Powered by Blogger.


හරසුන් කර්ණ කඨෝර සංගීතයට ප්‍රිය කරන වර්තමාන යොවුන් පරපුරේ අපේක්‍ෂාවන්ට අභියෝග කරමින් සිත නිවන ගීත ඇතුළත් තම පළමුවන සංයුක්‌ත ගී තැටිය සිය 20 වැනි උපන් දිනය දා එළිදක්‌වන්නට පෙරුම් පුරන යෞවනියක පසුගියදා අපට මුණගැසුණා. ඇය නුවනි නතාශා හරිස්‌චන්ද්‍ර. සිය පළමුවැනි සීඩී පටය "කුරවි කෙවිල්ල" නමින් එළිදැක්‌වීම පිළිබඳ ඇය මෙසේ අප හා පිළිසඳරට එක්‌වුණා.

* ඔබේ සංගීත දිවියේ මූලාරම්භ ගැන කතා කළොත්?

මම නන්දා මාලිනී ගුරුතුමියගේ සංගීත ආශ්‍රමයට සම්බන්ධ වෙන්නේ අවු. 08 දී. වසර 09 ක කාලයක්‌ එතුමිය ඇසුරේ සංගීතය හැදෑරීමෙන් මා ලබාගත් දේ බොහෝමයි. අද මා පැමිණි ගමනේ ගෞරවය හිමිවිය යුත්තේ ඇයටයි. එතුමියගේ සෙවණේ ඉන්දියාවේ භාත්ඛණ්‌ඩ සංගීත පීඨයේ ඩිප්ලෝමා විභාගය දක්‌වා මා සංගීතය හැදෑරුවා.

* ඉන්පස්‌සේ?

අ.පො.ස. සාමාන්‍ය පෙළට සංගීතය හදාරන කාලයේ අතිරේක දැනුම ලබාගැනීම සඳහා මට මුණගැසුණ අනුෂා ශ්‍යාමලී කල්දේරා සංගීත ගුරුතුමිය මගින් මට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, සංගීත විශාරද සන්ධ්‍යා ඉලේපෙරුම ගුරු මෑණියන් මුණගැසුණා. ඇය යටතේ මා දැනට සංගීත විශාරද උපාධිය සඳහා සංගීතය හදාරනවා. මගේ ගායන හැකියාවන් හඳුනාගත් සන්ධ්‍යා ගුරු මෑණියන් තමයි මගේ ගීත සීඩී පටයක්‌ නිකුත් කිරීමේ අදහස මගේ සිතට ඇතුල් කළේ.

* මේ සඳහා ඔබට සහයෝගය ලැබුණේ කාගෙන්ද?

මගේ දෙමවුපියන්ගේ හා සන්ධ්‍යා ගුරුතුමියගේ මැදිහත්වීමෙන් ගීත රචනා ලබා ගැනීමට මට හැකියාව ලැබුණා. මට මුල්ම ගීත රචනය ලැබෙන්නේ ප්‍රවීන ගීත රචක රත්න ශ්‍රී විඡේසිංහ මහතාගෙන්. එතුමාගේ සුමිහිරි පදවැලට සංගීතය සපයන්නේ කරුණාරත්න විඡේවර්ධනයන් විසින්. ඉන්පසුව ආචාර්ය අජන්තා රණසිංහ, ලක්‍ෂ්aමන් මල්ලවආරච්චි, රවි සිරිවර්ධන, මහින්ද දිසානායක, යමුනා මාලිනී පෙරේරා යන මහත්ම මහත්මීන් සහ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් මට ගීත පදමාලා ලබා දෙනවා. මෙම ගීත සඳහා සංගීත අධ්‍යක්‍ෂණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, නවරත්න ගමගේ, ජගත් වික්‍රමසිංහ, අශෝක කෝවිලගේ යන ප්‍රවීන සංගීත අධ්‍යක්‍ෂවරුන්.

* මේ සීඩි පටය එළිදැක්‌වෙන්නේ කවදාද? කොහේදීද?

ලබන අප්‍රේල් 27 වැනිදා සවස 3.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් එකේදී රත්න ශ්‍රී විඡේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

* සී. ඩී. පටය එළිදැක්‌වීම සඳහා ඔබට උදව් කළ අය ගැන සඳහන් කළොත්?

මුලින්ම මගේ දෙමවුපියන්, අම්මා විජිතා හරිස්‌චන්ද්‍ර, තාත්තා ඩී. වී. හරිස්‌චන්ද්‍ර, නැගණිය නිපුණි සුපේශලා, මාමා කපිල. එම්. ගමගේ, නැන්දා දිල්කි වත්සලා, විශේෂයෙන් සිහිපත් කළ යුතුයි ජගත් වික්‍රමසිංහ මහතා, ඔහුගේ ශබ්දාගාරයේදීයි මගේ මුල්ම ගීතය පටිගත කළේ. එහිදි එතුමා මා වෙත ලබා දුන් අවවාද, උපදෙස්‌ මෙන්ම එතුමාගේ කාරුණික භාවය ද මට මහත් ශක්‌තියක්‌ වුණා. ඒ වගේම මෙම උත්සවයේදී ගීත දෙකක්‌ සඳහා නැටුම් ඉදිරිපත් කිරීමට භාරගත් ප්‍රවීණ නෘත්‍යාචාරිනී නේමාලී, බුදවත්ත මහත්මිය ගෞරවයෙන් හා සෙනෙහසින් සිහිපත් කළ යුතුයි. මෙම ප්‍රසංගයේදී සංගීතය සැපයීමෙන් මා වෙත සහය දක්‌වන රෝහණ ධර්මකීර්ති මහතා ද දයාවෙන් සිහිපත් කරනවා. අවසන් වශයෙන් මා අධ්‍යාපනය හැදෑරූ සිරිමාවෝ බණ්‌ඩාරනායක විදුහල් මෑණියන්ට මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය