Powered by Blogger.



ඇතැම් පුද්ගලයෝ තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් ,නොලැබුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උත්තරීතර වු ධර්ම විනය අසන්නට ලැබුණත්, නොලැබුණත් කුසල ධර්මයන්හි යෙදී කුසල් පක්‍ෂය ප්‍රවර්ධනය කර ගනිති. මෙවන් පුද්ගලයෝ ඉතාම දුර්ලභය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර ධර්මයන් අනුව, පෙර පුරුදුතාවයටම අනුව මෙලෙස වූ පුද්ගලයන් ධර්මය සොයාගෙන යති.

තථාගත අමා මෑණි බුදුපියාණන් වහන්සේ සමාජය පියුම් විලකට උපමා කරමින් සමාජගත පුද්ගලයන් පියුම් විලෙහි විවිධ ආකාර වු පියුම් ලෙස කෙලෙස් අඩුවැඩි බව අනුව විග්‍රහකොට පෙන්වා වදාළා සේක. පුද්ගල වේමත්තතාව පදනම් කොට සමාජයේ යහපත් පුද්ගලයින් අයහපත් පුද්ගලයින් ලෙස ප්‍රභේදගත විය. ඒ අනුව ඇසුරු කිරීමට භජනය කිරීමට සුදුසු, නුසුදුසු වශයෙන් බෙදිය හැකිවේ. සද්පුරුෂ, කල්‍යාණ මිත්‍ර , යහපත් යැයි සම්මත පරමාදර්ශි පුද්ගලයන්ගේ ඇසුර තුළින් ජීවිත සාර්ථකත්වය කරා ළඟාවනවාසේම අසද්පුරුෂ ගුණ හීන පුද්ගල ඇසුරින් පරිහානිත්වයට පත්වීමේ ප්‍රවණතාව බහුලය.
ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ අධ්‍යාත්මික ගුණ හා හැසිරීම් අනුව විවිධ පුද්ගල ප්‍රභේද හඳුනාගෙන මනාව දේශනා කොට වදාළ සේක. ඒ අනුව අංගුත්තර නිකායේ තික නිපාතයේ පුද්ගල වග්ගයේ දී මෙසේ වේමන්නතාවයෙන් යුතු පුද්ගලයන් පිළිබඳව විග්‍රහ කරන ලද ආකාරය අපූරුය.
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වාසය කරන කළ සවිට්ඨ තෙරුන් වහන්සේ, මහාකොට්ඨික තෙරුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේ වෙත එළඹ සිටි කළ සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කොට වදාළේ.
සවිට්ඨ ආයුෂ්මතුනි, ලෝකයෙහි පුද්ගලයෝ තිදෙනෙකි. කායසක්වි, දිට්ඨීප්පත්ත, සද්ධාවිමුත්ත පුද්ගලයන්ය. ශ්‍රද්ධා විමුත්ත පුද්ගලයා නම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වූ පුද්ගලයාය. කායසක්වි නම් සමාධි ඉන්ද්‍රිය බලවත් වූ පුද්ගලයාය. දිට්ඨීප්පත්ත නම් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වූ පුද්ගලයාය. මෙම පුද්ගලයන් තිදෙනා අතුරින් වඩා ප්‍රහීණ වඩා හොඳ වඩා රුචි කවරුහුද යන්න පිළිබඳ ගැටලුව ඇතිවූ කළ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ විමසූ කළ මෙම පුද්ගලයන් තිදෙනාම සමවන බවත්, වඩා ප්‍රහීණ එක් පුද්ගලයෙකුයැයි ප්‍රකාශ කිරීම සුකර නොවන බව දේශනා කර වදාළ සේක.
ඒ ඇසුරෙන් භාග්‍යවතුන් වහන්සේ ලොව වාසය කරන පුද්ගල ත්‍රිත්ව දහයක් පිළිබඳව පෙන්වා වදාළ සේක. පළමුව උන්වහන්සේ පෙන්වා වදාළේ. මේ ලෝකයේ ගිලනුන් තුන්දෙනෙකි. ඉන් පළමු ගිලනා නම්, ප්‍රත්‍ය ආහාර ලැබුණත් පත්‍ය ආහාර නොලැබුණත් උපස්ථායකයෙකු ලැබුණත්, සුදුසු උපස්ථායකයෙකු නොලැබුණත් අසනීපය සුව නොවන ගිලනාය.මෙවැනි ගිලන් පුද්ගලයෝ සමාජයේ බහුලව දැකිය හැකි වන්නේය. දෙවන ගිලනා ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ප්‍රථ්‍ය ආහාර ලැබුණත් නොලැබුණත් උපස්ථායකයෙකු ලැබුණත් නොලැබුණත් ලෙහෙසියෙන්, පහසුවෙන් සනීප වන ගිලනාය.තෙවන ගිලනා ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ ප්‍රථම ආහාර නොලබා නොව ලබාම , ප්‍රථ්‍ය බෙහෙත් නොලබා නො ලබාම , සුදුසු උපස්ථායකයෙකු නොලබා නොව ලබාම අසනීපය සුවපත් වන්නා වූ ගිලනාය.
මෙසේ වාසය කරන්නාවූ තෙවැදෑරුම් වු ගිලනුන් බුද්ධ ශාසනයට ආරෝපණය කරමින්, ධර්මයට අනුගත කරගනිමින් සමාජීය පුද්ගලයන් විවරණය කිරීම භාග්‍යවතුන් වහන්සේ සිදුකළ සේක. පළමුවන ගිලනා කෙබඳුද යත්, තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් නොලැබුණත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සසර නිමා කිරීමේ උතුම් ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබුණත් නොලැබුණත්, කිසිදු අයුරකින් මාර්ගයට එනම් කුසල මාර්ගයට පිවිසීමක් නොලැබූ පිරිස හා සමානවෙති, එනම් අසනීපය සුවනොවනා ගිලනාය. එවන් පුද්ගලයෝ පේ‍්‍රත, තිරිසන්, අසුර නරක යන සතර අපා දුකට වැටී, සසරෙහි කෙළවරක් නොදැක නොවිසමින් කටයුතු කරති. කිසිදු අයුරකින් බුද්ධ රත්නය ධර්මරත්නය,ආර්යමහා සංඝරත්නය ගරු නොකරමින් මෙලොව පමණක්ය යන දෘෂ්ඨීයෙහි වෙලී වාසය කරමින් සදාතනික සැපත වූ නිවනට ප්‍රවිශ්ඨයක්ද නොලබා එම පුද්ගලයෝ අනන්ත අප්‍රමාණ සසර දුක් විඳිති. ගිලනා සදාකාලික දුකෙහි නිමග්නව වාසය කරන්නාක් මෙනි.
එමෙන්ම ඇතැම් පුද්ගලයෝ තථාගතයන් වහන්සේ දක්නට ලැබුණත් නොලැබුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත උත්තරීතර වු ධර්ම විනය අසන්නට ලැබුණත් නොලැබුණත් කුසල ධර්මයන්හි යෙදී කුසල් පක්‍ෂය ප්‍රවර්ධනය කර ගනිති.
මෙවන් පුද්ගලයෝ ඉතාම දුර්ලභය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර ධර්මයන් අනුව, පෙර පුරුදුතාවයටම අනුව මෙලෙස වූ පුද්ගලයන් ධර්මය සොයාගෙන යති. බුද්ධ ගෞරවය ඇතිකරගනිමින් වීර්යයෙන් යුක්තව ඔවුහු ක්‍රියා කරති. කිසි ප්‍රත්‍ය ලැබුණත් නොලැබුණත් රෝගය සනීප වන පුද්ගලයා මෙනි. සැබවින්ම එවන් උත්තමයෝ සංසාරය නමැති දුකින් රෝගයෙන් විමුක්ත වූ විමුක්ත නිරෝග උත්තමයෝ බවට පත්වන්නේය.
අනෙක් පුද්ගලයා නම් තථාගතයන් වහන්සේ දක්නට නොලබා නොව ලබාම, දේශිත ධර්මය අසන්නට නොලබා නොව ලබාම කුසල ධර්ම විෂයෙහි මාර්ගයට පිළිපන්ව කටයුතු කරන්නා වූ පුද්ගලයාය.
අනතුරුව මෙම දේශනාවෙහිදි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව විද්‍යාමාන වන්නා වූ තවත් පුද්ගල ත්‍රිත්වයක් පිළිබඳව දේශනා කොට වදාළ සේක. එයින් පළමු පුද්ගලයා නම් දුක් සහිත කාය සංස්කාර රැස් කරමින්, දුක් සහිත වාග් සංස්කාර රැස්කරමින්, දසුනක් සහිත මනෝ සංස්කාර රැස් කරමින්, දුක් සහිත පේ‍්‍රත , තිරිසන්, නරක, අසුර යන සතර අපායන්ට පත්ව අනේක දුක් විඳින්නා වූ පුද්ගලයින්ය. දෙවන පුද්ගලයන් නම් නිදුක් කාය සංස්කාර නිදුක් වාග් සංස්කාර හා නිදුක් මනෝ සංස්කාර රැස්කරමින් නිදුක්, සැපදායක ස්පර්ශ ලබන්නාවූ සුභකිත්තක දෙවියන් මෙන් ඒකාන්ත වු සැප ලබන්නා වූ පුද්ගලයන්ය. තෙවන පුද්ගලයන් නම් දුක් වූත් නිදුක් වූත් කාය , වාග්, මනෝ සංස්කාර රැස්කොට මිනිසුන් මෙන් දෙවියන් මෙන් දුක, සැප, දුක් – නිදුක් මිශ්‍ර වේදනා ලබමින් වාසය කරන පුද්ගලයන්ය. මෙලෙස තම , තමන් විසින් ප්‍රකටව සිදුකරනු ලබන සංස්කාරයන්ට අනුරූපව සතර අපාය, මනුෂ්‍ය සම්පත්ති, දිව්‍යලෝක සම්පත්තීන්ට අනුයාත වන ආකාරය අනුව පුද්ගල ත්‍රිවිධ ප්‍රභේදයෝ භාග්‍යවතුන් වහන්සේ මනාව පෙන්වා වදාළ සේක.
ඉක්බිති බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළේ පුද්ගල ජීවිතය සාර්ථකත්වයේ හිනිපෙත්ත කරා ළඟා වීමට උපකාරක වන්නා වූ පුද්ගලයන් ත්‍රිත්වය පිළිබඳවයි. යම් අයෙකු බුදුන්, දහම්, සගුන් යන ත්‍රිවිධ රත්නය සරණ ගිය අයෙකු නම් සරණයාමට එළඹුම් ඇති පුද්ගලයෙකුට උපකාරක අයෙකු වේ. සද්පුරුෂ ,කල්‍යාණ මිත්‍රයෝ මෙවැනි ගුණ දරති. ශ්‍රද්ධාවෙන් තුණුරුවන් සරණගිය එක් පුද්ගලයකු නිසාවෙන් මුළු විශ්වයක්ම ඒකාලෝක කිරීමේ සක්‍යතාවයක් ඇත්තේය.එම සද්පුරුෂයා මුළු ලොවටම උපාකරක වන්නේය.
එසේම දෙවන පුද්ගලයා ලෙස දුක, දුක ඉපදීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ තත් වූ පරිදි දැනගත් ආචාර්ය පුද්ගලයෙකු අන් අතවැසියන්ට උපාකරක වේ.තෙවන පුද්ගලයා ලෙස ආසවක්ෂය කිරීම, චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය ලද අතවැසියකු පුද්ගලයාට උපකාරක වන්නේය. සම්බුද්ධ ශාසනය වු කලි ක්ලාන්ත වූ සසුනකි. එකිනෙකාට කල්‍යාණ මිත්‍රවණ කටයුතු කිරීම තුළින් සසර ගමනින් එතෙරවීමේ මාර්ගය සකස් වේ. ලොව්තුරා ශාන්තිනායක දශබලධාරින් වහන්සේ සියල්ල අවබෝධ කළ උත්තරීතර කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වූ සේක. ඒ උතුම් මඟට පිළිපන් පුණ්‍යවන්ත සද්පුරුෂයෝ මාර්ගඵල ලබමින් සසර ජයගත් සේක. එවන් වූ කල්‍යාණ පිරිසෙන් නිපන් සැවොම එකිනෙක පුරුකක් මෙන් ගොඩනැගී සද්පුරුෂ ධර්මයට යටත්ව සසර ජයගැනීම උදෙසා පුද්ගල වශයෙන් උපකාරකත්වයට පත්වෙති. මෙම පුද්ගල ත්‍රිත්වය යහපත් උතුමන් පිළිබඳ වූ විමසුමකි.
අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තවත් පුද්ගල ත්‍රිත්වයක් පිළිබඳව දේශනා කොට වදාළ සේක. පළමු පුද්ගලයා පරණ තුවාලයක් බඳු සිත් ඇති පුද්ගලයාය. පරණ තුවාලය විගසින් පෑරීමට සමත්වන්නකි. ද්වේෂය, කෝපය නොසතුටෙන් වාසය කරන්නේය. ඇස් ඇති පුරුෂයෙක් රෑ ගනඳුරෙහි විදුලිය ගසන වේලෙහි රූප දකින්නා සේ මෙලොව යථාර්ථය දකින්නා වූ පුද්ගලයා විදුලිය වැනි සිත් ඇති පුද්ගලයාය. තෙවන පුද්ගලයා වනුයේ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් චේතෝ විමුක්තිය , ප්‍රඥා විමුක්තිය, ලද දියමන්තියක් බඳු සිත් ඇති පුද්ගලයාය. දියමන්තිය හෙවත් වජ්‍ර කිසිදු හේතුවක් මත මැණිකකින් හෝ වෙනත් පාෂාණයකින් බිඳ විනාශ කළ නොහැකිය. ආර්ය උත්තමයන්ගේ එවැනි සිත් ඇත්තේ වෙති. මිහිමත එවන් උතුමෙකු වසන්නේ නම් එසමය භාග්‍යවන්ත වූ සමයක් වන්නේය.
බුදුරජාණන් වහන්සේ විසින් සේවනය කළ යුතු තවත් පුද්ගල ත්‍රිත්වයක් පිළිබඳ දේශනා කොට වදාළ සේක.
එයින් පළමු පුද්ගලයා නම් ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් තමාට සමාන නම් එම පුද්ගලයන් සේවනය කළ යුතුය. සත්කාරයෙන් ගරුකාරයෙන් සේවනය කළ යුතුය. භජනය කළ යුතු පයිරුපාසානය කළ යුතු පුද්ගලයා නම් ශීලයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් මෙලොව යම් කෙනෙකු තමාට වඩා ඉහළ නම් එබඳු පුද්ගලයා සේවනය කළ යුතුය. එබඳු පුද්ගලයන් ඇසුරු කිරීමෙන් පිරිහුනු සිල් ඇති විට ප්‍රඥාවෙන් අනුග්‍රහ කරති. සමාධියෙන් පිරිහුණු විට අනුග්‍රහ කරති.මෙලෙස තමාට වඩා උසස් ගුණයන් ඇති පරමාදර්ශි සද්පුරුෂයන් ඇසුරු කිරීමෙන් තම ගුණධර්ම වඩා දියුණු කරගැනීමේ සක්‍යතාවයක් ඇත.මෙලොව ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් කිසියම් පුද්ගලයකු තමාට වඩා හීන නම් ඒ අය බාලයන් ලෙස සලකා සේවනය නොකළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක.

බුදුපියාණන් වහන්සේ නැවතත් පුද්ගල ත්‍රිත්වයක් දේශනා කොට වදාළ සේක. ඉන් පළමුවැන්න නම් මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෝ දුද්ශීලයෝය. පාපධර්ම ඇති අපවිත්‍ර සැක කටයුතු හැසිරීම් ඇති සැඟවුණූ කර්ම ඇතිව ආශ්‍රමණව ශ්‍රමණයැයි කියාගන්නා අබ්‍රහ්මචාරිව බ්‍රහ්මචාරියයි කියාගන්නා ඇතුළත කුණූ වු දුගඳ වහනය වන කෙලෙස් කසළ ඇති පිළිකුල් කටයුතු පුද්ගලයෝය. මෙම පිරිස් පාපි සිත් ඇති පාපින් වෙත නැමුණු සිත් ඇත්තෙක් වේ. අශූචියට ගිය සර්පයා අශුචියෙන් තැවරෙන්නා සේ මෙබඳු දුර්ගුණ ඇත්තන් අසුරු කිරීමෙන් පරිහානියට පත්වන්නේය.
එමෙන්ම කිපෙන සුළුවූ කොටුවකින් හෝ කැබිලිත්තකින් ගටනලද පරණ වණය වැඩියෙන් ලේ සැරව වගුරන්නාක් මෙන් කෝටුවකින් කැබිලිත්තකින් ගටන ලද අශූචිවල වැඩියෙන් ගඳ ගසන්නාක් මෙන් මේ ලෝකයෙහි කිසියම් පුද්ලයකු නොසතුට පහළ කරන අයෙකු වේ නම් එම පුද්ගලයා උපේක්‍ෂාවෙන් ඇසුරු කළ යුතුය. සේවනය කිරීම භජනය කිරීම පයිරුපාසානය නොකළ යුතුය.
යම් පුද්ගලයකු සිල්වත් වේ නම්, කල්‍යාණධර්ම ඇත්නම් සද්පුරුෂ නම් එබඳු පුද්ගලයා සේවනය කිරීම කළ යුතු වන්නේය. එම සද්පුරුෂ ඇසුර නිසාවෙන් ඇසුරු කරනු ලබන පුද්ගලයා කල්‍යාණ මිත්‍රයන් ඇත්තෙක් වෙත යොමු වූ අයකු ලෙස කීර්තිය පැතිරෙන්නේය. ඒ උතුමන් භජනය කිරීමෙන් වඩා දියුණු වූවකු වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ නම් වූ ශ්‍රේෂ්ඨ කල්‍යාණ මිත්‍රයාණෝ දේශනා කොට වදාළ සේක.
මෙලෙස සත්ත්වයා සසර කතරින් එතෙර කරවීමට වෙරදැරූ භාග්‍යවත් අර්හත් සම්බුදුපියාණෝ පුද්ගල සම්පත්ති පිළිබඳ පෙන්වාදෙමින් යහපත් කල්‍යාණ මිත්‍ර ධර්මයක් ඉටු කොට වදාළ සේක. ඒ උතුම් ගෞතම සසුනේ ශ්‍රී සද්ධර්මය ඇසුරු කරන්නේ යහපත් උතුමන් නුවණින් තෝරාගෙන යහපත් ඇසුර ප්‍රාර්ථනා කිරීමට උත්සුක වන්නෝ වෙමු.

මේ මොහොතේ ජීවත් වෙමු



නොලද දෙය පැතීමෙන් ඉකුත් වූ දේ ගැන ශෝක කිරීමෙන් මෝඩ මිනිස්සු කපා දමන ලද බට දඬුවක් මෙන් හැකිළෙති. කිසියම් කායික ක්‍රියාවක හෝ කතාබහක යෙදී නොසිටින මොහොත මිනිසුන් ගත කරන්නේ සිතිවිලි ගොන්නක පැටළී සිටිමිනි. ඒ සිතිවිලි තුන් ආකාරයකට වෙන් කර දැක්විය හැකියි.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා දේවතාවෙක් මේ ප්‍රශ්නය අසා සිටියේය. වනයේ වාසය කරන, එක්වේලක් පමණක් ආහාර වළඳන, ශාන්ත වූ බ්‍රහ්මචාරින් වහන්සේගේ ශරීර වර්ණය කවර හේතුවකින් ප්‍රසන්නද? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ, ඒ භික්ෂූහු අතීතය ගැන ශෝක නොකරති. අනාගතය ගැන ප්‍රාර්ථනා ඇති කර නොගනිති. දැනට ඇති දෙයින් යැපෙති. ඒ නිසා සිරුරු පැහැපත්ය.
නොලද දෙය පැතීමෙන් ඉකුත් වූ දේ ගැන ශෝක කිරීමෙන් මෝඩ මිනිස්සු කපා දමන ලද බටදඬුවක් මෙන් හැකිළෙති. (ස.නි. 1,10 අරඤ්ඤ සූත්‍රය)
කිසියම් කායික ක්‍රියාවක හෝ කතාබහක යෙදී නොසිටින මොහොත මිනිසුන් ගත කරන්නේ සිතිවිලි ගොන්නක පැටළී සිටිමිනි. ඒ සිතිවිලි තුන් ආකාරයකට වෙන් කර දැක්විය හැකියි.
1.අතීතය ගැන සිතමින් සිටීම
2.අනාගතය ගැන සිහින මැවීම හා
3. තමාගේ සිත සමඟ සංවාදයක යෙදීමය
මේ මොහොත ගත කරන මේ ආකාරය ගැන විශේෂ අවධානය යොමු කළ යුත්තේ තම තමන්ගේ විමුක්තිය සම්බන්ධයෙන් එය අතිශයින් වැදගත් නිසාය.
අතීතය ගැන සිහි කරමින් කල්ගත කිරීම
දැන් මෙහෙම වුණාට ඉස්සර අප කොහොම හිටපු මිනිස්සුද? යනුවෙන් අතීතය මතක් කරන මිනිසුන් අපට හමු වී අත. ඔවුහු තමන් අතීතයේ විඳි සැප සම්පත් ගැන, එදා තමන් සතු වු රූ සපුව ගැන, එදා කළ හපන්කම් ගැන, තමන්ට තිබුණු බලපුළුවන්කාරකම් ගැන අනේක විධ අයුරින් කල්පනා කරති. දැන්, ඒ තත්ත්වය ගිළිහී ගොස් ඇත්නම් සුසුම් හෙළති. අතීතයේ ගත කළ ඒ ජීවිතය යළිත් සිතින් නිර්මාණය කර ගනිමින්, එහි කිඳා බසිමින් එදා සිටි තත්ත්වය යළිත් විඳ ගනිති. වෙනත් අයුරකින් කිවහොත් එදා ආස්වාදය කළ පංච කාම සම්පත්තිය යළිත් සිතින් ආස්වාදය කරති. ඒ සමඟම අද තත්ත්වය හා සසඳා බලමින් අසහනයට පත්වෙති. දුක් වෙති. දැඩි කම්පනයකට ලක්වෙති.
මේ මානසික ක්‍රියාකාරිත්වය එ හැම පිටින්ම අකුසල් ජනනය කරන, දහම් මඟ අවුරාලන, පාපකාරි තත්ත්වයකි. එදා තත්ත්වය ගැන සිතමින් අද යළි ගොඩ නඟා ගන්නේ පංච උපාදාන සිත් රාශියකි. අද තත්ත්වය හා සසඳා බලා ගොඩ නඟා ගන්නේ ද පංච උපාදාන සිත් රැසකි.
අතීතය ගැන මෙයට වෙනස් ආකාරයෙන් මෙනෙහි කරන්නෝද වෙති. ‘අපි ඒ කාලෙ ගත කළේ අන්ත අසරණ ජීවිතයක්. යම් තම් කාල ඇඳලවත් ඉන්න ලැබුණෙ බොහොම කලාතුරකිනි. දැන් තමයි ටිකක් හිස ඔසවන්නෙ”
මේ අයුරින් සමහරු තම අතීත ජීවිතය ගැන මහ දුක් ගින්දරක් දැන් නැවතත් සිතින් විඳ ගනිති. ඒ දුක්බර ජීවිතය යළි මොහොතකට ගත කරමින් එදා ඇති වූ ශෝකය, භීතිය, දුක, කෝපය,අසහනය යළි විඳ ගනිති. පංච උපාදාන සිත්ම ගොඩනඟමින් නිවන් අරමුණ අවුරා ගනිති.වර්තමානයේ විඳින සුවපහසුවද මොහොතකට යටපත් කරගෙන අතීත දුකෙහිම ගිළෙති.
මේ අයුරින් සිතීමෙන්, එක්කෝ අතීතයෙහි විඳි පස්කම් සැපයෙහි යළි නිමග්න වෙති. නැතහොත් කෝපය,ක්‍රෝධය වැනි අහිතකර සිතිවිලි වලින් පීඩාවට පත්වෙති. උපාදාන සිත්ම උපදවා ගනිමින් දුකම අනුභව කරති. දහම් මඟින් ඈතින් ඈතට ගමන් කරති.
අතීතය ගැන කල්පනා කරමින් සිටීමේ මෙයට වඩා අවැඩදායක තත්ත්වයක්ද ඇත. විමුක්තිය සම්බන්ධයෙන් නම් එය බෙහෙවින් හානිදායකය. මේ මොහොතේ සිටිමින් අතීතයේ ජීවත්වන තැනැත්තාගේ සිතෙහි මෙබඳු අදහස් බලපවත්වයි. ‘අතීතයේ මම සිටියෙමි. මේ මේ අයුරින් සිටියෙමි. මේ අයුරින් ක්‍රියා කළෙමි. මේ මේ දේවල් මට අයත්ව තිබිණි. “මෙසේ සිතමින් ‘මගේ් දේවල්’ ගැනද ‘මම’ ගැනද අදහස් තහවුරු කර ගැනෙයි. අතීතයේ තිබුණු, එදා සිට පවතින,නොනැසෙන ආත්මයක් ගැන දෘෂ්ටියක් හට ගැනෙයි. ඒ නිසා භවයට, සසරට බැඳ තබන ප්‍රධාන බැම්ම වන සක්කායදිට්ඨිය හට ගැනේ.එය ඍජුවම නිවන් මඟ අවුරාලයි.
මෙහිදී කිසිවකුට ඇති විය හැකි ප්‍රශ්න කිහිපයක් වෙයි.ආර්ය මාර්ගයේ එක් අංගයකි. සම්මා සතිය ගැන මෙසේ විස්තර වෙයි.
1. කරන හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව කිරීම,
2.ඈත අතීතයේ පවා කළ කී දෑ හොඳින් මතක තිබීම
මෙහි දෙවැනි කරුණ සම්මා සතියට අයත් නම් අතීතය අමතක කරන්නැයි කීම දහමෙහි පරස්පරතාවක්ද? මේ එක ප්‍රශ්නයකි.
ඉතිහාසය (අතීතය) අමතකර කර වර්තමානය ගොඩනඟා ගත හැකිද? ඉතිහාසය අමතක කළ යුතුද? මේ තව ප්‍රශ්නයකි.
රටක මෙන්ම පුද්ගලයකුගේ වර්තමාන දියුණුව ගොඩ නඟා ගත හැක්කේ අතීතය හෙවත් ඉතිහාසය පිළිබඳ හොඳ දැනීමක් ඇතිව බවට කිසිඳු සැකයක් නැත. එහිදී වර්තමානය ගොඩ නඟා ගැනීමට අවශ්‍ය පදනම, විය හැකි බාධක හා ඒවාට මුහුණ දී සාර්ථකත්වය ලබා ගත හැකි ආකාරය ඉතිහාස දැනුම ම¼ගින් මතුකරගත හැකියි. එය අතීතය සිහි කිරීමෙන් වර්තමානය වනසා ගැනීමක් නොවේ. මෙහි වැරැද්ද වන්නේ එය නොව,අතීතයේ යළි ජීවත්වෙමින් උපාදාන සිත් ගොඩ නඟාගෙන වර්තමානයේ පරිහානිය ඒ මඟින් උදාකර ගැනීමය.
සම්පූර්ණයෙන් අතීතය අමතක කළ තැනැත්තාට ජීවත්වීමට නුපුළුවන. ඒ නිසා මේ කරුණ පැහැදිලිව වටහා ගත යුත්තකි.
සාමාන්‍යයෙන් පුහුදුන් සාමාන්‍ය මිනිසාගෙන් සිදුවනුයේ අතීතයේ ගතකළ ජීවිතයේදී අත් දුටු කෙලෙස් සිතිවිලි යළි උපදවා ගැනීමය.
කාමය,කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, මානය, මාත්සර්යය වැනි අකුසල් සිතිවිලි යළි ඇතිකර ගනිමින් තවත් වතාවක් සිත දූෂ්‍ය කර ගැනීම සිදුවෙනවා නම් නැති කරගත යුත්තේ එයයි.
අනාගතය ගැන සිතීම ද මේ අයුරින්ම තේරුම් ගත යුතුය.
අනාගතය ගැන සිහින මවමින් සිටීම මෙහි ඇති වරදය. භාගිනෙය්‍ය සංඝරක්ඛිත සාමණේරයන්ගේ කතා පුවත ප්‍රසිද්ධ එකකි. සිතෙහි ප්‍රපංච ගොඩනැගෙන අයුරුද, තම සිතින් කරගත් නිර්මාණවලට තමන්ම නොදැනුවත්වම යට වන අයුරුද එයින් මැනැවින් ප්‍රකාශිතය.
අනාගතය ගැන කල්පනා ලෝකයක නිමග්නවීම වර්තමානයෙන් පැන යන එක් ක්‍රමයනි. මෙහිදීද,අතීතය මෙනෙහි කිරීමේදී මෙන්, ගොඩනැගෙන්නේ පංච උපාදානස්කන්ධ සිත්මය. කාම සංකල්පනාවලින් මුසපත්වීම හෝ කෝපයෙන් දැවීයාම හෝ මානය, ඊර්ෂ්‍යාව වැනි අකුසල සිතිවිලිවලින් පෙළෙන්නට වීම එයින් සිදුවේ. අතීත කල්පනා මෙන්ම අනාගත කල්පනා නිසාද, “මගේ දේවල් “ ගැනද, “මම” ගැනද, ආත්මයක් ගැනද විපරීත අදහස් දැඩි වන්නට පටන් ගැනේ. මෙයද සකකායදිට්ඨිය මය. එය භව බන්ධනයකි. සංයෝජනයකි. එනිසා දහම් මඟින් මිනිසා ඉවතට ගෙන යන්නෙකි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ, අතීතය ගැන හෝ අනාගතය ගැන සිතිවිලි ගොඩ නඟමින් නොසිටින ලෙසද,වර්තමානය සිහි ඇතිව යථාභූ®තව දකින ලෙසද අනුශාසනා කරති.
අතීතං නාන්වාගමෙය්‍ය
නප්පටිකංඛේ අනාගතං
යදතීතං පහීනං තං
අප්පත්තංච අනාගතං
පච්චුප්පන්නංච යෝ ධම්මං
තත්ථ තත්ථ විපස්සති (මනි. 3,398)

අතීතය පසුපස නොයන්න.අනාගතය ප්‍රාර්ථනා නොකරන්න.අතීතය පහව ගියේය. අනාගතය පැමිණ නැත. දැන් සිදුවන දේ විදර්ශනා නුවණින් දකින්න. අතීතය බැහැර කිරීම ගැන විග්‍රහයක යෙදෙන කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණෝ මෙසේ සඳහන් කරති.
‘අත්හළ යුතුව ඇත්තේ, යටගියාව ලුහුබැඳීමට, පණ ගැන්වීමට යළි ගෙවීමට රස විඳීමට නැඹුරු වන ආකල්පයයි “
අතීතය ගැනත්, අනාගතය ගැනත් අනවශ්‍ය පරිදි කෙලෙස් සිතිවිලි ඇති කර නොගනිමින් වර්තමානය නිවැරැදි ලෙස දැක ගැනීමෙන් පමණක් නිවන් මඟට පිවිසීමට හැකි බව තේරුම් ගෙන ස්වකීය චර්යාව එයට අදාළව සකසා ගැනීමට බෞද්ධයන් වශයෙන් උත්සුකවීම අප සතු වගකීමය.
මේ මොහොතෙහි ජීවත්වීම සඳහා ක්‍රම රාශියක්
බුදුදහමේ ඉදිරිපත් කර තිබේ. එයින් කිහිපයකි.
1.මේ දැන් කෙරෙන ආශ්වාස ප්‍රාශ්වාස කෙරෙහි සිත තබා ගැනීම
2.මේ දැන් පවත්වන ඉරියව් දෙස සිත තබා ගැනීම
3. මේ දැන් කරන ක්‍රියා සිහි ඇතිව කිරීම
4.මේ දැන් දැනෙන වේදනා හැඳින ගැනීම
5.මේ දැන් ඇතිවන සිත් දැක ගැනීම
6.මේ දැන් ඇතිවන සිතිවිලි හැඳින ගැනීම
සතිපට්ඨානය නමින් සූත්‍රාගතව ඇත්තේ මේ මොහොතේ ජීවත්වන ක්‍රමයයි.

ගිහියකු ලබා ගත යුතු දුෂ්කර කරුණු



මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි.

මෙම ලිපියේ මුල් කොටස බක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය

එසේම ගෘහපතියා,ආර්යශ්‍රාවකයා විසින් උට්ඨාන වීර්යයෙන්, බාහු ශක්තියෙන්, දහදිය හෙළමින් ධාර්මිකව ධර්මානුකූලව ලබන ලද භෝග ගින්නෙන් හෝ දියෙන් හෝ රජුන්ගෙන් හෝ සොරුන්ගෙන් හෝ තමා නොකැමැතියන්ට දීමෙන් හෝ උපයන ලද භෝගයන්ට කිසියම් විපතක් වේද එබඳු විපතකදී එම ධනය උපයෝග කරගෙන හෙවත් වැය කොට එම විපතෙන් මිදිය හැකිය. ආත්මය (ජීවිතය) ආරක්‍ෂා කෙරෙයි. ඔහුගේ ධනය යායුතු දෙවන තැනට ගියේ වෙයි. අවශ්‍ය දෙයට වැයවූයේ වෙයි. කරුණු සහිතව පරිභෝග කළේ වෙයි.
එසේම ගෘහපතිය, ආර්ය ශ්‍රාවකයා උත්සාහයෙන්, දෑතේ මහන්සියෙන් දහදිය හෙළා අදැහැමින් තොරව ධාර්මිකව උපයා ගත් භෝගවලින් ඤාතිබලි (නෑයන්ට දීම) අතිථි බලි ( ආගන්තුකයන්ටදීම) පුබ්බපේත බලි (මළගිය නෑයන් වෙනුවෙන් දීම) රාජ බලි (රජුන්ට අයබදු වශයෙන් දීම) දේවතා බලි ( දෙවියන් උදෙසා දීම) යන පස් වැදෑරුම් බලි හෙවත් දාන ( තමන් විසින් ඒ ඒ අවශ්‍ය අයට දීම ) වශයෙන් දීම හෙවත් පිදීම ඔහුගේ භෝග යා යුතු තෙවන තැනට ගියේ (දුන්නේ) වේ.
එසේම ගෘහපතිය, ආර්යශ්‍රාවකයා උට්ඨාන වීර්යයෙන් බාහු බලයෙන් දහදිය වගුරා ධර්මානුකූලව ධාර්මික ක්‍රියාවලින් උපයන ලද භෝග මදයෙන් (මත්වීමෙන්) හා ප්‍රමාදයෙන් ( දුසිරිත්වල යෙදීමෙන්) තොරව වාසය කරන හා අධි වාසනා ක්‍ෂාන්තියෙන් හා සුසිල්වත් බවින් යුක්ත එකම ආත්මය තමා විසින්ම ඉන්ද්‍රිය දමනයෙන් දමනය කරන, එකම ආත්මයෙහි කෙලෙස් සමනය කිරීමෙන් සමනය කරන, එකම ආත්මය කෙලෙස් පිරිනිවීමෙන් නිවන, කිසියම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් වෙත්ද මරණින් පසු උඩ උඩ ලෝකවල උපදින මහණ බමුණෝ වෙත්ද ස්වර්ගයෙහි ඉපදීමට හීන වූ සුඛ විපාක ඇති, දිව්‍ය වර්ණාදී දශ වැදෑරුම් විශේෂ ගුණයන්ගේ උත්පත්තියට හේතු වන දක්‍ෂිණාව (දානය ) පිහිටුවයි හෙවත් දන්දෙයි. මෙය ඔහුගේ භෝග දියයුතු සතර වන ස්ථානයට දී තම දියයුතු තැනට දීමයි. අවශ්‍ය පරිදිම ධනය වැය වූයේ වෙයි. ගෘහපතිය මෙසේ ඒ ආර්යශ්‍රාවකයා උත්සාහයෙන් දෑතේ ශක්තියෙන් දහදිය හෙළමින් දැහැමි වූ දැහැමින් උපයන ලද භෝගයෙන් ගෘහපතියකු විසින් කළයුතු ක්‍රියා (කර්ම) කළේවේ.
ගෘහපතිය, මේ සිව්වැදෑරුම් කළයුතු යුතුකම්වලින් බැහැරව වෙනත් නොකටයුතු ක්‍රියා වෙනුවෙන් උපයාගත් භෝග විනාශයට පත්වේද ගෘහපතිය, ඔහුගේ මේ භෝග අස්ථාන ගත වූයේ වෙයි. අප්පත්ත ගත වූයේ නොයායුතු තැනට ගියේ වේ. නුසුදුසු තැනට පරිභෝග වශයෙන් ගියේයයි කියති.
ගෘහපතිය, යම් කිසිවකු හෝ මේ භෝග සිවු වැදෑරුම් ප්‍රාප්තකර්මයන් සඳහාම තම භෝග ක්‍ෂය වේද (අඩුවේ ද) එසේ වූයේ නම් ඒ භෝග (ඨානගතා) යා යුතු තැනට ගියේ වේ. (පත්ත ගතා) යා යුතු තැනට ගියේ වේ. (ආයතන සො පරිභුත්තා) ප්‍රයෝජන ගතයුත්තන් ප්‍රයෝජන ගත්ථා යි කියනු ලබති. ඔහු භෝගයෝ වළඳන ලදහ. පෝෂණය කළ යුත්තෝ පෝෂණය කරන ලදහ. විපත් පැමිණි කල මා විසින් භෝගයෝ ප්‍රයෝජන ගන්නා ලදහ. මරණින් මතු පලදෙන මහණ බමුණන්ට දක්‍ෂිණාව දෙනලදහ. තවද පස් බලිද දෙන ලදී.
සංවර වූ බ්‍රහ්මචාරී වූ සිල්වතුන්ට උපස්ථාන කරන ලදී. ගිහිගෙයි වසන පණ්ඩිත තෙමේ යම් අර්ථයක් සඳහා භෝග කැමැති වන්නේ ද මා විසින් ඒ අර්ථය (ඵලය) ලබන ලදී. පසුතැවිලි නොවන කටයුත්තදෑ කරන ලදී.
පඤ්ච ශීල ධර්මයෙහි යෙදී සිටින හෙවත් පන්සිල් රකින ආර්ය (බෞද්ධ) ගෘහපතිය (ගිහිය) ඉහත සඳහන් දහම් සිහි කරමින් තම ජීවිතය නිවැරදිව ගත කරන්නේ නම් ඉහාත්මයෙහි දීම ඔහු අන්‍යයන්ගේ පැසසුමට ලක්වෙයි. මරණින් පසු පරලොවගොස් දෙව් ලොව දෙවියෙකුව ඉපිද දිව්‍ය සැප විඳිමින් සතුටු වෙයි කියා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
මෙම පත්ත කම්ම සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා වන අනාථපිණ්ඩික සිටුතුමාටයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය වූ (තෙරුවන් සරණගිය) ගිහියකුට මෙලොව දී සතුටු වියහැකි කරුණු හතරක් තියෙනව. ඒ හතර තමයි, මට ධාර්මිකව හරිහම්බ කර ගත් භවබෝග සම්පත් ඇතිවේවා. එම සම්පත් නෑයන්, මිත්‍රයන්, දාසි දාස කම්කරුවන් ආදි පරිවාර සම්පත් සමඟ තව තවත් වැඩිවේවා. භෝග සම්පතුත්, ඥාතීහුත් දන්නා හඳුනන පිරිවර සම්පතුත් සමඟ දිගු කලක් සැපසේ ජීවත්වෙම්වා, එසේ දිගු කලක් ජීවත් වූ විට මරණින් පසු සුගතියෙහි ඉපද සැපවිඳිම්වා යන කරුණු හතර ධාර්මික (සැබෑ බෞද්ධයකු) පුරුෂයකු හෝ ස්ත්‍රියක හෝ මෙලොව සැපවත් ජීවිතයක් ගතකිරීමට බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යයෙන්ම ලබාගත යුතුයි. එහෙත් එම කරුණු ලබාගැනීම අතිශය දුෂ්කර යි. එම කරුණු හතරම පුද්ගලයාට ඉෂ්ටයි. සිත් බඳින සුළුයි. සිත පිනවන සුළුයි. ඉතාම දුර්ලභයි. (ලැබීමට ඉතාම අපහසුයි)
පළමුකරුණ වන භෝග සම්පත් ලැබිය යුත්තේ ධාර්මිකවයි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන කාය වාග් අකුසල්වලින් දුරුව එසේම නිවැරදි ජීවිකා වෘත්තීන්ගෙනුයි. එවිටයි සපයන දේ ධාර්මික වන්නේ. අන්න එසේ ඉපයූ භව භෝග ඇතිවේවා යන්න පළමු සැපයයි. ඉහත කී පරිදි දැහැමින් භව භෝග (රූපාදී) සම්පත්ත මාගේ දැහැමි ජීවිකා වෘත්තීන්ට අනුව ලබන ඤාතීන්, සන්දිට්ඨ සම්හත්ත (දැකීමෙන් හා ආශ්‍රයෙන්) මිත්‍රයන් ආදී පරිවාර සම්පතුන් සමගම මාගේ දියුණුව සැලසේවා. එසේම එම භෝගත්, පිරිවර සම්පතුත් ලැබ දීර්ඝායුෂ විඳිමින් කලක් ජීවත් වෙම්වා. එසේම දැහැමින් ලද භෝග සම්පතුත් ඤාතීන්, හිතවතුන් ආදී පිරිවර සම්පත් ද දීර්ඝායුෂ ද ලැබ සැපසේ ජීවත් වී මරණින් පසු දෙව් ලොව ඉපිද දෙව් සැප ලබම්වා යන පැතුම් අනුව ඒවා ලබාගෙන ජීවත් වන්න සැබෑ ආර්ය බෞද්ධයා අපේක්‍ෂා කළයුතු යයි බුදුරදුන් වදාළහ.
අනතුරුව බුදුරදුන් වදාරණව ගෘහපතිය, ඉහත සඳහන් සැප ලැබීම පහසු කරුණක් නොවෙයි. ඒවා ලබාගන්නට කැමැති පුද්ගලයා ධර්ම කරුණු හතරක් අනුගමනය කළයුතුයි. ඒවා නම්, ශ්‍රද්ධා සම්පත්තිය, ශීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය යන හතරයි. එම ධර්ම කරුණු හතර මෙසේ නම් වශයෙන් දැක් වූ බුදුරජාණන් වහන්සේ එකින් එක ඒවා විස්තර කරමින් මෙසේ වදාළහ. ශ්‍රද්ධා සම්පත්ති නම් අරහාදි බුදුගුණ නවය අනුව බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ යයි විශ්වාසය ශ්‍රද්ධා සම්පදාවයි. එසේම ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතාදි කායික වාචසික අකුශලයන්ගෙන් හා මදයට ප්‍රමාදයට හේතු වන රහමෙර ( මත්වන දැයින්) පානයෙන් දුරුවීම ශීලසම්පදාවයි. එසේම ආර්යශ්‍රාවකයා මසුරුමළයෙන් තොරවූ සිතින් ගිහි ගෙයි වෙසෙයි. අත්හරින ලද වස්තුව කෙරෙහි ඇල්මකින් තොරව වෙසෙයි. දීමට සෝදාගත් අත් ඇතිව වෙසෙයි. දීමෙහි ඇලුම් ඇතිව වෙසෙයි. ඉල්ලීමට සුදුසුව (කවරෙක්ද තමාගෙන් යමක් ඉල්ලන්නේ කියල දීමට බලාපොරොත්තු වෙන්ම) වෙසෙයි. මෙය ත්‍යාග සම්පත්තියයි. එසේම ප්‍රඥා සම්පත්තිය නම් අභිධ්‍යා, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන චිත්තෝපක්ලේෂයන් දුරු කොට වෙසෙයි. මෙසේ චිත්තෝපලේශ ප්‍රහීණ කළ ආර්යශ්‍රාවකයා මහා ප්‍රාඥයි. පෘථුල ප්‍රාඥයි. සියුම් අර්ථය පවා දක්නේ වෙයි. එවිට මොහු ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක් වේ. මෙය ප්‍රඥා සම සම්පත්තියයි. මේ සිව් වැදෑරුම් සම්පදාවෙන් යුක්ත පුද්ගලයාගේ ගිහි ජීවිතය සාර්ථක වේ.

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 30

මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගෙයි


චන්දවිමල මහා නා හිමියන් වහන්සේ ලියා පළ කළ ධර්ම පුස්තක පෙළ වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව කිසිදු ලාභාපේක්‍ෂාවක් බලාපොරොත්තු නොවුණේ භෞතික ධනය පිළිබඳව තැකීමක් නොකළ මහා නා හිමියන්ගේ ආධ්‍යාත්මය පොහොසත් වූ නිසාය. ධම්මානන්ද හිමියෝ චන්දවිමල ගුරු හිමියන් පිළිබඳ තම මතකය අවදි කිරීමේදි මෙසේද පවසති. ‘මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ධර්මය ගැන විශිෂ්ට දැනුමක් ඇති වීමට භාෂා ශාස්ත්‍රය පිළිබඳව තිබූ ගැඹුරු දැනීමත් හේතු වුණා. සිංහල, පාලි, බුරුම යන භාෂාවන් පිළිබඳ උන්වහන්සේ තුළ පැවතියේ පළල් දැනුමකි. සංස්කෘත භාෂාව පිළිබඳවත් උන්වහන්සේට තිබුණේ පුළුල් අවබෝධයකි. නා හිමියන් ඒ ගැන මා සමඟ (ධම්මානන්ද හිමි සමඟ) වරක් පැවසුවේ “අප නොයෙක් විෂයන් පිළිබඳ පොත් කියවා ඒවා ගැනත් දැනීමක් ඇති කරගෙන තියෙනවා. නක්ෂත්‍රය, වෙදකම ගැනත් මට දැනීමක් තියෙනවා. ‘ ඒ වුවත් මා ඒවා කරන්න යන්නේ නෑ ‘
‘අපේ මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තුළ තිබූ විශේෂ ගුණයකි, සියල්ලන්ටම එකසේ සැලකීම, දුප්පතාටත් පොහොසතාටත්, පාලකයාටත්, සැලකුවේ එකම ආකාරයට ය. ඒ ඒ පුද්ගලයාගේ තරාතිරමට ගැළපෙන පරිදි කතා කළා මිස කිසිම අවස්ථාවක විශේෂ සැළකිල්ලක් දැක්වූයේ නෑ. යමකුට යමක් කියන්න තියෙනවා නම් ඒ අවස්ථාවේදීම නිර්භීතව ඉදිරියේදීම කියනවා. අනුන්ගේ නැති ගුණ කියමින් වර්ණනා කරන්නේ නැහැ. අනුනගේ අගුණ සොයා ඒ අය වෙන් කිරීමක්ද කරන්නේ නෑ. උන්වහන්සේ යමකු තුළ තිබෙන එකම ගුණය වුණද එය අගය කොට සලකා ක්‍රියා කරනවා.”
රේරුකානේ මහා නා හිමියන් ලියූ දහම්පොත් පෙළ ඇගැයීමේ උත්සව සභාවකදි අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමියන් පැවසුවේ ‘රේරුකානේ නායක හාමුදුරුවන්ගේ බණ පොත් ටික පමණක් හොඳින් කියෙව්වොත් ඒ තැනැත්තා හොඳ ධර්ම ධරයෙක් , ධර්මඥයෙක් වෙනවා ‘ යන්නය.
දිනක් ධම්මානන්ද හිමියන් සමඟ රේරුකානේ මහා නා හිමියෝ මහා පිරිවෙනක දානයකට වැඩියහ. එහිදී මහා නා හිමියන්ට වඩා වැඩිමහල් උගත් කීර්තිමත් මහ තෙරුන් වහන්සේ නමක්ද දානයට ආරාධනා ලැබ එතනට වැඩම වන ලදහ. එතනදී උන්වහන්සේ පැවසුවේ අප මහා නා හිමියන්ගේ පොත් පෙළ විශ්වවිද්‍යාලයක් වගේ බවය. ඕනෑම දහම් කරුණකට ඉතා නිවැරදි විසඳුම් මෙම පොත් වලින් ලබා ගත හැකි බව ය. එය ධම්මානන්ද හිමියන්ට මතක තවත් සිද්ධියකි.
වරක් මහාචාර්ය ජයන්ත කැලේගම මහතා අත්දැකපු සිදුවීමක් ධම්මානන්ද හිමියන්ට මෙනෙහි වෙයි.
මහාචාර්යවරයා යක්කඩුවේ නායක හාමුදුරුවන් බැහැදැකීමට ගොස් මෙසේ පැවසීය. ‘නායක හාමුදුරුවනේ බුද්ධාගම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට නම් අප කියවිය යුතු පොත් මොනවාද?” යන්නය.
එවිට නායක හාමුදුරුවන් පැවසුවේ “මහත්තයෝ පොත් නම් ඕනෑ තරම් තියෙනවා. ඒත් කියන්නත් බයයි. සමහර පොත් කියෙව්වහම මිත්‍යා දෘෂ්ටිය ඇතිවෙනවා. ඒ නිසා ඔබතුමා රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් ටික කියවන්න. එතකොට බුදු දහම නිවැරදිව දැන ගන්න පුළුවන් කියාය. ඒ සමඟම මේ මහාචාර්යවරයා ගියේ මහාචාර්ය වල්පොල රාහුල හිමියන් හමුවීමට ය. උන්වහන්සේගෙන් විමසූ කල රාහුල හිමියන් දුන්නේද ඉහත උත්තරයට සමාන පිළිතුරකි.
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ අඩු පාඩුව පැවති විහාරාරාංගයන් බොහෝ ඉදි වුණේ රේරුකානේ මහා නා හිමියන් ලියූ පොත් කියවූ සදැහැති පාඨකයන් කළ පරිත්‍යාග වලින් බව ධම්මා නන්ද හිමියෝ පවසති.
රේරුකානේ මහා නා හිමියන් තම භික්‍ෂු ජීවිත කාලයේදීම පොත් 28 ක් පමණ ලියා පළකළා පමණක් නොව ඒවා නැවත නැවත මුද්‍රණය වෙමින් පවතියි. මහා නා හිමියන් එමගින් ලැබුණු ලාභය තම පෞද්ගලික සුඛ විහරණය සඳහා ලබා ගත්තේ නම් ඉතා ධනවත් හිමි නමක් වශයෙන් භික්‍ෂු දිවි මඟ භෞතික ධනයෙන් සුපොහොසත් කර ගැනීමට ඉතාමත් පහසුවෙන් පුළුවන්කම තිබුණි. එහෙත් මහා නා හිමියන් කිසිඳු විටක කිසිඳු මුදලක් තම පෞද්ගලක සුඛ විහරණය උදෙසා පරිහරණය කළේ නැත. මහා නා හිමියන්ට කෘත ගුණ සැලකූ බොහෝ පරිත්‍යාගශීලින් එම නිසා පෙළඹුණේ. විනයාලංකාරාමයේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ පමණක් කිරීමට එම පරිත්‍යාගයෙන් සිදු කිරීමය.
අවසන් මොහොත දක්වාම මහා නා හිමියන් වැඩ සිටියේ ආවාසයේ කොණක තිබූ පුංචි ඇඳක් මතය.පොත් ලීවේ හොඳින් ස්වභාවික වාතාශ්‍රය ලැබෙන එළිමහන් තැනක පුංචි ලෑලි කෑල්ලක් පුටුපත්ත උඩ තබාගෙනය. වැළඳුවේ කුරුල්ලෙක් කන තරමට ඉතා අල්ප ප්‍රමාණයකි. රුචිකත්වයක් දැක්වූයේ ඉතා සරල ආහාර වේලකටය. කුදු මහත් කාටත් එකසේ සැලකුවද දුප්පත් දායකයකුගේ දානය වඩාත් අගය කළ අතර ඒ වෙනුවෙන් සැතපුම් ගණනාවක් වුව දෙපයින්ම වැඩි සේක.
නම කියූ ඇසූ පමණින් මුළු රටම හඳුනන මහාචාර්ය පදවි පවා දෙපාළඟට ගෙනවිත් පූජා කළ නිකායේ මහානායක පදවියෙන්ද පවා පිදුම් ලැබූ, භික්‍ෂු සමාජයේ මහා සංඝ පීතෘවරයකු වශයෙන් ගරු බහුමානයට පාත්‍ර වූ ඉතා කීර්තිමත් නාමයක් රැන්දූ අප මහා නා හිමියන් වහන්සේ වයෝවෘද්ධ කාලයේදී උන්වහන්සේගේ කන් ඇසීම බොහෝ සේ දුර්වල වීය.
රේරුකානේ මහා නා හිමියන් කිසි දවසක කිසිම අවස්ථාවක මොනයම් කරුණක සඳහාවත් කිසිවකුගෙන් තමාගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් කිසිවක් ඉල්ලා නැත. උන්වහන්සේ ලැබෙන හැම විටම දන් දුන්හ. ධම්මානන්ද හිමියෝ ඒ පිළිබඳව මෙසේ පවසති. ‘අනුන්ගෙ යමක් ඉල්ලීම අතිශයින්ම පිළිකුල් කළ අප මහා නා හිමිපාණන් වහන්සේ දීමට අතිශයින්ම පි‍්‍රය වූ සේක “ “මම පැවිදි කළ මගේ ගුරුවරයාගෙන් වත් මා මොකුත් ඉල්ලාගෙන නැති බව” මහා නා හිමියෝ පැවසූ සේක.
මහා නා හිමියන් වහන්සේගෙන් කන් ඇසීම දුර්වල වූ විට උන්වහන්සේට ඒ සඳහා අවශ්‍ය උපකරණයක් ගැනීමට රුපියල් 2000 /- ක පමණ මුදලක් අවශ්‍ය විය. එහෙත් එවැනි අත්‍යවශ්‍යතාවයක් වෙනුවෙන් ඉතිරි කරගත් මුදලක් මහා නා හිමියන් සන්තකයේ නොවූ බව ධම්මානන්ද හිමියන් සමඟ කළ කතා බහෙන් තේරුම් ගැනීමට පුළුවන.
“ධම්මානන්ද දැන් අපේ කන් ඇසීම හුඟක් අඩුයි. කන් ඇසීම වැඩි කරන උපකරණයක් ගත්තොත් හොඳයි නේද? “ යි දවසක් මහා නා හිමියන් අපට පැවසීය. එදිනට පසුවදා උන්වහන්සේ ගේ සුව දුක් බැලීමට හිටපු අග්‍ර විනිශ්චයකාරවරයෙක් වූ පාරින්ද රණසිංහ මහතා පැමිණියේ ය. මහා නා හිමියන්ගේ සුව දුක් විචාරමින් සිට ආපසු යන්නට සූදානම් වූ එතුමා නායක හාමුදුරුවන්ට අවශ්‍ය දෙයක් අරගෙන දෙන්න කියා රු. 2000 /- ක් අප අත තැබීය. ඒ මුදලින් කන් ඇසීමට අවශ්‍ය උපකරණය ගැනීමට හැකි විය.
මහා නා හිමියන්ගේ ලැබීම් වාසනා ගුණය පිළිබඳව සාක්‍ෂියක් වශයෙන් අපි වෙනත් තැනකදී මේ පිළිබඳව සඳහන් කළෙමු.
නමුත් නැවත එය මෙතැනට ආදේශ කළේ උන්වහන්සේ තමාගේ සෞඛ්‍ය වෙනුවෙන් වත් කිසිදු මුදලක් ඉතිරි කරගෙන නොතිබුණු බව පෙන්වීම සඳහාය. එයින් හැඟී යන්නේ උන්වහන්සේ භෞතික වශයෙන් කිසිදු ධනයක් ඉතිරි කර නොගත් දිළින්දකු බවය.
දුප්පතා සහ පොහොසතා අතර වෙනස පිළිබඳ දාර්ශනික අදහස ද මීට ප්‍රථමයෙන් ඔබ හමුවට ඉදිරිපත් කළෙමු. එක් දිනක උන්වහන්සේ එම ප්‍රකාශය කළේද ධම්මානන්ද හිමියන් සමඟය. එය පුනරුත්පදයක් ලෙසින් නැවතත් මෙනෙහි කිරීම මෙම අවස්ථාවට වඩාත් උචිත යැයි සිතෙයි. එය නැවත නැවත මෙනෙහි කිරීම අපගේ ජීවිත වලටද ඉතා වැඩදායක යැයි සිතෙයි. එය එසේ වන්නේ එදාටත් වඩා අප මේ තරගකාරි ධාවන පථයේ අසීමිත වේගයකින් දුවමින් අවසන ඉතිරි කර ගන්නේ දුක වේදනාව පමණක් බැවිනි.
ධම්මානන්ද හිමියන් ලියූ සටහනක ඇති ආකාරයටම නැවත එම ප්‍රකාශ කිරීමට අවසර පතමු.
“ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි. ලොකුම දුප්පතාත් මමයි” යනුවෙන් තවත් දිනක උන්වහන්සේ අමුතු විදියේ ප්‍රකාශයක් කළ සේක. “දුප්පත්කම කියන්නේ සෑහීමකට පත් නොවීමය. තවත් ආකාරයකින් කියනවා නම් සෙවීම ඇති නොවීමය. ලද දෙයින් සතුටු වී සෙවීම ඇති වී සිටින නිසා ලෝකයේ සිටින ලොකුම පොහොසතාත් මමයි කියා මං සිතනවා. අපි හිඟන්නෙක් ගැන සිතලා බලමු. ඒ හිඟන්නාට තියෙන පොල්කටුව හැරමිටිය වුණත්, මගේ හැරමිටිය, මගේ පොල් කටුව, කියා ඔහු විසින් සිතින් අල්ලා ගෙනයි ඉන්නේ. ඒ නිසා ඒ හිඟන්නා යමක් ඇති කෙනෙක් නේද? මට අයිතිව තිබෙන මේ කිසිවක් මම හිතෙන් අල්ලාගෙන නැති නිසා කිසිවක් නැති කෙනෙක් හා සමානය. ඒ නිසා ලෝකයේ සිටින දුප්පතාත් මමයි කියා මා සිතනවා “ යැයි උන්වහන්සේ තමන් වහන්සේ ගැන කළ ඒ ප්‍රකාශය තේරුම් කර දුන් සේක. ධර්මානුකූල මේ උදාර චින්තාව කොතරම් අගනේද? මෙයින් උන්වහන්සේගේ මානසික දියුණුව මනාකොට පිළිබිඹු නොවන්නේ දැයි ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කර සිටිති.

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 35

මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ




සද්පුරුෂ ඇසුර කියන්නේ බුදු, පසේබුදු, මහරහතුන් ආදී ආර්ය උතුමන් විසින් බොහෝ සෙයින් වර්ණනාවට ලක් කළ දෙයක්. මක් නිසා ද යත් ? මේ ලෝකය තුළ සද්පුරුෂයෙකු බිහිකළ හැක්කේ තවත් සද්පුරුෂයෙකුට ම පමණක් වන නිසා ය. දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ පහළ වී වදාළ පරමෝත්තම සද්පුරුෂයාණන් වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි.
අද අප සිත පහදවා ගන්නේ මේ ගෞතම බුදු සසුනේ පහළ වී, වදාළ රහතුන්ගේ් දහම ලොවට පවසාලන ධර්ම කථිකයන් අතුරින් අග්‍ර වූ මන්තානිපුත්ත පුණ්ණ නම් උතුම් මහරතන් වහන්සේ ගැන යි.
මීට කල්ප ලක්ෂයකට පෙර සදහම් ඇස් ඇති පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් යුතුව දඹදිව හංසවතී නම් රාජධානියේ පහළ වී වදාළා. එකල ත්‍රිවේධ පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙකු ලෙස ඉපදී සිටි පුණ්ණ තෙරුන්හටද උන්වහන්සේ ගැන අසන්නට ලැබුණා. මේ බ්‍රාහ්මණයා තම දහස් සංඛ්‍යාත සිසු පිරිස ද සමඟින් පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එදින දම්සභා මණ්ඩපයේ වැඩ හිඳිමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසට දහම් දෙසා නිම වූ බුදුරජාණන් වහන්සේ රැස් ව සිටි භික්ෂු පිරිස අතුරින් එක් භික්ෂුවකට ‘මහණෙනි, මේ භික්ෂුව වනාහී මාගේ ශාසනයෙහි ධර්මකථිකයන් අතුරින් අග්‍රස්ථානය ලබන්නේ යැ’යි අගතනතුරක් ප්‍රදානය කොට වදාළා. රැස්ව සිටි ගිහි පැවිදි පිරිස සාධුකාර දෙමින්, එය අනුමෝදන් වෙද්දී සිසු පිරිසද කැටුව එහි පැමිණ සිටි බ්‍රාහ්මණයාට මෙබඳු අදහසක් ඇතිවුණා.
අහෝ අසිරියක්! මා හට ද අනාගතයේ පහළවන සම්බුදුරජාණන් වහන්සේ නමක් සමීපයේ පැවිදිව ධර්මකථිකයන් අතරින් අග්‍රභාවයට පත්වන්නට ඇත්නම් කොතරම් වාසනාවක් ද? කියා ඒ හටගත් පී‍්‍රති සිතින් යුතුව සත් දිනක් පුරාවට තමන්ගේ ආශ්‍රමයේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දැන්පැන් පූජා කළා. ඒ දානමය පින සිදුකිරීමෙන් ඔහුගේ අදහස වුණේ අනාගත බුදු සසුනක ධර්මකථිකයන් අතුරින් අග්‍ර භික්ෂුව වීම යි. මේ අයුරින් බුදු සසුනේ හටගත් පහන් සිත් ඇති මේ බ්‍රාහ්මණයා දිවි ඇති තෙක් පින්දහම් රැස් කළා. බුදු පාමොක් සඟරුවන විෂයෙහි කළ පූජාවෙන් රැස් වූ පිනෙන් ඔහු බොහෝ කල් දිව්‍ය සැප අනුභව කළා. සිව්මහා සමුදුරටම අගරජ වූ සක්විති පදවිය ද සතර වතාවක් ම ලැබුවා. එනමුත් තම පැතුම ඉටුවීම පිණිස මේ ඝෝරවූත්, කටුක වූත්, දුක්ඛිත සසර ගමනේ කල්ප ලක්ෂයක අතිදීර්ඝ ගමනක් පැමිණෙන්නට ඔහුට සිදුවුණා.
කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වූ මේ මහා භද්‍ර කල්පයේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. පුරන ලද පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් කපිලවස්තු නුවර ‘ද්‍රෝණවත්ථු’ නම් ග්‍රාමයේ මහසල් බමුණු කුලයක මන්තානි නම් බැමිණියගේ කුසේ හෙතෙමේ පිළිසිඳ ගත්තා. උපතින්ම අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ බෑණා වූ මේ කුමාරයා ‘පුණ්ණ’ නමින් හැඳින්වූවා. පුණ්ණ වයසිනුත්, දැනුමෙනුත් වැඩුණු කළ තම ගිහිකළ මාමා වූ අඤ්ඤාකොණ්ඤ්ඤ මහරහතන් වහන්සේ හමුවීමට ගියා. උන්වහන්සේ ද පුණ්ණ තරුණයාට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය මැනැවින් කියා දුන්නා. පුණ්ණ නුවණැත්තෙක්. ඒ වගේම පින්වන්ත කෙනෙක්. ඒ ඇසූ දහමට සිත් පැහැදුණා. ඉපදෙමින් මැරෙමින් දුක්විඳින සසර ගමන ගැන කලකිරුණා. ගිහි ජීවිතය අතහැර දමා ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සමීපයේ දී බුදු සසුනේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. මත්තානි බැමිණියගේ් පුත්‍රයා වූ බැවින් උන්වහන්සේ හැඳින්වූයේ මන්තානිපුත්ත පුණ්ණ ස්වාමින් වහන්සේ ලෙස යි. පුණ්ණ ස්වාමින් වහන්සේ ඉතා මැනවින් වත, ධර්ම විනය ප්‍රගුණ කළා. අනතුරුව උපාධ්‍යායන් වහන්සේගෙන් හා පිරිසෙන් වෙන් වූ පුණ්ණ හිමියන් අප්‍රමාදීව සමථ විදර්ශනා වඩා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කොට වදාළා.
ඒ වනවිට ජාතිභූ®මිය නම් නගරයේ වැඩ විසූ පුණ්ණ මහරහතන් වහන්සේ ගුණ රාවය අසන්නට ලැබී පන්සියයක් පමණ තරුණයින් පිරිසක් උන්වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාවට පත්වුණා. ඒ පුණ්ණ මහරහතන් වහන්සේ ධර්ම කතාවෙන් අනුග්‍රහ දැක්වීමට අතිශය දක්ෂයි. උන්වහන්සේ අල්පේච්ජ ජීවිතයේ වටිනාකම ගැනත්, ලද දෙයින් සතුටුවීමේ වටිනාකම ගැනත්, පිරිස සමඟ නො ඇලීමේ වටිනාකම ගැනත්, වීර්ය ඇරඹීමේ වටිනාකම ගැනත් , සිල්වත් වූ ජීවිතය ගැනත්, සමාධියේ වටිනාකම ගැනත්, නුවණ මෙහෙයවා කටයුතු කිරීම ගැනත් , නිදහස් වූ බවට ඇති වන විමුක්ති ඤාණ දර්ශනය ගැනත් කියවෙන මේ උතුම් දස කතාවෙන් නිතර නිතර භික්ෂුන්ට අවවාද අනුශාසනා කළා.
ඒ අවවාදයන් මත පිහිටි භික්ෂූන් පන්සිය නම නොබෝ කලකින්ම උතුම් වූ අරහත්වයට පත් වී වදාළා. ඒ පන්සියයක් වූ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ආචාර්යන් වහන්සේ වූ පුණ්ණ මහරහතන් වහන්සේ වෙත පැමිණ වදාළා ‘ස්වාමිනි, අපේ පැවිදි කිස සම්පූර්ණ වුණා. අපට ශාස්තෘන් වන්සේ බැහැ දැකීම පිණිස යාමේ අදහසක් ඇතිවුණා. ඔබවහන්සේද අපත් සමඟ ශාස්තෘන් වහන්සේ බැහැ දැකීමට යන්නේ නම් මැනවි’. එවිට පුණ්ණ මහරහතන් වහන්සේ කල්පනා කළා, ‘මම පිරිසක් පිරිවරාගෙන ශාස්තෘන් වහන්සේ බැහැ දැකීමට යාම සුදුසු නැහැ. ඒ නිසා මේ පිරිස පළමුකොටම ශාස්තෘන් වහන්සේ බැහැ දකිත්වා! මම පසුව යන්නෙමි’ ඒ භික්ෂූන් ඇමතූ පුණ්ණ මහරහතන් වහන්සේ ‘පි‍්‍රය ආයුෂ්මතුන් වහන්සේලා පළමුකොට ශාස්තෘන් වහන්සේ බැහැ දකිත්වා! මාගේ වචනයෙන්ද ඒ උතුම් සිරි පා කමල් වන්දනා කරත්වා! මා පසුකලෙක පැමිණ ශාස්තෘන් වහන්සේ බැහැ දකින්නෙමි’ යි වදළා. තම ආචාර්යයන් වහන්සේට වන්දනා කළ ඒ පන්සියයක් භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැත් නුවර බලා පිටත්වුණා.
භාග්‍යවතුන් වහන්සේ හමු වූ ඒ පන්සියයක් භික්ෂූන් පිළිසඳරේ යෙදුණු බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඔබ කොහි සිට පැමිණියේ දැයි’ විමසා සිටියා. ‘ස්වාමිනි අප ජාතිභූමියේ සිට පැමිණියෙමු’ ඒ ජාතිභූමියේ වැඩ වසන මන්තානිපුත්ත පුණ්ණ තෙරණුවෝ නිතර නිතර භික්ෂූන්හට දස කථාවෙන් අනුග්‍රහ දක්වන බවද පවසා සිටියා. එය ඇසූ ශාස්තෘන් වහන්සේ ‘සාධු සාධු පින්වත් මහණෙනි, දස කථාවෙන් අනුග්‍රහ දක්වන එබඳු භික්ෂුන් වැඩ සිටීම ලාභයක්ම යි! එබඳු භික්ෂුන්ගේ ඇසුරු කිරීම පවා ලාභයක්ම යි! මේ පින්වත් මන්තානිපුත්ත පුණ්ණයන් වනාහි සඟ පිරිසට ලාභයක්ම යි’ ආදී වශයෙන් පුණ්ණ තෙරුන්ගේ් ගුණ වර්ණනා කළා. ඒ භික්ෂු පිරිස අතර වැඩසිටි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුණකතාව අසා මන්තානිපුත්ත පුණ්ණ තෙරුන් බැහැ දැකීමට අවස්ථාව ලදහොත් ඒ බව මට දැනුම් දෙන්නැයි අනිත් භික්ෂූන්ට පවසා සිටියා.
මේ අතර නොබෝ දිනකින්ම පුණ්ණ මහරහතන් වහන්සේද ශාස්තෘන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැත්නුවරට වැඩම කළා. එදින උදෑසන කාලයේ ශාස්තෘන් වහන්සේව දැකබලා වන්දනා කොට පුණ්ණ මහරහතන් වහන්සේ දිවා විහරණය පිණිස අන්ධවනයට පිවිසුණා. ඒ බව දැනගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්ධ වනයට පිවිසුණා. දිවා විහරණය ගතකොට භාවනාවෙන් නැඟී සිටි ඒ මහරහතන් වහන්සේලා අතර ඇතිවුණ ඒ සොඳුරු දහම පිළිසඳර මජ්ක්‍ධිම නිකාය 1 පොත් වහන්සේගේ ඕපම්ම වර්ගයේ ‘රථවිනීත සූත්‍රයේ’ ඇතුළත් වෙනවා.
පුණ්ණ මහරහතන් වහන්සේ මේ ලෝකයට බිහිවුණේ සද්පුරුෂ ඇසුර නිසාම යි. තමාත් සද්පුරුෂභාවයේ පිහිටා තමා සමීපයේ පැවිදි වූ පන්සිය දෙනෙකුටම ශ්‍රේෂ්ඨ සද්පුරුෂයන් කරවීමට පුණ්ණ මහරහතන් වහන්සේට හැකිවුණා. ඒ නිසාම උන්වහන්සේ වරක් භික්ෂුන්ට අවවාද කිරීමත් වශයෙනුත් සද්පුරුෂ ඇසුර වර්ණනා කිරීමත් වශයෙනුත් මේ උතුම් ගාථා රත්නය පවසා වදාළා.
සබ්භිරේ ව සමාසේථ – පණ්ඩිතේ හත්ථ දස්සි හී
අත්ථං මහත්තං ගම්භීරං - දුද්දසං නිපුණං අණුං
ධීරා සමධිගච්ඡන්ති - අප්පමත්තා විචක්මණා

ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සද්පුරුෂයන්ව යි. ඔවුන්ගේ නුවණ ඉතාම සියුම්. නො පමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සද්පුරුෂයින් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.
චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස කෙනෙකුගේ සිත මෝරන්නට ඕන. ඒ සඳහා අනිවාර්යයෙන්ම දස කථාව අසන්නට ලැබෙන්නට ඕන. ඒ දසකථාව විසින් සිතේ ඇති අකුසල් සිතුවිලි බැහැර කරනවා. කුසලයට කැමැත්ත උපදවා දෙනවා. ඒ දසකථාව අසන්නට ලැබෙන්නේ සද්පුරුෂ වූ කළ්‍යාණ මිත්‍රයන්ගෙනු යි. මේ ලෝකයට පහළ වූ බුදුරජාණන් වහන්සේ හමුවේ දසකතාව ශ්‍රවණය කර අඤ්ඤාකොණ්ඩඤ්ඤ ආදී මහරහතන් වහන්සේලා බිහිවුණේ. ඒ රහතන් වහන්සේලාගේ දස කථාව ඇසීමෙනුයි ලෝකයට තව තවත් මහරහත් මාර්ගඵලලාභීන් බිහිවුණේ.
ඒ නිසාම තමා දස කථාවෙන් කළ අනුග්‍රහ කිරීම තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කොට වදාළේ. ඉතින් භික්ෂූ සංඝයා රැස්ව සිටි මොහොතක මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ දුටු ශාස්තෘන් වහන්සේ ‘පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරින් මේ මන්තානිපුත්ත පුණ්ණ ධර්මකථිකයන් අතුරින් අග්‍රභාවයට පත්වෙනවා! යි අග තනතුරුද ප්‍රදානය කොට වදාළා.
ඒ උතුම් මහරහතන් වහන්සේලා විසින් තම තමාගේ ජීවිත වලට දසකථාව ගලපා ගනිමින්, අන් අයටද ඒ දසකථාව කියා දෙමින් මේ තාක් කල් පැමිණි නිස යි. ඒ දස කතාව සහිත ශ්‍රී සද්ධර්මය අද වනතුරුත් ඉතිරි වී තිබෙන්නේ ඒ නිසා. අපත් ඒ උතුම් වූ මහරහතුන් ගැන සිත පහදවා ගනිමු. ඒ රහතුන් බිහිකළ දස කථාවෙන් පිරිපුන් ශ්‍රී සද්ධර්මය ගැනද සිත පහදවා ගනිමු. ඒ දහම ලොවට විවිර කළ ධර්මස්වාමි වූ බුදුරජාණන් වහන්සේ ගැන අපේ සිත පහදවා ගනිමු.



0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය