Powered by Blogger.

බයිසිකලයේ ආ ගුරුවරිය මගේ ඇස් ඉදිරිපිටදීම ටිපර් රථයට යටවුණා

- කොන්දොස්තර ප්‍රියන්ත
හැමදාමත් වගේ පිටකොටුවේ මැනිං මාර්කට්ටුව, එහා මෙහා යන එන ජනතාවගෙන් පිරිලා. ඔවුන්ගේ ඔළුගෙඩි අතරින් පතරින් පෙනෙන්නේ ඊට යාබද බැස්ටියන් මාවතේ එක පෙළට නැවැතූ බස් රථ පෙළයි. ඔවුන් තම වාරය එනතුරු මඟ බලා හිඳියි. මීට වසර කීපයකට පෙර මෙතැන තිබුණු බැස්ටියන් මාවතම දැයි හිතෙන තරමටම ඒ පරිසරය වෙනස් වෙලා. අපිරිසුදු කඩ පේළි, දුගඳ හමන බේරේවැව කෝ දැන්? ඒවා කිසිවක් එතැන නැහැ. එකපෙළට වතුර විහිදුවන වතුර මල් බේරේ වැව මැද.
බේරේ දෙපස ගස් සෙවණින් නැහැ වීලා‍. අලංකාර ලෙස ගොඩනැ‍ඟෙන ගොඩනැඟිලි සමූහය ඒ හැමටම සුන්දරත්වයක් එක් කරන කෝච්චි පාර, පිරිසුදු කරන ලද බේරේ වැව්තාවුල්ල පිස හමා එන මඳ සුළඟ ගිනි කූටක අව්වට පිච්චුන ඇඟ පතේ විඩාව නිවාලන්නෙත් හරිම අපූරුවට. දහවලට වගේ ම රාත්‍රියටත් මේ මාවතේ දැනෙන්නෙ සිසිලසක්. හඳ ඇති දවසට බේරේ වැවට වැටෙන සඳ එළිය නොනිදන පිටකොටුවම ආලෝකවත් කරනවා. පිටකොටුව ගැන කතා කරන්නට ලියන්නට එදා මෙන් ම අද ද කරුණු බොහෝයි. මේ නොනිදන නගයේ නොනිදා රැය පහන් කරන පිරිසකුත් ඉන්නවා. නිරතුරු යන එන මඟීන්, වෙළහෙළදාමේ යෙදෙන සංචාරක වෙළෙඳුන් වගේ ම ඒ දෙනෝදාහක් වෘත්තීන් අතරට බස් කෙරුවාවේ යෙදෙන බස් රථ රියැදුරන් හා කොන්දොස්තරලාගේ සේවය ද ඇතුළත් වෙනවා. පිටකොටුවේ සිට ලංකාවේ සතර දිග්භාගය කරාම දිවෙන බස් රථ දහස් ගණනක් පිටකොටුවෙන් පිටත්ව යනවා. පිටකොටුවට ඇතුළු වෙනවා. අනෙක් හැමදෙනාගෙම වගේ බස් රියදුරන් හා කොන්දොස්තරලාගේත් රජ දහන පිටකොටුවයි.
දස අතින් ‍කොළොම්තොටට ගොඩවැ‍ඳෙන හුදී ජනයාට සේවය සපයමින් තම තමන්ගේ බස් ලෝඩ් කරගන්න මේ අය යෙදෙන්නෙ හරිම ලොකු තරගයක. දහවල රාත්‍රිය කියල ඔවුන්ට වෙනසක් නැති ගාණයි. අව්ව වැස්ස උනත් බලල කොහොමද? පුළුවන් තරම් මඟීන් පටවගන්න මේ අය කරන සටනත් සුළු පටු නැහැ. ඒ අතර බස් රථවල රියදුරන් වගේ ම කොන්දොස්තරල අතරත් බහින් බස්වීම් විරසක වීම් ඕන තරම් ඇතිවෙනවා. ඒ මොන දේ සිද්ධ වුණත් මඟීන් ගේ සේවය වෙනුවෙන් ඔවුන් පෙළ ගැහිල. රැයක් දවාලක් නැතුව බස් රස්සාවෙ යෙදෙන මේ අපූරු පිරිස ගැන නොනිදන නගරය හරහා කතා බහ කරන්නට අපි හිතුවා. නොනිදන කොළොම්පුරේ නොනිදන පිටකොටුව ගැනත් ඒ තුළ ගෙවී යන ඔවුන්ගේ ජීවන සටන ගැනත් කතා කරන්න අපිත් එක්ක එකතු වුණේ මාර්ග අංක 15, යාපනය - පිටකොටුව දුර ගමන් සේවා බස් රථයේ රියදුරු ගණේමුල්ලේ පදිංචි ඒ. ලෙනාඩ්.
“මේ රස්සාව සමාජ සේවයක් වුණාට අපි හැමදාමත් මඟීන්ගෙන් අහන්නෙ බැණුම්. කොච්චරකට උදව් කළත් ඇණුම් බැණුම් මිසක හොඳක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්.
අපේ ජීවිත හැමදාමත් ගෙවෙන්නේ මඟීන් එක්ක මහ මඟ. හවසට කොළඹින් පිටත් වුණාම යාපනයට යන්නේ පාන්දර දෙක තුනට විතර. ඒ වගේ ම තමයි යාපනයේ සිට කොළඹට පැමිණීමත් පැය නමයක හරබයක්. දැන් මේ රස්සාවටම මම හුරුවෙලා.
මගේ බස් රස්සාවට දැන් අවුරුදු 20 ක් වෙනවා. මේ රස්සාව හින්දා. ගෙදරින් කෑම කන්න ලැබෙන්නෙත් කලාතුරකින්. හුඟක් වෙලාවට කඩෙන් තමයි අපේ කෑම බීම ලබාගන්නෙ. බිරිය ගෙන් කෑම වේලක් කන්න මඟ බලාගෙන තමයි නිවාඩුවක් ගන්නේ.
දවසක් හැර දවසක් යාපනයේත් කොළඹත් මාරුවෙන් මාරුවට තමයි මේ බසය ධාවනය වෙන්නේ. සමහර දාට කොළඹත් යාපනේත් මහ රෑ ගතකරන වෙලාවල් තියෙනවා. දැන් ඒක අපිට හොඳට හුරු පුරුදුයි.
මේ විදිහට ගත කරන ජීවිතේ දී විවිධාකාරයේ අත්දැකීම් වලටත් අපි මුහුණ පානවා. දවසක් මට මතකයි මෙතැනම අපිත් එක්ක දුර ගමන් සේවා බස් රථයක වැඩ කළා සුනිල් කියලා රියදුරෙක්. ඒසී බස් රථයක තමයි වැඩ කළේ. අපි ඉතින් මෙතැන ඉන්නේ සහෝදරයො වගේනෙ. විහිළු තහළු කරගෙන.සුනිල් වැඩ කළ ඒසී බස් රථයට ගල්කුලම (කොළඹ - යාපනය මාර්ගය) හන්දියේ දී ඇක්සිඩන්ට් එකක් සිදුවුණා. ඒ අනතුරින් සුනිල් මිය ගියා. සුනිල් නැතිවෙලා සති දෙකක් විතර ගියාට පස්සේ, මම වැඩ කරන බස් රථය හරියටම ගල්කුලම වංගුව ගනිද්දී පාන්දර 1.45 ට විතර ඇති. මම දැක්කා සුනිල් අත්දිග සුදු කමිසයකින් සැරසිලා වංගුව අද්දර හිනාවෙමින් ඉන්නවා. මම ඔහුව පාස් කරගෙන ඉදිරියට ගිහින් බස් රථයේ තිරිංග තද කරලා බස් එක රිවස් කරන්න හදමින් ම ගෝලයට කිව්වා.
සුනිල් අයියා වංගුව ළඟ ඉන්නවා කියලා. මට නිනව්වක් තිබ්බෙ නැහැ එයා මිය ගියා කියලා. පස්සේ ගෝලයා කිව්වා දැන් සති දෙකකට කලින්නේ සුනිල් අයියා මැරුණේ කියලා. එතකොට නං මට ටිකක් දාඩියත් දැම්මා. තරමක තිගැස්මකුත් ඇති වුණා. ඒ මොනදේ හිතේ තිබුණත් මඟීන් සිය ගණනක ගේ ජීවිත මගේ අතේ. ඒ හින්දා මා අදහන ආගම සිහිකරලා යළිත් ගමන පිටත් වුණා. ඒ වගේ මහ රාත්‍රියේ දී මුහුණ දෙන අත්දැකීම් නම් අනන්තයි. මට මතකයි තවත් දවසක සිද්ධ වෙච්ච අපූරු කතාවක්. ඒ කාලෙ පිටකොටුවෙ බෝම්‍බ පුපුරණ කාලෙ.
මීට වසර කිහිපයකට ‍උඩදී කොම්පඤ්ඤ වීදියේ බෝම්බයක් තිබෙනවාය කියලා ප්‍රචාරයක් හැම තැනම ගියා‍. අපිත් බස් රථවලට මගීන් එක්කාසු කරමින් හිටියෙත්. ඒ කතාව කණ වැකුණු මහත්තයෙක් කොච්චරකට බය වුණා ද කියනව නම් පිටකොටුවේ වැටවලුත් කඩාගෙන පැනලා දිව්වා. අපිටත් හිතා ගන්න බැරි වුණා මේ මහත්තයට මොනවා වෙලාද කියලා.” මේ වගේ හුඟක් දේවල් දවසින් දවස අපේ ජීවිතවලට එකතු වෙනවා. ඒවායින් සමහර දේ තවමත් මතකයේ තිබෙනවා.
රියදුරන් විදියට අපි කොච්චර සෙල්ලම් දමමින් බස් රථ ධාවනය කළත් අපිව අ‍ාරක්ෂා කරන්නේ උඩ ඉන්න දෙවියො තමයි‍. ලෙනාඩ් කියන විදිහට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මත තමයි බස් රස්සාවේ ඉදිරිය තීරණය වෙන්නේ. පොදුවේ ගත්තම බස් රථ රියදුරන් ජීවිත ගණනක ආරක්ෂාවේ පෙරගමන් කරුවා වෙනවා‍.
අවුරුදු දහයකට වැඩි කාලයක් බස් රස්සාවේ නියැළෙන ප්‍රියන්ත කුමාර සෙනෙවිරත්න මැදවච්චියෙ පදිංචි කරුවෙක්. තම බිරිය සහ කුඩා දියණිය රකින්න ඔහු තෝරාගත්තේ කොන්දොස්තර රස්සාව. මේ ගෙවෙන ජීවිතේ ගැන හුඟක් සතුටු වෙන්න බැහැ මට‍. දැන් අපි මේ රස්සාවට ම පුරුදු වෙලා. රැයක් දවාලක් නැහැ. බස් සේවය වෙනුවෙන් ම කැප වෙලා. යාපනය - කොළඹ පැය ගණනක් මහ මඟටම ගෙවා දමන්න වෙන ගමනක්. ඉතින් නිදි මරාගෙන මඟීන් වෙනුවෙන් අපි කරන්නෙ සේවයක්. ඒත් පුංචි පුංචි දේවල් වලට. ඒ කියන්නෙ කැසට් එක හයියෙන් දැම්මොත්, බස් එක ටිකක් වේගෙන් ආවොත් මේ අයගෙන් යම් යම් බැණුම් අහන්නත් සිද්ධ වෙනවා. මේ හැමදේම අතරේ මඟීන් ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරනවා. කුඩුකාරයෙක්, පිට් පොකට් කාරයෙක් බස් එකට ගොඩවුණොත් ඔවුන්ගේ හැසිරීමෙන්, මුහුණේ ඉරියව්වලින් ම අපිට කෙනා කවුද කියල හඳුන ගන්න පුළුවන්.
මටත් රියදුරු මහත්තයටත් තවත් සහායකයින් දෙදෙනෙක් ඉන්නවා. මම හැකි තරම් දුරට ටිකට් කැඩීම කරනවා. රියදුරු මහත්තයත් ඔහුට පුළුවන් තරම් දුර බස් රථය ධාවනය කරනවා‍. නිදිමතක් වෙහෙසක් දැනුනොත් අපි ඒ අයට කතා කරනවා. හුඟක් වෙලාවට දැන් දුර ගමන් යන කොට නිදිමත එනවා අඩුයි. මේ රස්සාවට හුරුවෙලා නිසා‍. අපි රෑට සරල ආහාරයක් තමයි ගන්නේ. බුලත්විට, චුයින්ගම් හපමින් වගේ ම සමහරු සිගරට් පානය කරමින් නින්ද නොයාමට වගබලා ගන්නවා. මගීන් නම් කොළඹින් හෝ යාපනයෙන් පිටත් වෙන කොටම සමහරු නිදිකිරා වැටෙනවා.
තවත් අය විහිළු තහළු කරමින් හරිම විනෝදෙන් අපිත් එක්ක මේ ගමන්වලට එකතු වෙනවා. මේ මොනදේ තිබුණත් මේ රස්සාව හරිම වෙහෙසකරයි. ඒත් ගෙදර බත් හැලිය ඉදෙන්නේ මගේ රස්සාව නිසා. මොන ප්‍රශ්නය තිබුණත් මේ රස්සාවට මම එන්න ඕන ඒ නිසා.” මහමඟ සිදුවන අනතුරු නිතරම පාහේ ප්‍රියන්තලා මුහුණදෙන එක් දෛවෝපගත සිද්ධියක්්‍. අනතුරු අවම කර ගනිමින් බස් සේවයේ යෙදෙන්න ඔවුන් නිතරම පියවර ගන්නවා. ළඟදි දවසක අපේ බස් එක ඕවර් ටේක් කරගෙන යන්න ආපු ඩොල්ෆින් එකක් නැවතුණේ තඩි කාණුවක් ඇතුළට වැටිලා. ඒ වගේ ම මහ මඟ මේ වගේ හුඟක් අනතුරු අපිට දකින්න ලැබෙනවා. සිත කම්පාවෙනවා සමහර දේවල් දැක්කම.
මේ ළඟදී යතුරු පැදියක් පද‍වගෙන ගියපු ගුරුවරියක් ටිපර් රථයකට යට වුණේ අපේ ඇස් පනාපිටදීමයි.
දරු දෙදෙනෙකුත් ඉන්න තරුණ අම්ම කෙනෙක්” ප්‍රියන්ත පවසන්නේ හැඟීම් බරවය. මේ ගමන් අතරමඟ දී ද ඔවුන් විවිධාකාරයේ ගැටලුවට මුහුණ දෙයි. ඒ අතර පොලිසියෙන් සිදුවන දඩගැසීම්, මඟීන් ගෙන් අහන්නට ලැබෙන විවේචන මහ මඟ සිදුවන අනතුරු වගේ මේ හැම දෙයක් දෙසම ඔවුන් බලන්නේ උපේක්ෂාසහගතවයි. මේ බස් කෙරුවාව මොනතරම් දුෂ්කර වුණත් ඔවුන් තවමත් බස් සේවයේ නිරතවන්නේ ඒ නිසා යි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය