Powered by Blogger.

http://www.mawbima.lk/ct-admin/images/news/55598_1.jpg
හැඩකාර දියණියන් දෙන්නෙක් පරිස්සම් කරන එක ලේසි නෑ. දියණියන් එයාලගේ නිදහස් කිරිල්ලියෝ වගේ අතහැරියට දූලාගේ පස්සෙන් තාත්තා මුර සේවයට හිටියේ ඒ නිසා වෙන්න ඇති. හැඩකාර වුණත් දියණියන් පාර වරද්ද ගන්නේ නැති නිසා කාලයක් යනකොට තාත්තත් මුර සේවයෙන් අයින් වුණා. ඒ තාත්තගේ හැඩකාර දියණියන් දෙන්නගෙන් කෙනෙක් අපි අඳුරනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි මීනා කුමාරි. තාරුණ්‍යය ගෙවිලා ගියත් ඇයගේ සුන්දරත්වය තාමත් ඇය ළඟ.

මුලින්ම ඔබේ ලස්සන ගැන වර්ණනා කළේ කවුද?

මට මතක විදියට මගේ යාළුවෝ තමයි මගේ ලස්සන වර්ණනා කළේ. මගේ හමේ පාට කහපාටට හුරුයි. ඒ නිසා මගේ පාට අමුතුයි කියලා යාළුවෝ හැම තිස්සෙම කියනවා. ඒත් ඒක මට දැනිලා තිබ්බෙ නෑ. කොහොමත් සෙල්ලමට සහ වෙනත් ඇක්ටිවිටි ගැන තමයි අවධානය තිබ්බේ.

ලස්සන නිසාම පාසලේදී විශේෂ වුණ අවස්ථා නැති වෙන්න බෑ?

අපේ කලා උළෙලකදී විශාඛා ගීත නාටකයට ළමයි සිය ගණනක් අතරෙන් පස් දෙනෙක් තෝර ගත්තා. ඒ අතරේ මාත් හිටියා. ගාමිණී සමරකෝන් මහත්මයා තමයි මාව තෝර ගත්තේ. ඇත්තටම ඒ තේරුණාමත් මම බැලුවා මම ඒකට සුදුසුද කියලා.

ඒ කියන්නේ ඔබ පාසලේ කැපී පෙනෙන රුවැත්තියක්?

අනේ මන්දා. ඒත් මම කාලයක් හොස්ටල් හිටියනේ. එතකොට මම මිස් හොස්ටල් වුණා. එතැනදි ලස්සන වගේම නර්තනය, ගායනය, වෙනත් ක්‍රියාකාරකම් එක්ක තමයි මාව තේරුණේ. ඒ කාලේ මම කෙට්ටුවටත් හිටියා. සමහර යාළුවෝ කිව්වා මට මොඩ්ලින් කරන්න කියලත්. එක එක අය ඒ දේවල් කියනකොට මට හිතුණා මොකක් හරි විශේෂ හැඩයක් මට ඇති කියලා.

ඒ හැඩකාරකම නිසාම පිරිමි ළමයින්ගෙනුත් විශේෂ තැනක් තියෙන්න ඇති නේද?

මට ඒ කාලේ ස්පෝට්ස් ප්‍රැක්ටිස් යනකොට මට ආකර්ෂණය වුණ අය නම් හිටියා. ඒත් මම ඒ වෙනකොට පාසලේ බැඩ්මින්ටන්, නෙට්බෝල්, මලල ක්‍රීඩා නායිකාව වෙලා හිටපු නිසා මම හිටියේ ඒ වගකීමෙන්. මම අනෙක් දේවල්වලට එච්චර අවධානය යොමු කළේ නෑ.

ලස්සන නිසා කොල්ලන්ට ආඩම්බරකම් පෙන්නුවද?

මෙහෙමයි. සමහර පිරිමි ළමයි නම් මම ආඩම්බරයි කියනවා මට ඇහිලා තියෙනවා. මම ගුවන් හමුදාවේ ඉන්නකොටත් සමහරු කියනවා මම ආඩම්බරයි කියලා. ඒත් ලස්සනයි කියලා හිතලා එහෙම හිටියා නෙවෙයි.

ලස්සන කෙල්ලෙක්ට ගෙදරින් තහංචි තිබුණේ නැතිවෙන්න බෑනේ?

කවුරු හරි හිනා වුණත් මම ඒක ගෙදර ඇවිත් කියනවා. මමයි අක්කයි බැඩ්මින්ටන් ප්‍රැක්ටිස්වලට ටොරින්ටන් යනවා. අපිට නිදහස දීලා අපි ඒ නිදහස පාවිච්චි කරනවද බලන්න තාත්තා පිටිපස්සෙන් එනවා. ඒත් පිළිවෙළට යනවා කියලා දැන ගත්තම තාත්තා අපි පස්සෙන් එන එක නැවැත්තුවා.

හැමෝම ලස්සනයි කියන නිසා ලස්සන උරගා බලන්න හිතුණේ නැද්ද?

නෑ. මම එක තරගයකටවත් සම්බන්ධ වුණේ නෑ. මිස් හොස්ටල් තේරුණෙත් මම ඉදිරිපත් වෙලා නෙවෙයි. ගුවන්හමුදාවේ ඉද්දිත් මම ඡඥචභබර ඡඥඵබ ඤපඥඵඵ විදියට තේරුණා. ඒකත් විවෘත තරගයක්. මට එහෙම තරගවලට ඉදිරිපත්වෙලා ලස්සන උරගා බලන්න හිතුණේ නැහැ.

ලස්සනට හිටපු ඔබට තවත් ලස්සන වෙන්න හිතුණේ?

අවුරුදු විසිතුන වගේ කාලෙදි අනෙක් අය කියන නිසා ලස්සන ගැන හිතන්න ගත්තා. කොහොමත් අම්මා අපිව පොඩි කාලේ ඉඳන් ලස්සනට ඇන්දුවා. මේක්අප් ගැන, හෙයාර් ස්ටයිල් ගැන, ඇඳුම් පැලඳුම් ගැන අම්මා තමයි කියා දුන්නේ. ඒ නිසා ලස්සනට ඉන්න කොහොමත් කැමැති වුණා.
තමන්ගේ සුන්දර හැඩය ගැන ලොකු විශ්වාසයක් දැනුණ අවස්ථා තියෙනවා ඇති.
මම 90 ගණන්වල සිග්නල් ඇඩ් එකකට තේරුණා. ඉන්දියාවෙන් ඇවිත් තමයි ඒ තෝරා ගැනීම කළේ.
අනෙක් අය මට වඩා ලස්සනයි කියලා තමයි මම හැම වෙලාවෙම හිතුවේ. ඒත් මාව තෝරගෙන තිබුණා. මටත් පුදුමයි. ඒ ඉන්දියාවෙන් ආපු එක මේකප් ආටිස්ට් කෙනෙක් කිව්වා වෛජයන්තිමාලාගේ හැඩහුරුකම මට තියෙනවා කියලා. මම බලනකොට නම් මට එහෙම දැනුණේ නෑ. ඒත් මොකක් හරි ලස්සනක් තියෙනවා කියලා නම් හිතුණා.

නිළියක් වුණෙත් ලස්සන නිසාද?

යම්තාක් දුරට ලස්සනක් බලපාන්න ඇති. මම මුලින්ම ආරියරත්න ඇතුගලයන්ගේ තුන්බිය ටෙලි නාට්‍යයේ තමයි රඟපෑවේ. ඒ ටෙලිනාට්‍යයේ තිබ්බේ මගේ ස්වාභාවික ලස්සන. තුන්බියේ තමයි මම මාව මුලින්ම ලස්සනට දැක්කෙත්. ඒ වගේම මට දකුණු ඉන්දියානු චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. ඉන්දියානු හැඩයක් තියෙන නිසා තමයි ඒ අවස්ථාව මට ලැබුණේ. ඇත්තටම එවැනි ජාත්‍යන්තර තලයේ කලාත්මක චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට වාසනාව ලැබුණේ මගේ රූපේ නිසා කියලා මට දැන් හිතෙනවා.

ඒ ලස්සන වැඩිකරගන්න විශේෂයෙන් මොනවද කළේ?

මම ස්වාභාවික විදියට ඉන්න කැමැතියි. මට උත්පත්තියෙන් ලැබුණ හැඩයක් තියෙනවා. ඒ හැඩයේ විශේෂත්වයක් ඇති. ඒ උත්පත්තියෙන් ලැබුණ හැඩය මේකප්වලින් තවත් වැඩි කරගත්ත අවස්ථා තියෙනවා. ඒත් මම හිතන්නේ එළියට පේන ලස්සන ඇතුළාන්තයෙන් එන ලස්සනක්.

විවාහ වෙලා දරුවා ලැබෙනකොට සමහරුන්ගේ ලස්සන වියැකිලා යනවා. ඔබට එය දැනුණේ කොහොමද?

මට නම් එහෙම දෙයක් දැනුණේ නෑ. දරුවා ලැබුණට පස්සේ මම තවත් ලස්සනට ඉන්නවා. මම මුලින් කිව්වා වගේ හිත ලස්සන නම් වයසට ගියත් ලස්සනට ඉන්න පුළුවන්.

තරුණ කාලේ නොදැනීම ගෙවිලා ගිහින් ඒ ගැන මොකද හිතෙන්නේ?

මටත් ලස්සන තරුණ කාලයක් තිබුණා කියලා මම සතුටු වෙනවා. පසුතැවීමක් නෑ. අද දවසේ ඉන්න මට ආදරය කරන්න තරම් මම ජීවිතය සුබවාදීව දකිනවා. මගේ දරුවව රැකගන්නවා වගේ මම මාව රැකගන්නවා. මගේ තාරුණ්‍ය නැතිවුණාට මම අද ඉන්න තාරුණ්‍යයට ආදරය කරනවා. එයාලගේ ලස්සන විඳිනවා. අපිට තව කෙනෙක්ගේ ලස්සන අවංකව විඳින්න පුළුවන් නම් අපිත් ලස්සන වෙනවා.

තාමත් ලස්සනට ඉන්න වෙන රහසකුත් ඇති?

මම පිරිසුදුකම ඉහළින්ම තියෙන කෙනෙක්. මම මගේ බර, ශරීරයේ හැඩය ගැන සැලකිලිමත්. ඒ නිසා එළවළු, පලතුරු කනවා. වැඩියෙන් වතුර බොනවා. පිළිවෙළට කාලෙට අවශ්‍ය ලෙස අඳිනවා පලඳිනවා. එළියට යනකොට මමම මේකප් කරගන්නවා. මගේ යාළුවෝ කියන්නේ මම එන්න එන්නම තරුණ වෙනවා කියලා. ඒත් මට දැනෙනවා මම වයසට යනවා කියලා. ඒත් කාටහරි මාව ලස්සනට පේනවා නම් මට සතුටුයි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය