Powered by Blogger.

ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලකට වෝල්ටර් ප්‍රනාන්දු පිළිතුරු දෙයි
“රිද්මය පොඩ්ඩක් වැඩි වුණා කියලා ගීතයක් විකෘති කරනවා කියනවා නම් එයා musician කෙනෙක් නෙමෙයි. රිද්මය අඩු වෙනවා, වැඩි වෙනවා. පටිගත කිරීමේදී එකයි. මඟුල් ගෙදරකදී වෙන එකක්. ශාලාවක් ඇතුළත පැවැත්වෙන ප්‍රසංගයක දී තවත් එකක්. එළිමහන් ප්‍රසංග වේදිකාවකදී වෙනත්ම එකක්. ඒක එහෙම වෙනවා. මම අවුරුදු 55ක් පුරාම මේ රටේ ගීත ගායනා කරන ගායකයෙක්. මගේ වෘත්තිය ඒකයි.
මම අනුන්ගේ සින්දු කියන ආධුනික ගායකයෙක් නෙමෙයි. ඇන්ජි අක්කාගේ (ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලක) 90%ක් නම තියෙනවා නම් මගේ නමත් 75%ක් වත් තියෙනවා. මමත් චිත්‍රපට 33ක ගීත ගායනා කරලා තියෙනවා. මමත් ඇන්ජි අක්කා වගේම දක්ෂයි. ඒ නිසා ඔබතුමන්ලා (රසඳුන) ඇන්ජි අක්කාගේ අදහස්වලට ඉඩ දුන්නා වගේම මේ මම කියන දේවලුත් මේ විදිහටම පළ කරලා දෙන්න. මම කවමදාවත් කාගේවත් හිත රිද්දන මනුස්සයෙක් නෙමේ. ඒත් අපේ ගීතලෝලීන්ට වැරදි වැටහීම් ඇති නොවන්න නම් ඇන්ජි අක්කා මට කළ චෝදනාවට මා වැරදිකාරයෙකු නොවන බව සැබෑ කරුණු ඇතුව හෙළිදරව් කරන්න ඕනේ.”
එලෙස පවසමින් ගායන ශිල්පි වෝල්ටර් ප්‍රනාන්දු අප සමඟ මේ කතා බහට එක් වුණේ “අපේ ගේ ළඟටම ඇවිත් වෝල්ටර් මගේ සින්දු විකෘති කරනවා” යන මැයෙන් පසුගිය ඉරිදා ‘රසඳුන’ පළ කළ ගායන ශිල්පිනී ඇන්ජලින් ද ලැනරෝල් ගුණතිලකගේ ලිපිය මඟින් එල්ල කෙරුණු ‍චෝදනාවට පිළිතුරු දීම පිණිසය. සිය සොහොයුරු එම්.එස්.ප්‍රනාන්දු ගැයූ ගීත ගයන්න තමන්ට සිදුවූ අයුරු පිළිබඳ මතකය ද අවදිකරමින් වෝල්ටර්, ඇන්ජි අක්කාට පිළිතුරු ලෙස හෙළිදරව් කළ කරුණු මෙසේය.
“මට දවසක් ‘ටොරානා’ ආයතනයෙන් ආරාධනා කෙරුවා මගේ අයියයි, එච්.ආර්.ජෝතිපාලයි ගායනා කරපු ‘කොඩි ගහ යට මම උපන්නේ’ ගීතය ගායනා කරන්න. මම එය ගායනා‍ කළේ රූකාන්ත ගුණතිලක ජෝතිගේ ගීත ගායනා කළ ගීත එකතුවකට බවයි මට මතක. එය ඇසූ ‘‍ෙටාරානා’ අධිපති මට කිව්වා - ‘අයියාගේ සින්දු යට යනවා. ඒ නිසා අයියාගේ චිත්‍රපට ගීත ටිකක් කියන්නකෝ’ කියලා. මම කිව්වා - ‘ඒවා අයියාගේ දරුවන්ට කියලා ගායනා කරවන්න’ කියා. ‘නැහැ, ඔයා කියනවා නම් මම කරනවා’ කියා ‘ටොරානා’ අධිපති ස්ථිරවම කියා සිටියා. පසුව මම අයියා ගායනා කර තිබුණු ගීත 16ක් ඒ ‍'ටොරානා’ සංයුක්ත තැටියට කළා. මා ගැයූ එම ගීත 16ම ජනප්‍රිය වුණා. එහි ‘අහා හැඩයි රූපේ’ ගීතය මං ගායනා කළෙත් ඇන්ජි අක්කා සමඟමයි. අපේ ඒ ගීතටයත් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අද වුණත් බොහෝ දෙනෙක් මාව ප්‍රසංගවලට සහභාගි කරවා ගන්නේ අයියාගේ සින්දු අහන්න ව‍ෙග්ම විශේෂයෙන් ‘අහා හැඩයි

රූපේ’ ගීතය අහන්නයි. ඒ වගේම මං ගයන්නේ මගේ අයියාගේ සින්දු මිස අනුන්ගේ සින්දු නෙමේ. මේ රටේ ගීත රසිකයින් අයියාගේ සින්දු මං ගායනා කරනවා අහන්න කැමැතියි. ඉතින් දිගටම මගේම ගීතයක් සමඟ අයියාගේ ගීතත් ගායනා කරනවා. මෙහෙම මගේම අයියාගේ ගීත මා ප්‍රසංග වේදිකාවේ ගායනා කිරීම ඇන්ජි අක්කා පවසා ඇති පරිදි අනුන්ගේ ගීත ගායනා කිරීමක් කියා මම සලකන්නේ නැහැ.”

ඇන්ජි අක්කා චෝදනා කරන්නේ නිර්මාණශීලී චිත්‍රපට ගී (බයිලා නොවන වේග රිද්ම ගී) ඔබ වැඩි වේග රිද්මයකින් ප්‍රසංග වේදිකාවේ ගයා විකෘති කරන බවට නේද..?
“මම එය කෙසේවත් පිළිගන්නේ නැහැ. මොකද එදා ප්‍රසංග වේදිකාවයි අද ප්‍රසංග වේදිකාවයි කියන්නේ දෙකක්. එදා ප්‍රසංග වේදිකා ඉදිරියේ උන්නේ ගීත අහන රසික පිරිසක්. අද ප්‍රසංගය ආරම්භ කළ අවස්ථාවේ පටන් නටන රසික පිරිස් තමයි වැඩිපුරම ඉන්නේ. ඉතින් දැන් අපි වැනි වේග රිද්ම බයිලා ගායකයින්ව ප්‍රසංග ‍වේදිකාවලට කැඳවන්නේ ඒ නටන අයට උදව්වක් හැටියටයි. ඔය ඇන්ජි අක්කා කියන ප්‍රසංගයට මං සහභාගි වී ගී ගැයුවා තමයි. සංගීතය සැපයුවේ ‘ඕල් රයිට්’ කියන band එක. ප්‍රසංග වේදිකාවේ සජීවී ලෙස ගී ගයද්දී අපි සංයුක්ත තැටිවලට ගයා ඇති අයුරින් ගයන්න බැහැ. එහිදී ඕනෑම ගීතයක් අපි වැනි බයිලා ශෛලියට ගී ගයන ගායකයින් ගයද්දි වැඩි වේග රිද්මයකින් (speed)ගයන්න ඕ‍ෙන්. නැත්තම් ‘හූ’ කියනවා.අලුත් band වල ළමයි high speed ගහනවා. ඉතින් අපිට ඒවා ප්‍රසංග වේදිකාවලදී අත්දැකලා පුරුදු වෙලා දැන්. මම ඉතාම පැහැදිලිව වගකීමෙන් යුතුව පවසන්නේ මේ දේ... ප්‍රසංග වේදිකාවේදී ගයන ගීතයක් වැඩි වේග රිද්මයකට ගැයුවාට ඒ ගීතය ‘විකෘති ගීතයක්’ වෙන්නේ නැහැ. එමෙන්ම මම කවදාවත් කිසිම ගීතයක් විකෘති කරලා ගායනා කරලත් නැහැ.”

මාර්තු 30 වැනිදා රෑ සිද්ධිය මුල් වී ඇන්ජි අක්කා දැඩි මානසික පීඩාවකට හා හිංසාවකට ලක්වී ඇති බැව් ඔබ පිළිගන්නවා ද..?
“ඇන්ජි අක්කගේ හැටි ඔහොම තමයි. ටිකක් සැරයිනේ හැබැයි ඇන්ජි අක්කා ප්‍රසංග වේදිකාවේ හැටි ‍නොදන්නවා නොවේ. ඒ නිසා ඔය තරම් පීඩාවකට හෝ හිංසාවකට කරුණක් එහිදී සිදුවුණා කියා මං හිතන්නේ නැහැ. මාර්තු 30 වැනිදා රෑ show එකේ දි මම වැඩි වේග රිද්මයකින් ‘නෙළුම් මලේ පෙතිකඩලා’ සහ ‘අහා හැඩයි රූපේ’ ගීත ගායනා කළාට ඒවා විකෘති කරලා ගායනා කළේ නැහැ. මම කවදාවත් එහෙම ගීත විකෘති කරලා ගයන්නේ නැහැ. වේදිකාවේ දී මට විතරක් නෙමේ, සරල ගී ගයන ගායකයෙකුට වුවත් වේග රිද්මයට ගීයක් දෙකක් ගයන්න සිද්ධ වෙනවා. මේ සිද්ධි මුල් කරගෙන ඇන්ජි අක්කා මට ගීත විකෘති කරනවා කියා බොරුවට චෝදනාවක් කළාට ඒක නෙමේ ඇත්ත. ඇන්ජි අක්කාගේ හිතේ කාලෙක ඉඳලම මාත්තෙක්ක නොමනාපයක් තියෙනවා. වැරදි වටහා ගැනීම් කිහිපයක් හින්දා. ඇන්ජි අක්කා‍ම ප්‍රසිද්ධියේ පත්ත‍ෙරන් මේවා ඇදගත්ත හින්දා මමත් දැන් ඒවා හෙළි කරන්න ඕනේ. එතකොට තේරෙයි ඇත්ත කතාව කුමක්ද කියලා. ඒ සඳහා ‘රසඳුන’ මට ඉඩ දෙන්න ඕනේ.

ඔබේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ‘රසඳන’ තහවුරු කරනවා.
“මේවා මම හෙළිදරව් කරන්නේ සත්‍ය අපේ රසිකයින් දැනගත යුතු නිසයි. ඇන්ජි අක්කා ප්‍රවීණයි. මම ඇයට ගරු කරනවා. කවදාවත් ඒ අයට සැරට කතා කරලා අරවා මේවා කියන්න මම යන්නේ නැහැ. මම හරියට විනය ආරක්ෂා කරගෙන ඉන්න ගායන ශිල්පියෙක් මේ ක්ෂේත්‍රයේ. ඒත් ඉතින් ඇන්ජි අක්කා කාලෙක ඉඳලම මා සමඟ අමනාපයක් හිතේ තියාගෙන අවස්ථා ගණනාවකම මාව කපන්න (හිංසාවට) පත්කරන්න උත්සාහ කර අන්තිමේ මෙහෙම බොරු චෝදනාවක් කර එයාගේ තරහාව සංසිඳවා ගැනීමයි කළේ. මේ ‍සේරටම මුල ඇන්ජි






අක්ක‍ාගේ වැරදි වටහා ගැනීම් තමයි.”

ඇන්ජි අක්ක‍ාගේ වැරදි වටහාගැනීම් මොනවාද?
“කිහිපයක්ම තියෙනවා. පළමු එක තමයි - ඇන්ජි අක්කා මගේ අයියා එක්ක ගායනා කළ ‘නෙළුම් මලේ පෙති කඩලා’ ගීතය මම මරියසෙල් ගුණතිලක සමඟ ගායනය කිරීම ගැන වැරදි වැටහීම. මරියසෙල් මට එයට මුලින්ම ආරාධනා කළ අවස්ථාවේ දී මම එය ප්‍රතික්ෂේප කළා. ඒ සමඟම මා එංගලන්තේ පැවැති ප්‍රංගයකට ලංකාවෙන් පිටත්වී ගියා. මං ආපසු ලංකාවට ආවාමත් මරියසෙල් නැවතත් මට ආරාධනා කළා. ඊට ඉහත මගේ අයියත් මරියසෙල් සමඟ මේ ගීතය ගායනා කර තිබුණු හින්දාත් අලුත් තාක්ෂණයට නැවත පටිගත කිරීම් කර තිබුණු හින්දාත් තමයි මං ගීතය ගායනා කළේ. මම සතයක්වත් ඒ සඳහා ගත්තේ නැහැ. ඒත් දවසක් හම්බ වෙලා ඒකට මට හොඳටම බැන්නා. තවත් වැරදි වටහා ගැනීමක් ඇන්ජි අක්ක‍ාගේ හිතේ තියාගෙන ඉන්නවා. ඒ - ‘මධුරී’ චිත්‍රපටයේ අලුත් ගායිකාවක් සමඟ මා ගායනා කළ ‘ඩාලිං ලුසී’ යුග ගීතය ගැනයි. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් ද අල්විස් විසිනුයි. ඉතින් මට එම ගීතය ගායනා කරන්න ආරාධනා කළාම මම ගිහිල්ලා කටහඬ දීලා ආවා. පසුව ඇන්ජි අක්ක‍ා හමුවීමකදී - ‘මම කියන්න තිබ්බ සින්දුවෙන් මාව කපා දැම්මා’ කියා බැන්නා.
පසුව මා සොයා බලා දැනගත්තා ඇන්ජි අක්ක‍ා ලොකු මුදලක් ඉල්ලීම නිසා තමයි ඇයව‍ නොගෙන ඒ ගීතයට අලුත් ගායිකාවක් මා සමඟ ගයන්න යොදාගෙන තියෙන්නේ. ඇන්ජි අක්ක‍ා හිතේ තියාගෙන ඉන්න තවත් වැරදි වටහා ගැනීමක් තමයි - ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටය අලුත් නිෂ්පාදනයේ දී මම ‘රත්තරනේ රන් කිරිල්ලියේ’ ගීතය ගායනා කිරීමත්. මට ජයන්ත රත්නායක දුරකථනයෙන් කතා කරලා ඇහැව්වා වෝල්ටර් අංකල් සින්දු දෙකක් තියෙනවා. කියනවද?” කියලා. මම ‘හා’ කිව්වා. එච්චරයි. මං ශබ්දාගාරයට ගිහිල්ලා ‘කොඩි ගහ යට මම උපන්නේ’ ගීතයෙයි ‘රත්තරනේ රන් කිරිල්ලියේ’ ගීතයෙයි මගේ කොටස් ගායනා කර ආවා. අද වුණත් මම දන්නේනැහැ ඒ - ‘රත්තරනේ රන් කිරිල්ලියේ’ ගීතයේ female voice එක කාගෙද කියලා.
ඒත් ඇන්ජි අක්ක‍ා ඒවාට මට වෛර බඳිනවා. මම මොනවා කරන්නද ඒකට. මම කොහේ හරි show එකක sing කළොත් ඊට පහුවදා මට බණිනවා. එහෙම අවස්ථාවලදී සමහර විට ‘අපේ සින්දු කියලා ඕගොල්ලේ හම්බ කරනවා” කියලත් බණිනවා. අපේ ප්‍රවීණ ගායිකාවක නිසාත් ගැහැනු කෙනෙකු මොනවා කිව්වත් පිරිමියෙකු පැටලිලා යන්න සුදුසු නැති නිසාත් මම ‘ඇන්ජි අක්කේ’ කියාගෙන ඔළුව පාත්කරගෙන මඟහැරලා ගිහින් තියෙනවා. තාමත් ඔවැනි වැරදි වටහා ගැනීම් හි‍ෙත් තියාගන තමයි මට මේ බොරු චෝදනාවක් නඟලා තියෙන්නේ.

කෙසේ හෝ ඔබ ඇන්ජි අක්ක‍ාගේ හිත රිදෙන අයුරින් දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වූ බවට ඇය පවසන්නේ ඇත්තක්ද?
“මම ඇන්ජි අක්ක‍ාගේ හිත රිදෙන්න කිසිවක් කිව්වේ කෙරුවේ නැහැ. එයාගේ හිත රිදුණා නම් මට කරන්න දෙයක් නැහැ. මොකද ඇන්ජි අක්ක‍ා මට දුරකථන ඇමතුම ගත්තේ මම ප්‍රසංග දෙක තුනක ගීත ගායනා කරලා ඇවිල්ලා නිදාගෙන ඉන්න කොටයි. ඒ අරගෙනත් එයා මට නොයෙකුත් දෝෂාරෝපණ කරමින් හතර වටේම ඉන්න ඔක්කෝටම බණින්න වුණා. උදය තෙන්නකෝන්ට, මනෝජ් පීරිස්ට ව‍ගේ හැමෝටම බැණගෙන බැණගෙන යන්න ගත්තා. ඇන්ජි අක්ක‍ා - ‘ඔයා වේග රිද්මයෙන් ගායනා කළා වැඩියි වෝල්ටර්’ කියලා පටන් ගත්තාට දැනගෙන උන්නේ නැහැ ඉවර කරන්න ඕනේ කොතැනින්ද කියලා. බැරිම තැන මම ‘අනේ අක්කේ මගේ වෙලාව කන්න එපා’ කියා කිව්වා. ඒත් එයා බැණගෙන යනවා. මගේ සින්දු අරයා කියනවා, මෙයා ලවා කියවනවා. අයි.ටී.එන්. එකේ මෙහෙම කරනවා කිය කියා. ඉතින් තවත් බැරිම තැන මං - ‘ඔයා ඕවාට නඩු දාන්න. මගේ වෙලාව කන්න එපා.’ කියලා phone එක තිබ්බා. එපමණයි සිද්ධ වුණේ. ඉතින් එය වරදක්ද? එයාගේ සින්දුවලට කවුරු හරි අසාධාරණයක් කරනවා නම් නීති මාර්ගයෙන් යන්න නොකියා වෙන මොනවා කියන්නද?”
* ගීතයක් වැඩි වේග රිද්මයකට වයන්න සංගීත කණ්ඩායම්වල වාදකයින් හුරු පුරුදු වීම හේතුවෙන් කවදා හෝ දිනයක තමන්ටත් ඒ රිද්මය අනුව එම ගීතය ගයන්න සිදුවෙයි කියා ‘ඇන්ජි අක්ක‍ා බියවීම සාධාරණ නොවේද?
“නැහැ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි බියක් ඇති කර ගැනීම සාධාරණ නැහැ. බයිලා ගායන ශිල්පියෙක් ඇන්ජි අක්කා සරල ගී ගායන ශිල්පිනියක්. bandවල ඉන්න වාදන ශිල්පීන් දන්නවා ඒ ඒ ගායක ගායිකාවන්ගේ ගායන ශෛලීන්ට සුදුසු අයුරු වාදනය සපයන්න. වාදන ශිල්පීනුත් දක්ෂයෝ. ඔවුන් ඇන්ජි අක්ක‍ාගේ ගී එයාට ඕනෑ රිද්මයට වාදනය කර දෙන්න දන්නවා. ඒ නිසා ඇන්ජි අක්ක‍ාට බය වන්න හේතුවක් නැහැ කවුරු මොන ගීතය මොනතරම් වැඩි වේග රිද්මයකට ගායනා කළත්. “ඔන්චිලි චිලි චිල්ල මලේයා” ගීතය උදාහරණයකට අර‍ෙගන බලන්න. ජෝතිපාල ගායනා කළ නිසා එය සරල ගීතයක්. හැබැයි එම්.එස්.ප්‍රනාන්දු එය ගායනා කළා නම් එය බයිලාවක්. ශිල්පියා අනුව තමයි රූපය, රිද්මය මැවෙන්නේ. ප්‍රසංග වේදිකාවේදී ගයන ගීතයක් වැඩි වේග රිද්මයකට ගායනා කළාට එම ගීතය විකෘති ගීතයක් වෙන්නේ නැහැ කියන දේ තමයි මට නැවතත් මතක් කර දෙන්න තියෙන්නේ.”
* ඔබේ සහෝදරයා සමඟ ගායනයෙන් දායක වූ ගීත ඇන්ජි අක්ක‍ාගේ නිවෙස අසලටම පැමිණ ඔබ වැඩි වේග රිද්මයකට ගායනා කරද්දී ඇයට එම ගී විකෘති ගී ලෙස හැඟීමෙන් දුකට පත්වීම සුළුකොට සැලකිය හැකි කාරණයක්ද?
“මෙතැනදී උවමනා වන්නේ අපි ප්‍රසංග වේදිකාව තේරුම් ගැනීමයි. මං මුලින් කිව්වා වගේම යළිත් කියන්නේ ප්‍රසංග වේදිකාවට අවශ්‍ය වේග රිද්ම ගී. බයිලා වැනි නටන්න පුළුවන් ගීතයි. ගැහැනු ළමයි පස්හය දෙනෙක් නටන වේදිකාවකට නැග්ගම අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ කොතැනකද කියලා. ඒ වගේම bandවලට ගීත පුහුණු කර කර ඉන්න පුළුවන්කමක් එතැනදි නැහැ. අපිට තිබනේනේ සංගීතය පෙරළිලා එන විදිහට සින්දුව කියන එකයි. කොහොමත් එදා මේ සිද්ධියට මුල පිරුණු ඔය ගීත ප්‍රසංගය පැවැති තැන නිතරම ගීත ප්‍රසංග පවත්වන තැනක්. ඉතින් ඇන්ජි අක්ක‍ාට තියෙන්නේ ඔතැන ඉන්නේ නැතුව වෙන තැනකට යන්නයි. මොකද මං එතැනට ගිහින් සින්දු නොකියා වෙන මොනවද කරන්නේ. මේක මගේ රස්සාව.
මේ මොනවා කතා කළත් අපි ඇන්ජි අක්ක‍ාට සලකනවා. මගේ අක්කාට වගේ සලකනවා. දැන් මට පුළුවන් - ‘ඇන්ජි අක්කේ, මට සමාවෙන්න මං ඔයාගේ හිත රිද්දුවා’ කියලා කියන්න. ඒත් මං ‍එහෙම නොකියන්නේ ඇත්තටම මං කිසිම ගීතයක් කවදාවත් විකෘති කරලා ගායනා කරලා නැති හින්දයි. මේ ප්‍රශ්නයේදී වුණත් මං එයාගේ හිත රිද්දුවේ නැති හින්දයි.”

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය