Powered by Blogger.

සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ කලා ජීවිතයේ රසමුසු තැන්

''අයියණ්ඩිය බිය  නොවන්න, මැරෙන සැටි මම පෙන්වමි. කුඩා සතිස්, කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ පුංචි පන්ති කාමරයේ හැමෝටම ඇසෙන්නට හඬ නගා පාඩම කියවීය.
පී. රූබන් පීරිස් ලියූ මව්බස පාඩම් ‍පොතේ මද්දුම බණ්ඩාර ගැන ලියූ පාඩම කුඩා සතිස් කියවූයේ, එහි එන විවිධ චරිතවල දෙබස් සඳහා ඒවාට ගැලපෙන පරිදි විවිධ කටහඬවල් උපයෝගී කොටගෙනය.
පන්ති භාර කරෝලිස් ගුරුතුමා, කුඩා සතිස්ගේ රඟපෑම දෙස වශීකෘතව බලා සිටියේය. පන්තියේ සියලු දරුවන් නිශ්ශබ්දය.
අන්න එහෙමයි පාඩම කියන්නේ. මීට පස්සේ අනික්  ළමයිනුත් මේ එදිරිසිංහ වගේ   පාඩම කියන්න ඉගෙන ගන්න ඕනෑ. එතකොටයි නිරායාසයෙන් පාඩම මතක හිටින්නෙ.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම්    විශිෂ්ට රංගවේදියා තම කුළුඳුල් රංගනය විදහාපෑවේ එසේය. වසර පනහක තම කලා ජීවිතයේ ඔහු රඟපෑම සඳහා සම්මාන රැසක් ලබාගෙන ඇත.
කැලණියේ නුංගමුගොඩ තම නිවසේදී අප ඔහුව හමුවන විට සිටියේ හිස මුඩු කරගෙනය. ඒ ටෙලිනාට්‍යයක චරිතයක් සඳහාය. සතිස් හිස මුඩු කොට භික්ෂු චරිත රඟපෑවේ අද ඊයේ නොවේ. රෙජී පෙරේරාගේ සැඩොල් කඳුළු චිත්‍රපටයෙන් ඇරඹි ඒ භූමිකාව හරිමග, කොටි වලිගය චිත්‍රපට හරහා ටෙලිනාට්‍ය කිහිපයකදීම නිරූපණයට සතිස්ට අවස්ථාව ලැබුණි.
සෝමවීර සේනානායක ලියපු අලුත්ම කතාවක චරිතයකටයි මම හිස බූ ගෑවේ. සතිස් කතාව ඇරඹුවේය.
මම කුඩා කාලයේ හොඳම රඟපෑම දුටුවේ අපේ ආච්චිගෙන්. මගේ අම්මාගේ අම්මා වූ මේ ආච්චිගේ කොණ්ඩය සුදුම සුදුයි. එයා හිටියෙ අපේ මහගෙදර. අද සුනිල් එදිරිසිංහ ඉන්නේ ඒ ගෙදර. මට මතකයි ආච්චි බුලත් කොටන යකඩ වංගෙඩිය. ආච්චිගේ වැඩ හරි පිළිවෙළයි. ආච්චි තමයි මගේ රංගන ජීවිතයේ දුටු හොඳම නිළිය. මම ආච්චිගේ ඉරියව් අනුකරණය කරමින් රඟපෑවා.
මේ විදියට රඟපාලා ආච්චිගෙන් මම හරියට බැනුම් අහලා තියෙනවා. දවසක් අපේ ගෙදරට වැරහැලි ඇඳගත් හැරමිටියකින් වාරු ගෙන, ගෝනියක් කරගහගෙන ඇවිදින මිනිසෙකු දැක්කා. මට දැන් ඕනෑ මේ චරිතය රඟපාන්න. මම හැරමිටියක් හොයා ගත්තා, අඩුවට තියෙන්නේ ගෝනියක් විතරයි. අපේ මහගෙදර ලොකු බිලිං ගහක් තිබුණා. ආච්චි බිලිං අච්චාරු හදන්න බිලිං කඩලා ගෝනියක බිලිං වේලනවා. මම බිලිං වීසි කරලා ගෝනිය අරන් අර හිඟන මනුෂ්‍යයා ලෙස රඟපෑවා. මේක දැකපු ආච්චි මට සැර කළා. මට කේන්ති ගිහිල්ලා ආච්චිගේ වංගෙඩිය අරන් ළිඳට දැම්මා. ගමේ හතර පස්දෙනෙක් ළිඳට බැහැලා ඒක ගොඩට ගත්තා. මට මේ නාටකීය අවස්ථාව තවමත් මතකයි. සතිස් තම රංගන ජීවිතයේ අතීතයට යොමු වූවේ ඒ ආකාරයෙනි.
සතිස් කියන හැටියට තම මවගේ සහෝදරයකු වන රූබන් මාමා හොඳ ටීටර් නළුවෙකි. තාත්තාට කවි කියන්නට හැකියාවක් තිබිණි. ලොකු අයියා ධර්මසිරි පන්ති සගයන් සමග නම්බුව නම් වේදිකා නාට්‍යයේ රඟපානු සතිස් දැක ඇත. වෙසක් දිනයක වරාගොඩ වෙසක් නාට්‍යයක් දුටු සතිස්ට මෙසේ සිතුණේය.
යකඩෝ, මට පුළුවන්නේ මේ වගේ නාට්‍යයක් ලියන්න.
තම පන්ති මිතුරන් සමග අක්කාගේ නිවසේ මුලුතැන්ගෙදර සතිස් ලියා පුංචි නාට්‍යයක් ඉදිරිපත් කළේය. ශත 3ක් අයකර පුංචි මිතුරු මිතුරියන්ට පෙන්නූ මේ නාට්‍යය දුටු සතිස්ගේ අක්කා තම මල්ලීගේ හපන්කම් ධර්මාලෝක විද්‍යාලයේ සිංහල ගුරුවරයකු වූ රවිලාල් විමලධර්ම මහතාට දැන්වීය. විමලධර්ම මහතා සතිස්ව ගුවන් විදුලියේ ළමා පිටිය වැඩසටහන මෙහෙය වූ සරත් විමලවීර මහතාට හඳුන්වා දුන්නේය.
ළමා පිටියේදී මට 'කදා වළලු' නාට්‍යයේ දෙව්දත්ගේ චරිතය රඟපාන්න දුන්නා. 10 වන මැදිරියේ සෙනඟක් ඉදිරියේ රඟදැක්වූ මේ නාට්‍යයේ මගේ දස්කම් දුටු විමලධර්ම සර් මාව මරදානේ බුහාරි හෝටලයට එක්ක ගිහින් බිරියානි කන්න දුන්නා. ඉන්පසු අපිට සිංහල විෂය ඉගැන්වූ විමලධර්ම සර් උම්මග්ග ජාතකය ඇසුරෙන් නිර්මාණය කළ වේදහ රජු නම් නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා. මට කලාව පිළිබඳ ඇල්ම ඇති කොට ඒ සඳහා පන්නරය ලබාදුන්නේ ඒ සර්. විමලධර්ම සර් සිතාර් වාදනයට හුඟාක් දක්ෂයි. ඔහු සිතාර් වාදනය කරනවා බලන්න ආසයි. ලස්සනට සින්දු කියනවා. විශේෂයෙන් හින්දි ගීත. හින්දි භාෂාව ගැන ප්‍රවීණයකු වූ එතුමා පසුව සංස්කෘතික අධ්‍යක්ෂවරයා වුණා. ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම එතුමාගේ දියණියක්. සතිස් කීවේය.
ධර්මරාජයේ ගුරුවරයකු වූ යූස්ටස් විජේසිංහ මහතා පාස‍ලේ දක්ෂතම නළුවා ලෙස ප්‍රකට සතිස්ට තවත් අභියෝගයක් භාර දුන්නේය.
සතිස් මේ පාර වාර අවසානයේ 'සුදෝ සුදු' කවි කතාව ඇසුරෙන් නාට්‍යයක් හදන්න. යනු ඒ අභියෝගයයි.
සතිස් සුදෝ සුදු කතාව කියවා ඇතත් තමාට කැපී පෙනෙන රඟපෑමකට තරම් සුදුසු චරිතයක් නොමැති බැවින් ඒ පිළිබඳ නුවණක් කල්පනා කළේය. ඔහු බබා මාමා නම් වැඩිහිටි චරිතයක් නිර්මාණය කොට කතාව අතීතාවර්ජනය වන අයුරින් කතාව විකාශනය කර ගත්තේය. නාට්‍යය වේදිකාගතවූ පසු වඩාත් කැපී පෙනුණේ බබා මාමා ගේ වැඩිහිටි චරිතයයි. මෙහි තවත්
විශේෂත්වයක් වූයේ මේ නාට්‍යයේ රඟපෑ ශ්‍රියා කාරියපෙරුම නම් ශිෂ්‍යාව ඔහුගේ අනාගත බිරිය වීමය.
සිය දිවි ගමනට බොහෝ ගුරුහරුකම් දුන් අය සිටියද පුංචි කාලයේ සිටම සතිස්ගේ වීරයා වූයේ පියාය.
මගේ තාත්තා ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන      පරීක්ෂකවරයා ලෙස කටයුතු කළා. ඊට කලින් තාත්තා සර් ඩී. බි. ජයතිලක මහතා සිටි අවදියේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙසද කටයුතු කොට තිබෙනවා. තාත්තා ඇන්දේ සම්පූර්ණ යුරෝපීය ඇඳුම. තොප්පියක්ද පැළඳගෙන ගිය තාත්තාව ගමේ අය හඳුන්වනු ලැබුවේ මාස්ටර් අයියා වශයෙන්. තාත්තා ගමනක් යනකොට සුදු සරම, ටයි පටියෙන් බැඳලා, කෝට් එක ඇඳගෙන ගියා.
දිනක් පාසල පැවැත්වෙන දවසක විවේක කාලයේ සතිස් අසල කඩේකට ගොස් ඇත. ඔහුට වැඩිමහල් ශිෂ්‍යයෝ සිගරට් බොමින් සිටි අතර ඔවුන් සතිස්ටද සිගරැට්ටුවක් දී බොන ලෙස බල කොට ඇත. සිගරැට් එක නොබි අතේ තබාගෙන සිටිනු දුටු නිමල් මල්ලී අයියා සිගරැට් බොනවා නේදැ? යි ඇසීය. නිමල් මේ කේලම අම්මාට කියූ අතර අම්මා තාත්තාට කීවාය.
එදා මට අමතක නොවන දවසක්. තාත්තා එදා සවස 5ට විතර ගෙදර ආවා. තාත්තා මූණ කට හෝදාගෙන සවස ඔබ්ස්වර් පත්‍රය කියවනවා ඇඳේ විට්ටමට හේත්තු වෙලා. තාත්තා අපට දඬුවමකටවත් ගහලා නෑ. ඒත් තාත්තා නඩු අහන කොට අපි බයයි. අපි දඟ වැඩ කළාම තාත්තා අපිට එයාගේ ඇඳ යට පැය භාගයක් තියනවා. මේ ගැන දන්න නිසා මම කල්තියාම තාත්තාගේ ඇඳ යට අතු ගාලා පැදුරක් දාලා තිබ්බා. තාත්තා හවස මට කතා කළා.
ඔය ළමයා සිගරට් බිව්වද?
මම නැහැ කිව්වෙත් නෑ ඔව් කිව්වෙත් නෑ.
යනවා ඇඳ යටට. පැය භාගයකින් විතර එළියට එනවා.
නියමිත වේලාවට මම ආවා. අර ප්‍රශ්නෙම නැවත ඇහැව්වා. මගෙන් පිළිතුරක් නෑ.
යනවා ඇඳ යටට. පැයක් ඉන්නවා.
ආයිත් මම එළියට ආවා. ආයිත් මගේ ප්‍රතිචාරය පෙර පරිදිමයි.
යනවා ඇඳ යටට මම කතාකරනකන් එළියට එන්නේ නෑ.
මම නියමිත වේලාවට එළියට ආවාම මට අවවාදයක් දුන්නා.
ඔය ළමයාගෙන් කවුරු හරි කොහේද ගියේ කියලා ඇහැව්වොත් යන්න පුළුවන් තැනකට කියන්න. කවුරු හරි ඇහැව්වොත් ඔය         ළමයාගෙන් එහෙදී මොනවද       කළේ කියලා කරන්න පුළුවන් දෙයක් කියන්න. කවුරු හරි ඇහැව්වොත් මේ ළමයා මොනවාද එහිදී කතා කළේ කියලා, කියන්න පුළුවන් දෙයක් කතා කරන්න.
මේ අවවාද අදටත් තදබල ලෙස සතිස්ගේ හදවතේ රැඳී ඇත. සතිස්ගේ ජීවිතයේ පරමාදර්ශී චරිතය තාත්තා බව සතිස් පවසයි.
පාසල් යන කාලයේ රඟපෑමට ගොස් සතිස් අමාරුවේ වැටුණ අවස්ථාද නැතිවා නොවේ. 1956 මහ මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ කාලයේ, ධර්මාලෝක විද්‍යාලයේ සමසමාජ පක්ෂයට ලැදි ගුරුවරයකු සතිස් කැඳවා මෙසේ කීවේය.
සතිස් අපි 56 ඡන්දේ ගැන නාට්‍යයක් හදමු.
කොහොමද සර් ඡන්දේ ගැන නාට්‍යයක් හදන්නේ. සතිස් විමසීය.
සුළු වැඩක්. වලව්වක් තියෙනවා. ඒකේ හාමු කෙනෙක් ඉන්නවා. හාමු තමයි ඡන්දෙන් දිනන්නේ. රේඩියෝ එකේ නිව්ස් කියනවා ඡන්දේ දිනුම් අපි කිරිබත් කමු කියලා. ඉතුරු ටික මම කියන්නම්. සතිස්ට තියෙන්නේ අගමැති කතා කරන හැටියට රඟපාන්න.
සතිස් උද්දාමයෙන් ගුරුවරයා කී දේ හිතට ගෙන නාට්‍යයක් ලියා මිතුරන් සමග එය පුහුණු විය. මේ නාට්‍යයේ චරිත ඇත්ත චරිතය. එම්.එස්. තේමිස් යන නම වෙනුවට තිබුණේ ජේමිස් කියාය. පිලිප්-දිලිප් විය. විමලා-කමලා විය. නාට්‍යය වේදිකාගත කළේ අද කැලණි විශ්වවිද්‍යාලය තියෙන තැන තිබූ මයිනා කෑම්ප් එකේය. සතිස්, බණ්ඩාරනායක අගමැතිතුමා අනුකරණය කරමින් රඟපෑවේය. සෙනග පිරී ඉතිරී ඇත. සතිස්ගේ පියාද එවකට ධීවර ඇමැති ජිම් මුණසිංහ මහතාද ඉදිරි අසුනේ වූහ.
ටිකෙන් ටික සෙනග කලබල වූහ. මහා කාලගෝට්ටියකි. වැලි බෝතලයක් වේදිකාවට ආවේය.
එදිරි... එදිරි... ඉක්මනට තිරය වහන්න. ලොකු තොප්පියක්. වහන්න... වහන්න තිරේ.... නාට්‍යය නවත්වන්න.
හිතවතෙකු කෑගැසීය.
තිරය වැසින. සතිස්ගේ තාත්තා වේදිකාව පිටුපසට පැමිණ ඔහුගේ අතින් ඇදගෙන යමු... යමු ඉක්මනට ගෙදර කියා කාර් එකේ නංවාගෙන හොර පාරකින් ගෙදර ගියේය.
ඔය ළමයාගෙ රඟපෑම හොඳයි. මීට පස්සේ ඔය විදියට කරන්න එපා. චරිත තෝරාගෙන රඟපාන්න කිසිවෙකුට අපහාස උපහාස වන චරිත රඟපාන්න එපා.
තාත්තාගේ ඒ අවවාදය අදටත් ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපාන චරිතයක් තෝරාගැනීමේදී සතිස්ගේ සිහියට එන බව ඔහු පැවසුවේය. තාත්තා සතිස්ගේ දුටු එකම රංගනය වී ඇත්තේ බණ්ඩාරනායක අගමැතිතුමා ලෙස රඟපෑ එම චරිතයයි.
හැටේ දශකයේ මුලදී කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා 'වෙස්සන්තර' නාට්‍යය පුහුණු කරමින් සිටි සමයේ සතිස්ට ඒ මහා කලාකරුවා හඳුනා ගැනීමට ලැබිණි. සතිස්ගේ වැඩිමහල් සොහොයුරා වූ ධර්මසිරි එදිරිසිංහ, ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ‍ලේකම්වරයකු ලෙස කටයුතු කළ අතර ජේ.ඩී.ඒ. පෙරේරා මහතා ඔහුගේ හිතවතෙකු විය. අයියා මගින් ජේ.ඩී.ඒ. පෙරේරා මහතා හඳුනාගන්නට සතිස්ට අවස්ථාව ලැබුණේ ඒ ඇසුරිනි. එය සතිස්ට රටක් රාජ්ජයක් ලැබිමක් බඳු විය. රුක්මණි දේවි, එච්.ඩී. කුලතුංග, ජෙසිකා වික්‍රමසිංහ, ශිලා පීරිස් ආදීන් සමග රඟපෑමට නවක සතිස්ට ඉන්පසු අවස්ථාව සැලසිණි.
නාට්‍ය චරිතය
කිහිප වතාවක්ම පුහුණු වුවද, වේදිකාවේ රඟපෑමට අවස්ථාවක් ඔහුට එතෙක් නොලැබිණි. එක්තරා දිනයක නාට්‍යයේ පූජක ලෙස රඟපෑ නළුවා පැමිණියේ නැත. නාට්‍ය පටන් ගැනීමට ඇත්තේ විනාඩි 5කි. ජේ.ඩී.ඒ. පෙරේරා කෝට් අත මෑත්කොට ඔරලෝසුව බලා සතිස්ට මේ චරිතය කරන්න පුළුවන්ද? ඇසීය. පුළුවන් බව පැවැසූ සතිස් වෙස්ගැන්වීම් ශාලාවට ගියේය. සියල්ල සූදානම්ය. වෙස්ගැන්වී සතිස් වේදිකාවට එනවිට මීට පෙර ඒ චරිතය රඟපෑ නළුවා වෙරිමරගාතෙන් එහි පැමිණියේය. සතිස් ජේ.ඩී.ඒ. පෙරේරා මහතා අසලට ගොස් කාරණය පැහැදිලි කළත් අද සතිස් තමයි නාට්‍යයේ පූජකයාට නටන්නේ කියා ගොස් ඇත. ඒ සතිස්ගේ මුල්ම ප්‍රසිද්ධ රඟපෑම විය.
ඔහු නිෂ්පාදනය කළ මුල්ම වේදිකා නාට්‍යය 'බක තපස්' විය. දෙවන නාට්‍යය වූයේ 'අත්තික්කා මල්'ය. 'අත්තික්කා මල්' පුහුණු වන අතරතුරේ ඔහුගේ මල්ලී වන නිමල් පැමිණ අයියේ අපේ සංගීත විද්‍යාලයේ දක්ෂ ළමයෙක් ඉන්නවා. එයාට සින්දු කියන්නත් පුළුවන්, වයලින් ගහන්නත් පුළුවන්. අමරදේව සර්ගේ වැඩසටහන්වල වයලින් ගහන්නෙත් එයා. කඩුගන්නාවේ පැත්තේ ළමයෙක් යනුවෙන් පැවැසීය. ඔහු වික්ටර් රත්නායකය. වික්ටර් රත්නායක මුල්වරට සංගීත අධ්‍යක්ෂණය කළේ මේ නාට්‍යයේය. පසු කලෙක මේ කතාව පසුබිම්කොට 'මාතර ආච්චි' නමින් චිත්‍රපටයක් නිර්මාණය කළ විට සංගීත අධ්‍යක්ෂණය පවරනු ලැබුවේ වික්ටර් රත්නායකටය.
'මාතර ආච්චි' සතිස්ගේ මුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය විය. චිත්‍රපටයේ ගීත කීපයක් තිබූ අතර එක් ගීතයක් සතිස් තම බාල සොහොයුරු සුනිල් එදිරිසිංහ ලවා ගායනා කරවීමට වික්ටර්ට යෝජනා කළේය.
වික්ටර්, සුනිල් මල්ලිට හොඳට සින්දු කියන්න පුළුවන්.
ඒ වුණාට සතිස් අයියා අපි දෙන්නත් නවකයෝ පළපුරුදු කෙනෙක් ගත්තොත්.... වික්ටර් අදිමදි කළේය.
එහෙම නොවෙයි වික්ටර්, අපි මේ සින්දුව මල්ලිට දෙමු. එයාට බැරි වුණොත් ඔයා කියන්න. සතිස් කීවේය.
දළුගම සරසවි චිත්‍රාගාරයේ පටිගතවූ මේ ගීතය වන 'සඳකඩපහනක කැටයම් ඔපලා-පාවෙන දේදුණු ලැගුම් ගනී' රචනා කළේ චිත්‍රපට නළු වොලී නානායක්කාර විසිනි.
එකල සජීවීව පටිගතවන මේ ගීතය 7 වන ටේක් එකෙන් සුනිල් විශිෂ්ට ලෙස ගායනාකොට නිම  කළේය. එම ගීතය අදටත් ඉතා ජනප්‍රියය. සුනිල් තම ඒක පුද්ගල ප්‍රසංගයට නම තැබුවේද 'සඳකඩපහන' කියාය.
සුනිල් මල්ලි ගැන මම ආඩම්බරයි. ඔහු අද විශිෂ්ට ගායකයෙක්. මම නිසා මල්ලිත් මල්ලි නිසාත් මමත් බැබලුණා සතිස් සිනාසෙමින් කීවේය.
සතිස්ගේ චිත්‍රපට රංගනයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ 'කොටි වලිගය' චිත්‍රපටයේ හාමුදුරුවන් ලෙස රඟපෑ තත්පර 90ක චරිතයයි. එම චරිතය සඳහා සරසවි සම්මාන උළෙ‍ලේ විශේෂ ජූරි සම්මානයක් ඔහුට හිමිවිය. එහිදී සතිස්ට තිබුණේ මේ දෙබස් කණ්ඩය පමණි.
හාමුදුරුවනේ මෙතනින්   දෙමළෙක් දිව්වද? මැරයෙක් අසයි.
දිව්වේ නෑ හාමුදුරුවෝ පවසති.
එහෙනම් මේ ‍ලේ තියෙන්නේ මැරයා අසයි.
මේවා සිංහල ‍ලේ ද, දෙමළ ද කියලා කොහොමද කියන්නේ හාමුදුරුවෝ පවසති.
මේ චරිතය රඟපෑවට පස්සේ මට සී ස්ටී්‍රට් එකේ දවසක් යනකොට කතා කරල ඔරේජ් බාර්ලි දුන්නා. දවසක් ශාන්ති විහාර් එකේ කාලා සල්ලි දෙන්න ගියා සල්ලි ගත්තේ නෑ. බලන්න තත්පර 90ක රඟපෑම. ඒක ලෝක වාර්තාවක්ද දන්නේ නෑ. එහෙම සම්මානයක් දිනූ එකම නළුවා මමද දන්නේ නෑ සතිස් සිනාසෙමින් කීවේය.
කුඩා කාලයේ සතිස් දැක ඇති මුල්ම චිත්‍රපටය 'කැලෑහඳ'ය. 'පෙරකදෝරු බෑණා' නැරඹූ දින සතිස් අම්මාගෙන් ගුටි කෑවේය. දිලිප් කුමාර්, දේවි ආනන්ද් හා නුටාන්ට ඔහු ප්‍රිය කළ හින්දි නළු නිළියන්ය.
සතිස්-ශ්‍රියා විවාහ වී පනස් වසරක් ගතවීමට ඇත්තේ තව දෙවසරකි. ඔවුනගේ වැඩිමහල් පුතා උදය ව්‍යාපාරිකයෙකි. දියණිය ශෂිනි හා බාල පුතු උදාර විවාහවී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති.
මගේ බිරිඳ මට වරෙක මවක්. වරෙක සොහොයුරියක්. වරෙක යෙහෙළියක්. හැබැයි වධක භාර්යාවක් නොවෙයි සතිස් බිරිය ගැන කීවාය.
මම දැන් ඉදිරියටත් හොඳ චරිත ලැබුණොත් රඟපානවා. ඒත් අද මගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වන්නේ ආධ්‍යාත්මික ගුරුවරයෙක් ලෙස දේශන පැවැත්වීමෙන්. එයින් අසන්නාට සහනයක් ලැබුණොත් මට ඉන් සැනසිය හැකියි සතිස් කීවේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය