Powered by Blogger.

දුර පළාතක හැදිලා වැඩිලා ඒ පැත්තෙම පාසලකින් උසස් පෙළ විභාගය සමත් වෙලා සුදේශ් කොළඹට ආවෙ පෞද්ගලික ආයතනයක රැකියාවක් ලැබිලයි.
සුදේශ්ට සේපාලිකාව හමුවුණේ සාමාන්‍යයෙන් කොල්ලෙක් පෙම්වතියක්ව තෝරාගන්නෙ නැති තැනකදී.
සුදේශ් පාසල් යන කාලයේ එක යුවතියකට සිතින් ආදරය කළත් ඇය සුදේශ්ට කැමති නොවීම මත ඔහු
කොළඹට එනතුරුවත් කිසිම පෙම්වතියක්ව ඇසුරු කරල තිබුණෙ නෑ. ඒත් කාර්යාලයේ සිටි සුදේශ්ගෙ හිත මිතුරන් සම්බාහන ආයතනවලට පවා යාමට පුරුදු වී සිටියා.
“උඹට කෙල්ලෙකුත් නැති එකේ ඔහොම මුළුගැන්විලා ඉන්නෙ නැතුව යමං කෙල්ලක්ව ‍පොඩ්ඩක් ආශ්‍රය කරල බලන්න” කියලා යාළුවෝ දවස් ගණනාවක් වද කරද්දී එකම එක දවසක සුදේශ්ටත් ආස හිතුණා ඒ වගේ ගමනක් යන්න.
එදා ජීවිතේ පළමු වතාවට කාන්තාවක නිසා සුදේශ් ලිංගික සතුටක් ලැබුවා. ඒ තරුණිය ඉතාම රූමත්. තමාට මුලින්ම ඒ සතුට ලබා දුන් තරුණිය ගැන සුදේශ්ගෙ සිතේ ලොකු ඇල්මක් ඇති වුණා. අන්තිමේ සුදේශ් කිසිවකුටත් නොකියා ඒ තරුණිය නැවත හමුවෙලා ඇය සමග ප්‍රේම සම්බන්ධයකට මුල පිරුවා.
මේ තරුණියගේ සැබෑ නම සේපාලිකා. නමුත් ඇය සම්බාහන ආයතනයෙදී හැඳින්වුණේ නතාෂා කියලයි. නතාෂා සමග තමන් ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත් බව සුදේශ් කිසිවකුටත් ඇඟවූයේ නෑ.
සුදේශ්ගේ ඉල්ලීම මත සේපාලිකා එම වෘත්තියෙන් ඉවත් වුණා. ඊට පස්සෙ ඇය ඇඟලුම් කම්හලක රැකියාවකට ගියා. සම්බාහන ආයතනයෙදී උපයන මුදලින් හතරෙන් පංගුවක් විතර තමයි ඇඟලුම් කම්හලෙන් ඇය ඉපයුවෙ. නමුත් ඒ වෘත්තියෙන් ඉවත් වෙලා යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමේ කැමැත්තක් සේපාලිකාට තිබුණා.
“දැන් අතන නතාෂා නෑනේ. ෂහ් ඒකි නැතුව වැඩක් නෑ.”
කාර්යාලයේ මිතුරන් කතා වුණේ සුදේශ් ඉන්නා තැනදීමයි. ඒ වෙලාවට සුදේශ්ට දැනුණෙ තමන්ගෙ සර්වාංගයම ගිනි ගන්නවා වගේ.
නමුත් සේපාලිකාට දැක්වූ ආදරය නිසා නිහඬව ඔහු ඒවා ඉවසුවා.
කිසිවකුටත් නොදන්වා සුදේශ් සේපාලිකා සමග විවාහ වුණා. ඔවුන් අගනුවර කුඩා කුලී නිවසක තමන්ගෙ පවුල් ජීවිතය ආරම්භ කළා. දෙදෙනාම රැකියා කරපු නිසා ඔවුන්ට කුලී ගෙවාගෙන ජීවත් වීම අපහසු වුණේ නෑ.
විවාහ වී කෙටි කලකින් සේපාලිකා ගැබ් ගත්තා.
ඊට පස්සේ සේපාලිකා දරුවා බිහි වන තුරු රැකියාවට ගියා.
ඇය බිහි කළේ පිරිමි දරුවෙක්. දරුවාවත් බලාගෙන සේපාලිකාට සාත්තු කරන්න ඇගේ මව ගමේ ඉඳල කොළඹට ආවා.
මේ අතරෙ සේපාලිකාගෙ මල්ලිටත් කොළඹින්  ‍පොඩි රස්සාවක් ලැබිල තිබුණා. ඔහු පදිංචි වුණෙත් සුදේශ් කුලියට ගත් කුඩා නිවහනේමයි.
මුළු ගෙදරටම තිබුණේ කොටස් දෙකක් විතරයි. ඒ කුඩා කුස්සියක් සහ තරමක සාලයක්. ඔවුන් සියලු දෙනා කෑවෙ බිව්වෙ නිදා ගත්තෙ ඒ කොටසේයි.
දරුවා නිසා සේපාලිකාට රැකියාවෙන් සමුගන්න සිද්ධ වුණා. තමන්ගෙ රැකියාවෙහි අතිකාල සේවයේත් යෙදිලා සුදේශ්ට රුපියල් විසි දහසකට වඩා මාසෙකට උපයන්න අපහසු වුණා. ගෙවල් කුලී, ලයිට් බිල, වතුර බිල, මග වියදම සේරම වෙන් කළාට පස්සෙ ඉතුරු මුදල ඔවුන් හතර දෙනාට යාන්තම් ජීවිතේ ගැට ගහගන්න විතරයි ප්‍රමාණවත් වුණේ.
මේ අතරෙ දරුවාට මාස හයක් විතර වෙන කොට සේපාලිකාට දරුවාට දෙන්න ප්‍රමාණවත් තරම් මව්කිරි තිබුණෙ නෑ. නමුත් ළදරු කිරි මිලදීගන්නත් ඕනෙ. මේ ගැටලුවට විසඳුමක් විදියට දවස් දෙක තුන කාර්යාලයේ නතර වෙලා අතිකාල සේවයේ යෙදෙන්න සුදේශ්ට සිදුවුණා. නමුත් මහා ලොකු මුදලක් උපයන්නත් බැරි වුණා. අන්තිමේ සේපාලිකා දරුවාගේ වගකීම මවට භාර කොට ඇඟලුම් කම්හලක සේවයට ගියා.
මේ විදියට ටික කලක් ගත වෙන කොට සුදේශ්ට දැනුණා සේපාලිකාගෙ අමුත්තක්. ඇය අතේ හොඳින් මුදල්ද ගැවසුණා.
මේ ගැන සුදේශ්ට ඇති වුණේ සැකයක්.
“මචං අර නතාෂා දැන් ඉන්නව වෙන හොටෙල් එකක.”
දිනක් මිතුරෙක් කිව්වම සුදේශ්ට සිතාගන්න බැරිව ගියා මොකක්ද මේ කියන්නෙ කියලා. “ඒකි බැඳලලු මං හිතන්නෙ මිනිහව එපා වෙලා ආපහු එන්න ඇති” යාළුවා හිනා වෙවී කියන කොට සුදේශ්ට තමා පණ පිටින් අපාගත වෙනවා වගෙයි දැනුණෙ. එදා ගෙදර ඇවිත් සුදේශ් මේ ගැන සේපාලිකාගෙන් ඇහුවා.
ඇය මුලින් ඒක ප්‍රතික්ෂේප කරන්න උත්සාහ දැරුවා. නමුත් අන්තිමේ පිළිනොගෙන ඉන්න බැරි වුණා.
“ඔයාගෙ ඔය හිඟන පඩියෙන් හැමදාමත් දුක් විඳින්න පුළුවන්ද?
මේ දරුවට පිටි කිරි දෙන්නවත් අතට සල්ලි තියනවද?” සේපාලිකාගෙ පිළිතුර වුණේ ඒක.
සුදේශ්ට මුළු ලෝකෙම එපා වුණා. ඊට පස්සෙ සේපාලිකාට කැමති දෙයක් කර ගන්න ඉඩ දීලා සුදේශ් ඒ ගෙදර ආගන්තුකයෙක් වගේ රැඳී හිටියෙ දරුවා දාලා යන්න බැරිකමට. නමුත් මෑත දිනෙක හොඳ පහසුකම් ඇති නිවසක් සේපාලිකා කුලියට ගත්තා. ඒ ගෙදරට කැමති නම් එන්න කියලා සේපාලිකා සුදේශ්ට කිව්වෙ එන්න එපා කියන්න බැරිකමට. නමුත් පිරිමියෙක් විදිහට ඇය යන නිවසකට යන්න සුදේශ් කැමති වුණේ නෑ. සුදේශ් දැන් ගහක් ගලක් වගේ ඔහේ ජීවත් වෙනවා. නැවත විවාහ වීම තබා ගැහැනියකට මිතුරියක වශයෙන්වත් සමීප වීමත් ඉඳුරාම ප්‍රතික්ෂේප කරන සුදේශ් දුක් වෙන්නෙ තමන්ගෙ දරුවා තමා ළඟ නොමැති එක ගැනයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය