Powered by Blogger.

ජපානයේ සත්‍ය කතාවක්‌ වන මෙය අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි යනුවෙන් සිංහලට හඬ කවා තිබේ. මෙයට ඕසකාහි කිෂිවදා ප්‍රදේශයේ සිටි අයකා කොෂිනෝ නම් වූ මෝස්‌තර නිරූපණ ශිල්පිනියගේ ජීවන වියමන පාදක වී ඇත. ඇය හිරොකො, ජුන්කො සහ මිචිකො නම් දියණිවරුන් තිදෙනාගේ මවයි. ඔවුන් ද තම මවගේ දස්‌කම් ජාත්‍යන්තර මට්‌ටමින් ඉදිරියට ගෙන යැමට කටයුතු කළහ. ඇය 2006 වසරේ රෝගාතුරව සිටියදී පවා රෝහලේ මෝස්‌තර නිරූපණ උළෙලක්‌ පැවැත්වූවාය.

සැමවිටම නිර්භයව කටයුතු කරන ඔහරා ඉතොකො නම් කුඩා දැරිය ජීවිතයේ දුක්‌ කම්කටොලු කරදර පීඩා කඩා බිඳ දමා දිවිය ධෛර්යයෙන් දිනා ලොව අපූර්වතම මෝස්‌තර නිර්මාණ ශිල්පිනිය බවට පත්වෙයි. 1913 කිමෝනා ඇඳුම් මසන පියෙකුට දාව උපන් ඉතොකො, තම පාසල් දිවියට පවා ආයුබෝවන් කීවේ මෝස්‌තර නිර්මාණ ශිල්පයට ඇති නොතිත් ආශාව නිසාය. කුඩා කල සිටම සිත තුළ වූ ඇගේ අපේක්‍ෂාවන් මල්ඵල දරමින් වයස අවුරුදු 20 දී ඇය තමාගේම ව්‍යාපාරයක්‌ ඇරඹීමට සමත් වූවාය.

ඉතොකොගේ ස්‌වාමිපුරුෂයා යුද්ධයේදී මියගියද තම දියණියන් තිදෙනා සමග තම ව්‍යාපාර කටයුතු සාර්ථකව සිදු කළේ දුක්‌ කරදරවලින් ලද පන්නරය නිසාය.

2011 වසරේ ජපානයේ ඇතිවූ තෝහොකු භූ කම්පනය නිසා මෙම නාට්‍ය මාලාවේ ආරම්භක නිෂ්පාදන කටයුතු ප්‍රමාද වූ අතර කතාව ලඝූ කිරීමට ද නිෂ්පාදකවරුන්ට සිදු විය.

මෙම කතා මාලාව කන්සෙයි ප්‍රදේශයේදී රූගත කිරීම් සිදුකළ අතර ප්‍රධාන චරිතයට පණ පෙවූ ඔනො මචිකො කිසිදු අපහසුතාවකින් තොරව එහි ප්‍රාදේශීය ව්‍යවහාර බස හැසිරවීම විශේෂ කරුණකි. ඇය මෙහි ප්‍රධාන චරිතයට තෝරාගෙන ඇත්තේ රංගන ශිල්පීන් 1850 දෙනකු අතරිනි. ඉතොකොගේ මහලු අවධිය නිරූපණය කරන මරී නත්සුකි මෙම නාට්‍ය පෙළට සම්බන්ධවීමේදී ඇයට වයස අවුරුදු 59 දී වයස 72 ක කාන්තාවකගේ චරිතයක්‌ නිරූපණය කළේය. නිනොමියා අකරි නම් රංගන ශිල්පිනිය ඉතොකොගේ ළමා අවධිය මෙන්ම ඉතොකොගේ දෙවන දියණිය වන ඔහරා නඔකොගේ ළමා අවධියත් යන චරිත ද්විත්වයම නිරූපණය මගින් ඇගේ රංගන ප්‍රතිභාව මැනවින් පැහැදිලි වෙයි.

සිරිලක දූ දරුවන්ට උත්සාහයෙන් සහ කැපවීමෙන් ජීවිතය ජයගන්නා අයුරු මනා ලෙස විදහා දක්‌වන මෙම ටෙලි නාට්‍ය පෙළෙහි අන්තර්ගතය අපට බොහෝ සමීපය. ඇයද දිවිය ජයගන්නා දියණියකි. මෙය ජාතික රූපවාහිනිය මගින් සතියේ දිනවල සුපුරුදු පරිදි සවස 6.30 ට විකාශය වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය