Powered by Blogger.


“දෙමළ මිනිසුන්ගේ බෞද්ධ විහාරස්ථානයක දුර්ලභ නිදර්ශනයක් වශයෙන් පමණක් නොව සමහරවිට එකම නිදර්ශනය වශයෙන් මෙය ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් කටයුත්තක් බව පෙනී ගියේ යැයි” ‘පුරාවිදු පර්යේසණ’ නම් කෘතියේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි.
අද අපගේ කතාබහට ලක්වන ‘වෙල්ගම් වෙහෙර’ පිළිබඳව ප්‍රවේශය එසේ සඳහන් කිරීමේදී අමුත්තක්, විශේෂයක් ඔබ මනසට හැඟෙනු බව නියතය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කට්ටුකුලම් කොට්ඨාසයේ පෙරියකුලම් වැව අසල මෙම ඓතිහාසික විහාරස්ථානය ඉදි වී තිබෙයි. මෙතැන දී ඔබට අමුත්තක් දැනෙන්නේ දමිළ ග්‍රාම නාමයන් අතර දමිළ මිනිසුන් බහුතරයක් ජීවත්වන ප්‍රදේශයක් මධ්‍යයේ දමිළ මිනිසුන්ගේ පූජනීය ස්ථානය වන කෝවිලක් නොවන බෞද්ධ විහාරස්ථානයක නෂ්ඨාවශේෂ ආශ්‍රයේ සැරිසරන්නට අප සැමට දුර්ලභ අවස්ථාවක් සැලසී ඇති නිසා ය.
සෙනරත් පරණවිතානයන් සඳහන් කරන ආකාරයට එය දමිළ බෞද්ධ විහාරස්ථානයක දුර්ලභ නිදර්ශනය පමණක් නොව එකම නිදර්ශයනය යැයි පැවසීමෙන් හැඟීයන්නේ අප මේ සැරසරන්නේ එවැනි සුවිශේෂිත වූ එකම පුදබිමෙහි පහස විඳිමින් බවයි. ආගම යනු දේශ සීමා අතික්‍රමණය කළ ජාති ජන්ම කුල මල ගතානුගතික සම්ප්‍රදායන් බිඳහල සමස්ත මානව ප්‍රජාවගේ ආධ්‍යාත්මික සැනසීම, සැහැල්ලුව වෙනුවෙන් පෙනී සිටිනා උත්තම සංකල්පනයකි.
එම හැඟීම දනවන වෙල්ගම් වෙහෙර ඉතිහාසය ගමන් මඟ ඔස්සේ අතීතය වෙත ආපසු ගමන් ඇරඹිය හැකි ය.
1929 වසර වන විට බහුතරයකගේ අවධානයට යොමු නොවී ඝන කැලෑවේ ආධිපත්‍යයට යටවී තිබුණු වෙල්ගම් වෙහෙරෙහි පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකෙරෙන්නේ 1953 වසරේදී ය. දමිල ශිලාලේඛණයන්ගේ මෙහි නම සඳහන්ව ඇත්තේ ‘රාජ රාජ පෙරුම්පල්ලි’ වශයෙනි. පෙරම්පල්ලි යනුවෙන් හඳුන්වන්නේ ‘මහා විහාර’ යන නාමය.
11 වන සියවසෙහි පළමුවෙනි දශකයෙහි අප මාතෘභූමිය යටපත් කරගෙන සිටි චෝල ආක්‍රමණිකයන් වසර පනහක් පමණ (ක්‍රි.ව. 1017 – 1069 ) ලක්බිමේ ඇතැම් ප්‍රදේශ ඔවුන්ගේ පාලන බලයට නතු කරගෙන තිබුණි. මෙතැනදී මාතෘභූමියේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් වැදී දේශීය ආරක්‍ෂක සේනාවන්ට මෙම ආක්‍රමණිකයන් සමඟ සටන් කිරීමට සිදුවිය.
සොලී සේනාවෝ අනුරාධපුරය මෙන්ම වෙනත් ස්ථානයන්හි බෞද්ධ වෙහෙර විහාර රාශියක් කොල්ලකමින් විනාශකර දැමූහ. එහෙත් නැගෙනහිර වෙරළ අසබඩ පිහිටි වෙලේගම්වෙහෙරට ඔවුහු සැලකිල්ලක් දැක්වූහ. ස්වකීය විජිතයන්ට ලංකාව ද එක්කිරීමට සමත් වූ සොලීන් ඔවුන්ගේ අධිරාජ්‍යයාගේ නමින් මෙම විහාරස්ථානය අලුතෙන් නම්කිරීමට සැලකිලිමත් වූහ.
එහෙත් මෙහි තිබූ මුල් සිංහල නම ඉතිහාසයෙන් කටුගාදැමීමට මේ චෝලයන් සූදානම් නොවීම නරක මිනිසකු තුළ වුවත් ඇති හොඳ ගුණයක් පෙන්වීමකි. සෙල්ලිපියන්හි සඳහන්වන සෑම තැනකම පාහේ දෙමළ භාෂාවට කලින් වෙල්ගම් වෙහෙර යනුවෙන් සඳහන්වෙයි. ඒ නිසා උදාර ආගමික උරුමයක් වෙත පිවිසීමට කුඩා සිදුරක් හෝ ඔවුන් විවර කර තබා ඇත. එසේම මෙම ආක්‍රමණයන්ට පෙර තිබූ එකම සිංහල සෙල්ලිපියේ ද මෙය හඳුන්වා ඇත්තේ වෙල්ගම (වේර) යනුවෙනි.
මෙහි ඓතිහාසිකත්වය වඩාත් පිරික්‍ෂීමේදී වෙල්ගම් වෙහෙරෙහි ආරම්භය සිදුකර ඇත්තේ දෙවන භාතිකතිස්ස රජු (ක්‍රි.ව. 140 – 164 පමණ) විසින් යැයි සිතිය හැකි ය. එහෙත් ඊටත් ප්‍රථමයෙන් (දෙවන භාතිකතිස්ස රජතුමාගේ යුගයටත් පෙර) මෙම පූජනීය ස්ථානය ඉදි වෙන්නට ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසයි.
විහාර භූමිය තැනිතලාවක පිහිටිය ද ඒ ආසන්නයේ කඳු වළල්ලක් දැක ගැනීමට ලැබෙයි. එහි කඳු බෑවුමක මධ්‍යයේ පිහිටි ගලක සෙල්ලිපියක් සටහන්කර ඇත. දේශගුණික විපත් වලට හසුවී එම සෙල්ලිපිය මහත්සේ මැකී ගොස් ඇතිනිසා එහි අක්‍ෂර දකින්නට ලැබෙන්නේ වර්ෂා ජලයෙන් පර්වතය තෙමී පෙ¼ගී යන අවස්ථාවලදී පමණි.
එම මතුවීම අනුව මෙම සෙල්ලිපිය භාතිකතිස්ස රජ දවස පිහිටුවාලූ එකක් බව තහවුරු කර ගෙන තිබේ. මෙහි අභය නම් සෙනවියකු විසින් යම් යම් කෙත්වතු වලින් ලැබෙන ආදායම වෙල්ගම් පිහිටි අබගරවහරට (අභයගිරි නොහොත් ආමුගිරි විහාරයට) පූජා කළ බවක් සඳහන් වෙයි. මෙතැන වූ කඳු මුදුනේ ස්තූපයක නටබුන්ද ස්වල්ප වශයෙන් දැක ගැනීමට ලැබෙයි.
ඒ අතීත යුගයේ දී මෙම පුදබිමේ කීර්තිය එම ප්‍රදේශයට පමණක් සීමා වී නොතිබුණු බවද සිතිය හැකිය. පොළොන්නරුවේ පී‍්‍රතිදානකමණ්ඩපයේ ශිලා ලේඛනයේ දැක්වෙන පරිදි නිශ්ශංකමල්ල රජතුමා වැඳපුදාගත් සිද්ධස්ථාන අතුරෙන් වෙල්ගම් වෙහෙරද එකකි. අනෙක් ස්ථාන වශයෙන් හැඳින්වෙන්නේ මැඬිලිගිරි, මහගම කැලණිය සහ දෙවුන්දර ය.
මේ අනුව 12 වැනි සියවසෙහි එදා ප්‍රසිද්ධියට පත් ස්ථාන නම අතරට ‘වෙල්ගම් වෙහෙරද’ පැමිණීමෙන් හැඟීයන්නේ මෙතැනද රජතුමාගේ මෙන්ම බොහෝ බෞද්ධයන්ගේ වන්දනාමානයට බඳුන් වූ කීර්තිමත් පුදබිමක් වශයෙන් පැවැති බවකි.
1953 වසරේදී සිදුකළ පුරාවිද්‍යා කැණීම් වලදී මෙහි විශේෂිත ඉදිකිරීම වශයෙන් තහවුරු කරගනු ලැබුවේ විහාරස්ථානයේ වූ පිළිමගෙය. එහි දිගින් අඩි 56 ක් පමණද පළල අඩි 28කුත් අඟල් 7 ක් පමණ ද විය. පිළිමගේ අභ්‍යන්තරය කොටස් පහකට වෙන්කර ඇත. ගර්භ ගෘහයක් ද, කණු සහිත මණ්ඩපයක් ද බාහිර අන්තරාලයක් ද ද්වාර මණ්ඩපයකින්ද සමන්විතවූ මෙම අංගසම්පූර්ණ පිළිමගෙය සිත් පැහැරගන්නා ගොඩනැඟිලි කට්ටලයක බිම් සැලැස්මක් හා උදාර වූ වඩුනිමාවලින් යුක්ත බව, සෙනරත් පරණවිතානයන් පවසයි. විස්තර වශයෙන් නිරීක්‍ෂණය කරන විට මෙම ‘දෙමළ විහාරයෙ’ පිළිමගෙයි අධිෂ්ඨානයේ දක්නට ලැබෙන කොඳු කැටයම් අනුරාධපුරයේත් පොළොන්නරුවේත් බෞද්ධ සිද්ධස්ථානවල දක්නට ලැබෙන කොඳුකැටයම් වලට වඩා වෙනස් ය. ඒවා සාමාන්‍යයෙන් චෝලයන් විසින් පොළොන්නරුවේ ඉදි කරන ලද හින්දු දේවාලවල කොඳු කැටයම් වලට සමානය. මේ අනුව ගොඩනැගිලි නිර්මාණ ශෛලිය ආගම අනුව නොව පිහිටි ස්ථානය සහ වැඳුම් පිදුම් කළ උදවියගේ ජාතිය අනුව සකස් වී ඇති බව පෙනේ. දකුණු ඉන්දියාවේ තිබූ බෞද්ධ පල්ලි බොහෝ ගණනින් එකක් වත් ඉතිරිවා තවම සොයාගෙන නොමැති නිසා වෙල්ගම් වෙහෙරෙහි යථොක්ත නටබුන් කෙරෙහි දැක්වෙන සැලකිල්ල මේ දිවයිනට පමණක් සීමා වී නැත. ඉහත ප්‍රකාශය ද සටහන්ව ඇත්තේ සෙනරත් පරණවිතානයන්ගේ පුරාවිද්‍යා පර්යේෂන නම් කෘතියෙහිය.
මේ අනුව විශ්ව බෞද්ධ උරුමය සොයා යන ගවේෂණාත්මක සංචාරයේ දී වෙල්ගම් වෙහෙර වටිනා සාධනීය ස්මාරකයන් ලෙස ඉදිරියට පැමිණෙනු නියතය. මෙහි ඇති ස්තූපයද එදා මෙම පුදබිමට ආලෝකයක් වී තිබුණු බව එහි ශේෂයන් පිරික්‍ෂීමේදී සිතා ගැනීමට පුළුවන. දාගැබ මළුව උතුරු දකුණු අතට අඩි 69කුත් අඟල් 10 කි. නැගෙනහිර බස්නාහිර අතට පළල අඩි 64 කි. එය පොළොමට්ටමන් අඩි 4කුත් අඟල් 6ක උසකින් නිමවා තිබේ.
පිළිමගෙයට පිවිසීමට පෙර පය සෝදා ගැනීමට වතුර රැස්කර තිබූ පාදෙනිය නොහොත් ගල් දිය බඳුන අදත් දොරටුව අසල දැක ගැනීමට ලැබෙයි. පා සෝදන ජලය එකතු වන තැන පොකුණක් ද වෙයි. සුවිසල් ප්‍රාකාරයකින් සමන්විත පියගැටපෙළ, ස්තූප, බෝධි ඝරය, ශෛලමය කොරවක්ගල්, මුරගල්, දැවැන්ත පිළිම ගෙයක නටබුන් මෙන්ම වසර දහසකට වඩා පැරණි ළිඳ මෙම විහාර සංකීර්ණයේ ඓතිහාසිකත්වය පැවසීමට නිහඬව සාක්‍ෂි දරමින් හිඳියි.
එසේම මළුවට පිටතින් සොයාගත් අඩි 2කුත් අඟල් 6ක් උස ලෝකඩ පහන සුවිශේෂී පුරාවස්තුවකි. එහි අඩිය වටා එකොළොස්වැනි සියවසේ දී සටහන් කරන ලද දෙමළ අක්‍ෂරයෙන් යුතු පාඨයේ මෙසේ සඳහන් වෙයි. එරනාඩන් කණ්ඩන් යක්කන් ඉට්ටතිරි නූන්දා විළක්කු’ යන්නයි. එරනාඩන් කන්ඩන් යක්කන් විසින් පූජා කරන ලද ශුද්ධ වූ දොළොස්මහේ පහන යන්න එහි අරුත වේ.
මෙය බුදුගෙය තුළ සදාකාලික ආලෝකය වෙනුවෙන් දැල්වූ පහනකි. මෙය සමහරවිටෙක ඉන්දියාවේ සාදන ලද්දක් විය හැකි බව සැළකෙයි. එකොළොස්වන සියවස නියෝජනය කරනා මෙවැනි පහනක් ඉන්දියාවේවත් දක්නට ලැබී නොමැති බව සෙනරත් පරණවිතාන පවසයි.
වෙල්ගම් වෙහෙර මෑත යුගයේ ත්‍රස්තවාදී උවදුරු මධ්‍යයේ ඉතා අනාරක්‍ෂිතව පැවතියේ ය. නිරන්තර මෝටාර් ප්‍රහාරයන්ට ගොදුරුවිය. එහි සිටි විහාරාධිපතින් වහන්සේගේ උදරය පසාරුකරවීමට තරම් සමත් වූ මේ කුරිරු මෝටාර් ප්‍රහාරයකට උන්වහන්සේගේ අභීත ජීවිතය අහිමි කිරීමට නොහැකි විය. දුරාතීතයේ චෝල ආක්‍රමණිකයන් මෙම පුදබිම තමන්ට නතු කරගනිමින් වුව ඔවුන් අතින් සුරැකුනේ මේ බිමේ බෞද්ධ උරුමයය. එහෙත් මාතෘභූමියේ උණුසුම් ඇකයේ පහස ලද නරුම ත්‍රස්තවාදීන්ගේ නිරන්තර ප්‍රහාරයට එදා වෙල්ගම් වෙහෙර ලක්විය. එහෙත් ඒ විපතෙන් අද අපි නිදහස් වී හිඳීමු.
මේ උදාර බෞද්ධ උරුමය අපට පවසන්නේ දෙමළ, සිංහල ජාතීන් අතරට පැමිණ ආත්ම විමුක්තිය, සැනසුම, වෙනුවෙන් පෙනී සිටින උතුම් ආගමික චින්තනයට වර්ණභේද නොමැති බවය. සිත් පිත් නොමැති මෝටාර් වෙඩි උණ්ඩයට යටපත් නොවුණු මෙත් සිත් ඇති උදාර අභීත යතිවරයාණන් වහන්සේලාගේ පහසින් මෙන්ම දමිළ දොළොස්මහේ පහන් සිලෙන් විහිදෙන්නේ එකට ආලෝකයක් යැයි හැඟෙන වෙල්ගම් වෙහෙර ආගමික උරුමයේ ආලෝකය අදත් නොනිමී පැවතීම භාග්‍යයක්මය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය