Powered by Blogger.

සනත් අබේසේකර
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති ගෞරවනීය වන්දනාමානයට ලක්වෙන බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ වන ඓතිහාසික කතා පුවත රැගත් ‘සිරි දළදාගමනය’ සිනමා පටය මේ දිනවල ප්‍රදර්ශනය වෙමින් පවතී. ඊ ඒ පී චිත්‍රපට සමාගම සමඟ බෝසත් ලංකා පදනම ඉදිරිපත් කරන ‘සිරි දළදාගමනය’ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය සනත් අබේසේකර ගෙනි. මීට ප්‍රථම ඓතිහාසික කතාවකින්ම සිනමාවේ අත්පොත් තැබූ සනත් ඒ වෙනුවෙන් අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්තේය. ශ්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය අලළා නිමවුණු ‘මහින්දාගමනයෙන්’ පසු ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය ද බුදු දහම හා බැඳුණු ඓතිහාසික කතා වස්තුවකින් යුතු වීම විශේෂත්වයකි. ‘සිරි දළදාගමනය’ පිළිබඳත් ඔහුගේ ඉදිරි සිනමා දිවිය පිළිබඳත් සුහද කතාබහකට යොමුවීමට පසුගිය දිනක ඔහු හමුවූ මොහොතක අපට හැකි විය. මේ ලිපිය සැකසුණේ ඒ ඇසුරිනි.

ඔබ මහින්දාගමනයෙන් පසු තවත් එවැනිම ඓතිහාසික කතා වස්තුවකින් සමන්විත ‘සිරි දළදාගමනය’ කරන්නට පෙලඹුණ හේතුව කුමක් ද?
තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසූහාර දහසක් සද්ධර්මස්කන්ධයෙන් යුතු ශ්‍රී දළදා මාළිගාවේ වැඩ හිඳින වම් දළදා වහන්සේගේ ඓතිහාසික කතා ප්‍රවෘත්තිය තමයි ‘සිරි දළදාගමනය’ සඳහා මම තේමාව කර ගත්තේ. මේ තේමාව තෝරාගන්න සුවිශේෂම හේතුවක් වුණේ බෞද්ධාගම සම්බන්ධයෙන් මා තුළ පවතින්නා වූ අති ගෞරවනීය භක්තිමත් හැඟීම සහ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කෙරෙහි විශ්වාසය තබන හොඳ බෞද්ධයකු වීම වෙන්න ඕන. ශ්‍රී ලංකාව කියන්නේ ගෞතම බුදුන් වහන්සේගේ දළදා වහන්සේලාගේ දෙනමක් වැඩ ඉන්න පුණ්‍ය භූමියක්. ඒ වගේ ම තමයි බුදු නෙතින් පුද ලද ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්න දේශයක්. ඒ හින්දා ශ්‍රී ලංකාව කියන්නේ ජීවමාන බුදුන් වහන්සේ වැඩ ඉන්නා හා සමානම පුණ්‍ය භූමියක්. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මේ ර‍ටේ ඉපදීමත් වාසනාවක් හැටියට මම සලකනවා. මගේ හිතේ නිරන්තරව රැඳී තිබෙන මේ අති ගෞරවනීය හැඟීමම තමයි නැවත වතාවක් මෙවැනි ඓතිහාසික කතා පුවතක් සිනමාවට නැඟීමට හේතුව වුණේ.

මේ ඓතිහාසික කතා පුවත නිරවද්‍යතාවයකින් යුක්තව සිනමාවට නැඟීමට ඔබ උපයෝගී කරගත් මූලාශ්‍ර මොනවා ද?
මම බොහොම පරිස්සමින් ඓතිහාසික සාධක රැසක් උපයෝගී කරගෙන විශාල පර්යේෂණයක නිරත වුණා. එම පර්යේෂණයේදී ප්‍රධාන වශයෙන් ම මට උපකාරී වුණේ II වැනි සියවසේ පොලොන්නරු යුගයේ රාජ්‍යය කළ ලීලාවතී රැජනගේ සමයේදී පූජ්‍ය ධම්මකිත්ති හිමියන් විසින් රචනා කරන්නට යෙදුණු දාඨාවංශයයි. මේ ඓතිහාසික ග්‍රන්ථය විශ්ව විද්‍යාලයන්හි බාහිර උපාධි සඳහාත් නිර්දේශිත ග්‍රන්ථයක්. ඉතිහාසය සඳහා වන හොඳම මූලාශ්‍රය වන මහාවංශය හා සසඳන විට දළදා වහන්සේ පිළිබඳ සත්‍ය තොරතුරු ඇතුළත් ග්‍රන්ථය වන්නේ දාඨාවංශයයි. ඒ අනුව තමයි මේ චිත්‍රපටයේ තිර රචනය ගොඩනැඟුණේ. ඊට අමතරව භාරතයේ ඉතිහාසය පිළිබඳ පොතින් පතින් තොරතුරු ලබා ගන්න සිද්ධ වුණා.

බොහෝ විට මෙවැනි ඓතිහාසික කතා ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විවිධ මතවාද, චෝදනා ආදිය ලැබිය හැකි බැවින් මේ තත්ත්වය මඟ හරවා ගැනීමට ඔබ පරිස්සම් වූවා ද?
අනිවාර්යයෙන්ම පරිස්සම් වූවා. ඓතිහාසික ග්‍රන්ථවල එන ඉතිහාස කතා කිසිවක් විකෘති කර මේ චිත්‍රපටයේ නෑ. විශේෂයෙන්ම තිර රචනය ලියා හමාර කළායින් පසු පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමිපාණන්ට මම මේ තිර පිටපත කියවන්න දුන්නා. ඊට පස්සේ මම මේ තිර රචනයත් අරගෙන දළදා මාළිගාවට ගිහින් මල් පහන් පූජා කරල තිර පිටපත දළදා වහන්සේට පූජා කළා. ඒ මොහොතේ මම විශාල ප්‍රාර්ථනයක් කළා. මේ තිර පිටපත සිනමාව තුළ යථාර්ථයක් කරගන්න මට පින්වන්ත නිෂ්පාදකවරයකු ලබා දෙන්න කියලා. ඒ ප්‍රාර්ථනය සැබෑවටම මට දළදා වහන්සේ ඉෂ්ට කර දුන්නා.

ඒ කොහොම ද?
ඒ ප්‍රාර්ථනා කරලා ටික දවසකින්ම මට ඔස්ට්‍රේලියාවේ වැඩ වාසය කරන පූජ්‍ය අකරවිට සංඝානන්ද හිමිපාණන් වහන්සේ මේ චිත්‍රපටය කරන්න ලක්ෂ 500 ක් දෙන්න කැමැති වුණා. ඊට ටික දවසකට පස්සේ ඉතිරි නිෂ්පාදන කාර්යයන් සඳහා ඊ ඒ පී චිත්‍රපට සමාගම වෙනුවෙන් ආචාර්ය සෝමා එදිරිසිංහ සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කළා. ඒ වගේ ම ඒ ආසන්න කාලයකදී මට ඉන්දියාවට යන්න දිනුමකුත් ඇදුණා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මම ඉන්දියාවට ගියාම එහිදී මට නවාතැන් පහසුකම් හා ගමන් පහසුකම් සඳහාත් අනුග්‍රාහකයින් ලැබුණා. මේ අවස්ථාව මම ප්‍රයෝජනයට ගත්තේ දළදා වහන්සේ පිළිබඳ ඓතිහාසික තොරතුරු පිරික්සන්න. දළදා වහන්සේ ඉන්දියාවේ වැඩ වාසය කරත්දී සිටි සියලුම ස්ථාන සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව මට ලැබුණා. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ සියල්ල මට පහසුවෙන් ළඟා කරගන්න අවස්ථාව ලැබුණේ දළදා වහන්සේගේ ආශ්චර්යය නිසාමයි කියලයි.

‘සිරි දළදාගමනයේ’ ප්‍රධාන චරිත දෙක වන හේමමාලා - දන්ත කුමරුගේ චරිත රඟපාන්නේ අලුත්ම නළු නිළි යුවළක්. අලුත්ම මුහුණු දෙකක් මේ සඳහා හඳුන්වා දෙන්න හිතුවේ ඇයි?
හේමමාලා - දන්ත කුමරු කියන්නේ මම විශ්වාස කරන අන්දමට පූජනීය චරිත දෙකක්. මේ චරිත දෙකට අපිට පුරුදු මුහුණු දෙකක් අරගෙන හරියන්නේ නෑ කියන තීරණේ මම මුල පටන්ම සිටියා. අපේ ප්‍රේක්ෂක මනසට අලුත්ම මුහුණු දෙකක් ගෙනාවම ඒක අලුත් දෙයක් වෙනවා කියන එක මම විශ්වාස කළා. ඒ වගේම තමයි මේ චරිත දෙකට තෝරා ගත් නළු නිළි යුවළම මේ සඳහා පේ වීමෙන් යුතුව තමයි රංගනයට එක් වුණේ. මස් මාංශ අනුභවයෙන් තොරව පංච ශීලයේ පිහිටා කටයුතු කිරීමෙන් පස්සේ තමයි රූගත කිරීම් ඇරඹුණේ. මේ දෙදෙනා වගේම චිත්‍රපටයට දායක වුණු අනෙක් සියලුම නළු නිළියන් ද මේ වතාවත්වල පිහිටා ඒ අනුව කටයුතු කරන්න කැමැති වුණා.
‘මහින්දාගමනය’ නිර්මාණය කිරීමෙන් පසු ඔබත් නිතර සිල් සමාදන් වන, මස් මාංශ අනුභවයෙන් තොර සිල්වතෙක් වෙලා කියන කතාව ඇත්තක් ද?
ඔව්. ‘මහින්දාගමනය’ නිර්මාණය කිරීමෙන් පසු නොවෙයි ඊට ඉස්සර ඉඳන්ම මම හැම පෝයටම සිල් ගන්න කෙනෙක්. මහින්දාගමනය නිර්මාණය කිරීමෙන් පසුව මේ තත්ත්වය තවත් වැඩිවුණා. දැන් මම හැම උදයකම කැලණිය පන්සලට ගිහින් මල් පහන් පූජා කරලා වතාවත්වල යෙදෙනවා. හැම පෝයටම සිල් සමාදන් වෙනවා.

ඔබ මීට ඉහත දී වරක් පවසා සිටියා මේ චිත්‍රපටය රූගත කරත්දී ආශ්චර්යවත් සිදුවීම් කීපයක් වුණා කියලා. ඒ ගැන පැවසුවොත්...
මේ චිත්‍රපටයේ බොහොමයක් රූගත කිරීම් පැවතුණේ මිහින්තලයේ. එක අවස්ථාවක් තිබෙනවා දළදා වහන්සේ එළියට වැඩම කරවන විට විශාල වැස්සක් වහින දර්ශනය ගන්න. මේ දර්ශනය ගන්න සූදානම් වුණාට එදා මිහින්තලේට වැස්සක සේයාවක්වත් නොතිබුණ දවසක්. ඒත් දර්ශනය රූගත කරන්න සූදානම් වත්දී ආශ්චර්යවත් විදියට වලාකුළු ඇවිත් අහස කළු කරලා ස්වභාව ධර්මයෙන්ම ඒ සඳහා ආශිර්වාදය ලබා දුන්නා. එදා සෙට් එකේ හිටපු අයත් මේ ආශ්චර්යය දැක්කා.

මේ ගමනේ දී ඔබ ‘ආගම විකුණනවා’ යැයි කවුරුන් හෝ චෝදනා කළොත්?
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ දැහැමින් සෙමින් දියුණුව කරා යන්න කියලයි. උන්වහන්සේ වදාළ නොකළ යුතු කර්මාන්ත වන සත්ත්ව ඝාතන, මත්ද්‍රව්‍ය විකිණීම වැනි කර්මාන්ත මම කරන්නේ නෑනේ. මම කරන්නේ වෙළෙදාමක් තමයි. නමුත් එයත් මිනිස් සිත් පීඩාවට පත් කරන්නේ නෑ. ඒ මඟින් මිනිසුන් අගාධයට යොමු කරන්නේ නෑ. මිනිස් සිත් ශ්‍රද්ධාවෙන් පුරවලා ආනන්දයෙන් ප්‍රඥාවට පත් කිරිමක් තමයි මෙයින් වෙන්නේ. මේකෙන් අසීමිතව මුදල් හොයනවා තමයි. නමුත් ඒක බුදු දහමේ වැරැදියි කියලා නෑ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය