Powered by Blogger.

කුඹුරේ කොළ පාගන තැනට කුඹුරු හිමිකාරියද පැමිණ සිටියාය. ජංගම දුරකථනය කනේ ගසාගෙන සිටි ඇයගේ රඟපෑම වැඩපළවල නිරතව සිටි කම්කරුවන්ට මහත් හිසරදයක් වී තිබිණි. ඇය කුඹුරු හිමිකාරිය නිසා ඇයට එරෙහිව වචනයක්වත් කතා කිරීමත් අපහසුය.
කම්කරුවන්ගේ සුළු අත්වැරද්දකට පවා දැඩි ලෙස දෝෂාරෝපණය කිරීමට ඇය අමතක නොකළාය. විශේෂ උත්සවයකට සහභාගි වීමට ඇති බැවින් කටයුතු කඩිනමින් හමාර කරනා ලෙස ඇය හැමවිටම කීවාය.
සුනාමි යන්ත්‍රයෙන් වී පෑහී ගෝනිවලට දමනා ස්ථානයට පැමිණි ඇය තම ජංගම දුරකථනය ඇඳ සිටි ඇඳුමේ පපු පෙදෙසේ තිබූ සාක්කුවට දමාගෙන වීවල තත්ත්වයද පරීක්ෂා කර බැලුවාය.
කොළ පෑගීමෙන් පසු වී ගෝනි සියල්ල ට්‍රැක්ටරයටද පටවා හමාර විය. තම ජංගම දුරකථනය අස්ථානගතව ඇතැයි පැවසූ කුඹුරේ හිමිකාරිය එය සොයන්නට වූවාය. ජංගම දුරකථනය එහි තිබූ බව එහි සිටි සියලු දෙනාම දුටුවෝය. කිසිවකුත් එම ස්ථානයෙන් පිටතට නොගිය නිසා දුරකථනය එම ස්ථානයේ තිබිය යුතුව තිබිණි. තමාට යාමට නියමිත විශේෂ උත්සවයට නියමිත වේලාවට සහභාගි වීමට නොහැකි වීම ගැන කුඹුරු හිමිකාරිය වඩාත් කනගාටු වූවාය.
ට්‍රැක්ටරයේ රියැදුරාගේ දුරකථනයෙන් නැතිවූ දුරකථනයට ඇමැතුමක් දෙන්නැයි එක් කම්කරුවකු කීවේය. ඒ අනුව ඇමැතුම ලබාදෙන ලදී. ට්‍රැක්ටරයට පටවා තිබූ වී ගෝනි අතරින් ප්‍රතිචාරය ලැබුණි. වී මිටි කීපයක් ට්‍රැක්ටරයෙන් ඉවතට ගෙන දෙවැනි ඇමැතුමත් දෙන ලදී. ප්‍රතිචාරය ලැබුණේ ට්‍රැක්ටරයට මුලින්ම පැටවූ වී ගෝනියකි. වී ගෝනි සියල්ල ආපසු බිමට බෑමෙන් පසු දුරකථනය සොයාගත හැකි විය.
වී ගෝනි සියල්ල ආපසු ට්‍රැක්ටරයට පටවා නිවසට රැගෙන යනවිට සෑහෙන වේලාවක් ගතවී තිබිණි.
කුඹුරු හිමිකාරියගේ සුදු මුහුණ කළු පැහැ ගැන්වී තිබූ අතර කම්කරුවෝ ඇයට නොපෙනෙන ලෙස සිනහව සඟවාගෙන සිටියහ.
වයි.කේ.කේ. සිරිමල්වත්ත-දේවහුව

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය