Powered by Blogger.


දේවානම්පියතිස්‌ස රජ සමයට අයත් ඉපැරැණි සිද්ධස්‌ථානයක්‌ සේ සැලකෙන බදුල්ල කන්දකැටිය කිරිවෙහෙර රාජමහ විහාරස්‌ථානයේ ඉදිකර ඇති ඉපැරැණි බුදු මැදුරේ බිතු සිතුවම් මෙන්ම විහාර බිමේ තැන තැන පිහිටි ගල් කැටයම් ඇතුළු පුරාවස්‌තු රැසක්‌ විනාශ වෙමින් පවතින බව කන්දකැටිය කිරිවෙහෙර විහාරාධිපති කන්දකැටියේ විමලකිත්ති නාහිමියෝ "දිවයින"ට පැවැසූහ.

බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ මිහිදු මහ රහතන් වහන්සේ සමග පැමිණි සුමන සාමනේරයන් අත සර්වඥ ධාතුන්වහන්සේලා පිරවූ පාත්‍රයක්‌ තිබූ බවත් එම සර්වඥ ධාතුන්වහන්සේලා තැන්පත් කරමින් දේවානම්පියතිස්‌ස රජු ශ්‍රී ලංකාව පුරා යොදුනින් යොදුන චෛත්‍යය කරවූ බවත් ඒවා යෝජනික ස්‌ථූප ලෙස හැඳින්වූ බවත් පූජාවලියේ මෙන්ම ථූපවංශයේද සඳහන් වේ.

මහියංගණ හා මුතියංගන විහාරස්‌ථාන අතර සමාන දුරකින් (යොදුනක දුරින්) වියලුව කිවුලේගෙදර ප්‍රදේශයේ පිහිටි කන්දකැටිය කිරිවෙහෙර රාජමහා විහාරස්‌ථානයද එසේ ඉදිකරන ලදැයි සැලකෙන යෝජනික ස්‌ථූපයකි.

කන්දකැටිය ගලඋඩ මාර්ගයේ නගරය පසුකොට සැතපුම් දෙකක්‌ පමණ ගමන් කළ විට මෙම සිද්ධස්‌ථානය වෙත ළඟා වීමට පිළිවෙන.

එක්‌ පසෙකින් වෙල ඔයටත් අනෙක්‌ පසින් මනරම් වෙල්යායකටත් මැදිව පිහිටි මෙම පින්බිමට කිරිවෙහෙර යන නාමය ලැබී ඇත්තේ කලකට පෙර මෙම පින් බිම පිහිටි ඉසව්ව තුළ ගැවුසුණු දහස්‌ සංඛ්‍යාත කිරි ගව පට්‌ටි නිසා යෑයි වත්මන් විහාරාධිපති කන්දකැටියේ විමලකිත්ති නාහිමියෝ පවසති.

සුරනිමල හා වේලුසුමන යෝධයින් මෙන්ම කිවුලේගෙදර මොහොට්‌ටාල යන විරුවන් නිතර ගැවැසුනු මේ පින් බිම තුළ පඨවි චාලක ගුප්ත නම් මහරහතන් වහන්සේ නමක්‌ වැඩ විසූ බව සද්ධර්මාලංකාරයේ සඳහන් වේ.

සුවිසල් චෛත්‍යයක්‌, ඉපැරැණි බිතුසිතුම් සහිත විහාර මන්දිරයක්‌ මෙන්ම විවිධ ශෛලමය ඉදිකිරීම් රැසකින්ද සමන්විත මෙම පින් බිම සියවසකටත් අධික කාලයක්‌ තිස්‌සේ කැලෑවෙන් යටවී විනාශ වෙමින් පැවැති අතර වර්ෂ 1870 දී මෙහි වැඩම කළ පොල්වත්තේ සුනන්ද හිමියෝ මෙය හෙළි පෙහෙළි කර ජනතාවට වන්දනා මාන කිරීමට සුදුසු තත්ත්වයට පත්කර ඇත.

කිරිවෙහෙර නම් වූ මෙම පින්බිම ආශ්‍රීත අතීත ජනප්‍රවාද රැසකි.

පඨවි චාලක ධම්මගුප්ත මහ රහතන් වහන්සේ වැඩම කරවීමේ කථා පුවතද ඉන් එකකි. එය මෙසේය. දුටුගැමුණු රාජ්‍යය පාලන සමයේ ජීවත් වූවැයි සැලකෙන වේලු සුමන යෝධයාද මෙම ප්‍රදේශයේ උපන් පුද්ගලයෙකි. වියලුවේ උපන් යන අර්ථය ඇතිව ඔහුට වේලු සුමන යන නාමයද පට බැදී ඇති අතර රාජ්‍ය සේවය කරන අතර තුර ඔහු විටින් විට මෙහි පැමිණ තමා උපන් ගමේ පිහිටි මෙම කිරිවෙහෙර චෛත්‍ය පිළිසකර කළ බවද සඳහන් වේ.

මෙම විහාර භූමියට නුදුරින් වූ මුඩගමුව ගමේ විසූ ලෝකුරුවෙක්‌ දිනක්‌ තම නිවසේ සාංඝීක දානයක්‌ සුදානම් කොට මාගේ නිවසට මහ රහතන් වහන්සේ නමක්‌ වඩින්නේනම් මැනැවැයි ප්‍රාර්ථනා කළහ. පුදුමයකි ඒ මොහොතේම පඨවි චාලක ධම්මගුප්ත නම් මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන්වහන්සේලා අටනමක්‌ මෙම නිවසට වැඩම කොට ඇත. පසුව පඨවි චාලක ධම්මගුප්ත මහරහතන් වහන්සේ ඒ අසල වූ මෙම සිද්ධස්‌ථානයට වැඩම කොට එහි වැඩ වසන්නට වූහ. සද්ධර්මරත්නාවලියේද සඳහන් මේ කතා පුවත ජනප්‍රවාදයක්‌ නොව සත්‍යයක්‌ම බව අදටත් මේ ගම්වාසීහු පවසති.

කෙසේ වෙතත් මෙම පින් බිමේ මෙන්ම ඒ ආශ්‍රිතව පිහිටි සතර මහා දේවාලයේද පිහිට ලබා ගන්නට අදටත් විශාල පිරිසක්‌ මෙහි පැමිණෙතත් මෙහි ඇති බොහෝ ඉපැරැණි සම්පත් විනාශ වී යමින් තිබීම කණගාටුවට කරුණක්‌ බව විහාරාධිපති කන්දකැටියේ විමලකිත්ති නාහිමියෝ අප සමඟ පැවැසූහ.

උන්වහන්සේ මෙසේද පැවැසූහ.

මේ විහාරස්‌ථානය බදුල්ල දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටි වටිනා සිද්ධස්‌ථානයක්‌. එහෙත් පසුගිය කාලය තුළ මේ සිද්ධස්‌ථානයට නිසි රැකවරණයක්‌ ලැබුනේ නැහැ. ඒ නිසාම මෙම ස්‌ථානයේ ඉපැරැණි පුරාවස්‌තු රැසක්‌ විනාශ වෙමින් පවතිනවා.

ඉපැරැණි බිතු සිතුවම් හා මූර්ති රූප රැසකින් සමන්විත විහාර මන්දිරය බෙහෙවින්ම විනාශයට පත්වෙමින් තිබෙනවා. බොහෝ සිතුවම් විනාශයට පත්වෙලා. මූර්ති රූපවල කොටස්‌ කැඩී බිඳී ගිහින්. විහාර බිමේ ස්‌ථාන රැසකම ශෛලමය නිමැවුම් වල නටඹුන් දක්‌නට ලැබෙනවා. මේ තුළ තිබෙන්නේ අපේ උරුමයයි.

ඒ නිසා මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවරණයත් මේ අවස්‌ථාවේ අවශ්‍ය වී තිබෙනවා. ඒ වගේම අතීත උරුමය විනාශ නොවන පරිදි මෙම ස්‌ථානයේ පිහිටි නටඹුන් ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවකුත් මතුවී තිබෙනවා.

මෙම විහාරස්‌ථානයේ දායක සභාව හැකි ආකාරයට ඒවා ආරක්‍ෂා කිරීමට කටයුතු කළත් එය ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මීට රජයේ අවධානය යොමුවිය යුතුයි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය