් ඔහු අදි මදි කරමින් ආරියදාස මඟ හැරීමට උත්සාහ කළේය. තරුණයා උත්සාහය අත්හැරියේ නැත. රෑ බෝවන තුරුත් වීරරත්න සහෝදරයෝ සමාගමට වී ප්‍රධානියා එනතුරු බලා සිටියේය. රාත්‍රී දහයට ප්‍රධානියා පැමිණියේය. අන්තිමට ඔහු ගැලවීමක් නැති නිසාම කුඩා දැන්වීමකින් සගයාට සංග්‍රහ කළේය. ආරියදාස ගුවන් විදුලි සංස්ථාවට යන විට රාත්‍රී දොළහේ කනිසමට තිබුණේ අඩ පැයකි.
එක් කුඩා දැන්වීමක් හෝ රැගෙන පැමිණ ඇති බව දැනගත් විට ක්ලිෆඩ් අධ්‍යක්ෂවරයාගේ මුහුණට සිනා පොදක් එක් විය. වැඩසටහන් අතරතුර විනාඩි පහෙන් පහට දැන්වීම ප්‍රචාරය කිරීමට අධ්‍යක්ෂවරයා පියවර ගත්තේය. ඇමැතිතුමා පෙරවරු එකොළහට කතා කළ විට දැන්වීමක් ලැබුණු බවත්, වෙළෙඳ සේවය වසා දැමුවොත් අනුග්‍රාහක භවතාට විශාල වන්දියක් රජයෙන් ගෙවීමට සිදුවන බවත් පැවසීය. එය රජයට දැවැන්ත පාඩුවක් නිසා වෙළෙඳ සේවය වසා දැමීමේ අදහස ද එතැනින්ම නතර විණි. ඉන් පසු වෙළෙඳ සේවයට දැන්වීම්වලින් අඩුවක් නොවීය. වීරරත්න සහෝදරයන්ට පසු ඉතිරි ඔරලෝසු සමාගම් දැන්වීම් ලබා දුන්නේ තරගයකට වාගෙයි.
ආරියදාස මහතා වෙළෙඳ සේවයේ කොඳු නාරටිය බවට පත් විය. පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය, විනාඩියක් පමණයි, ඔව් නෑ බෑ, විසි පැන, එඩීගෙන් අහන්න, රිදී සීනු, පැන පොඩි වැනි ඔහු අසන්නන් වෙත ගෙන ආ වැඩ සටහන් කෙතරම් ජනප්‍රිය වූවා ද කිවහොත් ජනතාව ස්වදේශීය සේවයට සවන් දුන්නේ ප්‍රවෘත්ති ඇසීමට පමණයි. වෙළෙඳ ;ස්වයට සවන්දීම සඳහා සෑම නිවෙසකම වාගේ රෙඩිෆියුෂන් යන්ත්‍රයක් සවිකර තිබිණි. යන්ත්‍රය සඳහා මාසිකව ගෙවිය යුතු වූයේ රුපියල් හතයි පනහක් පමණි.
අද වන විට විද්‍යුත් නාළිකාවලින් විකාශය වන වැඩසටහන් බොහොමයකටම පාර කැපුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතායි කීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. ඒ ගැන ඔහුට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.
‘පිබිදෙන ගායක පරපුර’ අද තියෙන ‘ස්්ටාර්’ තරගවලට සමානයි. ජෝතිපාල, මිල්ටන්, මල්කාන්ති, රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි වැන්නන් බිහි වුණේ ඒ වැඩසටහන නිසයි.
විසි පැන වැඩ සටහනේදී දැන් විකාශය කරන දැනුම මිනුම වැඩසටහන්වලදී වාගේම පිළිතුරෙන් පිළිතුරට මුදල් ලැබුණා. පළමුවැනි ප්‍රශ්නයට රුපියල් පහයි. දෙවැනි ප්‍රශ්නයට හතයි පනහයි.
අපි විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දැවැන්ත සංගීත ප්‍රසංග පැවැත්වූවා. එක සංගීත ප්‍රසංගයකින් රුපියල් දාසය දාහක් ලැබුණා.
ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේදී බයිලා තරගයක් පළමුවරට පැවැත්වූවා. ඒ තරගය මතක් වෙන කොට අදටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා. තරගෙට පැමිණි ගායකයන්ගෙන් කලිසම් ඇඳලා හිටියේ වොලී බැස්ටියන් පමණයි. සරම් ඇඳපු අය විනිශ්චය මණ්ඩලය වොලීට පළමුතැන දේවියි හිතුවා. එහෙම හිතලා වීදුරු බෝතල්, කම්බි, ගල් ඔක්කොම ගෙනත් තිබුණා. ගැහුවා නම් මුලින්ම වදින්නේ මට. වාසනාවකට විනිශ්චය මණ්ඩලය තෝරලා තිබුණේ සරම් ඇඳපු කෙනෙක්. අධ්‍යක්ෂතුමා ආයෙ නම් බයිලා තරග තියන්න දුන්නේ නැහැ.’
මාධ්‍යවේදියකු ලෙස යුග යුග බැඳි පනස් එක් වසරක අත්දැකීම් ඇති ඔහු නව පරපුර කෙරෙහි සුබවාදීය. එහෙත් ඔවුනට වැදගත් වන එක් පණිවුඩයක් ආරියදාස මහතාගේ මේ කෙටි වදන් පෙළෙහි පරිපූර්ණවම අන්තර්ගතය. ‘අද දක්ෂතා ඇති අය ඉන්නවා. ඒත් ඒ අය අතර අපේ මුල්ම නිළි රැජන රුක්මණී දේවිය වැනි නිහතමානීකමින් අග තැන්පත් කලාකාරියන්, කලාකරුවන් නැහැ.’
ජීවිතයේ අනූ වැනි දශකයට ඇත්තේ තවත් දෑවුරුද්දක් පමණක් වුවත්, අද ද ආරියදාස පීරිස් හඬ ගුවනින් ඇසෙයි. ඉරිදා හිරු මුදුන් වු හෝරාවේදී ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන ‘රිදී රේඛා’ වැඩසටහන පණ ගැන්වෙන්නේ ඔහුගේ හඬිනි. හඩ්සන් සමරසිංහ සභාපතිවරයාගේ ඉල්ලීම මත ‘රිදී රේඛාවෙන්’ මුළු සිංහල සිනමා වංශ කථාවම ඔහු ගුවනින් දිග හරින්නේ සිනමාවට ළමා වියේ සිට බැඳි ළෙන්ගතුකමත් සමඟිනි.
රැ¼ගුම් පාලක මණ්ඩලයේත්, රූපවාහිනී නාළිකාවලට විදෙස් නාට්‍ය අනුමත කිරීමේ මණ්ඩලයෙත් සාමාජිකයකු වන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ආචාර්ය ආරියදාස පීරිස් අප්‍රේල් 30 වැනි දිනට අසූ අට වැනි වියට පා තබයි. එනම් තවත් වසරකින් ඔහු තාරුණ්‍යයට සමීප වෙයි. ඒ සැබෑ මාධ්‍යවේදියකුගේ ස්වභාවයයි. සරසවියේ පැතුම ද අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට එකසිය විසි වසකින් ආයුබෝ වේවා කියායි.

මෙහෙමත් චාන්ස්

මේ නම් තරුවකට ඉබ්බා දියේ දැමූ විට ඇන්නාවේ කියනවාක් හා සමාන කාර්යයකි. ‘කාන්චි’ රූගත කිරිමේදී කාතික් අර්යාන් මුහුණ පෑවේ එවන් අත්දැකීමකටය.
කාතික්ට තිරයේ පෙම්වතිය මිෂ්ති මුඛර්ජිට සියයට සියයක්ම අධ්‍යක්ෂවරයා සෑහීමට පත්වෙන ලෙස හාදු දීමට තිස් වරක්ම උචත්සාහ කිරීමට සිදු වී තිබේ.
මේ නවක තාරකා යුවළ අතර තිරයෙන් බැහැරව සැබෑ ජීවිතයේදීත් ආදරයක් දලුලා ඇති බවට කථාවක් පවතී. එය සැබෑවක් නම් කාතික් සහ මිෂ්තිට තිස් වරක්ම හාදු දර්ශන රූගත කිරීමට සිදුවීම සොඳුරු අත්දැකීමක් නොවන්නේ කෙසේද?










තට්ටු හතළිහක මුදුනට ගිය සල්මන්

වැඩිම ඉල්ලුමක් ඇති බොලිවුඩ් තනිකඩයකු උසම ගොඩනැගිල්ලක හතළිස් වැනි තට්ටුවේ එල්ලීම තරුණියන්ට මොන තරම් අසුබ පුවතක්ද? එහෙත් වාසනාවකට සල්මන් මෙසේ හතළිස් වැනි තට්ටුවේ එල්ලී තිබෙන්නේ සියදිවි නසා ගැනීමට නම් නොවෙයි. සජිඩ් නදියද්වාලාගේ ‘කික්’ සිනමාපටයේ රූගත කිරීමක් සඳහායි.
පෝලන්තයේ උසම ගොඩනැගිල්ලේ ඔහු මෙසේ එල්ලී තිබේ. එය එරට සංස්කෘතික සහ විද්‍යා මන්දිරයයි. වෙනත් ආදේශක නළුවකු යොදා නොගෙන තමන්ම දර්ශනයට පෙනී සිටිය යුතු බව සල්මන් තීරණය කළ විට, කොයි කවුරුත් පුදුමයට පත් වී ඇත.
තට්ටු ගොඩනැගිල්ලේ දර්ශනය පුරා පැය පහක් රූගත කෙරුණු අතර මුළු සිනමා කණ්ඩායමම ඔහුගේ ජවනිකාව රූගත කෙරෙන තුරු ආරක්ෂක කූඩාරම් සහිතව සිටි බව කියවේ. රූගත කිරීම අවසන් වූ පසු අවට රැස් වී සිටි ඔහුගේ රසික ප්‍රජාව තිරයේ වීරයා සැබෑම වීරයෙක් වීමේ සතුටට ඔල්වරසන් හඬ දී තිබේ.
‘කික්’ සිනමාපටය 2009 වසරේදී ඒ නමින්ම තිරගත වූ සිනමාපටයේ ප්‍රති නිර්මාණයකි. මෙහි ඔහුගේ පෙම්වතිය හෙවත් ප්‍රධාන තාරකාව ලෙස රඟන්නේ අපේ ජැකලින් ෆර්නැන්ඩස්ය.

මාළිගාව අලුත් කරන කරීනා

එක් තැන් වුවත් රංගනය ඔවුන් දෙතැනකට සෑම විටම කොටුකර තැබූ නිසා ‘කැදැල්ලේ කිරිල්ලිය’ වීමට කරීනා කපූර්ට ඉඩක් ලැබුණේම නැත. ඇයත් සායිෆ් අලිඛානුත් නීතියෙන් එක් වී දෙවසරක් ගතවෙමින් තිබුණ ද, ගේ දොර ගැන යම් තරමකට හෝ සිතන්නට කරීනාට කාලය ලැබී ඇත්තේ දැන්ය.
‘සිංහම් 2’ සිනමාපටය සහ දැන්වීම් රූගත කිරීම් අතරවාරයේ ලද අස්වැසිල්ලෙන් ඇය නැන්දණිය, ෂර්මිලා තාගෝර් සමඟ එක් වී දෙදෙනාගේ කැමැත්තට අනුව නිවෙස සොඳුරු කැදැල්ලක් කිරීමට වෙහෙසෙමින් සිටින්නීය. එහෙත් එය එසේ මෙසේ කටයුත්තක් නොවෙයි.
කරීනාගේ සැමියා නළුවකු පමණක් නොව සැබෑවටම කුමරකු වූ නිසා ඇයගේ කැදැල්ල, මාළිගාවකි. එහි ඇති නිදන කාමර ගණන දහයකි. පතාවුදි මාළිගයට වඩාත් ගාම්භීර පෙනුමක් ලබාදීමට ඇයට ලැබී තිබුණේ දෙදිනක සුළු කාලයක් පමණි.
කරීනගේ කල් ක්‍රියාවට, නෑනණ්ඩිය සෝහා අලිඛාන්ගෙන් (සායිෆ්ගේ නැගණියගෙන්) නොමඳ පැසසුම් නිරතුරුවම හිමි වෙයි. කරීනා ද ඇයට සලකන්නේ ද නෑනණ්ඩියකට මෙන් නොවෙයි. ‘අපි ඉතාමත්ම නවීකරණය වූ පවුලක්. සෝහායි මායි කෙතරම් සමීප ද? අපට වචනයක්වත් කතා කරන්න නොලැබුණොත් ඒ කාර්යය බහුලකම නිසාම පමණයි.’
පතාවුදි නිවෙසේ නෑනණ්ඩියන් අතර කෙතරම් සමීප මිත්‍රත්වයක් තිබුණ ද, කතා කරන මාතෘකා සම්බන්ධව නීතියක් ද තිබේ. ඒ බොලිවුඩය ගැනත්, තරු ගැනත් කතා නොකිරීමට පනවා ඇති නීතියයි.
විවාහය නිසා කරීනාගේ පෙර ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල වූයේ නැත. සායිෆ් ද තවමත් නොවෙනස්ය. මේ තත්ත්වය දිගටම පවතීවායි කරීනා නිතරතම පතන්නීය. මාධ්‍ය හා රසිකයන් විවාහයෙන් පසු සිදු වූ වෙනස ගැන විමසද්දී කරීනා දැඩි අපහසුතාවකට පත් වන්නේ නොවෙනස් බව නිසාමයි. ආදරයටත්, වෘත්තියටත් කරීනා මෙන්ම සායිෆ් ද එකසේ ඇලුම් කරයි. මුල්තැන් දෙයි.
කරීනා, නැන්දණිය ෂර්මිලා තාගෝර්ගේ රසිකාවකි. ඇය රැඟූ ‘අමර් ප්‍රේම්’ සිනමාපටයට ඇය ඉතා කැමැතිය. සායිෆ් කෙතරම් සුරුපී තාරකාවන්ට තිරයේ පෙම් කළත්, එය ද ඇයට ගැටලුවක් නොවෙයි. කරීනා, සායිෆ්ට තිරයේදී වඩාත් ගැළපෙන තාරකාව සේ දකින්නේ සෝනාක්ෂි සිංය. ‘බුලට් රාජා’ හි සෝනක්ෂිගේත්, සායිෆ්ගේ රැඟූමට කරීනා මහත් සේ ඇලුම් කරන්නීය.




බච්චන්ගේ අලුත් වෙනස

‘පා’ සිනමාපටයේ අමිතාබ් බච්චන්ගේ අසාමාන්‍ය ලෙස වෙස් ගැන් වූ මුහුණ කිසිවකුගේ මතකයෙන් බැහැර නොවන්නකි. ඔහු යළිත් එවැනිම අපූරු වෙනසකට සූදානම් වෙයි. උමේෂ් ෂුක්ලාගේ ‘102 නොට් අවුට්’ සිනමාපටයේ ඔහු රඟන්නේ ලොව වයස්ගතම පුද්ගලයා වීමට වෙර දරන එකසිය දෙහැවිරිදි පුද්ගලයකුගේ චරිතයකි.
‘පා’ සිනමාපටයේ අමිතාබ් රැඟුවේ දොළොස් හැවිරිදි ජානමය වශයෙන් රෝගී දරුවකුගේ චරිතයකි. හොලිවුඩයෙන් කැඳ වූ විශේෂ වේශ නිරූපණ ශිල්පීන්ගේ සහාය එහිදී ලබාගෙන තිබේ.
එම වේශ නිරූපණය සම්පූර්ණ කිරීමට පැය තුන හතරක කාලයක් ගත වී ඇත. මෙවර ද ඔහු එකසිය දෙහැවිරිදි පෙනුම ලබාදීමට හොලිවුඩ් වේශ නිරූපණ ශිල්පීන් කැඳවීමට නියමිතය. බොලිවුඩයේ රංගනයට හොලිවුඩයෙන් ලැබෙන පෙනුම තවත් අපූරු සුසංයෝගයක් වනු නිසැකයි.
  


අවුරුදු හතළිස්පහට වැඩි උදවියගෙන් මට ඉහළ ප්‍රතිචාර

රංගන ශිල්පී චමින්ද වික්‍රමසිංහ
ජොශප් ජෙරම් පෙරේරා, අධ්‍යක්ෂණය කරන පබසරා ටෙලි සිතුවම මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වනවා. එය නරඹන ඔබට එහි සේනගේ චරිතයට පණපොවන මේ රංගන ශිල්පියාව නිසැකවම නෙත ගැටී ඇති. නමින් චමින්ද වික්‍රමසිංහ වන ඔහු තරු පිරි අහසෙහි භාරත වෙමින් අසීමිතව රසික ආදරය දිනාගත්තා. භාරතව කොතෙක් ජනපි‍්‍රය වුණා දැයි පැවසුවොත් ඔහුව ඇතැම් අවස්ථාවලදී චමින්ද වෙනුවට භාරත වික්‍රමසිංහ ලෙසද හඳුන්වා දුන්නා. චමින්ද ඒ නමට වඩාත් පි‍්‍රයකරන බව කියමින් මේ සංවාදය මෙසේ ආරම්භ කළා.
මම ෆේස් බුක් එකවුන්ට් එකක් හැදුවා භාරත වික්‍රමසිංහ නමින්. මාර විදියට ප්‍රතිචාර තියෙනවා. දැන් සමහර අය හිතාගෙන ඉන්නෙ මගෙ ඇත්ත නම ඒක කියලා. මගෙත් අකැමැත්තක් නැහැ. භාරත වික්‍රමසිංහ කියන නමට.
හැබැයි චමින්ද එතකොට කෙනකුට හිතෙන්න පුළුවන් ඔබට මුල අමතක වෙලා කියලා?
නම වෙනස්වුණු පමණින් පුද්ගලයා වෙනස් වෙන්නෙ නැහැනෙ. විවේකයක් ලැබුණු ගමන් නුවර පේරාදෙණිය මගෙ ගමට යනවා. ගමේ ගියාම බේරිල්ලක් නැහැ. ගමේ හිතවතුන්ගෙන් මුළුගෙයම පිරෙනවා. මුල අමතක වෙලානම් එහෙම වෙන්නේ නැහැනේ.
කොහොමද සේනට ලැබෙන ප්‍රතිචාර?
නිමක් නැතිතරමට ප්‍රතිචාර වැහි වහිනවා. සේන කියන්නෙ චිත්‍රපට පිස්සෙක්නේ. රඟපාන්න පුදුමාකාර ආසාවකින් ඉන්නේ. ජෝතිපාල වැනි සිනමාවේ දැවැන්තයින් අනුකරණය කරනවා. අවසානයේ කොහොමහරි ඒ හීනය සැබැකරගන්නවා. හරියට මං වගේ.
ඒ කිව්වේ?
මාත් කාලයක් නළුවෙක් වෙන්න හීන මැව්වා. දහසකුත් බලාපොරොත්තු තියාගෙන ලොකේෂන්වල කරක් ගැහැව්වා. මේකප් දාගෙන උදේ ඉඳලා හවස් වෙනකම්ම ඉඳලා රඟපාන්නට අවස්ථා නැතුව හැරිලා ගියා. සේන මං වගේ කිව්වේ ඒ හින්දා.
අද වෙනකොට ඔබ ජනපි‍්‍රය නළුවෙක්?
ඒ මං කාපු කටුවල ප්‍රතිඵල. මං නිෂ්පාදකවරයකු වුණා. ඉදිරියේ දී තවත් නාට්‍යක් පටන් ගන්නවා. එදා මම හොයාගෙන ගිය ඇතැම් පුද්ගලයින් අද මාව හොයාගෙන එනවා. හැබැයි මට දීපු වේදනා ඔවුන්ට නම් දෙන්නේ නැහැ.
චමින්ද ගොඩක් අවස්ථාවන්වලදී රඟපැවේ මැර චරිත?
ස්වරූපය නිසානෙ මල්ලී, මම හිතන්නෙ මාව මැරයට හොඳට ගැලපෙනවා ඇති. මෙහෙම කතා කරද්දී මට හොඳ සිද්ධියක් මතක් වුණා. අනුර මාධව ජයසේකර මහත්මයාගෙ සඳට අහස ආදරෙයි නාට්‍යයේ මම මිනිමරුවෙක්. ඒක විකාශනය වන කාලෙ මට පුද්ගලික අවශ්‍යතාවයකට යමින් සිටියා. පාරෙ හිටපු වයසක ආච්චි කෙනෙක් ළඟට ඇවිත් කෙළ ගැහැව්වානේ.
“නොදෝකිං මේ වගේ කාලකන්නි, තොපිලව හිරේ දාන් ඕන.” කිය කිය බැන්නා. එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ මම ඇත්තටම මිනීමරුවෙක් කියලා.
චමින්දට වැඩිපුරම ප්‍රතිචාර තියෙන්නේ වයසක අයගෙන් වගේ?
අනේ ඔව්, අවුරුදු හතළිස්පහට වැඩි උදවියගෙන් තමයි හුඟක් ප්‍රතිචාර තියෙන්නේ.
පබසරා රඟපාන්න ගිහින් වතුරත් එක්ක බත් කාපු සිද්ධිය මතක් කරමුද?
ඒක තමයි මරු වැඩේ
අපි නැවතිලා ඉන්න තැන ඉඳලා රූගත කරන තැනට ටිකක් දුරයි. පොඩ්ඩක් කැලෑ බඳ ප්‍රදේශයක් සමහර රූගත කිරීම් සිද්ධ වුණේ. ඉතින් අපි ලොජ් එකේ ඉඳලා ලොකේෂන් එකට කෑම අරගෙන එනවා. ඔළුව උඩතියාගෙනයි කෑම එහෙම ගෙන්නේ. ඔන්න දවසක් අපි කෑම අරගෙන එද්දී වැස්සනේ. පුළු පුළුවන් විදිහට ඒවාට වතුර යන්න නොදී ආරක්ෂා කළා. මොර සුරන වැස්සේ අපිව හොඳටම තෙමුනා. අන්තිමේ බලද්දී ඩිංග ඩිංග කෑමවලට වතුර ගිහින්. බත් ආයේත් ඉව්වා වගේ. මොනවා කරන්නද ආයේ කෑම ගෙන එන්න වේලාවක් තිබුණේ නැහැ. අපි දිය බත් තමයි එදා කෑවේ.
චමින්ද අද ඉන්න තැන ගැන සෑහිමකට පත්වෙනවද?
ඔව්. බොහෝ කැපකිරීම් කරලා දුෂ්කර ගමනක ඇවිත් මේ ඉන්න තැන ගැන බොහොම තෘප්තිමත් විවාධාකාර වු චරිත කරන්න මගෙ ඇල්මක් තියනවා. අද වන විට මම මැර චරිතවලට වඩා වෙනස් චරිත කිහිපයක් කරලා චරිතාංග නළුවකු වීමේ උත්සාහයකයි නියැලෙන්නේ. බලමු කොහොමද ඒ උත්සාහය සාර්ථක වන්නේ කියලා.
චමින්දට මෙගා හොඳද?
නාට්‍යකට කතා කළාම ඒක දිගුද කොටද කියන ඒක නෙවෙයි ලැබෙන චරිතයයි මට වැදගත්. අප ජනපි‍්‍රය වන්නේ ආරාධනා ලැබෙන චරිතය හරියට කළාම. අද වන විට ප්‍රේක්ෂකයා තමන්ව ග්‍රහණය කරගත්තම සමත්වන නාට්‍යක් තමයි බලන්නේ. ඒක මෙගා එකක් වන්නට පුළුවන්. එහෙනම් තත්ත්වයක් මත ලොකු ප්‍රතිපත්ති තියාගෙන රංගනයේ යෙදෙන්න අමාරුයි.
චමින්දට තුති පුදන්නත් පිරිසක් ඇති?
ස්වාධීන රූපවාහිනියේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න ඇතුළු එහි කාර්ය මණ්ඩලයට සහ මොහාන් නිසාස්, ජෝශප් පෙරම්, ආචාර්ය ජගත් විජේනායක, සරත් දික්කුඹුර, අජිත් ලොකුගේ යන මහත්වරුන්ට තුති පුදනවා. ඔවුන් නැත්නම් චමින්ද වික්‍රමසිංහ කියලා කෙනෙක් නැහැ.
අවසන් කොට ඔබට මොනවද කියන්න තියෙන්නේ?
මම සම්බන්ධවෙලා ඉන්න නාට්‍යවලට මම කොහොමහරි අලුත් පිරිස් සම්බන්ධ කර ගන්නවා. හැබැයි මං කෑව කටු එයාලට දෙන්නේ නැහැ. ඉදිරියටත් එහෙමයි. ඔවුන් ඉදිරියට යනු බලා මා ලබන සතුට අපමණයි.

ප්ලේන් එක වැටෙයිද? බර්ටි දෙගිඩියාවෙන්

ශ්‍රී ලංකාවට වඩා හාත්පසින්ම වෙනස් සංස්කෘතියක්, ආර්ථිකයක් හිමි මැද පෙරදිග රටවල් වූ ඕමාන්, අබුඩාබි, ඩුබායි රටවල වෙසෙන අපේ රසිකයන්ගෙන් මටත්, ඇනස්ලිටත්, සැමුවෙල්ටත් විශේෂ ආරාධනයක් ලැබුණා ඒ රටවලට ඇවිත් විමෝද සමය රඟදක්වන්න කියලා. කොහොම හරි මේ ආරාධනය ලැබෙන වකවානුවේ මැද පෙරදිගට සීත සෘතුව උදා වෙලා තිබුණු කාලයක්. කාලගුණය කෙසේ වෙතත් අපිට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.
මේ සිද්ධිය සිද්ධිය වුණේ මීට දශක හතරකට කලින්. මේ ආරාධනය ඇනස්ලිට, සැමුවෙල්ට කෙසේ වෙතත් මට සුවිශේෂ අපූරු අත්දැකීම්වලින් පිරි සුන්දර ගමනක් වුණා. අහස් යාත්‍රා අහසේ යනවා දැක තිබුණත්, එයට පෙර කවදාවත් අහස් යාත්‍රාවකින් ගමනක් ගිහින් නොතිබුණ මට මේක වෙනස්ම අත්දැකීමක් වුණා. මගේ මුල්ම ගුවන් ගමන විදියට ජීවිතයේ සුන්දර මතකයක් එක්කළ මේ ගුවන් ගමන ගැන මතක් වෙන කොටත් මටම හිනා.
ඔන්න ඉතිං අපි තුන් කට්ටුව කටුනායක ගුවන් තොටුපලින් ඩුබායි බලා යන ජම්බෝ ජෙට් වර්ගයේ ගුවන් යානයකට ගොඩ වුණා. අහසින් යනවා තියා ගුවන් යානයක් ඇතුළට ගිය මුල්ම වතාව ඒක. මැද පෙරදිග යන ගෘහ සේවිකාවන් නොයෙක් වැඩ සඳහා යන ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් ප්ලේන් එක ඇතුළේ හිටියා. අපි තුන් දෙනාට වාඩි වෙන්න ලැබුණේ තුන් දෙනාට නොපෙනෙන තැන්වල. ඉතිං කවුරුවත් හිතවතෙක් ළඟ නැති නිසාත්, මගේ මුල්ම ගුවන් ගමන නිසාත් මට හිතට ටිකක් බයක් ඇති වෙන්න පටන් ගත්තා. දැන් ඉතිං ගුවන් යානය පිටත් වෙන්න සූදානම් වුණා. බඳ පටි තද කර ගන්න කිව්වා. කොහෙද ඉතිං මට ඕව ගැන තේරුමක් තියෙන එකක්යැ.
හෙමින් සැරේ අල්ලපු සිට් එකේ ඉන්න එක්කෙනා දිහා බලාගෙන එයා කරන විදියට මමත් කළා. යන්තම් පටියට ඇඟ හිර වුණා. දැන් මගේ හිතට පොඩි චකිතයක් එන්න ගත්තා. සැමුවෙල්, ඇනස්ලි පේන්නත් නැහැ. එහෙම හිටිය නම් මොනව හරි කිය කිය මේ බය අඩුකර ගන්න තිබුණා. ඔන්න ඉතිං ජම්බෝ ජෙට් එක බිම දිගේ වේගයෙන් ඇදිල ගිහින් එක පාරට උඩට ඉස්සුවා. දැන් ඉතිං මට ප්ලේන් එක ඇතුළේ සීතලේ දාඩිය දාන්න වගේ පපුව ඩිග් ඩිග් ගානවා. මං ඉතිං ජනෙල් කවුලුවෙන් පිටත බලනවා. ටිකෙන් ටික බිම පේන්නේ නැතුව යනවා. ඔහොම ටික වෙලාවක් යන කොට අහසේ වලාකුළු අතරින් යන කොට ගොඩබිම කොහෙත්ම පෙන්නේ නැතුව ගියා.
ඒ පාර මගේ යටි හිතේ තිබුණ චකිතය දැන් දෙගුණ තෙගුණ වෙන්න පටන් ගත්තා. දෙවියන් බුදුන් සිහි වෙන්න පටන් ගත්තා. පැයට සැතපුම් හත්සීයක වේගයෙන් ගමන් කරන ජෙට් යානය ගොඩබිමේ සිට අඩි තිස් දහසකට උඩින් ගමන් කරනවා කියලා යානයේ පාලක මැදිරියෙන් නිවේදනය කරන කොට මගේ කකුල් දෙක ඉබේටම ගැහෙන්න පටන් ගත්තා. හරියට මැන්ඩලීනයක කම්බි වගේ. අනික මේ ප්ලේන් එක කඩා වැටුණොත් කියලා මට බය හිතුණා. ඔය කාලේ ගුවන් යානාවල බෝම්බ පුපුරන කාලයක්. ඒ වගේම ගුවන් යානා කඩා වැටුණ අවස්ථා ද කීපයකුත් සිදු වුණා. ඒ හින්දම මේ සිතුවිලිත් එක්ක මගේ හිතට මහා භයක් දැනෙන්න පටන් ගත්තා.
මොනවා කරන්නද ද, කාට කියන්නද, අනේ මට බයයි කියලා බැහැල යන්න ද, ඇනස්ලිට, සැමුවෙල්ට අනේ මචං ළඟට වරෙල්ලා, මට බයයි කියලා කෑගහල කියන්නද. මම දැන් හොඳටම අසරණ වෙලා. මට ඩුබායි ගිහින් බහින්න පුළුවන් වෙයිද? නැත්නම් ප්ලේන් එක කඩා වැටිල මාවත් මැරෙයිද? මම මිනිස්සු හිනස්සන්න කියන පට්ටපල් බොරු නිසාම මාව අපාගත වෙයිද, මිනිස්සු හිනස්සල සතුටු කරපු නිසා දිව්‍ය ලෝකේ ගිහින් ඉපදෙයිද, ඔය වගේ සිතුවිලි රාශියකින් මගේ හිතට වද දෙන්න පටන් ගත්තා. අහල තිබුණ විදියට ඩුබායි ගමන සුරපුරයක් වුණත්, දිව්‍ය ලෝකේ යන ගමනක් වුණත් මගේ හිත පරාණ බයෙන් ගැහෙන එක නම් අඩු වුණේ නැහැ.
දැන් මට වෙන කරන්න දෙයක් නෑ. මගේ පපුවේ ශබ්දයත් දැන් මට ඇහෙන තරමට බය නිසාම මට ඉබේටම ඉතිපිසෝ ගාථාව කියවුණා. පරාණ බයෙන් ගැහෙන මගෙ හිතට ඉතිපිසෝ ගාථාව කියන කොට පොඩි හයියක් දැනෙන්න වුණා. මම හීන්සීරුවේ කාටත් නොදැනෙන්න මම අසලින් වාඩිවෙලා හිටිය අනෙක් අයගේ මුහුණවල්වලට එබිල බැලුවේ, ඒ අයත් මම වගේ බය වෙලා ඉන්නවද කියලා බලන්න. මා ළඟම තිබුණ අසුනේ වාඩි වෙලා හිටියේ මුස්ලිම් කාන්තාවක්. ඇය කන් දෙකත් වැසෙන විදියට මෆලර් එකක් ඔලුවේ ඔතාගෙන හොඳට සීට් එකේ ඇලවෙලා නිදි. සමහරු පොත්පත් කියවනවා. බලපුවහම මම දෙලෝ රත්වෙලා බයේ ගැහෙනවා.
ඔන්න දැන් ඉතිං ගුවන්ගත වෙලා සෑහෙන වෙලාවක් ගියහම මිහිරි හඬින් ගුවන් මගීන් අමතමින් රූබර ලලනාවන් මඟීන් ළඟට ඇවිත් නොයෙක් කෑමවලින්, බීමවලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා. ඔය වෙන කොට මමත් බය නිසාම තොල කට වේලිලා තමයි හිටියේ. රූමත් ලලනාවෝ සැර බීම බන්දේසිවල තබාගෙන යානය තුළ එහෙ මෙහෙ යන කොට මම මන්තරයක් ජප කරන්නා සේ නමෝ තස්ස ගාථාව බියෙන් වෙව්ල වෙව්ලා මුමුණමින් තමයි හිටියේ. මේ සුර ළඳුන් දැක්ක ගමන් මට ඒ ඔක්කොම අමතක වුණා. හරියට මම සුර ලෝකෙක ඉන්නව වගේ මට දැනෙන්න පටන් ගත්තා.
මේ වෙන කොට අපේ යානය වලාකුළු අතරින් වේගයෙන් අදෙමින් තිබුණා. මට අදහා ගන්නත් බෑ මේ මම දකින්නේ හීනයක් ද කියලා. කෝකටත් කියලා මම අත් දෙකෙන්ම දෑස් පිහ දමමින් නැවත නැවතත් බැලුවා. ඇත්තටම මම දිව්‍ය ලෝකයට ගොඩ බැහැල ද කියලා.
ඉතිරි කොටස ලබන සතියේ....
 

දුරින් ඉඳන් මේ වේදනා දෙන්නෙපා ඉන්න ළං වෙලා

ඉමාෂා ගේ අලුත්ම ගීතය ගැන කතාව
එන්න මේ සංවේදී කතාව අහන්න
දෑස නොපෙනෙන කොකිලාව ගේ අලුත්ම ගමන
ඉමාෂා මුතුකුමාරි මා දෙස පෑ මදහස මට අද මෙන් මතකය. එක් අතකින් සැමියා ගේ අත අල්ලාගෙන ඔහුගේ සෙනෙහසට මැදිවී පැමිණි ඇගේ අනෙක් අතෙහි වූයේ සුදු සැරයටියකි. සෙමෙන් සෙමෙන් මා අසලට පැමිණි ඈ මා සුරත මත ඇගේ සුරත රැඳවූ අයුරු හදවතෙහි කොණක තැන්පත් වූයේ කිසිදිනෙක නොමැකෙන විලසිනි. ඒ නොමැකෙන මතක සටහනත් සමඟම මා අත වූයේ ඈ ගැයූ ගීතය රැගත් සංයුක්ත තැටියයි. ඒ ගීතය අසන්නට මගේ සිතේ ඉපැදුණේ මහත් ආසාවකි. මගේ සිත වටහා ගත් බැවින්දෝ ඉමාෂා අනාරාධනාවම ගීතය ගයන්නට වූයෙන් ඇගේ මියුරු ස්වරය ඒ මුළු අවකාශයේම ගලා ගියේ සැනෙකිනි.
නුඹ හිතනවා ඇති වැරැදි නෑ කියා මං
හිත කියනවා ඇතී ආදරේ කියා තවත්
මුවින් කියූ ඒ චෝදනා
හදවතින්ම නොවූ නිසා
දුරින් ඉඳන් මේ වේදනා
දෙන්නෙපා ඉන්න ළංවෙලා
නුඹේ උණුහුමේ දැවටිලා
ආදරේ දුන්නේ එදා
නෙතු පියෙන තුරා
ඉන්නමයි ඒ ළං වෙලා
මේ හිත පුරා - මට ළංවෙලා
ජීවිතේ දුන් ඔයා
රිදවා තියා රවටලා
යන්න හිතුවේ නෑ මෙමා
මගෙ ආදරේ තරම් සදා
දන්නවා රත්තරං ඔයා
මුසාවකින් රැවටිලා
දෙන්නෙපා තව වේදනා
මේ හිතපුරා - මගෙ ආදරේ
සත්තකයි - ඔබටයි ප්‍රියේ
හුස්මක් පුරා - මේ ළැමතුරේ
නුඹ ගැනයි ලියැවී තිබුණේ
 


0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය