Powered by Blogger.

ඇසේ මතුවන පීඩනය හෙවත් ග්ලූකෝමා යනු සුව කළ නොහැකි අක්‌ෂි රෝගයකි. ග්ලූකෝමා සඳහා දැනට ඇත්තේ රෝග පාලන ප්‍රතිකාර පමණි.

එනිසා යම් පුද්ගලයකුට ග්ලූකෝමා එසේත් නැතිනම් ඇසේ පීඩනය මතුව ඇත්නම් නිසි පරිදි දිනපතා මුළු ජීවිත කාලයටම තම දැස්‌ වලට වෛද්‍ය නිර්දේශ මත ලබාගත් ඖෂධ ප්‍රතිකාර සිදු කළ යුතුය.

එසේ නොවුණහොත් සිදුවන්නේ තම දැස්‌ ඉතා ඉක්‌මනින් අන්ධවීමය.

ග්ලූකෝමා යනු කුමක්‌ද?

සාමාන්‍ය භාවිතයේදී අපි ග්ලූකෝමා රෝගය හඳුන්වන්නේ ඇසේ මතුවූ පීඩනය කියාය. එසේ කී විට සමහරු අසන්නේ මෙය රුධිර පීඩනය අධිකවීම නිසා මතුවන අක්‌ෂි රෝගයක්‌ දැයි කියායි. ඇසේ පීඩනයට රුධිර පීඩනය බලපාන්නේ නැත. එය ඇතිවන්නේ ඇසේ දෙවැනි පටලයේ නිපදවන තරලය ප්‍රමාණය ඉහළ ගිය විටදීය.

ඇසේ කාචය සහ ඇස්‌ බෝලයට අවශ්‍ය පෝෂණය ලබාදෙන්නේ දෙවැනි පටලය මගින් නිපදවන තරලයෙනි. එම තරලය ඇතැම් පුද්ගලයන්ගේ අවශ්‍ය ප්‍රමාණයට වඩා නිපදවේ. එවිට එම වැඩිපුර තරලය ඇසේ රැඳී තිබීම නිසා ඇස තුළ පීඩනයක්‌ මතුවේ.

සාමාන්‍යයෙන් මෙම තරලයෙහි ක්‍රියාවලිය වනුයේ ඇසේ කාච සහ ඇස්‌ බෝලයට අවශ්‍ය පෝෂණය ලබාදී ඉන්පසු එය රුධිරයට එක්‌වීමය. නමුත් ග්ලූකෝමා රෝගයේදී සිදුවන්නේ එම තරලය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇස තුළ නිෂ්පාදනය වීමය. එවිට එම තරලය ඇසෙන් පිටවීම ප්‍රමාදවේ. එසේම ඇසට අවශ්‍ය ප්‍රමාණයට වඩා තරලය රැඳී තිබීම නිසා ඇස තුළ පීඩනයක්‌ මතුවේ. මෙම පීඩනය නිසා ඇසෙහි ඇති ඉතා සියුම් ස්‌නායු තෙරපීමට ලක්‌වේ. එම තෙරපුම නිසා එම ස්‌නායු මියයයි.

අපගේ එක්‌ ඇසක ස්‌නායු ලක්‍ෂ 20 ක්‌ 30 ක්‌ පමණ ඇත. ග්ලූකෝමා තත්ත්වයේදී මෙම ස්‌නායු දිනකට 40,000 ක්‌ පමණ බැගින් විනාශ වේ.

ග්ලූකෝමා රෝග ලක්‌ෂණ මොනවාද?

ග්ලූකෝමා රෝගයේ ඇති භයානක බව කිසිදු රෝග ලක්‌ෂණයක්‌ මතු නොවීමය. රෝග ලක්‌ෂණ ලෙස ඇසේ පෙනීමේ දුර්වලතා මතුවන්නේ ඇසේ ස්‌නායු මියගොස්‌ ඉන් 50,000 ක්‌ පමණ ඉතිරිව ඇති අවස්‌ථාවේදීය. එවිට ප්‍රතිකාර ලෙස කිරීමට කිසිවක්‌ නැත. ඉතා ඉක්‌මණින් ඇස අන්ධවේ.

රෝගය හඳුනාගන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් ග්ලූකෝමා රෝගය මතුවන්නේ වයස අවුරුදු 40 පමණ ඉක්‌මවූ විටදීය. නමුත් ඇතැම් අයට තරුණ වයසේදීම මතුවේ. එනිසා වසරකට වරක්‌ වත් තම ඇස්‌ පරීක්‍ෂා කර ගැනීමෙන් මෙම රෝගය මතුව ඇත්නම් හඳුනාගත හැකිය.

කුඩා දරුවන්ට ග්ලූකෝමා මතුවන්නේ නැතිද?

කුඩා දරුවන්ටත් ග්ලූකෝමා මතුවේ. නමුත් ඔවුන්ගේ අක්‌ෂි පටල ඉතා මෘදු බැවින් මතුවන පීඩනය දරාගත හැකිය. එනිසා ඔවුන්ගේ ඇසේ ස්‌නායු විනාශ නොවේ.

කුඩා දරුවන්ට ග්ලූකෝමා මතුවූ විට ඇසේ කළු ඉංගිරියාව සුදු පැහැවේ. මෙය හඳුනාගත් වහාම ඖෂධ ලබාදී රෝගය පාලනය කළ හැකිය.

ග්ලූකෝමා සඳහා ලබාදෙන ප්‍රතිකාර මොනවාද?

මතුව ඇති ඇසේ පීඩනය පාලනය කිරීම සඳහා දිනපතා උදේ සවස ඇසට යෙදීමට දියරමය ඖෂධ ලබාදේ. මෙම දියර එක්‌ බිංදුවක්‌ එක්‌වරකට දැමිය යුතුය. එය ඇසේ පීඩනය මතුවන පෙරවරු 8.00 ත් 9.00 ත් අතර සහ රාත්‍රී 8.00 ත් 9.00 ත් අතර යෙදිය යුතුය. මෙම ඖෂධ එක්‌ වරකට එක්‌ බිංදුවක්‌ ප්‍රමාණවත්ය. වැඩිපුර දැමීමෙන් සිදුවන්නේ අපතේ යාමකි.

නියමිත වේලාවට පසු ඇසට ඖෂධ දැමීමෙන්ද ඵලක්‌ නැත. ඇසේ පීඩනය උපරිම වන විටදී ඖෂධ ඇසට දැමිය යුතුය. එවිට ඇසේ මතුවන පීඩනය පාලනය කළ හැකිය.

ඇසේ පීඩනය මතු වූ පසු ඖෂධ දැමීමෙන් ඵලක්‌ නැත. එවිට ඇසේ පීඩනය නිසා ස්‌නායු විනාශවී ගොස්‌ අවසන්ය.

ග්ලූකෝමා රෝගීන් අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද?

ග්ලූකෝමා රෝගීන්ට ස්‌ටිරොයිඩ් ඖෂධ වර්ග හොඳ නැත. එනිසා ඔවුන් යම් රෝගයක්‌ සඳහා ප්‍රතිකාර ගැනීමේදී තමාට පවතින ග්ලූකෝමා රෝගය ගැන වෛද්‍යවරයාට පැවසිය යුතුය.

ග්ලූකෝමා සඳහා ප්‍රතිකාර ලබා ගත්තද ස්‌නායු මියයැම සම්පූර්ණයෙන් නවතාගත නොහැකිය. ඖෂධ මගින් සිදුවන්නේ දිනකට මිය යන ස්‌නායු ප්‍රමාණය අවම කිරීම පමණි.

ග්ලූකෝමා රෝගය ඇති අය එක්‌වරකදී වැඩි වතුර ප්‍රමාණයක්‌ පානය නොකළ යුතුය. මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය. තම පවුලේ සාමාජිකයන්ටද රෝගය මතුවීමේ අවදානම පවතින නිසා ඔවුන්ගේද ඇස්‌ පරීක්‍ෂා කළ යුතුය.

ග්ලූකෝමා රෝගියකුගෙන් තම දරුවන්ට රෝගය මතුවීමේ ඉඩකඩ ඇත්තේ ඉතා අවමය.

දෘෂ්ටි විශේෂඥ නරේෂ් ප්‍රදාන්
අයි කෙයාර් ආයතනය
අංකය 235, වෝඩ් පෙදෙස,
කොළඹ 07, දුරකථන 0112682277

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය