Powered by Blogger.

ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු ‍පෝල් ෆාබේ්‍රස් එංගලන්ත ක්‍රිකට් පි‍ලේ සහාය පුහුණුකරු ධුරය සඳහා ගැනීමේ අදහසක් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇති බව ඒජන්සි වාර්තා ඔස්සේ වාර්තා වේ. එංගලන්ත ක්‍රිකට් පි‍ලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පීටර් මුවර්ස් ගැනීමටත් ඔහුගේ සහායක පුහුණුකරු ලෙස ෆාබේ්‍රස් ගැනීමටත් එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ගේ එකඟතාවක් ඇති වී ඇති අතර මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද ලිඛිතව දන්වා එවා ඇති බව ‘රිවිර’ට අනාවරණය වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ‍ලේකම් නිශාන්ත රණතුංග මේ පිළිබඳ පැවසුවේ ෆාබේ්‍රස්ගේ සේවය පසුගිය ජනවාරි සිට වසර දෙකක කොන්ත්‍රාත් ගිවිසුමක් යටතේ ගත්ත ද මාස 6ක පරිවාස කාලයකට යටත්ව ගත් බවයි. ඒ අනුව ජුනි මස අවසානයේ ෆාබේ්‍රස්ගේ පරිවාස කාලය අවසන් වීමට නියමිතය.

කෙසේ වෙතත් ෆාබේ්‍රස්ගේ සේවය සහාය පුහුණුකරු ලෙස ගැනීම සඳහා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විමසා සිටියා. අපි පැහැදිලිව එයට පිළිතුරු ලෙස දුන්නේ ගිවිසුම්ගත් පුහුණුකරු මේ වන විටත් එංගලන්තයේ නිසා ඔහු ලංකාවට පැමිණි පසුව ඔහුගේ අදහස් ද ගෙන අවසන් තීරණයකට ඒමට අදහස් කරන බවයි. අපි ‍පෝල්ව දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට වෙහෙසුණත් එය සාර්ථක වුණේ නැහැ. කෙසේ වුවත් ‍පෝල් අද හෝ හෙට (21, 22) වන විට නැවත පැමිණීමට නියමිතයි. ඒ නිසා ඔහු එනතෙක් මේ සම්බන්ධයෙන් මීට වඩා කිසිවක් කීමට නොහැකි බව ද ‍ලේකම් නිශාන්ත පැවසීය.

කෙසේ වුවත් ක්‍රිකට් ආයතන උප සභාපති මොහාන් ද සිල්වා පැවසුවේ අපි ‍පෝල් සම්මුඛ සාකච්ඡාවට බඳුන් කිරීමේ දී පැවසුවේ තමන් ශ්‍රී ලංකාවට ඉතා කැමැති බවත් මෙහි ප්‍රධාන පුහුණුකාර ධුරය ගැනීමේ ලොකු ආශාවක් ඇති බවත්ය. අනෙක් අතට ‍පෝල් මීට ඉහතත් ටේ‍රවර් බේලිස්ගේ සහාය පුහුණුකරු ලෙස හිටියා. ඔහු සමග අපේ ක්‍රීඩකයන් ලොකු කැමැත්තකින් පුහුණු වුණා. මේ නිසා ‍පෝල් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන මෙවැනි තනතුරක් සම්බන්ධව කිසිදු දැනුම්දීමක් නොකොට වචනයක් දුන්නේ නම් එය ඉතා වැරදි ක්‍රියාවක් බවත් එය ගැන හරියට කරුණු නොදන්නා නිසා ‍පෝල් පැමිණි විගස ඒ ගැන ප්‍රශ්න කිරීමට නියමිත බවත් මොහාන් ද සිල්වා පැවසීය.

කෙසේ වුවත් එංගලන්තයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසනුයේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් මෙම ‍පෝල්ගේ සහාය පුහුණුකාර ධුරය ගැන විමසා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳ පුදුම වුණ බවත් එය ඉමහත් බලා‍පොරොත්තු කඩ කිරීමක් වූ බවත්ය.

කෙසේ වුවත් ‍පෝල් ෆාබේ්‍රස් එංගලන්තය සමග කටයුතු කිරීමට සූදානම් බව ද වාර්තා වන අතර ඔහු දැනට ලංකාවේ වැඩ කිරීමට වඩා තමන්ගේ එංගලන්තය වෙනුවෙන් වැඩ කිරීමට කැමැති බව දන්වා ඇතැයි ද අනාවරණය වේ.1987 සිට 1989 දක්වා එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත පිල වෙනුවෙන් කඩුලු රකින්නකු ලෙස ද ක්‍රීඩා කරනු ලැබූ ‍පෝල් ඊට පසු ක්‍රීඩා වාර හයක් මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය වෙනුවෙන් ද ක්‍රීඩා කොට ඇත්තෙකි.

2015 දෙසැම්බර් 31 තෙක් කොන්ත්‍රාත් ගිවිසුමට සේවයට පැමිණි ‍පෝල්ට එළැඹෙන 2015 එක්දින ලෝක කුසලානය වඩාත්ම අභියෝගයක් වන අතර ඔහු සේවය කරනු ලැබූ මාස 4ක කාලය තුළ බංග්ලාදේශ එක්දින, ටෙස්ට් හා ඕවර විස්ස-20 තරගාවලියේ ජය, ආසියානු කිරුළ ලැබිම මෙන්ම පසුගිය දා ඕවර විස්ස-20 ලෝක කුසලානය දිනා ගැනීම නිසා දැන් වඩාත් එංගලන්තය ‍පෝල් කෙරෙහි අවධානය ගැනීමට ඉඩ ඇති බව ක්‍රිකට් විචාරකයින්ගේ මතය වී ඇත.

මේ අතර නම කීමට අකැමැති ප්‍රවීණ ක්‍රිකට් විචාරකයකු පැවසුවේ අපට ‍පෝල් ෆාබේ්‍රස් වෙතින් මේ අවසන් මාස 4 පුරාවට හිතන තරම් ලොකු සේවයක් සිදු නොවූ බවයි. අපේ සහාය පුහුණුකරු මඬුල්ල තමයි වැඩියෙන් වෙහෙසුණේ. පිතිකරණයේ විශේෂඥ පුහුණුකරු මාවන් අතපත්තු, පන්දු රැකීමේ පුහුණුකරු රුවන් කල්පගේ, වේගපන්දු පුහුණකරු චමින්ද වාස් ඉතා හොඳ සේවයක් කළා. මේ තුළ ‍පෝල්ට අවසානයේ ලොකු ගෞරවයක් ලැබුණා. ‍පෝල් මෙම මාස 4ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ දක්ෂතා ගැන එංගලන්තයට පවසා මෙවැනි වංචාවක් කළා යනුවෙන් ක්‍රිකට් විචාරකයා පැවසුවේ දැන් අපට විදෙස් පුහුණුකරුවෙක් අනවශ්‍ය බව ද අවධාරණය කරමිනි.

කාලයක පටන්ම හිටපු නායක අර්ජුන රණතුංග ද දේශීය පුහුණුකරුවකු දැන් ප්‍රමාණවත් බව පවසා තිබුණි. ශ්‍රී ලංකාවට ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවකු අවශ්‍ය විට දී ග්‍රැහැම් ෆෝඩ්ගෙන් පසුව මාවන් අතපත්තුගේ නම ඉදිරියෙන් තිබුණ ද අවසන් මොහොතේ ‍පෝල් ෆාබේ්‍රස්ගේ නම එක්වී ඔහු හදිසියේ සම්මුඛ පරීක්ෂණයට ගනිමින් තේරීම ද විශේෂත්වයකි.

මේ අතර ප්‍රවීණ විචාරකයකු පැවසුවේ ශ්‍රී ලංකාවට වඩාත්ම දැන් සුදුසුකම් ලත් පුහුණුකරුවකු ලෙසට කෙටි කලක් ශ්‍රී ලංකා පි‍ලේ පුහුණුකරු වූ රෝයි ඩයස් වඩාත් සුදුසු බවයි. කලක් නේපාලයේ ජාතික පුහුණුකාර ධුරය සාර්ථකව කරනු ලැබූ හිටපු ශ්‍රී ලංකා උප නායක මෙන්ම තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවකු වන රෝයි ඩයස්ට වරෙක හිටපු ක්‍රිකට් බලධාරීන් පැවසුවේ නේපාලයේ සේවයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රීඩා සමාජයක පුහුණුකරුවකු ලෙස කෙටි කලක් සේවය කොට පසුව ශ්‍රී ලංකා පුහුණුකාර ධුරයක් සඳහා සලකා බැලිය හැකි බවයි.

එහෙත් එවර පිතිකරණ විශේෂඥ පුහුණුකාර ධුරයට රෝයි ඩයස් ගැනීමේ සැලසුමක් තිබිය දී ඊටත් වඩා වැඩි වැටුපකට මාවන් අතපත්තු පිතිකරණ විශේෂඥ පුහුණුකරු ලෙස සේවයට ගනු ලැබිය. දැන් මාවන් අතපත්තු සිටියදීම රෝයි ඩයස් ගැනීමේ හැකියාවක් ඇත. අනෙක් අතට මෑතකාලීනව අවුරුදු 19න් පහළ ජාතික පුහුණුකරු නවීඩ් නවාස් මේ වනවිට අසාර්ථක වී ඇති හෙයින් නව අවුරුදු 19න් පහළ ජාතික පුහුණුකරුවකු ගැනීමේ අදහසක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට ඇති බව අනාවරණය වේ.

කෙසේ වුවත් එංගලන්ත සංචාරය මැයි 6 දා සිට ආරම්භ වීමට ඔන්න මෙන්න තිබියදී ‍පෝල් ෆාබේ්‍රස්ගේ අර්බුදය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිසරදයක් වී ඇත. එංගලන්ත පාලක මණ්ඩලය ‍පෝල්ව එංගලන්ත සංචාරයට ද තබාගෙන පසුව එංගලන්තයට ගැනීමේ අදහසක් ඇතත් ‍පෝල් ඉංග්‍රීසි ජාතිකයකු ලෙසට දැනටම ඔවුන් සමග ගිවිසුම් ගසා ඇත්නම් ඔහු වැන්නකු එංගලන්ත සංචාරයට ශ්‍රී ලංකා පුහුණුකරු  ලෙස තබාගැනීම විහිළුවක් වනු ඇත.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය