Powered by Blogger.

අනූව දශකයේ දී තාරුණ්‍යයට කතා කළ නාමල් උඩුගම අදටත් ජනප්‍රිය චරිතයක්. නිහඬ ගමනක පැමිණි ඔහුගේ මිහිරි කටහඬට වගේම රුවටත් තරුණියන් පෙම් බැන්දා.
තාරුණ්‍යයේ හදවත් ගී මිහිරෙන් කුල්මත් කළ නාමල් උඩුගමගේ ගීත මෑත භාගයේ දී වැඩිපුර අහන්න ලැබුණේ නැහැ. ඔහු රෝගාතුරව සිටීමත් එයට හේතුවක් වන්නට ඇති. කොහොම වුණත් ඒ හඬට ආදරය කරපු රසික රසිකාවියන්ට දැනගන්නත් එක්ක අපි ඔහුගේ හඬ අවදි කළා.

පසුගිය කා‍ලේ ඔබ අසනීපෙන් හිටියා. දැන් කොහොමද අසනීප තත්ත්වය?
දැන් ගොඩක් දුරට සනීපයි. සාමාන්‍ය විදියට වැඩකටයුතු කරගෙන යනවා.

 කාලයකට පෙර දී ඔබගේ අලුත් ගීත ශ්‍රාවකයන් අතරට පැමිණියා. ඇයි දැන් එහෙම නැත්තේ?
කලින් නම් ගීත අඩංගු සංයුක්ත තැටි හරහා ආදායම් උපයන්න පුළුවන් වුණා. නමුත් දැන් කා‍ලේ අලුත් සී.ඩී. පටයක් වුණත් හොරට ගහලා අඩු මුදලට විකුණනවා. අනිත් එක තමයි රිඟින් ටෝන්වලට අපේ සින්දු ගත්තහම ගායකයාට, පද රචකයාට, සංගීත අධ්‍යක්ෂකට වඩා වැඩි මුදලක් හම්බකරන්නේ අතරමැදි ආයතන. ඒ නිසා සී.ඩී. පට එළිදක්වන්න මම හිතුවෙ නැහැ.

ඔබට තියෙන ඉල්ලුම අඩු වුණේ නවක ගායකයන් බිහිවුණ නිසාද?
ඉල්ලුම අඩුවෙලා නම් මට ප්‍රසංග වේදිකාවේ ගායනයට ආරාධනා ලැබෙන්නේ නැහැනේ. මම දැන් ප්‍රසංග වේදිකාවේ ගායනා කරනවා. මට ජනතාවගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා.

අලුත් පරම්පරාවේ ගායකයන් හැකියාවෙන් පරිපූර්ණයි ද?
බොහෝ දෙනෙක්ට හැකියාව තිබෙනවා. ඒත් සමහර අය අපේ රටේ සංස්කෘතිය, ආගම දහම පෙරළා ඇමෙරිකාවේ තත්ත්වයට යන්න හදනවා. ඒක එතරම් සුබදායී නැහැයි කියලයි මම හිතන්නේ.

ඔබේ එදා මෙදාතුර සංගීත දිවියට ලැබුණු ඇගයීම් පිළිබඳ තෘප්තිමත් ද?
මම එක පාරටම සංගීත ක්‍ෂේත්‍රයට කඩාවැටුණ කෙනෙක් නමෛයි. බොහොම සෙමින් අමාරුවෙන් මං මේ ගමන ආවේ. ඇගයීම් පිළිබඳ කොහොම වුණත් මට ජනතා සම්මානය ලැබුණා. ජනතාව අතර මාව කතාබහට ලක් වුණා. ජනප්‍රියතාව ඇති වුණා. මට පිළිගැනීමක් ලැබුණා. ඒ පිළිබඳව විශාල තෘප්තියක් තියෙනවා.

ඔබේ බිරිඳ රුවන්ති මංගලා දේශපාලනයට එනවට ඔබ කැමැති වුණාද?
මගේ අකමැත්තක් තිබුණෙ නැහැ. එයාට දේශපාලනයට එන්න ආරාධනාවක් ලැබුණා. එයා මගෙනුත් කැමැත්ත ඇහුවා. ඒකට මගේ අකමැත්තක් තිබුණෙ නැහැ.

ගෙදර බිරිඳ දේශපාලනයට ගියාම ඔබට හා දරුවන් වෙනුවෙන් ඇයට කැප කරන්න වෙන කාලය අඩුවෙයි කියලා හිතුවෙ නැද්ද?
නැහැ. ඇය කාලය කළමනාකරණය කරන්න දන්නවා. මගේ ශක්තිය ඇය. කොතෙක් වැඩ තිබුණත් මමයි දරුවනුයි වෙනුවෙනුයි ඇය කැපවෙනවා කියලා මම දන්නවා.

ඇයට නාමයෝජනා නොලැබිම තුළ මොනවද හිතුණේ?
දුකක් නැහැ. ඇය මට වඩා ජනතාවට සමීපයි. ඇයට ඒ අවස්ථාව ලැබුණා නම් ජනතාව වෙනුවෙන් බෙහෝ දේවල් ඉටු කරන්න තිබුණා.

ඔබේ දේශපාලන මතය කුමක් ද?
රටට ජාතියට හොඳක් කරන නායකයකු වෙනුවෙන් පෙළගැසීම සුදුසුයි කියන මතයේ තමයි මම ඉන්නේ.

ප්‍රවීණයෙක් විදියට නවක ගායක ගායිකාවන්ට දෙන උපදේශය?
අපේ සංස්කෘතිය, කතා විලාශය, සංගීතය මේ හැම දේමත් එක්ක එකට යන්න ඕනෑ. ගීතයක් ගායනා කරනකොට මිහිරි බව අනිවාර්යයෙන්ම විය යුතුයි. පද නැතිව දඩිබිඩි සංගීතය තිබිල වැඩක් නැහැ. මොනම දේ නිසාවත් සංගීතයට හානි කරන්න හොඳ නැහැ.
සමුදිකා සේනානි හීන්පැල්ල
http://www.rivira.lk/edition/images/2014/04/13/lpg_4198-copy-copy.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය